වර්ෂ 2018 ක්වූ  ජූනි 28 වැනිදා බ්‍රහස්පතින්දා




මොකක්ද තේජානිගෙන් විරාත් කෝලි ගැන අහන්නේ...

මොකක්ද තේජානිගෙන් විරාත් කෝලි ගැන අහන්නේ...

ඇගේ නම තේජානි විජේසිංහ. එහෙම නමින් බොහෝ විට ඔබ ඇයව හඳුනන්නේ නැතුව ඇති. එහෙත් ජාතික නාලිකාව හරහා තේජානි උදේ පාන්දරම ඔබ ආලින්දයට ගොඩ වෙනවා ඔබ නෙතට ඇතැම් විට හසු වී තිබෙන්නට පුළුවන. කෙසේ වෙතත් ඇගේ හඬ නම් කිසිසේත්ම ආගන්තුක වන්නේ නැහැ. එහෙම වෙන්නේ ඇය නිවේදන වෘත්තියට අමතරව හඬ කැවීමේද නියැළෙන නිසා. එමෙන්ම තේජානි තමයි සිටි ගුවන් විදුලියේ උදේ නමයේ සිට දහවල් දොළහ දක්වා යූ ටර්න් වැඩ සටහන මෙහෙය වන්නේ.

ඉතින් තේජානි, බොහොම කාර්යබහුලයි වගේ ජීවිතේ?

ඇත්තටම ඔව්. උදේ පාන්දර හතරෙ ඉඳලා රාත්‍රී එකොළහ දක්වා මං වැඩ කරනවා. එනවුසිං ඩබිං වැඩ කෝටියයි.

මහන්සි නැද්ද ඔච්චරටම වැඩ කරලා. ජීවිතේට විවේකයක් අවශ්‍ය නැද්ද?

විවේකයක් අවශ්‍ය නම් අවශ්‍ය වෙලාවට මං එහෙම ටයිම් එකක් හදා ගන්නවා. මට ඇත්තටම විවේකය අවශ්‍ය මගේ අම්මව බලන්න යන්න පමණයි. වෙන මොකටවත් ඕන නැහැ.

මේ දවස්වල ඔබේ හඬ කැවීම් සහ නිවේදන කටයුතු ගැන සඳහනක් කළොත්?

ජාතික රූපවාහිනියේ උදෑසන හයට මං මෙහෙයවනවා සිවු දෙස කියලා වැඩසටහනක්. ඊට අමතරව ස්පෝර්ට්ස් වැඩසටහන් මෙහෙයවනවා. සිටි නාළිකාවේ යූටර්න්. හඬ කැවීම් නම් කිහිපයක්ම කරනවා. ධර්මාශෝක කවුරුවකි, කිරිල්ලියේ ෆාංෂං මෙයි, චන්දු නන්දිනි එකේ මං චරිත දෙකක් කළා. ඒ විශාකා සහ ධර්මා. මේ දවස්වල දෙරණ නාළිකාවේ විකාශය වෙනවා. නිල් කුරුමිට්ටෝ එකේ එකම එක කාන්තා චරිතය වුණු නිල්මිණිට හඬ කවන්නෙත් මම.

නිවේදිකාවක හැටියට ඔබ, ඔබ ගැන තෘප්තිමත්ද?

අනිවාර්යයෙන්. නමුත් මට දැනෙනවා තවම මම ඉගෙන ගන්න ඕන කියලා.

ඔබේ ටාර්ගට් එක කවද හරි හොඳ ක්‍රීඩා මාධ්‍යවේදිනියක් වීම කියලා ආරංචියි?

ඔව්. බොහෝ විට නිවේදිකාවක් ඒ පැත්තට යොමු වෙනවා හරි අඩුයි. ඒත් මම පොඩි කාලේ ඉඳලා ලොකු උනන්දුවකින් හිටියා ක්‍රීඩා සම්බන්ධව. ඒ ආසාව තමයි මාව ඒ පැත්තට යොමු කළේ. කවදා හරි ක්‍රීඩා මාධ්‍යවේදිනියක් විදිහට මං මගේ රටට අභිමානයක් ගෙන එනවා.

ඒ වගේම ඔබ ක්‍රීඩාවටත් දක්ෂයිලු?

මට ක්‍රිකට් වගේම පාපන්දුත් පුළුවන්. ගුවන් විදුලි ක්‍රිකට් කණ්ඩායමේ මං ඉන්නවා.

ඔබේ ඔය සුන්දර රුව නිසා ඔබට රංගනයට ආරාධනා නොලැබී තියෙන්නට බැහැ?

ඔබ කිව්වා වගේ රංගනයට නම් ආරාධනා එමටයි. ඒත් මං රඟපාන්න යන්නේ නැහැ. මොකද ඔය රඟපාන අය ඕන තරම් ඉන්නේ. මම මොකටද ඒ අස්සේ යන්නේ. මං මගේ වෘත්තීය කරගෙන පැත්තකට වෙලා ඉන්නවා.

තේජානි දන්න කියන කෙනෙක් මට කිව්වා ඔබ ඉන්දීය ක්‍රීඩක විරාට් කෝලිට හිතින් ආදරය කළා කියලා? (තේජානි මහ හඬින් සිනාසෙයි)

ආදරය කළේ නැහැ. මං ගොඩාක් ගොඩාක්ම ගොඩාක්ම ආස ක්‍රීඩකයා එයා. මේ බව දන්න මගේ යාළුවො මට විරාට්ගේ නම ඈඳලා විහිළු කරනවා. විරාජ් අනුෂ්කාව බැන්ද දවසේ මගේ සහෝදර නිවේදිකයෙක් ඔන් එයාර් කිව්වා 'ඔන්න දැන් විරාට් කෝලි තේජානිගේ නෙවෙයි අනුෂ්කාගේ ' කියලා.

විරාට් අනුෂ්කාව විවාහ කර ගත්තු දවසේ ඔබට ඇත්තටම දුක හිතුණද? (තේජානි එයට පිළිතුරු දුන්නේ හිනාවකින්).

ඔබේ කල වයසත් හරි. පෙම්වතෙක් හොයා ගත්තොත් නරකද?

අම්මා හොයලා දේවි. එතකම් ඉන්නවා.

තේජානිගේ රසිකයෝ ඔබට ආදරේ ප්‍රකාශ කරලා ඇති?

එහෙම විවාහ යෝජනා එනවා. නමුත් කාරුණිකව මං ප්‍රතික්ෂේප කරනවා.

ඔබ කාර්යබහුලනිසා ද විවාහය කල් දාන්නේ?

නැහැ. කොතරම් කාර්යබහුල වුණත් විවාහ වුණායින් පසුව මං ඒ ජීවිතය වෙනුවෙන් තමයි කැප වෙන්නේ. ඒකේ වචන දෙකක් නැහැ. මගේ වෘත්තීය හරියට තේරුම් ගත්තු කෙනෙක් එක්ක තමයි මං විවාහ වෙනවා නම් විවාහ වෙන්නේ. මගේ අරමුණු ජයගන්න ඔහුගේ සහාය අවශ්‍යයි.

රුව ගැන ඔබ මොන වගේ සැලකිල්ලක් ද දක්වන්නේ?

ඇත්තටම මම රුව ගැන ලොකු සැලකිල්ලක් දක්වන කෙනෙක් නෙවෙයි. එදා සිට අද දක්වා එකම එක කරාබු ජෝඩුවයි මං දාන්නේ. හැබැයි මං තැනට අවශ්‍ය විදිහයට විලාසිතා කරනවා.