රටරටවල නම රැන්දූ අපේ සිනමාවේ රජත මයුරිය

චිත්‍රපටයක තත්පර කීපයක ජවනිකාවකට පෙනී සිටීමෙන් සිනමාවට අවතීර්ණව ඉනික්බිතිව අන්තර් ජාතික සම්මානලාභී රංගන ශිල්පිනියක බවට පත් නිළියක් අපේ රටේ වෙත් නම් ඒ අනෝජා වීරසිංහ පමණකැයි මම සිතමි.

ඇය ‘ටක් ටික් ටුක්’ චිත්‍රපටයේ පෙනී සිටියේ තත්පර තිහක සුළු ධාවන කාලයකින් යුතු ජවනිකාවකටය.

‘ටක් ටික් ටුක්’ චිත්‍රපටය යසපාලිත නානායක්කාරගේ අධ්‍යක්ෂණයක් වූ බැවින් අනෝජා යසපාලිතගේ හඳුන්වා දීමක් ලෙස සඳහන් කළ හැකි වුව ද ඇය සොයා ගැනීමේ ගෞරවය මුළුමනින්ම හිමි වන්නේ සුනිල්සෝම පීරිස්ට යැයි කීම වඩාත් නිවැරදිය. (‘ටක් ටික් ටුක්’ චිත්‍රපටයට ඇය එක් කර ගත්තේ සුනිල්සෝමය).

පරණ පල්ලියගුරුගේ අනෝජා කාන්ති සිරිවර්ධන නම් වූ ඇය උපන්නේ 1955 වසරේ බදුල්ලේ කයිලගොඩදීය. අධ්‍යාපනය ලැබුවේ බදුල්ල බාලිකා විදුහලෙන් හා මොනරාගල මහානාම විදුහලෙනි.

‘ටක් ටික් ටුක්’ චිත්‍රපටයේ සුළු පෙනී සිටීමෙන් අනතුරුව ඇයට යසපාලිත නානායක්කාරගේම ‘මොනරතැන්න’ චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතයක් රඟපෑමේ අවස්ථාව ලැබිණි. ඒ සුරංජිගේ චරිතයයි. ඉන් පසු අනෝජා වාණිජ මට්ටමේ චිත්‍රපට රැසකම රඟපෑවාය. ‘සාරංගා’, ‘කැලෑමල්’, ‘මැණික් මාලිගා’, ‘මිහිදුම් සළු’, ‘අරලිය මල්’, ‘චන්නයි කෙල්ලෝ දෙන්නයි’ ඉන් කීපයකි.

අනෝජා නිළියක ලෙස පළමු වතාවට ජාතික අවධානයට යොමු වූයේ, කීර්තියට බඳුන් වූයේ ‘මල්දෙණියේ සිමියොන්’ චිත්‍රපටයේ රඟපෑම් සඳහා 1987 දී පැවැත් වූ එකොළොස් වැනි නවදිල්ලි අන්තර් ජාතික චිත්‍රපට උළෙලේ රජත මයුර (SILVER PEACOCK) සම්මානය දිනා ගැනීමෙන් ඉනික්බිතිවය. එම රඟපෑමත්, එකී සම්මානයත් සමඟම ඇය සිංහල සිනමාවේ සම්භාවනීය නළු නිළි කැල අතරට නිරායාසයෙන්ම එක් වූවාය. මෙහි සුවිශේෂත්වයක් වන්නේ අනෝජා අන්තර් ජාතික සම්මානයකින් පිදුම් ලද ප්‍රථම සිංහල (පුළුල් අරුතින් ගත් විට ශ්‍රී ලාංකේය) චිත්‍රපට නිළිය වීම නිසාය. (ඊට ඉහත මාලිනි ෆොන්සේකා ‘එයා දැන් ලොකු ළමයෙක්’ චිත්‍රපටයේ රඟපෑම් සඳහා මොස්කව් අන්තර් ජාතික චිත්‍රපට උළෙලේ ඩිප්ලෝමා සහතිකයක් ද ‘සිරිපාල සහ රන් මැණිකා’ චිත්‍රපටයේ රඟපෑම් සඳහා විශේෂ ගරු සඳහන් සහතිකයක් ද පමණක් ලැබ තිබුණාය).

රජත මයුර සම්මානයේ හේතු පාඨයේ මෙසේ සඳහන්ව තිබිණි.

‘සමාජ සූරාකෑමට ලක් වූ මවක හා දියණියක ලෙස ඉතාම සංවේදී රඟපෑමක් ඉදිරිපත් කිරීම උදෙසා අනෝජා වීරසිංහට රජත මයුර සම්මානය හිමි වෙයි.’

