|
තවත් සිනමා යුග කතාවක් මෙලෙස නිමා විය
බැප්ටිස්ට් ප්‍රනාන්දු 1933-2017
වර්ණකුලසූරිය මහලේකම්ගේ ජෝන් බැප්ටිස්ට් ප්‍රනාන්දු 1933 වසරේ ජූලි 09 ඉපිද 2017 වසරේ පෙබරවාරි පළමු වැනි දින සැන්දෑවේ අභාවප්‍රාප්ත විය. ඒ වන විට ඔහු සිංහල සිනමාවට දායක වී අවුරුදු 62 ක් ගත ව තිබිණ. ඔහු සිනමාවට පිවිසියේ 1955 වසරේ දී ය. ඒ පෙරකදෝරු බෑණා චිත්‍රපටයේ ද්විත්ව චරිතයක් නිරූපණයක් කරමිනි. ගතවූ කාලය මුළුල්ලේ චිත්‍රපට නළුවකු මතු නොව නිෂ්පාදකවරයෙක් අධ්‍යක්ෂවරයෙක් චිත්‍රාගාර හිමියෙක් තිර කතා රචකයෙක් සිනමා නළු නිළි සංගමයේ භාණ්ඩාගාරික ආදි වශයෙන් විවිධ කෙෂත්‍ර නියෝජනය කළේය. ලාංකික සිනමාවේ කතානාද සිනමාව ඇරඹි මුල් දශකයේ සිනමාවට පිවිස හෙතෙම එය ස්වර්ණ රිදී තඹ පිත්තල යුගයන් පසු කළද රඟපෑවේ චිත්‍රපට වල පමණී. චිත්‍රපට ප්‍රදර්ශනය සම්බන්ධව නිෂ්පාදකවරයෙක් චිත්‍රපට සංස්ථාවට විරුද්ධව එල්ල කළ මුල්ම නඩුව ගොනු කරන ලද්දේ ද බැප්ටිස්ට් ප්‍රනාන්දු මය. ඒ අවරුදු තිස් නවකට පෙරාතුවය. පළමු වැනි දින බැප්ටිස්ට් ප්‍රනාන්දු මිය ගියේ රාගම රජයේ රෝහලේ දීය. එයට සති කිහිපයකට පෙරාතුවම බැප්ටිස්ට් ප්‍රනාන්දු එම රෝහලේ ම නේවාසිකව එහෙත් සිහිසුන් ව ප්‍රතිකාර ලද්දේය. ඒ රූපයෙන් වයසෙන් කාය බලයෙන් සහ ආර්ථික අතින් ද පිරිහීමට ලක් වූ පසුවය. මේ අවසානය මෙයට දස වසරකට පමණ පෙරාතුව සිදු වී නම් බැප්ටිස්ට් ගේ අවසානය සිදු වනුයේ රජයේ රෝහලක නොවේ. කොළඹ ඉහළම පෞද්ගලික රෝහලක වීමට බෙහෙවින් ඉඩ තිබිණ. මිනිසුන්ගේ ජීවිතයේ හෙට දවස පිළිබඳ අනාවැකි කියන්නට හැකි කවුරුන් හෝ සිටියේ නම් බැප්ටිස්ට් ගේ ඉරණම වෙනස් කරන්නට ඉඩ තිබිණ. එසේ ඉරණම වෙනස් කළ හැකි රුසියා කවුරුන්දැයි අප දන්නේ නැත. ඉතා අවාසනාවන්ත ඉරණමකට අනපේක්ෂිත ලෙස ගොදුරු නොවන්නට බැප්ටිස්ට් ප්‍රනාන්දු ගේ ජීවිතය මෙයට වඩා වෙනස් වන්නට ඉඩ තිබිණ. ඔහු කැපී පෙනෙන ප්‍රධාන චරිතයක් මුල් යුගයේ රඟපෑ පුරුෂරත්නය චිත්‍රපටයේ එන ගීයක මෙලෙස සදහන් විය
මිනිසාට මේ ලෝකේ ඔහු ගේ මුල්ම නිෂ්පාදනය වන සිහිනය චිත්‍රපටයේ එන ගීතයක ඇතුළත් වනුයේ
