වර්ෂ 2018 ක්වූ  ජූනි 28 වැනිදා බ්‍රහස්පතින්දා




සරත්ගෙන් S H FIFTY

සරත්ගෙන් S H FIFTY

මීට වසර තිස් පහකට කලින් ලක්ෂයක් කියන්නේ අද කෝටියකටත් වඩා වටින මුදලක්. ඒ යුගයේ ලොකුම ධනවතුන් හැඳීන්වුණේත් ලක්ෂපතියන් හැටියට. ඒ වකවානුවේ නැත්නම්, 1983 වසරේ අපේ රටේ චිත්‍ර කලාව ගැන අමුතුම ආකල්පයක්, විශේෂ අවධානයක් ඇති කරන්න ඒක පුද්ගල ප්‍රදර්ශනයක තිබූ එක් චිත්‍රයක් සමත්වුණා. හේතුව ඒ චිත්‍රය 'රුපියල් ලක්ෂයකට' අලෙවි වීම. චිත්‍රයේ නම 'රබර් ගහ'. ශිල්පියා එස් එච් සරත්. සහජයෙන් ගෙනා හැකියාව ශිල්පයක් ලෙස ප්‍රගුණ කර වසර පහළොවක් පිරෙන මොහොතේ තමයි ඔහු ඒ වාර්තාව තැබීමට සමත් වුණේ. එවන් වූ එස් එච් සරත්ගේ කලා දිවියට අඩසියවසක් සපිරෙන මේ වසරේ සිය ගමන් මඟ දෙස ආපසු හැරී බලන ඔහු, සුවිශේෂ මතක සැමරුම් පෙළක් 'සරසවිය' වෙනුවෙන් මෙසේ අවදි කළා.

මගේ තාත්තා මිරිස්සේ, බණ්ඩරමුල්ලේ සෙල්ල හැන්දිගේ ගුණපාල. අම්මා කඹුරුගමුවේ තල් අරඹේ දාර්ලිනා සුදිරික්කු ජයවික්‍රම. මම සෙල්ල හැන්දිගේ සරත්. එස් එච් සරත්. මම මූලික අධ්‍යාපනය ලැබුවේ වැලිගම සිද්ධාර්ථ සහ ශ්‍රී සුමංගල පාසල්වල. 1967 'බෞද්ධ හැඟුම් පිළිබඳ චිත්‍ර ප්‍රදර්ශනය' කියලා තරගයක් වගේ එකක් සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයෙන් පැවැත්වුවා. මමත් එකක් ඇන්දා අංගුලිමාල කියලා. අවුරුදු 14න් පහළ ශිෂ්‍යයන්ගේ අංශයේ ජයග්‍රාහකයා කියලා මගේ චිත්‍රය 'දිනමිණ' පත්තරේ පළ වෙලා තිබුණා. ඒක මගේ ජීවිතේ ලොකු අරමුණක් ඇති කරන්න සමත් වුණා. (ඔහු ඡායා පිටපත් කළ දිනමිණ පිටුව අපට පෙන්වූයේ ප්‍රබෝධවත් සිනාවකින් මුව සරසාගෙනයි.)

1968 වෙද්දි අංක ගණිතය සමත් නිසා මට රජයේ කලා ශිල්ප විද්‍යාලයට (හේවුඩ්- අද කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය) ඇතුළු වෙලා මම අවුරුදු පහක් චිත්‍ර ශිල්පය හදාරන්න අවස්ථාව ලැබුණා. මහගමසේකර, ස්ටැන්ලි අබේසිංහ වගේ අයට අමතරව මගේ ජීවිතේ කවදාවත් අමතක නොවන පුද්ගලයින් දෙදෙනකු හමුවන්නේ එහිදීයි. ඒ තිස්ස රණසිංහ ගුරුතුමා සහ මගේ මිතුරු හෙන්රි නිව්ටන් පෙරේරා. එදා පැවතුණු ආයතනික ප්‍රශ්න නිසා රණසිංහ මහත්මයා රට අතෑරලා එංගලන්තේ ගියා. ඒ යන දවසේ 1972 ඔහු ලයනල් වෙන්ඩ්ට් ආයතනයට දින 3ක චිත්‍ර ප්‍රදර්ශනයක් සඳහා මුදල් බැඳලා ගිහින් තිබුණා. ඒ මටයි, හෙන්රිටයි චිත්‍ර ප්‍රදර්ශනයක් තියන්න කියලා. ඒක විශාල කඩඉමක්.

චිත්‍ර වගේම මූර්ති කලාවත් කළ නිසා එහෙන් මෙහෙන් කාසි පනම් ටිකකුත් අතේ ගැවසෙන්නත් ගත්තාම, ඊට අවුරුදු දෙකකට පස්සේ මට පුළුවන් වුණා මගේ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වන්න. එය විවෘත කළේ හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහත්මයා. ඒ නිසා මට ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් වන සුමනා සපරමාදු, රූපා සපරමාදු, එස් කේ වික්‍රමසිංහ වගේ අයත් සමඟ බොහොම සමීප ඇසුරක් ඇති වුණා. මගේ ඊළඟ කටයුතුවලට පුවත්පත්වලින් සහයෝගයක් ලැබෙන්න එයත් එක හේතුවක්.