නවදිල්ලි සම්මානයේ ප්‍රතිඵලයක් වශයෙන් අනෝජාට ඕස්ට්‍රේලියානු ජාතික පෝල් කොක්ස්ගේ ‘දි අයිලන්ඩ්’ නම් වූ ඉංග්‍රීසි චිත්‍රපටයේ රඟපෑමට ද විරල භාග්‍යය ලැබිණි. ඇය එහි රඟපෑවේ සුප්‍රසිද්ධ ග්‍රීක නිළියක වන අයිරිනි පපාස් සමඟ වීම සුවිශේෂත්වයකි. ‘ලොස් ඇන්ජලිස් ටයිම්ස්’ පුවත්පතේ ශීලා බෙන්සන් මෙහි අනෝජාගේ රංගනය මහත් පැසසුමට ලක් කළාය. ඒ මෙපරිදිය.

‘සිය මවු රට, පවුල් ජීවිතය හා ආදරය පිළිබඳ හදවතේ ගැඹුරුතම හැඟීම් ඔවුන් අතර ගලා යද්දී අයිරිනී පපාස් හා අනෝජා වීරසිංහ යන විශිෂ්ට නිළියන් දෙපළ පැහැදිලිවම මේ කතා ප්‍රවෘත්තියේ සංකේත වුව ද සිය චරිත මහත් වීර්යයකින් ඉදිරියට ගෙන යති. ඉනුත් අතිශය ප්‍රශස්ත රඟපෑමක යෙදෙන ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිනමා තාරකාවක වන අනෝජා කෘතියේ අවසානයට හා සමස්ත කෘතියට සැබෑ අනුවේදනීය ස්වභාවයක් ළඟා කර දෙයි.’

අනෝජා ජගත් සම්මානයකින් උඩඟු නොවූ නිළියකි. වෙනත් නිළියකට මෙවන් සම්මානයක් ලැබුණේ නම් ඇය එය තම බෙලේ එල්ලාගෙන යන යන තැන උදාරම් ලීලාවෙන් හැසිරෙනු නියතය. අනෝජා එංගලන්තයට ගොස් ලන්ඩනයේ නාට්‍ය හා සංගීත කලා ශාස්ත්‍රාලයට ‘ලම්ඩා’ යන කෙටි නමින් හැඳින්වෙන (ලන්ඩන් ඇකඩමික් ඔෆ් මියුසික් ඇන්ඩ් ඩ්‍රැමටික් ආට්) බැඳී රංගනයට තවදුරටත් හදාරන්ට ඉදිරිපත් වූයේ රංගනය යනු කලාවක් , ශාස්ත්‍රයක් ලෙස සලකා එය හැදෑරිය යුතුය ප්‍රගුණ කළ යුතුය යන ආස්ථානයේ තිරසාරව පිහිටා සිටි බැවිනි. වෙනත් නිළියක නම් ඇගේ මැටිමෝල්කමට හෝ ජාත්‍යන්තර සම්මානයෙන්ම සෑහීමකට පත් වී ඉන් උද්ධච්ච වී තමා නිළියක ලෙස කූටප්‍රාප්තියට පත් වූවා යැයි සිතා මෙබඳු හැදෑරීම් ප්‍රතික්ෂේප කරනු ඇත. අනෝජා වරක් මෙසේ කියා තිබිණි. ‘මල්දෙණියේ සිමියොන් මගේ සිනමා ජීවිතයේ ආරම්භයයි. අවසානය කෙබන්දක් දැයි සිතීම පවා උගහටය. රංගනය යනු ඒ තරමට පුළුල් විෂයක් වන බැවිනි.

අනෝජා වාණිජ මට්ටමේ චිත්‍රපට රැසක ද රඟපෑවාය. ඒවා බොහොමයක්ම බොක්ස් ඔෆිසියේ සාර්ථකත්වයක් අත්පත් කර ගත් චිත්‍රපටය. ඇය සිනමා තාරකාවක බවට පත් වූයේ එකී චිත්‍රපට ඔස්සේ යැයි කීම නිවැරදිය. වාණිජ චිත්‍රපටවල රඟපෑම සඳහා ද ඇය කළ කැපවීම අති මහත්ය. ඒ වෙනුවෙන්ම වාසුගී ෂන්මුගම්පිල්ලේ යටතේ භරත නැටුම් හැදෑරු ඇය නන්ද සිරිවර්ධන වෙතින් කරාටේ ක්‍රීඩාව ප්‍රගුණ කළාය (අනෝජා බ්ලූ බෙල්ට් ධාරිණියකි). සනත් - සබීතා යුගය මෙන් ජීවන් - අනෝජා යුගයක් බිහි කිරීමට ඇය සම්මාදම් වූවාය. එය දීර්ඝ කාලයක් ස්ථාවරව නොපිහිටියේ ඔවුන් රඟපෑ චිත්‍රපට ඒකාකාරී වූ බැවිනි. ‘රජ දරුවෝ’ වැනි වාණිජ චිත්‍රපටයක අනෝජාගේ රංගනය ප්‍රශස්ත මට්ටමක තිබුණේ යැයි මම සිතමි.