සිහින නෙළුම් මල ජීවිත පොකුණේ තම චිත්‍රපට නිෂ්පාදනයේ දී කිසිදු නළුවකු හෝ නිළියක ගිවිසුම් ගැසුවේ නැතැයි බැප්ටිස්ට් ප්‍රනාන්දු එකල ආඩම්බරයෙන් කියා සිටියේය. ඔහු ඒතරම් විශ්වාසදායක මිනිසකු ව සිටි හෙයිනි. නළු නිළි සංගමයේ භාණ්ඩාගාරික හැටියට කටයුතු කරද්දී ඇතැම් සුහද හමුවන් තිබුනේ ඔහුගේ වත්තල තිබුණ පැනමා ඉන් නිවහනේ ය. සිනමාවේ සමෘද්ධිමත් යුගයේ පැවැති එබදු සැන්දෑවෝ කෙෂත්‍රෙය් රසවත් මතකයන් විය. සිනමා රසිකයන්ට බැප්ට්ස් ප්‍රනාන්දු සිනමාවේ හිතවතුන්ට බැපී විය . ඔහු සිනමාවට පිවිසෙනුයේ පෙරුම් පුරා ආ ගමනක් හැටියට නොවේ. ඔහුගේ උපන් ගම වෙන්නප්පුවේ කොලින් ජාඩිය යි . ඉගෙන ගත්තේ වෙන්නප්පුව ජෝසප් වාස් විදුහලෙනි. පාසල් අවදියේ සිනමාව ගැන ඔහුට උනන්දුවක් නොතිබූ තරම්ය.එහෙත් ශාරීරික ව්‍යයාම් වල යෙදෙමින් ඇඟ හදා ගැනීමේ උණක් ඔහුට තිබිණ. ඔහුගේ පාසැල් මිතුරෙකු වන එස්.ඒ ප්‍රනාන්දු ගේ බල කිරිමට හෙතෙම පෙරකදෝරු බෑණා චිත්‍රපටයේ නළු නිළියන් තෝරා ගැන්මකට ගියේය. පෙරකදෝරු බෑණා අධ්‍යක්ෂණය කරන ලද්දේ ඒ.භාෂ්කර් රාජ්ය. තවමත් චෙන්නායි නගරයේ ජීවත් වන රාජ් ලංකාවට පැමිණ චිත්‍රපට නිර්මාණය කරන ලද ඉන්දියානුවන්ගෙන් කෙනෙකු විය .ඔහු ලංකාවේ චිත්‍රපට තනන්නට පෙරාතුව සිංහල ඉගෙන ගත්තෙකි . පෙරකදෝරු බෑණා නිෂ්පාදනය කරරන ලද්දේ බී.ඒ.ඩබ්ලිව් ජයමාන්න සහ විලී ජයමාන්න දෙසොහොයුරන් විසිනි. මේ පිරිස වෙන්නප්පුවේ උපන් හැඩකාර ඉලන්දාරියාට චිත්‍රපටයේ සුළු චරිතයක් නොව චරිත දෙකක්ම ලබා දුන්නේය. ඒ එක් චරිතයක් පොලිස් නිළධාරියෙකු හැටියටය. දෙවැන්න දුෂ්ට චරිතය රඟපෑ මාක් සමරනායකගේ ගෝලයකු හැටියටය. කෙසේ වෙතත් බැප්ටිස්ට් මේ චිත්‍රපටයෙන් ලද්දේ සතුටු දායක අත්දැකීම් නොවේ. එහෙත් එහි අවසානයේ ජනප්‍රිය නළුවකු වීමේ අදිටන තරුණ බැප්ටිස්ට් ගේ සිතෙහි ඉතුරුව තිබිණ. එබැවින් ඔහු ආපසු හැරී ගියේ නැත. ඔහු අනාගතය සඳහා බෙහෙවින් කැප වී කටයතු කළේය. ඔහු වඩාත් ප්‍රෙක්ෂකයන් අතරට ගියේ ඔහුගේ තුන් වැනි චිත්‍රපටය වන පුරුෂ රත්නය සමගය. බාල සොහොයුරා ගේ කැපවීම මත සමාජයේ ඉහළ තලයට යන අය්යා ගේ චරිතය ඔහු නිරූපණය කළේය. එය චිත්‍රපටයේ ප්‍රති වීරයාගේ චරිතයයි. චිත්‍රපටය ද සාර්ථක විය. එහි ප්‍රධාන චරිතය රග දක්වනු ලද්දේ එවකට ජනප්‍රිය නළුවකු ව සිටි ප්‍රේම් ජයන්ත් ය. පසුකලක ප්‍රේම් සහ බැප්ටිස්ට් අතර ඇති වූ මිත්‍රතත්වය කෙතරම් ද යත් ඔවුන් දෙදෙනා එක්ව සෙවන් ආට්ස් නමින් චිත්‍රපට සමාගමක් ද ගොඩනංවන ලදී. සහනය ඔවුන් ගේ මුල්ම නිෂ්පාදනය විය. පසු කලක පවා බැප්ටිස්ට් සිය නිෂ්පාදන ගෙනාවේ සෙවන් ආට්ස් නමිනි. හැටේ දශකය අග භාගය වන විට සිනමාවේ ජනප්‍රියම දුෂ්ටයා වූයේ බැප්ටිස්ට් ප්‍රනාන්දු ය. සත පනහ,ඔහොම හොඳද,සහනය , තුෂාරා,හොඳට හොඳයි, කවුද රජා,චිංචි නෝනා වැනි චිත්‍රපට බැප්ටිස්ට් දුෂ්ටයා බවට ස්ථාපිත කළේය. ගාමිණී ෆොන්සේකා සමග ඔහු රගපෑ ඔහොම හොඳද චිත්‍රපටයේ එන රජ කම් කෙරුවත් කළ කම් පළ දේ ගීතය සහිත ජවනිකා අද ද ප්‍රේක්ෂකයන් ගේ මතක සාගරයේ නිදන් ව පවතී. බැප්ටිස්ට් දුෂ්ටයා ලෙස වඩාත් ජනප්‍රිය වූයේ ගාමිණී ෆොන්සේකා සමග රඟ පෑ චිත්‍රපට පෙළෙන් වීම නොරහසකි. සමකාලින දෙමළ සිනමාවේ එම්.ජී.ආර්- නම්බියාර් මෙන්ම සිංහල සිනමාවේ ද ගාමිණී බැප්ටිස්ට් කැපී පෙනිණ. ගාමිණී බැප්ටිස්ට් චිත්‍රපට වැඩි පුර අධ්‍යක්ෂණය කරන ලද්දේ ජේ.සෙල්වරත්නම් විසිනි. තුෂාරා චිත්‍රපටයේ බැප්ටිස්ට් ප්‍රනාන්දු දුෂ්ටයා වූයේ විජය කුමාරතුංගටය. මේ චිත්‍රපට බහුතරයක පෙම්වතිය වූයේ නිළි රුජින මාලිනී ෆොන්සේකා ය. සහනය වැනි චිත්‍රපටයක් හැරුනු විට අන් සියලු චිත්‍රපට වට්ටෝරු ගණයේයැයි අවඥාවෙන් සළකනු ලැබූ චිත්‍රපට වුව එහි ගාමිණි මෙන්ම බැප්ට්ස්ට් කරට කර රඟපෑවේය. ඔවුන් ගේ සටන් ජවනිකා බෙහෙවින් තාත්වික වූ වග නොරහසකි.ඒ දෙදෙනාම කැමරාව ඉදිරියේ වුව ඇත්තටම සටන් කිරීමට පෙලඹුණහ. දකුණතේ ඇඟිල්ලෙන් නිකට කසමින් කට කොනකට නංවන මනමාල සිනහවකින් යුත් බැප්ට්ස්ට් ගේ දුෂ්ටයා එකල සිනමා නිෂ්පාදකයන්ගේ ලාච්චු මුදල් වලින් පිරවූයේය. දිගින් දිගටම දුෂ්ටයා ලෙස රඟපෑව ද සිනමාවේ වීරයා ලෙස රගපාන්නට ඔහුට අවශ්‍ය