මගේ ජීවිතේ 1979 -80 වසර එකහමාරක් මම ගෙව්වේ තායිලන්තයේ බැංකොක් නුවර සිල්පකෝන් විශ්වවිද්‍යාලයේ මේ විෂය හදාරමින්. ලංකාවට ආ පසු මට ලංකා චිත්‍රකලා සංගමේ උපසභාපති ධුරය ලැබුණා. ඒ එක්කම කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනික පීඨයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කරන්න වුණා. අසූතුනේ ඉඳන් 94 වනතුරුම මම සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ චිත්‍රකලා කවුන්සිලයේ සමීක්ෂණ මණ්ඩල සාමාජිකයකු හැටියට කටයුතු කළා.

ඒ අතර කාලෙදිත් මට ස්වාධීන රූපවාහිනියේ කලා අංශයේ උපදේශකවරයා හැටියට වගේම පසුතල නිර්මාණකරු විදිහටත්, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ චිත්‍රකලාව පිළිබඳ ව්‍යාපෘති නිලධාරී හැටියටත් වැඩකටයුතු රාශියක් කරන්න අවස්ථාව ලැබුණා. 93 විතර වෙද්දි නොර්වේ රාජ්‍යයේ ඔස්ලෝ අගනුවර අන්තර්ජාතික ළමා චිත්‍ර කෞතුකාගාරයේ ආරාධිතයකු ලෙසත් කටයුතු කළා. 95දි ඇඩිලේඩ්වල දකුණු ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා අංශයේ වසර එකහමාරක් පමණ චිත්‍ර කලාව හදාරන්න අවස්ථාව ලැබුණා.

ඔය ඔක්කොම අතර 80 දශකයේ ඉඳන් පෙම්බර මධු, ඉන්දුට මල් මිටක්, චූඩාමාණික්‍යය, සතිපූජා, සාරා වගේ චිත්‍රපටවල කලා අධ්‍යක්ෂණය කරන්නත් වේලාව සොයා ගත්තා. අසූව මුල භාගේ බෙකට්, සුබ සහ යස, තුරඟ සන්නිය, කාලගෝල නාඩගම, අසාත මන්තරේ, සිහින සාප්පුව වගේ වේදිකා නාට්‍යවලත් වේදිකා සැරසිලි වගේම වේශ නිරූපණය කරන්න අවස්ථාව ලැබුණා. ඒත් 1983 මම විවාහ වුණාම හේතු දෙකක් මත ඒ කටයුතුවලින් ඈත් වුණා. එකක් මගේ බිරිඳත් රැකියාවක නිරතවන කෙනෙක්. දරුමල්ලන් ලැබුණාම ඇයට සහාය වෙන්න කාලය සොයාගන්න ඕනා. ඒ නිසා රාත්‍රී ගමන් බිමන්, දින ගණන් පසුතලවල රැඳීම් අතහැරලා දරුවන් වෙනුවෙන් ඒ වෙලාව කැප කරන්න හිතුවා. ඊළඟට... ( ඔහු සිනාසී කල්පනා කරමින් කීවේ) වේශ නිරූපණය කරද්දී බොහෝ නිළියන්ගේ මුහුණු අතගාන්න වෙනවනේ... ඊට පස්සේ ඇවිත් මගේ නෝනගේ මූණ හදිස්සියකටවත් අතගාන්න බැරි වෙනවා... මට ඕනෑ වුණේ කලා ජීවිතේ වගේම මගේ පවුල් ජීවිතෙත් යහපත් විදිහට සමබරව ගෙනයන්නයි.

(සිය වෘත්තීය හා අධ්‍යාපනික කඩඉම් කීපයක් එසේ මතකයට නැංවූ පසු ඔහු රටේ පාසල් සිසුන්ගේ චිත්‍රකලා කටයුතු වෙනුවෙන් යොමු වූ අවස්ථා කීපයක්ද සිහි කළේ මෙලෙසයි.)

මහාචාර්ය සුනිල් ආරියරත්න සමඟ කවිතා වැඩසටහන කරන්න ලැබීම මට විශාල ආස්වාදයක් ගෙනාවා. ඒ වගේම පුස්තකාල සේවා හා ප්‍රලේඛන මධ්‍යස්ථානයේ මහල් පුරා දිවෙන සොබා දහමේ අපූරුව සිසුසිසුවියන් 68ක් සහ ගුරුවර ගුරුවරියන් 13දෙනකු සහභාගී කරවාගෙන නිර්මාණය කිරීමට ලැබීමත් අන් දේවල් අතර මට සුවිශේෂී මතකයන් රැඳෙව්වා. මොකද අපි ඇත්තෙන්ම හුරු වී තිබෙන්නේ සාමූහිකව වැඩ කරන්න. දැන් කාලේ බොහෝ දෙනා තනි වෙලා. තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න තමයි හිතන්නේ. ඉස්සර ලයනල් වෙන්ඩ්ට්, සුදර්ශිය වගේ තැන්වල කලා කරුවන් හවසට එකතුවෙනවා. මද පමණින් රහ මෙර රසත් බලනවා තමයි. ඒත් ඒ නිසා අදහස් හුවමාරු වෙනවා. නිර්මාණවල ගුණ දොස් විචාරයට අවස්ථාවක් තිබෙනවා. සාමූහිකත්වය, රසිකත්වය, මිත්‍රත්වය, අලුත් දැනහැඳුණුම්වලට අවස්ථාවක් ලැබුණා. මිනිසුන් අද වගේ තනිවුණේ නෑ. ප්‍රශ්න දරාගන්න කලාව උදව්වුණා. දැන් ඒ සියල්ල වෙනස් වෙලා. අද කලා රසාස්වාදයට වඩා සමහරුන්ට වටින්නේ ඉඩම් රසාස්වාදය.