කෙසේ වෙතත් අනෝජා වචනයේ පරිසමාප්ත අරුතින්ම සම්භාව්‍ය ගණයෙහිලා සැලකිය හැකි චරිතාංග නිළියකි. ඇය පසු කලෙක වාණිජ චිත්‍රපටවල (විශේෂයෙන් අනුකාරක චිත්‍රපටවල) රඟපෑමෙන් සපුරා අත්මිදුනේ එවන් චිත්‍රපටවල පැවති නිස්සාරත්වය පසක් කර ගැනීමෙන් විය යුතුය.

සබීතා හැරුණු කොට පකිස්තාන් චිත්‍රපට බොහොමයකම රඟපෑ නිළියක වෙත් නම් ඒ අනෝජාය. ‘මිස් ලංකා’, ‘නාදිනි’, ‘දෝ හාත්’, ‘හම් සේ නා තක්රානා’, ‘අගාර් තුම්නා හෝතේ, සුරාජ් බි තමාෂා’ ඇය රැඟූ පකිස්තාන් චිත්‍රපට අතර වෙයි.

‘මල්දෙණියේ සිමියොන්’ චිත්‍රපටයෙන් පසු අනෝජාගේ විශිෂ්ටතම චරිතාංග නිරූපණයක් දැකිය හැකි වූයේ ‘සිරිමැදුර’ චිත්‍රපටයේදීය. එය ‘මල්දෙණියේ සිමියොන්’ චිත්‍රපටයේ ඇය රඟපෑ චරිතයට වඩා අතිශයින්ම සංකීර්ණ වූ චරිතයකි. එම චරිතය සතු නුගත්කම, බොළඳභාවය, සිතට ගත් වලව් මාන්නය, ලිංගික ඊර්ෂ්‍යාව, වෛරය වැනි මනෝභාව ඇය අපූර්ව ලෙස මේ චරිතයෙන් මූර්තිමත් කළාය.

ඉන් පසු ‘කෙළිමඬල’ චිත්‍රපටයේ ඇගේ තවත් මාහැඟි රංගනයක් දක්නා ලැබිණි. එදා නිසැක වශයෙන්ම පුරුෂාධිපත්‍යයට හසුව ජීවිතය ඛේදවාචකයකින් කෙළවර වන්නා වූ චරිතයකි. අනෝජා ‘සිරිමැදුර’ රඟපෑවේ තම හැගීම් වේග බාහිරව ප්‍රකාශ කළ හැකි චරිතයක් නම් ‘කෙළිමඬලේ’ ඇය රඟපෑවේ තම හැඟිම් චිත්ත අභ්‍යන්තරයේ විඳ දරා ගෙන සිටින චරිතයකි. මෙබඳු චරිතයක් ප්‍රතිනිර්මාණය කිරීම ඉතාම දුෂ්කර බවක් අභියෝගාත්මක බවත් අමුතුවෙන්ම කිව යුතු නැත. කෙසේ වෙතත් ඇය එකී අභියෝගය සාර්ථකව ජය ගනී.

‘සුරබිදෙන’ චිත්‍රපටයේ අනෝජා රඟපෑ චරිතය ද රදල පීඩනයෙන් මිරිකුණ චරිතයකි. එහිලා වඩාත් බල පවත්වන්නේ ලිංගික සූරාකෑමයි

‘ගුරු ගෙදර’ චිත්‍රපටයේ අනෝජා තවත් ප්‍රශස්ත රංගනයක යෙදෙයි. එය ද හැඟීම් විඳ දරාගෙන මැඬ පවත්වා ගෙන සිටින චරිතයක් වීම සුවිශේෂය. තවත් විදියකට කිවහොත් එය ඇතුළට නැමුණු, සිත ගුහාවක් කරගත් චරිතයකි. ‘ලම්ඩා’ හැදෑරීමෙන් ඉනික්බිතිව අනෝජා මුලින්ම රඟපෑවේ ‘ගුරු ගෙදර’ චිත්‍රපටයේය. ‘රඟපෑම යනු රඟනොපා සිටීමයි’ යනුවෙන් අනෝජා මෙම හැදෑරීමෙන් පසු සංකල්පයක් ලෙස විග්‍රහ කරමින් කියා සිටියාය. ඇය ඉන් පසු රඟපෑ චිත්‍රපටවලින් එය වඩාත් ප්‍රයෝගිකව සාක්ෂාත් කර සිටියාය. ‘ජුලියට්ගේ භූමිකාව’, ‘සෙයිලම’, ‘යකඩ පිහාටු’ යන සිනමාපටවල ද අනෝජාගේ රංග ශෛලිය මැනවින් ස්ඵුට වෙයි. ‘සෙයිලම’ චිත්‍රපටයේ ඇගේ රඟපෑම් ලෝක ප්‍රකට සිනමා විචාරක ඩෙරික් මැල්කම්ගේ පැසසුමට ලක් වූයේ මෙසේය. ‘ශ්‍රී ලංකාවේ ඉහළම පෙළේ නිළියක වූ අනෝජා වීරසිංහ ‘සෙයිලම’ චිත්‍රපටයේ ධෛර්යසම්පන්න විශ්වාසනීීය රඟපෑමක් ඉදිරිපත් කරයි. ආසියාවේ අග්‍රගණ්‍ය නිළියන් අතරට එක්වීමේ ශක්තිය ඇය සතුව ඇත.’