විය . එහෙත් ඒ සඳහා කිසිවකු හෝ බැප්ටිස්ට් උනන්දු කරවූයේ නැත. එය එක් අතකින් මහත් අවදානමක් ගෙන දෙන්නක් විය. දුෂ්ටයා ලෙස හංවඩු ගැසූ මිනිසකු වීරයක් වන්නේ කෙලෙසද ? අවසානයේ එම අවදානම ඔහු ම දරා ගත්තේය. අනුන්ගේ ධනය නොව තමන් සිනාවෙන් උපයා ගත් ධණයම ඔහු පරදුවට තැබුවේය. ඒ දුප්පතාගේ හිතවතා චිත්‍රපටය නිස්පාදනය කරමිනි. එය එස්.වී.චන්ද්‍රන් ගේ මුල්ම අධ්‍යක්ෂණය විය. සිනමාවේ බොහෝ දෙනා දුප්පතාගේ හිතවතා රට පිළිගනු ඇතැයි විශ්වාස කළේ නැත. එහෙත් සිනමාව යනු කිසිවිටෙකත් ඉඳුරාම අනාවැකි කියන්නට සමත් වන තැනක් නොවේ. දුප්පතාගේ හිතවතා පිම්මේ දින පනහ පැන්නේය. දුෂ්ටයා පසුපස සිටි කාය ශක්තියෙන් පිරි වීරයා ට ද සිනමාවේ ඉඩක් තිබිණ. ඔහු අනතුරුව ටිකිරා, සුදු අය්යා, ඒක දිග කතාවක්, රජ කෙල්ලෝ,නාමල් රේණු යන චිත්‍රපට රැසක් නිපද විය. ඒක දිග කතාවක් ඔරු තලෙයි කාදල් නමින් දෙමළ බසින් දෙබස් කැවිණ. ඔහු අංගුලිමාල චිත්‍රපටය සමග නිෂ්පාදනයට අමතරව තිර නාටක රචකයා ලෙස මෙන්ම අධ්‍යක්ෂණයෙන් ද දායක විය . චිත්‍රපට ද්‍රවනවාද නැත්ද ගැන අනාවැකි කියන්නට හැකි වීම ලේසි පහසු නැති වග පසක් කරන්නට මෙන් බොහෝ බලාපොරොත්තු තබා ගෙන තැන අංගුලිමාල ඔහු බලාපොරොත්තු වූ තැනටම සාර්ථක වූයේ නැත. බැප්ටිස්ට් ලාංකික සිනමා ඉතිහාසයේ බැප්ටිස්ට් චිත්‍රපට ප්‍රදර්ශනයේ සිදු වූ අක්‍රමිකතාවක් හේතුවක් නිසා චිත්‍රපට සංස්ථාවට එරෙහිව නඩු පැවරූ මුල්ම නිෂ්පාදකයා බව ඉතිහාසයේ සැගව ගිය කරුණකි. එය සිදුවූයේ ඔහුගේ දෙවැනි චිත්‍රපට නිෂ්පාදනය වූ ටිකිරා සමග ය. ටිකිරා චිත්‍රපටය තිර ගත වීමට නියමිත ව තිබුණේ 1978 අගොස්තු මාසයේ 4 වැනි දිනය . ඒ කොළඹ ලිඩෝ ප්‍රමුඛ සිනමා හල් වලය.ඒ දවස් වල එම මණ්ඩලය හඳුන්වා දුන්නේ සිව් වන ප්‍රදර්ශක මණ්ඩලය හැටියටය. එහෙත් එයින් එළැඹෙන අට වැනි දින තවත් අලුත් චිත්‍රපටයක් එම මණ්ඩලයේ ම තිර ගත කරවීමට චිත්‍රපට සංස්ථාව කටයුතු යොදා ගෙන තිබිණ. ඒ වන විට චිත්‍රපට ප්‍රදර්ශනය සිදු කරන ලද්දේ අද මෙන් හිතූ හැටියට නොව රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය ලත් දින වකවානු අනුව ය. එහෙත් එම සම්ප්‍රදායට පිටින් යමින් මෙලෙස තිර ගත කර වන්නට සැරසුණේ වීර පුරන් අප්පු චිත්‍රපටයයි. අගොස්තු 8 වැනි දින පුරන් අප්පු අනුස්මරණ දිනය වීම එයට හේතු ලෙස පෙන්වා දී තිබිණ.