වර්ෂ 2016 ක්වූ ජනවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




අපි නිහඬව සිටිනවාද?

අපි නිහඬව සිටිනවාද?

කොළඹ නගරයේ ඇති නිරන්තර රථ වාහන කලබලයෙන් ද නිතර ජනී ජනයා ගේ සැරි සැරීමෙන් ද වෙහෙසට පත් නමුදු බම්බලපිටියේ මිලාගිරිය ඉසව්වේ සිට තිඹිරිගස්යායේ හැව්ලොක් පාර මංස න්ධිය වෙත ඇදෙන මාවතේ එක් තැනක තවමත් නිතර සිහිල් හමන තුරු ලතා වලින් පිරි ඉඩමක් වෙයි.එය ඇත්තේ ඩුප්ලිකේෂන් පාර නමින් පෙර හැඳීන්වූ වත්මනෙහි ආර්.ඒ ද මැල් මාවත ට සමීපවය.අප විසින් ගමන් කරනු ලබන තිඹිරිගස්යායේ සිට හැව්ලොක් පාර වෙත වැටෙන මාවත මුලින් හඳුන්වා දෙන ලද්දේ ඩික්මන් පාර යනුවෙනි. මෙයින් වසර ගණනකට පෙර එනම් 2003 වසරේ දී එහි නාමය වෙනස් කරනු ලද්දේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවත යනුවෙනි.ඒ අර මා මුලින් පැවසූ තුරුලතා පිරි කුඩා නිවහනේ වෙසෙන මහා සිනමාකරුවාට උපහාරයක් ලෙසිනි. එය අදාල මාවතේ ඇති සුඛෝපභෝගී මන්දිර හමුවේ විශාල එකක් නොවේ.එහෙත් එහි ඇති තුරුළතා වලින් ඇදෙන සිසිලස මහා මන්දිරයන්ගේ වායු සමනය කරන යන්ත්‍රයන්ගෙන් ලැබෙන්නක් නොවේ. කොළඹ නගරයේ ඇති මාවත් අතරින් ජීවමාන ව සිටියදී අදාළ මාර්ගයක් එහි පදිංචිවූවක් ගේ නමින් නම් කොට දැනට ඇත්තේ දෙතැනකි . එයින් එක් මාවතක් වනුයේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවතය.එය මෙරට කලාකරුවන් රැසක් ම දිගු කලක් තිස්සේ කළ උත්සාහයක ප්‍රතිඵලයකි .මේ මාවත නම් කිරිමේ ව්‍යාපෘතියට එකල සරසවිය පුවත්පත ද මහත් වෙහෙසක් ගත්තේය.

මුල්ම සිංහල කතානාද සිනමා කෘතිය වූ කඩවුණු පොරොන්දුව තිර ගත කොට හැත්තෑ වසර පිරෙන්නට තිබෙන්නේ තව දින කිහිපයකි. එමෙන්ම සෑබෑ ලාංකික සිනමාවෙහි උපත ලෙස විචාරකයන් විසින් සළකනු ලබන රේඛාව තිර ගත කොට සැට වසර පිරුණේ පසුගිය දෙසැම්බර් විසි අට වැනි දින ටය. එහි සැමරුම් උත්සවය ජනවාරියේ පැවැත්වනු ඇත. ලාංකික කලාත්මක සිනමාවේ පීතෘවරයා ලෙස අප විසින් බුහුමනට ලක් කරනු ලබනුයේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වියතානන්ය. ඒ පිළිබඳ කිසිදු විවාදයක් නැත. එහෙත් පසුගිය දවසක අපට දැන ගන්නට ලැබුනේ කිසිදු සදාචාර සම්පන්න ක්‍රමවේදයකින් තොරව ආචාර්ය ලෙස්ටර් - සුමිත්‍රා පීරිස් යුවළට මේ නිවහන අත හැර යන්නට සිදු වන වගය. මේ වන විට ආචාර්ය ලෙස්ටර් 97 වැනි වියේ පසුවෙයි.අද ලොව සිටින වයෝවෘධතම සිනමාකරුවන් අතරින් ආචාර්ය ලෙස්ටර්ට අත් වන්නේ දෙවැනි තැනය. එමෙන්ම ලොව ජීවත් වන මහා සිනමාකරුවන් අතර ආචාර්ය ලෙස්ටර් වඩාත්ම වැඩිමල් තැනැත්තාය. එමෙන්ම ඔහු විසින් සිනමා කලාවට කරන ලද මෙහෙවර වෙනුවෙන් බුහුමන් මුළු ලොව පුරා සිනමාකරුවන් අතින් තවමත් ලැබෙන්නේ නිරායාසයෙනි.

