|
31 ක් වසරකට පසු රමණීගේ මතකය ගැන මව කියන කතාව
‘අවුරුදු 31 කට පසුව රමණී ගැන සරසවිය පුවත්පතට කතා කරන්නට ලැබීම සතුටක්රමණිගේ මරණය අදටත් ලොකු හිස් තැනක් අපේ ජීවිතවල ඉතිරි කර තිබෙනවා. ඇයගේ මරණය කොහොම වුණා ද කියලා අපි ඇස් දෙකෙන් දැක්කේ නැහැ. ඒ ගැන දැක්කේ කමල් විතරයි.
කමල් අද අපේ පවුලේ හිතවතෙක් වගේ අපිට උදව් කරනවා. එයාගේ අම්මට වගේම මටත් සලකනවා
ඒ අඳුරු මූසල රාත්‍රිය උදා නොවන්නට ඇය තවමත් අප අතර ජීවත්වනවාට සැක නැත. හිසට සිදු වූ දරුණු තුවාල හේතුවෙන් ඇය රෝහල් ගත කෙරිණි. ශල්‍යකර්මයකට ලක්ව සිටිත්දී ඇය මෙලොවින් සදහටම සමුගෙන මේ වන විට තිස් එක් වසරකි. 1985 වසරේ ශ්‍රී ලංකා රූ රැජන ලෙස කිරුළ පළන් ඇය රමණී බර්තොලමියුස්ය. පසු කලෙක ටෙලි නාට්‍ය හා චිත්‍රපට නිළියක ලෙස ශ්‍රී ලංකාවේම රසික සිත් වසඟයට ගන්නට ඇයට හැකි විය. රමණීගේ නාමය අදටත් ප්‍රේක්ෂක මතකයේ ගැඹුරුම තැනක නිදන්ව ඇත්තේ ඇගේ සුන්දරත්වය, නිරහංකාරත්වය මෙන්ම දක්ෂතාවය නිසාය. රමණී මිය ගොස් වසර 31 ක් සපිරෙන මොහොතක විසි එක් වසරක පුරාවට ඇය ජීවත් වූ ගම්පහ අස්ගිරියේ පිහිිටි ඇගේ නිවහනට මමත් ඡායාරූප ශිල්පී තුෂාර ප්‍රනාන්දුත් ගොඩ වැදුනෙමු. රමණීගේ ආදරණීය මව කමලා බර්තොලමියුස් අපව ආදරයෙන් පිළිගත්තාය. රමණීගේ නිවෙසට ඇතුළු වන තැනම දක්නට ලැබෙන්නේ ඇගේ නිරහංකාර, ළෙන්ගතු සිනහවෙන් පිරුණු විශාල ප්‍රමාණයේ සොඳුරු අහිංසක ඡායාරූපයක් එල්ලා ඇති අන්දමයි. ජීවිතයේ විවිධ අවස්ථාවලදී ලබාගත් ඇයගේ ඡායාරූප ගොන්නකින් ඒ නිවෙස අදටත් පිරී ඇත්තේ රමණී නොමැති අඩුව ඒ නිවෙසේ නොදැනෙන ලෙසයි. තම දියණිය මිය ගොස් තිස් එක් වසරක් සපිරෙන මොහොතක ඇගේ මව කමලා රමණීගේ ජීවිතයේ බොහෝ දේ මෙන්ම අද ඇගේ දිවිය ගෙවී යන අයුරු ද අප සමඟ කතාබහ කළා. ‘අවුරුදු 31 කට පසුව රමණී ගැන සරසවිය පුවත්පතට කතා කරන්නට ලැබීම සතුටක්. දුව නැති වෙලා අවුරුදු 31 ක් ගෙවී ගියා කියන්නේ එය මට තවමත් හීනයක් වගේ. රමණී තමයි මගේ පළමු දරුවා. ඇයයි මට මව් පදවිය දුන්නේ. රමණී උපන්නේ ගම්පහ රෝහලේදී. ඒ 1966 සැප්තැම්බර් පළමුවැනිදා. රමණී ඉපදිලා මගේ අත් දෙකට අරගෙන කිරි පෙව් හැටි තවම මට මතකයි. එදා ඉඳලා ඇයව ලොකු මහත් කරපු හැටි අවුරුදු ගණනක් ගියා වුණත් හීනයක් වගේ. ඒ හැම දේම මගේ මතකයේ එක දිගට පෙළ ගැහෙනවා. එදා ඩොක්ටර් මගේ මහත්තයා ලෙස්ලි බර්තොලමියුස්ව ගෙන්වලා රමණීව වඩා ගන්නට දුන්නා. රෝස මලක් වගේ දුවෙක්. අපි දෙන්නට එදා දුවෙක් ලැබුණු එක ගැන හුඟක් සතුටු වුණා. මොකද පවුලකට ඉස්සරෝම දුවෙක් ලැබෙන එක වාසනාවක් කියලා තමයි විශ්වාසය. ඒ සතුට අපි දෙන්නත් බුක්ති වින්දා. රමණීගේ ඩැඩී වැඩ කළේ රේඩියෝ සිලෝන් එකේ ඉංග්‍රීසි අංශයේ. ඒ වැඩසටහන් නිෂ්පාදකවරයෙක් විදිහට. ඒ කාලේ කලා ක්ෂේත්‍රයේ හිටපු හුඟ දෙනෙක් රමණීගේ ඩැඩීව හොඳින් හඳුනනවා. නිතරම ගාමිණී ෆොන්සේකා, ලෙස්ටර් ජේම්ස් පීරිස්, සුමිත්‍රා පීරිස් අපේ ගෙදර ආව ගියා. ඒ වන විට මම දරු පස් දෙනෙකුගේ මවක්. ඒ වුණත් මමත් කලාවට හරිම ලැදියි. මමත් ‘නිධානය’, ‘බක් මහ දීගේ’ චිත්‍රපටවල වගේම දයානන්ද ගුණවර්ධනගේ නාට්‍යවල රඟපාලා තිබුණා. මේ හින්දා ලෙස්ටර් මගේ මහත්තයට කිව්වේ මට දිගටම රඟපාන්න දෙන්න කියලයි. කමලා චිත්‍රපටවල රඟපාන්න එන්න කියලා නිතරම ලෙස්ටර් - සුමිත්‍රා මට කියනවා. ඒත් දරුවන් පස් දෙනෙක් එක්ක ගෙවන ජීවිතේ පැත්තකට දාලා කලාවට යන්න මට හිත දුන්නේ නැහැ. මහත්තයා වුණත් ඒතරම් කැමැත්තක් දැක්වූවේ නැහැ. මං වෙනුවට රමණීව කලාවට යොමු කරන්න තමයි මහත්තයා කැමැති වුණේ. රමණිට රඟපාන්න පුළුවන් කියලා අපි දැන ගත්තේ ඇය පුංචි කාලෙදියි. රමණී පාසල් අධ්‍යාපනය ලැබුවේ ගම්පහ සිරිකුරුස විදුහලේ. පාසලේදිත් රමණි ඉගෙනුමට දක්ෂයි. ඒත් කලාවට ඒතරම් කැමැත්තක් තිබුණේ නැහැ. මට මතකයි රමණිට අවුරුදු 7 ක් 8 ක් විතර වයසෙදි ඇය ගමේ එයාට වඩා වැඩිමල් ළමයින්ට ඉංග්‍රීසි උගන්වනවා. එය රමණිට ලොකු විනෝදාංශයක් වුණා. ළාබාල වයසෙදි වුණත් ඇය දැනුමින්, පෙනුමින්, හැකියාවෙන් පිරුණු චරිතයක්. රමණිට අවුරුදු 10 ක් වගේ කාලයේ අපිට සැම්බියාවට යන්න සිදු වුණා. එහෙ ජනාධිපති කෙනත් කවුන්ඩා. ඔහුට වාර්තා වැඩ සටහන් කිහිපයක් කරන්නයි මගේ මහත්තයා එරටට ගියේ. ඉතින් අපිත් පවුල පිටින්ම එහෙ ගියා. එහෙදි නත්තලට එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් නත්තල් නාට්‍යයක් කළා. රමණී හිටියේ ‘ර්ධබඩඥප ර්ඥපර’ ට. එදා මගේ ඇස් අදහා ගන්න බැරි වුණා රමණි ‘මදර් මේරි’ වගේමයි. අදටත් මට ඒ රූපෙ හොඳට මතකයි. එදා ඇගේ රංගනය දැකලා රමණිගේ ඩැඩීට වුවමනා වුණා රමණිව කලාවට යොමු කරන්නට. දුව මේ විදිහට කලාවට එක්කාසුවෙලා දවසින් දවස දක්ෂතා පෙන්වන කොට අපි හුඟක් සතුටු වුණා. දුවට අවුරුදු 15 ක් 16 ක් වෙන කොට හුඟක් දේවලට දක්ෂයි. භාෂා 4 ක් පමණ කතා කළා. ඉංග්‍රීසි, සිංහල, ප්‍රංශ, සැම්බියන් වතුර වගේ කතා කරන්න ඇයට පුළුවන්. ඒ වගේම නර්තනයට, රංගනයට වගේම මහන්න, උයන්න හොඳට පුළුවන්. පියානෝව හරි අපූරුවට වාදනය කරනවා. රමණී 1985 දී ලංකාවේ රූ රැජන වෙලා නාට්‍ය, චිත්‍රපට රංගනයට එක් වුණා. ‘භාග්‍යා’ ටෙලි නාට්‍යයට, ‘යුගාන්තය’ චිත්‍රපටයට ඇයගේ දක්ෂ රංගනයන් ඇතුළත් වුණා. අවුරුදු 21 වන විට ඇය මුළු රටක්ම වසඟයට ගත් තාරකාවක් වුණා. සාමාන්‍ය යුවතියකට වඩා බොහෝ දේ ගැන ඇයට දැනුමක් ඇල්මක් තිබුණා. මවගේ දෙනෙත් කඳුළින් පිරෙයි. සුසුමක් වා තලයට මුසු කරන ඇය මා සමඟ යළිත් කතාබහට එක් වෙයි. ‘රමණි නාට්‍ය, චිත්‍රපට රඟපාන්න ගියාට පස්සේ ඇය නවාතැන් ගෙන හිටියේ නාවල රාජගිරිය් නිවෙසක් කුලියට ගෙනයි. බොහෝ විට රූගත කිරීම් නොතිබුණු සති අන්තවලදී තමයි ඇය ගෙදර ආවේ. ඒ ආවහම ආමිකාරයා වගේ තමයි ගෙදර ඉන්නේ. නංගිලා, මල්ලිලා හරියට පාලනය කරගෙන කටයුතු කරන්න ඇයට හැකියාව තිබුණා. රමණිට රසට උයන්න පුළුවන්. ඒ වගේම රමණි දුප්පත් මිනිසුන්ට, සතුන්ට හරිම කරුණාවයි. ගෙදර ආවහම අම්මිච්චියෝ මගේ කකුල් මිරිකන්න. මට බත් කවන්න කියලා මගේ ඇඟේ දැවටිලා තමයි ඉන්නේ. මට හිතෙන්නේ රමණී වගේ දක්ෂතා ඇති දරුවෝ කලාතුරකින් තමයි ලෝකෙට ඉපදෙන්නේ. ඒත් වැඩි කාලයක් ජීවත් වෙන්නට ඒ අයට වාසනාවක් නැහැ. අද වුණත් කවුරුන් හෝ මගේ නම බර්තොලමියුස් කිව් විට රමණිගේ අම්ම ද කියලා මගෙන් අහනවා. ළඟදී දවසක මම ලෙස්ටර් පීරිස්ව බලන්නට ගියා. ඔහු තවමත් දුව ගැන දුක් වෙනවා. ලෙස්ටර් - සුමිත්‍රා තමාගේම දුවට වගේ තමයි රමණිට සැලකුවේ. ‘බලන්න කමලා. රමණී දුව වගේ කෙල්ලෙක් තවම කලාවට එකතු වෙලා නැහැ’ කියලා ඔහු කියනවා. රමණිට ඕනෑම චරිතයක් රඟපාන්න හැකියාව තිබුණා. ගැමි තරුණියක වේවා, නාගරික තරුණියක වේවා මේ ඕනෑම චරිතයක් රමණිට රඟපාන්න පුළුවන්. රමණි ගැමි චරිතවලට තමයි ප්‍රිය කළේ. ඒ වගේම රමණි නිරූපිකාවක් ලෙසත් හුඟක් ජනපි‍්‍රයයි. ඇය නැති කැලැන්ඩරයක් 80 ව දශකයේ නොතිබුණු තරම්. රමණි කමල් අද්දරආරච්චිත් එක්ක ආදරයෙන් බැඳී හිටියා. ඔහුත් සමඟ විවාහ වෙන්නයි ඇය සූදානමින් හිටියේ. පවුල් දෙකෙන්ම රමණිටත් කමල්ටත් කැමැත්ත දීලා තිබුණේ. රමණිට විවාහ යෝජනා හුඟක් ආවත් ඇය කමල්ට විතරයි ආදරේ කළේ. කමල්ට විතරයි කැමැත්ත තිබුණේ. දුවට අවශ්‍ය වුණේ කමල් එක්ක විවාහ වෙලා ලස්සන ජීවිතයක් ගත කරන්න. ඒත් අවාසනාවකට දුව මියගියා. හිස තුවාල වී සිදු වූ ඒ මරණය කොහොම වුණා ද කියන එක අදටත් අපිට ප්‍රශ්නයක්. ඒ ගැන දන්නේ උඩ ඉන්න දෙවියන් වහන්සේ විතරයි. මට මතකයි දුවගෙ මරණය සිදුවෙන්න සතියකට කලින් ඇය ගෙදර ආවා. 1985 වසරේ දුව ර්ඪඵඵ ඉපඪ ඹ්චදඬච කිරුළ දිනූ දිනයේ ඇඳපු ගවුම නැවත ඇඳලා ඒ විදිහටම හැඩ වුණා. කණ්ණාඩිය ඉස්සරහට ගිහින් හැඩ බලලා ‘අම්මිච්චියේ එදා වගේම ද මම අදත්’ කියලා මගෙන් ඇහුවා. මම ‘ඔව්’ කිව්වා. පසුව ගවුම ගලවලා අල්මාරියේ තිබුණු විදිහටම එල්ලුවා. ඉන් පසු දා ඇය නාවල බෝඩිමට ගියා. සතියක් ගත වුණේ නැහැ. දුව අපි හැම දෙනාම දාලා යන්න ගියා. අන්තිමේදී ඇය ර්ඪඵඵ ඉපඪ ඹ්චදඬච ඇඳපු ගවුම ඇගේ මිනියට අන්දවන්න මට සිදු වුණා. රමණිගේ වියෝගයෙන් තවමත් වියැකී නැති කඳුළු පිසමින් ඇගේ මව පවසන්නේ සුසුමක් වා තලයට මුසු කරමිනි. ‘රමණිගේ මරණයෙන් පස්සේ අපේ මුළු පවුලම අනෙක් දරුවන් හතර දෙනා සමඟ ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගියා. මම වසරකට සැරයක් වගේ අස්ගිරියේ ගෙදරට ඇවිත් යනවා. රමණීගේ මරණයෙන් පස්සේ එයාගේ ඩැඩී අකාලයේ මිය ගියා. එයා නිතරම රමණී ගැන හුඟක් දුක් වුණා. පිස්සුවෙන් වගේ රමණි ගැන කතා කළා. අපි ගත කළ අතීතය මේ ගෙදර ගෙවී ගිය දවස් දැනුත් මට දැනෙනවා. මේ ගෙදරත් දැන් මම විකුණල දමන්න තමයි හිතාගෙන ඉන්නේ. රමණිගේ මරණය අදටත් ලොකු හිස් තැනක් අපේ ජීවිතවල ඉතිරි කර තිබෙනවා. ඇයගේ මරණය කොහොම වුණා ද කියලා අපි ඇස් දෙකෙන් දැක්කේ නැහැ. ඒ ගැන දැක්කේ කමල් විතරයි. ‘රමණී එක්ක රඟපාපු අය තවමත් ඔබට කතා කරනවාද?’ මම ඇගෙන් ඇසුවෙමි. ‘ඔව්. අද වන විට හුඟ දෙනෙක් කතා නොකළත් මං ලංකාවට ඇවිත් කියලා දැනගත්තාම කමල්, ප්‍රියංකර, රන්ජන් රාමනායක වගේ රමණිගේ යහළුවන් කතාබහ කරනවා. කමල් අද අපේ පවුලේ හිතවතෙක් වගේ අපිට උදව් කරනවා. එයාගේ අම්මට වගේම මටත් සලකනවා. ‘මට රමණී වෙනුවෙන් කිසිවක් කරන්න එදා ඉඩ දුන්නේ නැහැ. ඒ නිසා දැන්වත් මට අම්මට සලකන්න දෙන්න’ කියලා කමල් කියනවා. මේ ළඟදී දවසක මම නාන කාමරයේ වැටිලා මගේ හිසට ශල්‍යකර්මයක් කරන්න සිදු වුණා. එයට ගොඩක්ම උදව් කලේ කමල්. රමණිගේ උපන් දිනයට කමල්ගේ අම්මා තවමත් ඇගේ සොහොනට ගිහින් පහන් පත්තු කරනවා. තවමත් කමල්ගේ මව්පියන් රමණිට ආදරෙයි’ ඇය සුසුමක් හෙළයි. ‘අද රමණී හිටියා නම්?’ මම ඇගෙන් විමසුවෙමි. රමණි හිටියා නම් අද ලංකාවේ ප්‍රවීණ රංගන ශිල්පිනියක්. ඇය මිය යන්නට පෙර තමයි අපි ඕස්ට්‍රේලියාවේ පදිංචියට යන්න හිටියේ. රමණී විවාහ කරලා දීලා ඒ දේවල් හරිගස්සලා තමයි යන්න සැලැසුම් කළේ. නමුත් රමණිගේ මරණය ඒ දේවල් ඉක්මන් කළා. රමණි අපට කියලා තිබුණේ අම්මලා රට යන්න. පසුව කමල් එක්ක එන්නම් කියලයි. ඒත් ඒ හැම දේම රමණිගේ මරණයත් එක්ක බොඳ වෙලා ගියා. අද මම රමණි වෙනුවෙන් පින් දහම් කරනවා. ඇය වගේම දුප්පත් අසරණ මිනිසුන්ට මම පිහිට වෙනවා. මම ඇය වෙනුවෙන් මොන දේ කළත් කවදාවත් ඇය යළිත් එන්නේ නැහැනේ! රමණීගේ මවගේ දෑසින් වැටුණු කඳුළු කැටයක් ඇගේ දෙකම්මුල් ඔස්සේ ගලා ගියා. අපේ කතාබහ අවසානයේ ඇය මෙලෙස පැවසුවා. ‘රමණිගේ සොහොන් කොතට යොදන ඇගේ ඡායාරූප සියල්ලම ඇයට ආදරය කරන රසිකයන් ගලවාගෙන යනවා. අදටත් ඇයට එවන් ආදරයක් ලැබෙන එක හුඟක් සතුටුයි. ඒ විදිහේ ආදරයක් ලබන්න රමණි පිං කරලා තිබෙනවා. රමණි මිය ගියේ අවුරුදු 21 දී. ඇගේ අවමංගල්‍යයට දහසකට වැඩි සෙනඟක් ආවා. එදා බොරැල්ල කනත්තම ජන ගඟක් වුණා. මෙවන් අකල් මරණයක් නොවී මතු මතුත් ඇය මගේම දුවෙක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.’
|