වීර පුරන් අප්පු තිර ගත වනුයේ ද පෝලිමේ ඇති තවත් චිත්‍රපට ගණනාවක් අබිබවා ඉදිරියට පනිමිනි. සලකා ගෙනය. එයට බර පැන දරා තිබුණේ එවකට ආණ්ඩු පක්ෂයේ සාමාජිකයකු වූ මොරටු ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රි වරයා මෙන්ම පුරන් අප්පු ගේ ඤාති පරපුරේ සාමාජිකයකු වූ ටිරෝන් ප්‍රනාන්දු මහතාය.ඔහු එයට පෙර කොළඹ සන්නිය චිත්‍රපටයේ ද නිෂ්පාදක වරයා විය. එමෙන්ම වීර පුරන් අප්පු චිත්‍රපටය සඳහා සංස්ථාව ද හවුල් නිෂ්පාදනයක් ලෙස මුල් වරට එක් ව තිබිණ. එබැවින් සංස්ථාව හිතුවක්කාර තීරණයක් ගෙන තිබිණ.ඒ වීර පුරන් අප්පු ටිකිරා ගලවා දමා තිර ගත කරවීමටය. බැප්ටිස්ට් නොබියව අධිකරණය හමුවට ගියේය.අනතුරුව සංස්ථාව ගැටය ලිහුවේ සම්භාවනීය චිත්‍රපට සදහා අලුත් මණ්ඩලයක් වෙන් කර එය පස් වන මණ්ඩලය ලෙස නම් කිරීමෙනි.ඒ අනුව යොදා ගත් පරිදි ටිකිරා අගෝස්ත 4 වැනි දින ද වීර පුරන් අප්පු චිත්‍රපටය 8 වැනි දින ද තිර ගත කරවීමට කටයුතු යොදා ගැනින. ටිකිරා චිත්‍රපටය පැල් බැඳ ගෙන දින සියය ඉක්මවා තිර ගත විය. එහි ගීත අතිශය ජනප්‍රිය විය.ටිකිරා සමග බැප්ටිස්ට් ජෙනීටා නමින් අලුත් පෙම් යුවළක් සිනමාවට එක් වූයේ ය. බැප්ටිස්ට් ගේ නඩුව නිසා සම්භාවනීය චිත්‍රපට සඳහා අලුත් මණ්ඩලයක් තැනීම ඔහුට කොයි හැටි වෙතත් හොඳ සිනමාව අපේක්ෂිත රසිකයන් ට වැදගත් වූයේය. විජයා චිත්‍රාගාරය 1983 වසරේ ගිනි ලෑමෙන් පසු එය පසු කලක පාලනය කළේ ද බැප්ටිස්ට් ය. එහි ඉතුරු වූ කොටස් මත තව කලක් චිත්‍රාගාරය පවත්වා ගෙන යන්නට ඔහු සමත් විය. පසු කලක ඔහු සිනමාවෙන් උපයා ගත් ධනයෙන් විවිධ ව්‍යාපාර රාශියක් දියත් කළේය. ඔහුගේ දියණිය ශමිලා මෙන්ම පුත් ශම්මි ද සිනමාවට ගෙන ඒමට බැප්ටිස්ට් සමත් විය. නළු නිළි සංගමයේ භාණ්ඩාගාරික ලෙස ද ඔහු කැපී පෙනෙන මෙහෙයක් ඉටු කරන ල්දදේ ඒ සමයේය. එහෙත් මිනිසුන්ගේ දෛවය කණ පිට පෙරලන්නට වැඩි කල් ගත නොවේ.සිය වස් ගණනක් මහ පොලව මත ගොඩ නැගුණ මහා වනස්පතියන් හදිසියේ හමා එන සුළඟට ලක්ව බිම පත බෑ වන්නේය. බැප්ටිස්ට් ප්‍රනාන්දු කිසි කලකත් සිය ජීවිතයේ අවසානය දුක් කරදර සහිත එකක් වනු ඇතැයි කිසි කලකත් සිතන්නට නැත. එමෙන්ම ඔහු ඒ ආකාරයෙන් අනාගතය ගැන නොසිතා කටයුතු කළේ ද නැත. අල්බේලා වැනි සාර්ථක චිත්‍රපට නිර්මාණය කළ බගවාන් වැනි ඉන්දියානු නළුවකු ගේ පුරා වෘත්තය ද මේ පරිද්දෙන්මය. බැප්ටිස්ට් සිය ජීවිතය වඩාත් යහපත් අන්දමින් ජීවත් වන්නට සිතා තමා ඉපැයූ වත්කම් සියල්ල කුප්‍රකට ගෝල්ඩන් කී සමාගමේ තැන්පත් කළේය. පරිස්සමට තිබූ දෙය ඈලියාවට ගියේය. තමා උන් හිටි තැන් ද අහිමි වූ බැප්ටිස්ට් අවසානයේ දුක සේ කල් ගෙවූයේ කඩවතට නොදුරු ස්ථානයකය. මෙයට මාස කිහිපයකට පෙර ඔහුගේ දුක්ඛිත තතත්වය අවබෝධ කර ගත් සරසවිය එහි ගියේය. ඒ වන විට බැප්ටිස්ට් ප්‍රනාන්දු නම් යුගයක් එකලු කළ සිනමා ශිල්පියා සිටියේ අතීතය ස්මරණය කර ගැනීමේ අපහසුතාවයෙනි. ඔහුට කතා කරන්නට ද නොහැකි තරම් තත්වයක් උද්ගත වතිබිණ.දියනිය ශමිලා තමන්ට හැකි පමණ තාත්තාට උවටැන් කළාය. පසුගිය සති කිහිපය ඇතුළත ඔහුගේ තත්වය තවත් නරක අතට හැරිණ. ඒ සියලු වේදනාවන් කෙළවර පසුගිය පෙබරවාරි පළමු වැනි දින ඔහු අප අතහැර ගියේය.ඔහු ගේ සිනමා රංගනයට හෝ සිනමා කෘතින් සඳහා විචාරකයන් ගේ ප්‍රසාදය හිමි වූයේ නැත. එයින් මිදී යන්නට බැප්ටිස්ට් ප්‍රනාන්දු ගේ පරම්පරාවේ උත්සුක වූ වෝ ද විරළය. එහෙත් ඔවුන් ඒ යුගයේ සිනමා රසිකයන්ගේ නොමද ආදරයට බඳුන් වූහ. ඒ ආදරය ලැබූ හෝ ලබන අයුරු හෝ එය කෙබඳු ආදරයක් දැයි කියා දෙන්නට අද සිනමාවේ උදාහරණ නැති තරමිය. බැප්ටිස්ට් ප්‍රනාන්දු ගේ සිනමා පරම්පරාව සමග අහිමි වූයේ සියයට සියයක්ම සිනමාවේ පරම්පරාවය. මුල් දශකයේ සිට සිනමාවේ රැඳී සිටි පරම්පරාවය. ඔවුන්ගේ කර්තව්‍යය ඉතිහාසයේ තැනක රැඳෙනු ඇත.ඒ සිනමාව ට මිනිසුන් ගේ නොමද ආදරය ලැබූ යුගයේ ගෞරවය ලද මිනිසන් හැටියටය.
|