එදා චෛත්‍ය, පල්ලි, දේවාල තමයි උස් ගොඩනැඟිලි වුණේ. අද ඊට වඩා අහස උසට නැඟුණු මැදුරු නිසා මේ රටේ භූමි දර්ශනය නැත්නම් ලෑන්ඩ්ස්කේප් එක වෙනස් වෙලා. වැරැදි ක්‍රියාවක් කළොත් මාධ්‍ය මඟින් වැඩි ප්‍රචාරයක් ලබා ගන්න පුළුවන්.

මිහිඳු හිමියන් ලංකාවට වැඩම කරලා පන්සල්වල කලාගාර බිහි කරන්න මඟ පෑදුවා. සීගිරි කාශ්‍යප අඩ නිරුවත් කාන්තා රූප බලා ගෙන බිතුසිතුවම් ඇඳීමේ අධ්‍යයන මට්ටමට එය දියුණු කළා. කන්නන්ගර මහත්තයා නිදහස් අධ්‍යාපනය මඟින් සෞන්දර්ය කලාව හදාරන සාමාන්‍ය දරුවන්ට කොළඹට එන්න අවස්ථාව හදලා දුන්නා. ඒ නිසා වර්තමානයේ බහුතරයක් දේශපාලනඥයින්ගෙන් මම ඉල්ලන්නේ අඩුම ගානේ නාට්‍යයක්, චිත්‍රපටයක්, චිත්‍ර ප්‍රදර්ශනයක් නරඹන්න. ශ්‍රමදානයකට ආරාධනා නෑ. ඒ වගේ මගේ චිත්‍ර ප්‍රදර්ශනයටත් පවතින තත්ත්වය යටතේ ආරාධනා යවන්න බැරි වෙයි. ඒත් එන්න. නරඹන්න. සිංහයා කරඬුව අරන් යද්දි අලියා මුතුකුඩය අල්ලද්දී අනෙක් නයි මුගටි, මීයන් සහබළලුන් පෙරහැරේ ගියොත් විතරයි අපේ රටේ සැබෑ ගමනක් ඇති වන්නේ. එදා අපේ ආප්පවලට බිත්තර දැම්මේ නෑ. හැබැයි කේක්වලට බිත්තර මුහු කරනවා. ඒ නිසා ටවුමේ බිත්තර ආප්ප ඇති වුණා. දැන් කිකිළි කල්පනා කරනවා කොහොමද කැවුමට බිත්තරයක් දාලා බිත්තර කැවුම් හදන්නේ කියලා. මේක තමයි අපේ සංස්කෘතියට වන දේ. ඉතින් මගේ ඒ සිතිවිලි මම චිත්‍රයට නැඟුවා. ඒකට  SH FIFTY කියලා නම තිබ්බේ මගේ වසර පනහක ගමනක මතක සටහන්වලට ප්‍රදර්ශනයේ නමෙනුත් පුංචි ගැම්මක් ඇති කරන්න හිතාගෙන. ජූලි 2වැනිදා සිට 5වැනිදා දක්වා කොළඹ 07 හෝටන් පෙදෙසේ අංක 46 දරනතැන ජේ ඒ ඩී පෙරේරා කලාගාරයේ මගේ ප්‍රදර්ශනය පැවැත්වෙනවා. එයට පැරැණි පුවත්පත්, සඟරා ආදියත් ඇතුළත්.

(ඔහු කතාව අවසන් කළේ අපූරු මතකයක් සටහන් කරමින්.)

මම දවසක් විශ්වවිද්‍යාලයේ දේශනයකට ගියා. චිත්‍ර හදාරන ළමයින් වෙනුවෙන් කළ එය අවසානයේ ළමයෙක් ඇවිත් මගෙන් ඇහුවා ඔබතුමාගේ නම මොකක්ද කියලා. එහෙම ඒ දරුවා අහන්න හේතුව විෂය නිර්දේශවලින් මගේ නම වගේම බොහෝ නම් කපා හැර තිබීම බව මම දන්නවා. ඉතින් මම කීවා මම එස් එච් පෙරේරා. ඔබට එස් එච් කීවාට මතක හිටින එකක් නැති වෙයි. ඒ නිසා ස්වීට් හාට් කියලා මතක තියාගන්නකෝ...