ලාංකික සිනමාවේ බිහි වන විශිෂ්ටතම සිනමා නිර්මාණය ලෙස අද පවා සැළකුම් ලබන නිධානය සිනමා කෘතිය මෙන්ම මඩොල්දූව,කලියුගය,යුගාන්තය,අහසින් පොළවට,බැද්දේගම, ද ගෝඩ් කිං වැනි මාහැගි නිර්මාණ මෙන්ම සුමිත්‍රා පීරිස් මැතිනිය අතින් නිම වුණ ගග අද්දර,ගැහැණු ළමයි මායා ඇතුළු සියළු චිත්‍රපට නිර්මාණය වනුයේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් හා සුමිත්‍රා පීරිස් මැතිනිය වෙසෙන මේ නිවහනෙනි. එමෙන්ම සෑම වසරකම අප්‍රේල් පස් වැනි දින මෙරට බොහෝ සිනමාකරුවන් සිනමා ශිල්පීන් නළු නිළියන් එකිනෙකා හමුවන යම් තැනැක් වේ ද ඒ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් නිවහන විය.ඩික්මන් පාර යනුවෙන් හැඳීන්වෙන මාවත සිනමා රසිකයන් එල ලෙස්ටර් මහත්තයා ඉන්නා පාර යනුවෙන් හැඳීන්වූයේ නිරායාසයෙනි. නිතර දැක ගන්නට නොලැබුන ද එහි මග යන්නෝ ද මේ ආචාර්ය ලෙස්ටර් ගේ නිවහන යැයි දනිති. කලකට ඉහත එක් ප්‍රංශ සිනමා විචාරකයක් ලංකාව ට පැමිණ කටුනායක ගුවන් තොටුපලෙන් ටැක්සි රථයකට ගොඩ වී ඩික්මන් පාරේ ලිපිනයකට රථය යොමු කරවද් දි එම රියැදුරා එකවරම පවසා තිබුණේ මේ ලෙස්ටර් මහත්තායගේ නිවහන යනුවෙනි. විචාරකයා අන්ද මන්ද වූයේ එයට පෙර සත්‍යජිත් රායි ගේ නිවහන සොයන්නට කල්කටාවේ වීදි සැරි සරා කට්ටක් කා තිබුණ නිසාවෙනි . ආචාර්ය ලෙස්ටර් පමණක් නොව ඔහුගේ සිනමාව පවා මේ රටේ සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිතයේ කොටසක් යැයි අපට හැඟෙනුයේ එහෙයිනි.

ආචාර්ය ලෙස්ටර් ගේ නමින් මාවතක් නම් කරන්නට කාලයක් ‍ගත විය. ඒ සඳහා වෙහෙස වූ මිනිසුන් ද එමට විය.එහෙන්ම එයට බාධා කළ වුන් ද විය. අදාල ලිපි ගොනු දවසින් දවස කොළඹ නගර සභාවේ මේසයෙන් මේසය යන්නට මාස ගණන් නොව අවුරුදු ගණන් ගත විය.කෙසේ වෙතත් ලාංකික සිනමාවේ යහපත සොයන රසිකයන් මහා සිනමාවේදියා වෙනුවෙන් මාවතක් නම් කිරිමේ දී ඒ සඳහා අගනා ප්‍රතිචාර දැක්වූහ.

ආචාර්ය ලෙස්ටර් යනු සිංහල සිනමාව වර්තමානයේ පවතින ජාත්‍යන්තර තළයට එස වූ මහා සිනමාකරුවාය. ඔහු ලොව පුරා පුද ලබන සිනමාකරුවකු බව සැබෑවකි.එමෙන්ම ඔවුන් විසින් උපයන ලද ධනය වූයේ ද සිනමාව මගින් ගොඩ නැංවූ කීර්තියයි. ලෝ පූජිත මහා සිනමා කෘති වන සඳහා කැප කළ ඒ වෙනුවෙන් ඔවුන් අහිමි කර ගත් භෞතික සම්පත් එමටය. විශේෂයෙන් සුමිත්‍රා පීරිස් මැතිනියට උරුමයෙන් ලද මිළ කළ නොහැකි දේපළ රැසක් අහිමි ව ගියේ කසිකබල් චිත්‍රපට තන්නට නොව ලෝකයට විශිෂ්ට කලා කෘති බිහි කරන්න ට යෑමේ පින්කම නිසාය .එහෙත් ඒ පිලිබඳ අද ද ඔවුන් කිසිවිටෙකත් මැසිවිලි කියන්නේ ද නැත. එහෙත් එම සිනමාව හේතුවෙන් එනම් යහපත් සිනමාව වෙනුවෙන් මෙරට සිනමා බලධාරින්ට හා හොඳ සිනමාවක් වෙනුවෙන් කැප වූ සිනමා රසිකයන්ට යමක් කළ හැකි වෙතැයි මම විශ්වාස කරමි.