ඉහත චිත්‍රපටවල රඟපෑම් සඳහා අනෝජා ජාතික මට්ටමේ සම්මාන උත්සවවලදී සම්මාන රැසක් දිනාගෙන ඇත. 1987 දී ඇය ‘සරසවිය’ සම්මාන උළෙල්දී රණ තිසර සම්මාන පිළිගැන්විණි.

1994 ඉන්දියාවෙ අනෝජා ප්‍රණාම උළෙලක් පැවැත් වූ අවස්ථාවේ ‘ද සන්ඩේ ටයිම්ස් ඔෆ් ඉන්ඩියා’ පුවත්පතට ඇය අළලා විශේෂ ලිපියක් ලියූ නිකාත් කස්මි නම් වූ ලේඛිකාව අනෝජා සමකාලීන ශ්‍රී ලාංකේය ස්ත්‍රියගේ ජීවිතය යථාර්ථවාදීව ප්‍රතිනිර්මාණය කරමින් ස්වකීය ප්‍රේක්ෂකයන් දැනුම්වත් කිරීමේ නිරත වූ නිළියකැයි කියා සිටියාය. ඇය එබඳු සඳහනක් කළේ මා ඉහත සඳහන් චිත්‍රපට සියල්ල පොදුවේ ගෙන අවලෝකනය කරමින් විය යුතුය. අනෝජා වේදිකා නාට්‍ය කීපයකත් ටෙලි නාට්‍ය කීපයකත් රඟපෑවාය. ‘සටන’, ඇය රඟපෑ මුල්ම වේදිකා නාට්‍යයයි. ‘එළඳ’, ‘ ඇගේ නම රති’,’රන් සලකුණ’ ,’ට්‍රෝජන් කාන්තාවෝ’ ඇය රඟපෑ සෙසු වේදිකා නාට්‍ය වෙයි. මෙයින් රන් සලකුණේ’ රංගනය උදෙසා ඇය ජාතික නාට්‍ය උළෙලේ හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූවාය. ‘තාරා දේවි’ අනෝජා රඟපෑ ටෙලි නාට්‍යයකි.

අනෝජා කලක් ගීත ගායනයේ ද යෙදුණාය. ඇය ජනකාන්ත නළු විජය කුමාරතුංග සමඟ ගීත ගායනා කර තිබීම විශේෂත්වයකි.

රජත මයුර සම්මානය හැරුණු කොට අනෝජාට ඉන්දියාවෙන් තවත් සම්මනයක් ලැබී ඇත. ඒ කොහිනූර් රත්න සම්මානයයි. 1989 දී තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා විසින් පිළිගන්වන ලද්දකි.

අපේ නිළියන් අතරින් වැඩිම ජාත්‍යන්තර අවධානයට, බුහුමනකට ලක් වු නිළියක් වෙත් නම් ඒ අනෝජාය. ඇගේ සිනමාපට රැගත් ප්‍රත්‍යාවලෝකන චිත්‍රපට උත්සව ගණනාවක්ම ලොව පුරා (විශේෂයෙන් ඉන්දියාවේ කීප වතාවක්ම) පවත්වා ඇත. ඉන්දියාවේදී අනෝජා හඳුන්වන ලද්දේ ‘ශ්‍රී ලංකා ස්මිතා පටෙල්’ යන නාමයෙනි.

අමෝජා මේ වන විට චිත්‍රපට පහක් නිෂ්පාදනය කර ඇත. ඒ කැලෑමල්’, ‘ඔබට දිවුරා කියන්නම්’, ‘ඔබට රහසක් කියන්නම්’, ‘කෙළිමඬල’ හා ‘ජුලියට්ගේ භූමිකාව’ය.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව