අය්යෙ යුද්දෙ නම් ලේසියි මේක අමාරුයි

මාතා පිළිබඳ විශ්වනාත් බුද්ධික කීර්තිසේන ගේ අදහස්

ෆිල්ම් මාකට් එක එකක් ෆිල්ම් කලාව තව එකක්

බිහිසුණු යුද දර්ශන ගැඹුරු ලෙස හසු කර ගැනීමට කැමරා ශිල්පියා සමත්ව ඇත. මේ ගුණාංග සියල්ල සලකා බැලූ විට බූඩි කීර්තිසේන ලංකාවේ සිටින විශිෂ්ටතම අධ්‍යක්ෂවරුන් අතරට එක් කිරීමට මේ සිනමා නිර්මාණය සමත් වී ඇති අතර එය ශ්‍රීී ලාංකේය සිනමා වංශ කතාවේ වැදගත් මං සලකුණක් බවට නිතැතින්ම පත්වනු ඇත.

- ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්

විශ්වනාත් බුද්ධික කීර්තිසේන නොඑසේ නම් බූඩි කීර්තිසේන අප හඳුනා ගන්නේ මෙරට තුන්වැනි පරම්පරාවේ කැරළිකාර අධ්‍යක්ෂවරයකු ලෙසිනි. ඒ ඔහුගේ සිනමා භාවිතය සම්ප්‍රදාය අතික්‍රමණය කළ නිසා පමණක් නොවේ. එයට නැවුම් අරුතක් ද එක් කළ බැවිනි.

‘සිහින දේශයෙන්’, ‘මිල්ලෙ සොයා’ චිත්‍රපට හරහා ප්‍රේක්ෂක විඥාණය සියුම්ව ස්පර්ශ කළ බූඩි ලාංකේය සිනමාවේ සිය මුද්‍රාව තැබූ සුවිශේෂී සිනමාකරුවකු සේ කැපී පෙනේ. ‘මාතා’ ඔහුගේ නවතම චිත්‍රපටයයි. එය දැන් කොළඹ රීගල් ඇතළු සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමාහල්වල සාර්ථකව තිරගත වේ.

‘මාතා පිළිබඳ වෙනස්ම මානයක හිඳ බූඩි සමඟ අප සංලාපයකට එක් වූවේ මෙලෙසිනි.

ඔබේ නවතම චිත්‍රපටය ප්‍රදර්ශනයට එක්වුණේ සිංහල සිනමාවට වසර හැට පහක් පිරුණ මොහොතේ. මම හිතන්නේ එය ඓතිහාසික අවස්ථාවක්?

ඔව්. ඇත්තෙන්ම අපේ සිනමාවට හැටපස් වසරක් සපිරෙන මොහොතේ ‘මාතා’ තිරගත වීම ගැන මට සංතෝෂයි.

ඔබේ කලින් චිත්‍රපට දෙකටම වඩා මෙහි ආකෘතිය, ආඛ්‍යානය වෙනස් මුහුණුවරක් ගෙන තිබෙනවා?

මගේ චිත්‍රපට කොහොමත් එකිනෙකට වෙනස්නේ. මොකද මම එක තැන ඉන්න ආසා නැහැ. නමුත් ඒක ලොකුª අභියෝගයක්. ‘සිහින දේශයෙන්’ චිත්‍රපටයට වඩා වෙනස් ‘මිල්ලෙ සෙයා’. ඊටත් වඩා වෙනස් ‘මාතා’. එතකොට ‘නිම්නයක හුදෙකලාව’ මේ සියල්ලටම වඩා වෙනස්. ‘අවි ගත්තෝ’ චිත්‍රපටයත් එහෙමයි. මේ හැම එකම එකකට එකක් වෙනස්. ‘මාතා’ චිත්‍රපටයේ තිබෙන්නේ අලුත් තේමාවක් නෙවෙයි. නමුත් සිනමා භාෂාව අතින් ගත්තොත් මේ චිත්‍රපටය මම කලින් හිටපු තැනට වඩා ඉදිරියෙන් සිටින බවයි මට පෙනෙන්නේ.

සිනමා භාෂාව යනුවෙන් ඔබ අර්ථ දක්වන්නේ?

සිනමා භාෂාව කියන්නේ සිනමා භාෂාවට. ඉන් එහා දෙයක් නැහැ. ඒක මුළු ලෝකෙටම පොදුයි. මිනිස්සු එකයි. මිනිස්සු කරන දේවලුත් එකයි. කරන විදිහ තමයි වෙනස්. දැන් අපි දෙන්නම දිග කලිසම් ඇඳගෙන මෙතන ඉන්නේ. නමුත් ලන්ඩන්වල දෙදෙනෙක් දිග කලිසම් ඇඳගෙන මේ විදිහටම ඉන්නවා. ඒක හරි වෙනස්. ඒගොල්ල ශ්‍රීී ලාංකික නෙවෙයි කියලා කාටත් පේනවා. අපි ලන්ඩන් ගිහින් අර සුද්දො දෙන්න වගේ හිටියත් ඒ අය දන්නවා අපි ආසියාතික රටක කියලා. දැන් අපි හිතමුකෝ අපේ හම තියෙන අමෙරිකානුවෙක් ලංකාවට ඇවිත් බක්කි කරත්තයක යනවා කියලා. එතකොට ඒක ශ්‍රීී ලාංකිකද නැතිනම් අමෙරිකානුද? නැහැ. එතනින් එහාට වෙන දේවල්වලින් තමයි ඒ සංස්කෘතිය නිර්මාණය වෙන්නේ. සංස්කෘතික අතින් යම්, යම් දේ වෙනස් වුණත් සිනමා භාෂාව නම් බොහෝ විට එකයි.

‘මාතා’ ඇතැමුන් හඳුන්වා දෙන්නේ යුද චිත්‍රපටයක් හැටියට. ඔබ ඊට එකඟද?

ඔව්. මේක ලංකාවේ හැදුණ මුල්ම යුද චිත්‍රපටය විදිහට හඳුන්වන්න මම කැමැතියි. ඒත් යුද්ධය විතරක්ම නෙවෙයි, ආදරය එතකොට මානව දයාව වගේ දේවලුත් මේකෙ තියනවා. තව පැත්තකින් මේක ඇඩ්වෙන්චර් ෆිල්ම් එකක්. යෝගා සහ පාර්වති කියන චරිත දෙකේ වීර චාරිකාවක් මෙහි තිබෙන්නේ. ඇත්තෙන්ම ‘මාතා’ ජානර්ස් කිහිපයක් ඇතුළත් චිත්‍රපටයක්. ඒත් මෙහි ප්‍රධාන තේමාව ඔබ කියූ පරිදි යුද්ධයම තමයි.

යුද චිත්‍රපට එහෙම නැතිනම් මේ War Films සඳහා හොඳ ජාත්‍යන්තර වෙළෙඳ පොලක් තියෙනවා. ඔබ ‘මාතා’ නිර්මාණය කරන්නේ ඒ වෙළෙඳ පොළ ඉලක්ක කර ගනිමින්ද?

කොහොමටත් අපි හදන්න ඕනෑ ජාත්‍යන්තර මට්ටමේ, ඊට ගැළපෙන චිත්‍රපට තමයි. නමුත් අපේ රටේ එහෙම වෙන්නේ නැහැනේ. ෆිල්ම් මාර්කට් කියන්නේ එකක්. ෆිල්ම් ආර්ට් කියන්නේ තව එකක්. හැබැයි කලාව මාර්කට් කරන තව විදිහක් තියෙනවා. ඒවා හැම එකම අපි හඳුනා ගන්න ඕනැ. සිනමාව කියන්නේ කර්මාන්තයක්. එතකොට ඒකට මාර්කට් එකක් තියන්න ඕනෑ අනිවාර්යයෙන්ම.

මම හිතන්නේ ඔබ කලාව මාර්කට් කරන කලාවත් හොඳට දන්නවා?

ඒක මට අයිති දෙයක් නෙවේ. මම හිතන්නේ ඒක අයිති මාර්කටින් ටීම් එකට. මේ චිත්‍රපටය නම් අපිටම මාර්කට් කරන්න වෙනවා. මොකද ඉන්ටර් නැෂනල් මාර්කට් කරන්න කියා වෙනම පිරිසක් අපට නැහැ. දැන් ලංකාවේ චිත්‍රපට අධ්‍යක්ෂකවරු චිත්‍රපට හදලා සම්මන්ත්‍රණ පවත්වනවානේ. මම එහෙම කළේ නැහැ. ඉතින් ඒ හින්දා මම මාර්කටින් පැත්තට ගිහිල්ලා නෑ වැඩිය. මට ඕගොල්ලො ඒක කරලා දුන්නා. මම හිතන්නේ ඒ නිසා මට ඒක ඕනෑ නැහැ. නමුත් අද අපේ බොහෝ අධ්‍යක්ෂකවරු තමන්ගේ චිත්‍රපටය මාර්කට් කරන්න උත්සාහ කරනවා.

මේ චිත්‍රපටයේ චරිත අතර ඒකමිතියක් පවත්වාගෙන යන්නට ඔබ අසමත් වී ඇතැයි කිසිවකු පැවසුවහොත්?

ඔබ අහන්නේ මේ චිත්‍රපටයේ කතන්දරයක් නෑ කියා වෙන්නැති. කතන්දර අවශ්‍යම නෑ සිනමාවට. සිද්ධිවලින් සිනමා කෘතියක් ගොඩ නගන්න පුළුවන්. මේ චරිත ගැළපීමේදී නම් මම හිතන්නේ ප්‍රශ්නයක් වෙලා නැහැ. ඒත් මේකෙ අවබෝධ කර ගත යුතු එක් දෙයක් කවුරුත් අවබෝධ කරගෙන නැහැ කියන එකයි මගේ හැඟීම.

ඒ මොකක්ද?

මේ චරිත මොහාතින් මොහොත වෙනස් වෙනවා. දැන් එක මොහොතක යෝගා හිතනවා දැන් මම පැනලා යන්න ඕනෑ කියලා. තව සතියකින් යෝගා හිතනවා ‘නෑ මම මරාගෙන මැරෙන්න යුද්ධ කරනවා’ කියලා. ඊළඟ මොහොතේ ඔහු සිතනවා ‘මේ යුද්ධය කරලා වැඩක් නෑ කියලා. තවත් මොහාතකින් සිතනවා ‘නෑ මම පාර්වතී එක්ක ජීවත් වෙනවා’ කියලා. ඒ විචල්‍ය සිතිවිලිත් එක්ක තමයි මේ චරිත ගොඩ නැගිලා තියෙන්නේ. ඒක චිත්‍රපටය පුරා පැහැදිලිව මම දකිනවා. සමහරුන්ට ඒක නොතේරෙන්නේ ඇයි කියන්න මට තේරෙන්නේ නැහැ. ඕක මගේ ‘මිල්ලේ සොයා’ චිත්‍රපයටත් සිද්ධ වුණා අද වෙන තුරු ලංකාවේ ඒ චිත්‍රපටය ගැන නිසි විචාරයක් සිදු වී නැහැ. නමුත් අමෙරිකවේදී නම් හෙමිචා ඔබින් කියන විචාරකවරිය අතින් මේ චිත්‍රපටයට නිසි ඇගයුමක් ලැබුණා.

ඔබ කියන්නේ ලංකාවේ හරි හමන් විචාර කලාවක් නැහැ කියන එකද?

නැහැ. මම කියන්නේ නැහැ අමෙරිකාවේදී ඒක හරියට කෙරුණා මෙහේ කෙරුණේ නැහැ කියලා. නමුත් සිනමාවේ මම ඉන්නෙත් වෙනම තැනකනේ අනෙක් අය එක්ක බලපුවම. ඒ කියන්නේ මම හොඳ තැනක ද, නරක තැනක ද කියන එක නෙවේ. නමුත් සිනමාව, සිනමාව විදිහට බලන්න කියලයි මම කියන්නේ. දැන් අපේ අය මුලින්ම ගන්නේ ඒකෙ ‘අයිඩියොලොජි’ එක. ඒ දේශපාලන, ආර්ථික කල්පිත පදනම් කරගෙන ඇති කරගන්නා මත, වෙනම දෙයක්. අපි දන්න සමහර විශිෂ්ට සිනමාකරුවන්ගේ ‘මනුස්සකමේ’ ප්‍රශ්න ඇති. නමුත් බැලිය යුත්තේ ඔහුගේ සිනමා කෘතිය දිහා. මේ චිත්‍රපටයේ අඩුපාඩු ඇති. අනිවාර්යයෙන්ම එහෙම නැති වෙන්න බැහැ. ලෝක සිනමාවේ බැලුවත් අංග සම්පූර්ණ චිත්‍රපටයක් හැදෙන්නේ බොහොම කලාතුරකින්. එහෙම බලද්දී මගේ මේ චිත්‍රපටයේත් ගැටලු රාශියක් ඇති.

ඇයි ඔබ එය යළිත් අවධාරණය කළේ?

‘මාතා’ ලංකාවේ හැදුණ පළමුවැනි යුද චිත්‍රපටය. යුද චිත්‍රපට කියලා අනෙක් අය කළේ යුද්ධය අනුසාරයෙන් චිත්‍රපට සෑදීම. මේක සැබෑ යුදමය චිත්‍රපටයක්. යුද බිමට ගිහින් කරපු චිත්‍රපටයක්. ඉතින් මෙවැනි චිත්‍රපටයක් ලංකාවේ හැදුණ ප්‍රථම වතාව නිසයි අඩුපාඩු ඇති කියා මම කිව්වේ. මුලින්ම පාරක් හදන එකයි, හදපු පාරකට කාපට් එක දානවයි කියන්නේ දෙකක්. මම හිතන්නේ හුඟක් අය කතා කරන්නේ ඔය වෙනස තේරුම් නොගෙනයි.

මේ චිත්‍රපටයේ රූගත කිරීම් ඔබ අරඹන්නේ යුද්ධය නිම වී මාස දෙක තුනකට පස්සේ?

අනිවාර්යයෙන්ම ඔව්.

එතකොට චිත්‍රපටය ප්‍රදර්ශනයට එක් වන්නේ ඉන් වසර තුනකට පමණ පසුව. මේ තත්ත්වය ඔබට ගැටලුවක් වුණේ නැතිද?

මේ චිත්‍රපටයේ සම්පූර්ණ වැඩ නිම වුණේ ගිය වසරේ දෙසැම්බබර් 11 වැනිදා. ඒ කාලය ඇතුළත මේ චිත්‍රපටයේ ඇතැම් දර්ශන කැපී ගොස් තිබෙනවා. එදා ඕනෑමයි කියලා හිතපු සීන් එකක් අද කුඩා දර්ශනයකට සීමා වී තිබෙනවා. ඒකෙ හේතුව මේකයි. අවුරුදු දෙකක් වගේ කාලයක් ඇතුළත චිත්‍රපට හදන කොට, විශේෂයෙන් මේ වගේ අලුත් දෙයක් කරන කොට වැරැදි හදාගෙන තමයි අපට ඉස්සරහට යන්න වෙන්නේ. ‘මාතා’ තමයි මෙවැනි චිත්‍රපටවලට අපේ රටේ පූර්වාදර්ශය. ලෝක සිනමාවට පවා මෙය අලුත්ම විදිහේ අත්දකීමක් මම හිතන්නේ.

ඔබ දැඩි විශ්වාසයකින් ඒ මතය ප්‍රකාශ කළේ?

මේ වගේ යුද්ධයක් අපේ රටේ හැර ලෝකයේ වෙනත් කිසිම රටක සිදු වී නැහැ. අපි මේ චිත්‍රපටයේ ඒ සැබෑ මානුෂීය මෙහෙවර ග්‍රහණය කරගෙන තිබෙනවා. මේ වගේ ලෝකයේ බුද්ධිමත්ම සංවිධානයක් සහමුලින්ම පරාජය කරපු එක ලෝකෙටම අලුත් අත්දැකීමක්. ඒ වගේම මේ යුද්ධයෙන් දෙමළ ජනතාවට සිදු වූ අසාධාරණය නිවැරැදිව ඉදිරිපත් කළ ප්‍රථම චිත්‍රපටයත් මේක වෙන්න ඕනෑ. අනෙක් එක තමා ලෝකයේ කොතනකවත් මෙවැනි යුද්ධයක් සිදු වෙන්න එපා කියන පණිවිඩය. හතර වෙනි කාරණය විදිහට මම දකින්නේ. තව අවුරුදු දහයක්, විස්සක් වගේ ඇතුළත අපේ රටේ මෙවැනි කටුක යුද සමයක් තිබුණ බව කෙනෙකුට දැක බලා ගත හැකි චිත්‍රපටයක් වීම. ‘මාතා’ චිත්‍රපටයේ විශේෂ කාරණා හැටියට ඒවා මම දකිනවා.

අපට ආගන්තුක වුණාට ලෝකය පුරා යුද චිත්‍රපට අනන්තවත් නිිර්මාණය වී තිබෙනවා. ‘මාතා’ චිත්‍රපටයට එවැනි විදෙස් සිනමා කෘතිවල යම් සෙවනැල්ලක් වැටී තිබෙනවාද?

මම සිනමාව හදාරන්න යන කාලේම මට ආශාවක් තිබුණා යුද චිත්‍රපටයක්. විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් සහ මායාරූපී, ඒ කියන්නේ ෆැන්ටසි චිත්‍රපටයක් හදන්න. මම චිත්‍රපට නිර්මාණකරණයට පෙළඹෙන්න ප්‍රධාන හේතුවක් වුණේ ස්ටීවන් ස්පීල්බර්ග් සහ ඇලන් පාකර් කියන මහා සිනමාවේදීන් දෙදෙනා. ස්පීල්බර්ගේ ‘ක්ලෝස් එන් කවුන්ටර් ඔෆ් ද තර්ඩ් කයින්ඩ්’ චිත්‍රපටය දැකපු වෙලාවේ තමයි මට හිතෙන්නේ මමත් කවදා හරි එවැනි චිත්‍රපටයක් හදනවා කියලා. මේ චිත්‍රපටයේ පළමු වරට විශේෂ ප්‍රයෝග ශිල්පියා විදිහට කටයුතු කළ කෙනෙක් තමයි ජෝ වෑන් ක්ලයින් කියන්නේ. ස්පීල්බර්ග් එක්ක වැඩ කරපු ජෝ, බූඩි කීර්තිසේන එක්ක වැඩ කරනනවා 2009 දී ‘මාතා’ චිත්‍රපටයේ. ස්පීල්බර්ග්ට මම දක්වන ප්‍රණාමය එහෙම නැත්නම් හොවාජ් එක මම ‘මාතා’ චිත්‍රපටයේ දක්වලා තියෙනවා. වරක් ස්පීල්බර්ග් ප්‍රංශයේ මහා සිනමාකරුවකු වන ප්‍රාංශුවා ටෲපෝට ‘ක්ලෝස් එන්කවුන්ටර් ඔෆ් තර්ඩ් කයින්ඩ්’ චිත්‍රපටයේ චරිතයක් කරන්න කතා කළා. ඒකෙන් ස්පිල්බර්ග් පෙන්නුම් කළේ ටෲෆෝට ඔහුගේ තිබෙන ගෞරවය. ලෝකය පුරාම සිනමාවේ එහෙම දේවල් සිදු වී තිබෙනවා. මමත් ස්පීල්බර්ග්ගේ ‘සේවින්ග් ප්‍රයිවට් රයන්’ චිත්‍රපටයේ ෂොට් එකක් ‘මාතා’ චිත්‍රපටයට ඊට සමානව යොදා ගෙන තියෙනවා. එහෙම දේවල් වුණේ ස්පීල්බර්ග්ට මගේ තිබෙන ගෞරවය නිසයි.

‘මාතා’ රූගත කරද්දී ඔබ ඇතුළු ඔබේ නඩයට ඉමහත් දුෂ්කරතාවලට මුහුණ දෙන්නට සිදු වුණා?

ඔව් ඒවා සාමාන්‍ය දේවල් විදියටයි මම දකින්නේ. විශේෂයි තමයි හැබැයි සාමාන්‍යයයි. මේකත් මම මතක් කළ යුතුමයි. මම අමෙරිකාවේ සිනමාව හදාරන්න යන කොට මාව දිරිමත් කළ දෙදෙනෙක් ඉන්නවා. ඒ තමයි ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයත්, ආචාර්ය ඩී. බී. නිහාල්සිංහ මහත්මයාත්. නිහාල්සිංහ මහත්මයා මගෙන් ඇහුවා ‘පොඩි බුද්ධි ඔයාට සිනමාව හදාරන්නම ඕනෑද කියලා.

මම කිව්වා ‘ඔව්’ කියලා. ‘චිත්‍රපටයක් කරනවා කියන්නේ හරියට යුද්ධයක් කරනවා වගේ දෙයක්. වෙනසකට තියෙන්නේ ඇත්තටම යුද්ධයක් කරපුවාම සොල්දාදුවෝ ගෙදර එන්නේ නැහැ. ඒත් සිනමාවේ සොල්දාදුවෝ ගෙදර එනවා’ කියලා නිහාල්සිංහයන් එදා මට අපූරු පාඩමක් කියලා දුන්නා.

ඇත්තටම මෙවැනි චිත්‍රපටයක් කරද්දී ඔබට එය යුද්ධයක් වගේ කියා සිතෙන්නට ඇති?

මේ රූගත කිරීම් බොහොමයක් රූගත කළේ යුද බිමේ සහ යුද්ධය පැවැති ප්‍රදේශවල. සැබෑ රණවිරුවන් සෑහෙන ප්‍රමාණයක් මේ චිත්‍රපටයට දායක වුණා.

ඒ අතරේ යුද හමුදාවේ ඉතා ඉහළ පුහුණුවක් ලැබූ එස්. එෆ්. එකේ අයත් සිටියා. සෙකන්ඩ්, තර්ඩ් ටේක්ස් යන කොට මේ අය ඇවිත් මට කියනවා ‘බූඩි අයියේ යුද්දෙ නම් ලේසියි, මේක ඊට වඩා අමාරුයි’ කියලා. එක පැත්තකින් විදුලිය නෑ, එතකොට වතුර ප්‍රශ්න. හිටියේ බොහොම දුර. මොබයිල් ෆෝන්වලට සිග්නල් නැහැ. ඒ වගේ හේතු නිසා මේකෙ දුෂ්කරත්වය තවත් වැඩි වුණා. මේජර් රාමනායක මේ යුද්ධය රූගත කරන්න අපට විශාල දායකත්වයක් ලබා දුන්නා.

අපි මේකට විශේෂයෙන් ගත්තේ යුද්දේ කරලා පුරුදු අය. මොකද මට මේකෙ පෙන්නන්න ඕනෑ කරලා තිබුණාකොහොමද ඇත්ත යුද්දෙ සිද්ධ වුණේ කියලා ලංකාව ඇතුළේ.

සැබෑ යුද්ධයේ රූප රාමු ඔබ මේ චිත්‍රපයට භාවිත කර තිබෙනවාද?

නැහැ, කිසිසේත්ම නැහැ. සියයට සියයක්ම අප විසින් රූගත කළ දර්ශනයි මෙහි තියෙන්නේ. ඒ දර්ශන සැබෑ යුද බිමේදී අප රූගත කළ නිසා ඇතැම් විට කෙනෙකුªට එසේ සිතෙනවා ඇති.

‘මාතා’ ඩොකියුමෙන්ට්රි ටයිප් චිත්‍රපටයක් කියා කියන අයත් ඉන්නවා?

ඒක ඒ අයට හැඟෙන විදිහ වෙන්නැති.විශේෂයෙන්ම මේ යුද්ධය සිදු වෙන කොට මේ රටේ මාධ්‍ය ගොඩක් කිට්ටුවෙන් හිටියා. ඉතින් ඒ අයට හිතෙනවා ඇයි අපි දැක්ක දේමනේ මේ තියෙන්නේ කියලා. ඔව් ඉතින් එයාලා දැක්ක දේ තමයි මේ තියෙන්නේ. දැන් ඔතන ගිහිල්ලා ඒවා හැබැහින් නො දැකපු කෙනෙකු මේ චිත්‍රපටය ඩොකියුමෙන්ට්රි එකක් කියයි කියලා මම හිතන්නෙ නැහැ. සැබෑ සිද්ධීන් ගොනු කරගෙන හදන චිත්‍රපටවල ඔය ස්වභාවය තියෙනවා.

මේ චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය නරඹන්නට විශේෂ ආරාධිතයකු ලෙස ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් පැමිණ සිටියා. චිත්‍රපටය නරඹා එතුමා ඔබට මොනවද කිව්වේ?

එතුමා ඉංග්‍රීසි බසින් ‘මාතා’ චිත්‍රපටය පිළිබඳ යම් අදහසක් පළ කර තිබුණා. ඒක දැන් එඥඡ එකෙත් තියෙනවා. එහි සිංහල අරුත ගත්තොත් මෙහෙමයි.

‘මාතා’ ඉස්තරම් සිනමා කෘතියක් බව ප්‍රකාශ කිරීමට මට ඇති හේතු සාධක කිහිපයකි.

යුද්ධයේ කුරිරු බව සහ බිහිසුණු බව යථාර්ථවාදී ලෙස නිර්මාණය කිරීමටත් එම දර්ශන අතිශය සංවේදී අයුරින් නිරූපණය කිරීමටත් අධ්‍යක්ෂවරයා සමත් වෙයි. භෞතික අත්දැකීම් සංවේදී ලෙස නිරූපණය කර තිබෙන අයුරු ප්‍රශංසනීයයි.

බිහිසුණු යුද දර්ශන ගැඹුරු ලෙස හසු කර ගැනීමට කැමරා ශිල්පියා සමත්ව ඇත. මේ ගුණාංග සියල්ල සලකා බැලූ විට බූඩි කීර්තිසේන ලංකාවේ සිටින විශිෂ්ටතම අධ්‍යක්ෂවරුන් අතරට එක් කිරීමට මේ සිනමා නිර්මාණය සමත් වී ඇති අතර එය ශ්‍රී ලාංකේය සිනමා වංශ කතාවේ වැදගත් මං සලකුණක් බවට නිතැතින්ම පත්වනු ඇත.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව