වර්ෂ 2018 ක්වූ  ජූනි 28 වැනිදා බ්‍රහස්පතින්දා




රයිගමයයි ගම්පළයයි ළමයින්ට පමණයි

රයිගමයයි ගම්පළයයි ළමයින්ට පමණයි

හරේන් නාගොඩවිතාන

රයිගමයයි ගම්පලයයි යනු මනඞකල්පිත චරිත යුවළකි. ඇතැම් විිට ඔවුන් සැබවින්ම සිටියාදැයි දන්නේ නැත. එහෙත් නිශ්චිත වශයෙන් ඔප්පු කරගන්නට නොහැකි හෙයින් ඔවුන් පුරා වෘත්තයක් පමණක් වී තිබේ. රයිගමයා සහ ගම්පළයව නොදන්නා කෙනෙකු සොයා ගැනිමට උගහටය. ඒ තරමටම ඔවුන් ජනප්‍රියය. සටකපටකමින් ජීවත් වන ඒ සටපටකම නිසාම මෝඩයින් බවට පත් වන උදවියව සමාන කරන්නේ රයිගමයයි සහ ගම්පළයාටයි. මේ දිනවල රයිගමයා සහ ගම්පළයා ගැන වඩාත් වැඩිපුර කතාබහ කරන්නේ ඒ නාමයන්ගෙන් සමන්විත චිත්‍රපටයක් නිසාවෙනි. ලලිත් ප්‍රේමතිලක නමැති අධ්‍යක්ෂවරයකු එය නිර්මාණය කොට තිබේ. රයිගමයයි ගම්පළයයි හරේන් නගොඩවිතානගේ නිෂ්පාදනයකි. අපි ඔහු සමඟ සංවාදයක යෙදුනෙමු. මේ එහි සංෂිප්ත සටහනයි. හරේන් සුප්‍රකට චිත්‍රපට නිෂ්පාදක තිස්ස නාගොඩවිතානගේ පුත්‍රයෙකි.

හරේන්, ඕනෑම කතාවකට ආරම්භයක් තිබෙනවා. මං විමසන්නේ රයිගමයයි ගම්පළයයි සිනමාපටයේ ආරම්භය ගැන?

චිත්‍රපටයක් කරන්න ඕනැ කියලා හිතාගෙන ඉන්න කාලෙක එක්තරා අධ්‍යක්ෂවරයෙක් මාව හමුවන්න එනවා. ඔහු තමයි ලලිත්. පිටපත රැගෙන ඔහු ඇවිත් මේ චිත්‍රපටය ගැන කතා කළා. ළමයින්වයි ඉලක්කගතව තිබුණේ. ඒ වගේම මං පිටපතහි ශෛලියට ආසා කළා. ජනකතා එහෙම ඇතුළත් කරලා බොහොම ලස්සනට එය සකස් කරලා තිබුණා. ඉතින් අපි ඒ විශ්වාසයට චිත්‍රපටයට අත ගැහැව්වා.

ලලිත් පේ‍්‍රමතිලක කියන්නේ සිනමාවට අලුත් කෙනෙක්. එවන් වූ අයකු කොහොමද ඔබ එක සැරයටම විශ්වාස කළේ?

විශ්වාස කරන්න කරුණු කාරණා තිබුණනේ. මේකෙ ගීතත් ලලිත් විසින්මයි ලියලා තිබුණේ. ඒකත් ආකර්ෂණීයයි. එතැනින් එහාට හිතන්න දේවල් තිබුණේ නැහැ.

අද වන විට චිත්‍රපටයේ තත්ත්වය කෙබඳුද? මං ඇහැව්වෙ සැලකිය යුතු ප්‍රේක්ෂකයෝ ප්‍රමාණයක් චිත්‍රපටය නැරැඹුවාද කියන කාරණය?

ඒකට මට කියන්න පුළුවන් ඔව් කියන එක. අප ඉලක්ක කළේ ළමයින්ව. මේ වන විට ඒ අතින් අප ඉතාම සාර්ථකයි. චිත්‍රපටයට ප්‍රේක්ෂකයොත් ඉන්න නිසාම අපට තවත් චිත්‍රපට ශාලා නවයකුත් ලැබුණා. ඒවාවලත් දැන් චිත්‍රපටය තිරගත වෙනවා.

චිත්‍රපටය නැරැඹූ ඇතැම් දෙනා කියනවා මෙහි කතාව ඇතැම් තැන්වලදී හරිම උදාසීනයි කියලා. ඒ ගැන මොකද කියන්න තියෙන්නේ?

අපි මේක හැදුවේ පොඩි ළමයින්ට. මගේ ඥාතීන් වෙන ළමයි කිහිප දෙනෙක් මේ චිත්‍රපටය බලලා සතුටින් ඉපිලුණා. ඔවුන් හිනහ වෙවී තමයි චිත්‍රපටය නැරැඹුවේ. මෙතෙන්දි මං මෙහෙම දෙයක් කියන්න කැමැතියි. ළමයි එහෙම සතුටින් චිත්‍රපටය නැරැඹුවාට වැඩිහිටියන්ට එහෙම නැතුව ඇති. ඇතැම් අවස්ථා වැඩිහිටියන්ට ගන්න දෙයක් නැහැ. ඒත් ළමයි මේකට ප්‍රියයි. ඒකයි අපේ ජයග්‍රහණය.

අද තියෙන තරගකාරීත්වය සමඟ බොහෝ දෙනකු හැල්මේ දුවනවා. ළමයිනුත් එහෙමයි. පාසල හැරුණාම ඔවුන්ගේ ජීවිතයේ වැඩි හරියක් ගෙවෙන්නේ ටියුෂන් පංති තුළයි. මේ තත්ත්වය මත ඔවුන්ව රැගෙන මවුපියන් චිත්‍රපට ශාලාවලට එනවද?

ඔබේ ප්‍රශ්නය සාධාරණයි. බොහෝ ළමයි චිත්‍රපට ශාලාවන්වලට ආවා. නමුත් මං දන්නවා මේ චිත්‍රපටය නරඹන්න තවත් ළමයින් බොහෝ දෙනෙකු කැමැත්තෙන් ඇති. ඒත් ඔය ප්‍රශ්නය නිසා එන්නේ නැහැ. මං කියන්නේ එන්න, ඇවිත් චිත්‍රපටය නරඹලා පොඩි විවේකයක් ගන්න කියලයි. අපට මේ වන විට පාසල් දර්ශන සඳහා අවස්ථාවක් ලැබුණා. එමඟින් අපට තව තවත් ළමයින් මේ චිත්‍රපටයට සමීප කරන්න අවස්ථාව ලැබේවි.

චිත්‍රපටයට නළු නිළියන් තේරුවේ කවුද?

අධ්‍යක්ෂවරයා මුලදී රයිගමයාටයි ගම්පළයාටයි තෝරගෙන හිටියේ වෙනත් දෙදෙනෙක්. මමයි අනෙක් නිෂ්පාදිකා දිලිනියි අපි දෙන්නා එකතු වෙලා තමයි කුමාරවයි ගිරිරාජ්වයි තේරුවේ. අනෙක් ටිකත් කාස්ට් කළේ එහෙමයි.

පළමු නිෂ්පාදනයෙන් ඉගෙන ගත් පාඩම් මොනවාද?

චිත්‍රපටයක් කරන්න ලෙහෙසියි. පෙන්වන්න තමයි අමාරු. ඊටත් පස්සේ පබ්ලිසිටිය. මේ හරහා මා ඒ දේවල් පිළිබඳ හොඳට ඉගෙන ගත්තා.

චිත්‍රපටය රූපගත කිරිම් කරන කාලයේ වෙච්ච අමතක නොවන අත්දැකීම් මොනවාද?

මෙහි රූපගත කිරීම් තිබුණේ රිවස්ටන් ඇතුළු ප්‍රදේශවල. අප නතර වෙලා හිටපු ලොජ් එකේ උණු වතුර ගන්න විදිහක් තිබුණේ නැහැ. වතුරත් හරිම සීතලයිනේ. උදේ පාන්දර කට්ටිය ඇඟ එහෙම හෝදද්දී බුදු අම්මෝ ආදී වචන කිය කිය තමයි ඇඟ හේදුවේ. සමහරු කෑගගහා කියන වචන හරිම රසවත්, ඔය කුමාර අයියලා එහෙම.

ද අවසන් කොට මොනවද කියන්න තියෙන්නේ?

මම මේ වෙලාවේ ආරාධනා කරනවා විශේෂයෙන්ම ළමයින්ට මේ චිත්‍රපටය නරඹන්න එන්න කියලා. මොකද මේ හරහා ඉගෙන ගන්නත් දේවල් තියෙනවා. වැලලී ගිය ජනකතා ආදිය මෙහි අන්තර්ගතයි.