ආචාර්ය ලෙස්ටර් හා සුමිත්‍රා යුවළ ඩික්මන් පාරේ නැතහොත් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවතේ නිවහනට පදිංචියට පැමිණියේ 1969 වසරේ පමණය.කුලියට ගත් නිවසකු වුවත් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් ගේ නමින් මේ නිවහන ජනප්‍රිය විය.එහි හිමිකරුවන් ව සිටියේ වෙන පිරිසකි.එහි ගැටළුවක් වූයේ ද නැත. එහෙත් මෙයට මාස කිහිපයකට පෙර සුමිත්‍රා පීරිස් මැතිනියට දැන ගන්නට ලැබෙන්නේ එම නිවහන සහිත ඉඩමේ අයිතිය වෙනත් සමාගමක් මිළයට ගත් වගය. ඔවුන් එහි දේපළ සංවර්ධන කටයුත්තක් සඳහා අර අඳීමින් සිටිති. වසර හතලිස් අටක් ජිවත් වූ මිනිසුන් ඒ පිළබඳ දන්නේ ද එහෙමය.එය කොයි ආකාරයෙන් බැලූවත් සදාචාරාත්මක වන්නේ නැත.අලුත් ගනුදෙනු කරුවකු අතට පත් වන්නට පෙරාතුව එහි නිවැසියන්ට දැන්වීමේ යුතුකමක් ඇත. අනිත් අතට එහි සිටින්නේ ලෝකයේ ගෞරවාදරයට ලක් වූ යුවළකි. ඔවුන් රටේ බුහුමනට පාත්‍ර වූවන්ය. මෙයට පෙර ආචාර්ය ලෙස්ටර් ගේ දෙහිවල මහ ගෙදර පිලිබඳ පින්තූර සහිත පුවතක් සති අන්ත ඉංග්‍රිසි පුවත්පතක පළවෙද්දී ප්‍රතිළුලය වූයේ එහි හිමිකරු විසින් පසුවදාම එම නිවහන පොළවට සමතලා කිරිමය. ඒ ආචාර්ය ලෙස්ටර් ගේ උපන් ගෙය නිසාවෙන් එය රජයට පවරා ගෙන කෞතුකාගාරයක් අරඹනු ඇතැයි කිසිවකු විසින් ලණුවක් නිවස් හිමි ඥාතියට දීමය. ආචාර්ය ලෙස්ටර් විසින් ලෝකයට තිළිණ කළ මහා සිනමා කෘතිය වන නිධානයේ දළ සේයා පටලය අතුගා දමන තුරු බලා සිටි රටක් එතුමන්ගේ උපන් ගෙය සුරැකීමට තරම් කෘතඥ වනු ඇතැයි සිතීම උගහටය. ආචාර්ය ලෙස්ටර් සිනමාවට පිවිසි යුගයේ සිට පැවසුවේ දේශිය චිත්‍රපට සංරක්ෂනය කළ යුතු වගය.

සිනමා කෘතියක් වශයෙන් පමණක් නොව දේශයේ මහා කලාකරුවකු සතු සියලු දේ රටක සංස්කාතික උරුමයක් ලෙස සළකනු ලබති. වර්තමානයේ සිනමාව යනු සංස්කෘතික දායදායක් ලෙස ලෝක සිනමාවේ පමණක් නොව ආර්ථික විද්‍යාඥයන් පවා සදහන් කරති. 1994 වසරේ දී අමෙරිකාව නිර්බාධ වෙළඳ ගිවිසුම ලොවට හඳුන්වා දෙනු ලබද්දී ප්‍රංශයේ සංස්කෘතික ඇමැති යාක් ලෙවන් එහි එක් කොන්දේසියකට දැඩිව විරෝධය පළ කළේය. ඒ සිනමාව යනු වෙළඳ භාණ්ඩයක් නොව සංස්කෘතික ප්‍රකාශනයක් යන මතය තහවුරු කර ගනිමිනි. ටෙඩ් ටර්නර් වැනි මාධ්‍ය ලෝකයේ දැවැන්තයෙක් විසින් වරක අමෙරිකානු සිනමාවේ පැරණි චිත්‍රපට වර්ණ ගැන්වීමට ගිය විට එයට දස අතින් විරෝධය මතු වූයේ එම සංස්කෘතික වටිනාකම නිසාවෙනි. ආචාර්ය ලෙස්ටර් පදිංචි නිවහනේ වටිනාකම තහවුරු කළ හැක්කේ ඒ අනුවය.සිනමාකරුවකු ගේ මතු පමණක් නොව කලාකරුවකු ගේ දේපළ යනු රටක උරුමයේ කොටසක් වෙයි.එබඳු කලාකරුවන් යනු පඳුරට පයින් ගැසූ සැනින් සොයා ගත හැකි නැතහොත් එකවර පහළ වී අපිත් කලාකරුවන් යනුවන් කියා ගන්නාවුන් නොවේ. ආචාර්ය ලෙස්ටර් යනු බුහුමන් ලක් විය යුතු දුලබ කලාකරුවන්ය.ඔවුන් දේශයේ සම්පතකි.ඔහු ජිවිතය කැප කළේ ඔහු වෙනුවන් නොව ලාංකික සිනමාවේ අනාගතය වෙනුවෙනි. ලාංකික සිනමාව අද යම් ජගත් කිර්තියක් අත්පත් කර ගන්නේ ද එහි වැඩි ගෞරවය ආචාර්ය ලෙස්ටර් ට හිමි වන්නේ ද එබැවිනි.