වර්ෂ 2018 ක්වූ  ජූනි 28 වැනිදා බ්‍රහස්පතින්දා




ඇයි නුඹ යන්නම යන්න හදන්නේ

ඇයි නුඹ යන්නම යන්න හදන්නේ

- ගායන ශිල්පිනි මංගලා ගුණරත්න

කෝඩුකාර ප්‍රේමය සුන්දරය. එලෙසම කෙළිලොල්ය. දඟකාරය. ජීවිතයේ හය හතර හරිහැටි නොදැනී වුවද තුරුණු සිත් තුළ ජනිතවන ආදරය එක් අතකින් පුදුමාකාරය. වින්දනීයය. බලන බැල්මෙන්, මුවගට නැගෙන සිහින් සිනහවකින් තම සිත වසඟ කරගත් අය ගිලිහෙන්නට නොදී ඇද බැඳ තබා ගැනීමේ තන්හාබරිත මුරණ්ඩුව ඒ ප්‍රේමණීය සන්තානයන් හි ලියලන්නේද සුන්දර ප්‍රේමයට සමාන්තරවය. එවන් ප්‍රේමයක් ගිලිහෙන්නට යන විටෙක එකිනෙකාට දැනෙන හැඟීම් වචනයට පෙරළුම අවස්ථාවට උකටලී වුවද, පසු කාලීනව බොහෝ සුන්දර නිර්මාණයන්ට එකී අවස්ථාව ප්‍රස්තූත සම්පාදනය කරයි.

එවන් අවස්ථාවක් පිළිබඳ කියැවෙන මියුරු ගීතයක් මේ දිනවල සමාජ වෙබ් අඩවි මෙන්ම ගුවන්විදුලි නාලිකා ඔස්සේ අප දෙසවනට නිරතුරුව ළඟා වෙයි.

පෙර දින බැඳි පෙම නොවැ ගිලිහෙන්නේ
නැතිවද හිත තව ඉන්නට දෙන්නේ
නොඉඳුල් ප්‍රේමය කෙලෙසද බිඳුණේ
ඇයි නුඹ යන්නම යන්න හදන්නේ

සුරංග ඉරෝෂන් අතින් ලියවුණු මනරම් ගේය පද, අනුරාධ අබයසිංහ ගේ සුමියුරු සංගීතය හා මුසුව ළයාන්විතව ඔබට ගයන ඇය නමින් මංගලා ගුණරත්නයි.

මංගලා පසුගිය දිනෙක සරසවියට පැමිණි මොහොතේ ඇයගේ ගීත පිළිබඳ අප සමඟ කතාබහ වුණේ මෙපරිද්දෙනි.

"ඇයි නුඹ යන්නම යන්න හදන්නේ."

ඒ මගේ අලුත්ම ගීතය. "පෙරදින බැඳි පෙම" ලෙස ගීතය නම් කළත් එය ජනප්‍රිය වුණේ මේ විදිහටයි.

ඔබ වෘත්තිය ගායන ශිල්පිනයක්?

මම රාජ්‍ය ආයතනයක අධ්‍යක්ෂිකාවක් ලෙස සේවය කරන අතරතුරයි ගායනයේ නියැළේ.

ගායිකාවක් ලෙස ඔබේ ආරම්භය පාසලයි?

ඔව්. මම අධ්‍යාපනය ලැබුවේ කුරුණෑගල ලක්දාස් මහා විද්‍යාලයෙන්. උසස් පෙළ සංගීත විෂය ධාරාව තමයි හැදෑරුවෙ. එහිදී දිවයිනෙන් තෙවන ස්ථානය ලබාගෙන විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමේ භාග්‍යය මට උදාවුණා.

ඒ සඳහා ගෙදර පසුබිමත් බලපාන්නට ඇති?

මගේ පියා වගේම මාමලා සංගීතයට සම්බන්ධයි. ඒ වගේම මගේ සොහොයුරාත් මේ වනවිට ක්ෂේත්‍රයේ නියැළෙන කෙනෙක්.

අනතුරුවත් ඔබ සංගීතය හැදෑරුවා?

විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදනය පිළිබඳ උපාධිය හදාරන අතරම භාත්ඛණ්ඩේ සංගීතය පිළිබඳ ඩිප්ලෝමාවත් හැදෑරුවා.

ඔබ මේ වනවිට ගුවන්විදුලි ශිල්පිනියක්?

ඔව්. මම ගුවන්විදුලියේ සරල ගී ගායන ශිල්පිනියක්. ස්වදේශීය සේවය, මහනුවර සේවය යන ගුවන්විදුලි සේවා සදහාත් මම ගීත කීපයක්ම ගායනා කළා.

අතරමග දී ඔබ නිහඬ වෙනවා?

උපාධියෙන් අනතුරුව සහකාර අධ්‍යක්ෂවරියක් ලෙස මම ක්‍රම සම්පාදන සේවය සඳහා එක්වෙනවා. එහිදී රාජකාරි තත්ත්වයන් මත මම මදක් ගායනයෙන් ඈත්වෙනවා. ඒ අතරවාරයේ දී ම තමයි පශ්චාත් උපාධියක් සඳහා මට විදෙස්ගතවන්නට සිදුවන්නෙත්.

ඉන් අනතුරුව ඔබ නැවත ගායනයට යොමුවෙනවා?

ඔව්. උපාධියෙන් පසුව මම පටිගත කළ සංගීතයට ගීත කීපයක් ගායනා කර සමාජ වෙබ් අඩවි සඳහා මුදාහැරියා. ඒ ගීතවලට ඉහළ ප්‍රතිචාරයක් ලැබුණා. විශේෂයෙන්ම මගේ මිතුරු මිතුරියන්ගෙන්. ඔවුන්ගේ දිරිගැන්වීම් හරහා නැවතත් මම ගායනයට යොමුවුණා.

චිත්‍රපට පසුබිම් ගායනයටත් ඔබ පිවිසෙනවා?

ඔව්. ජයසේකර අපොන්සුගේ සිනමා නිර්මාණයක් සඳහා ජගත් වික්‍රමසිංහ ගේ සංගීතයට, රවි මාස්කෝරාළ සමඟ මම යුග ගීතයක් ගායනා කරනවා.

සංගීත ගමනට ගෙදරින් ලැබෙන සහයෝගය ගැන කියනවා නම්?

මගේ සැමියා චතුර රදම්පොළ මගේ ගමනට නොමද සහයෝගයක් නිරතුරුව ලබා දෙනවා.

ප්‍රසංග සඳහා ඔබගේ දායකත්වය කුමන ආකාරද?

ප්‍රසංග සදහා ලැබෙන ආරාධනා කිසිසේත් ප්‍රතික්ෂේප කරන්නෙ නෑ. මගේ වෘත්තිය ගරුත්වය රැකෙන අයුරින් මම ඒ සඳහා සහභාගි වෙනවා.

ක්ෂේත්‍රයේ ඉදිරි ගමන පිළිබඳ ඔබටත් බලාපොරොත්තුවක් ඇති?

අනිවාර්යයෙන්ම. උසස්, සුමියුරු මෙන්ම වින්දනීය ගුණාත්මක නිර්මාණ සහිතව සංයුක්ත තැටියක් එළි දක්වන්නට මෙන්ම මගේම ගී ප්‍රසංගයක් පවත්වන්නටත් සිහිනයක් මා තුළ පවතිනවා.

මංගලා ගුණරත්න සංගීතය පිළිබඳ දැනුමෙන් සන්නද්ධව මෙන්ම නිසඟ හැකියාවෙන් පරිපූර්ණව ක්ෂේත්‍රයේ ස්ථාවරව ඉදිරියට යෑමට පෙරුම් පුරන ගායන ශිල්පිනියකි. සුභාවිත ගීතයේ ගැඹුරු තැනක සිට ළයාන්විතව හා වඩාත් මිහිරිව ඔබ හදවතට දැනෙන්නට ගයන්නට ඇයට හැකියාව ඇත්තියකි. සුවහසක් ශ්‍රාවක සිත් ග්‍රහණය කර ගනිමින් නුදුරු දිනකදීම සිය ගායනා ද සමඟින් ඇය ඔබට තවත් ළංවනු ඇත.