වර්ෂ 2016 ක්වූ අගෝස්තු 11 වැනිදා බ්‍රහස්පතින්දා




මනමේ කුමරු මෙන්ම ජසයා වූයේ ද ඔහුය

මනමේ කුමරු මෙන්ම ජසයා වූයේ ද ඔහුය

සිනහව අතරින් මතුවුණු කඳුළ

විජය නන්දසිරි (ඉලුප්පිටිය මුදියන්සේලාගේ විජය නන්දසිරි) වේදිකාව, සිනමාව හා රූපවාහිනිය (ටෙලි නාට්‍ය) යන මාධ්‍ය තුනම එකසේ ජයගත් නළුවෙකි. ඇතැම් වේදිකා නාට්‍ය නළු නිළියන් සිනමා රංගනයේදී අසාර්ථකය. එඩ්මන්ඩ් ජයසිංහ, ප්‍රේමා ගනේගොඩ ඊට නිදසුන්ය. ඇතැම් නළු නිළියෝ වේදිකාවට යම් තරමක් දුරට අවශ්‍ය අධි රංගනය සිනමාවේදී ද එලෙසම පවත්වාගෙන යති. විජයරත්න වරකාගොඩ, සෝමලතා සුබසිංහ මෙයට උදාහරණ දෙකකි. විජය නන්දසිරි පවා මුලින් රඟපෑ චිත්‍රපටවලදී එසේ වුවත් පසු කලෙක (විශේෂයෙන් 'සිකුරු හතේ' චිත්‍රපටයේදී) සිනමාවට උචිත රංග ශෛලියක් ප්‍රකට කළ ආකාරය දැක්ක හැකිය.

විජය නන්දසිරි වේදිකාව මත විවිධ චරිත රඟපා ඇත. මා නිවැරදි නම් මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ 'මනමෙ' නාට්‍යයේ හතරවැනි කුමාරයා ඔහුය. මුලින්ම බෙන් සිරිමාන්න රඟපෑ චරිතය පසුව හෙන්රි ජයසේන හා උපාලි අත්තනායක ද රඟපෑහ. ඔහු මනමේ කුමරු ලෙස දහස් වතාවකට වඩා වේදිකාවට ගොඩ විය. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ 'සිංහබාහු', 'මහසාර', 'පබාවති' වැනි නාට්‍යවල පසු නිෂ්පාදනවලදි විජය රඟපෑවේය.

'රංකඳ' (ජේ. රාමසිංහ ලෙස), 'නරියා සහ කේජු' (ලොක්කෙ ලෙස), 'සුබ සහ යස' (මහ ඇමැති ලෙස), 'බැද්දේ ගෝරනාඩුව' (පිංගලක සිංහයා ලෙස) විජය කළ චරිතාංග නිරූපණ අදත් නාට්‍ය ප්‍රේක්ෂක මතකයෙන් ගිලිහී ගොස් නැතැයි සිතමි.

1975 රාජ්‍ය නාට්‍ය උලෙළේදී ජයසේකර අපෝන්සු හොඳම නළුවා (පරපුටුවෝ හා රන් ලන්තෑරුම) වෙද්දී විජය 'නරියා සහ කේජු' නාට්‍යයේ රංගනය උදෙසා කුසලතා සහතිකයක් හිමිකර ගත්තේය.

'තාරාවෝ ඉගිළෙති' නාට්‍යයේ මුල් නිෂ්පාදනයේදී විජේගේ චරිතය නිරූපණය කළේ විජයය. ඉන්පසු නාට්‍ය නිෂ්පාදක ලූෂන් බුලත්සිංහල සමඟ ඇති කර ගත් කිසියම් ගැටුමක් මත ඔහු, ජයලත් මනෝරත්න, නීල් අලස් වැනි නළුවෝ එම නාට්‍යයෙන් ඉවත් වූහ.

'රත්නාවලී', 'බක තපස්', 'චිත්‍රාගේ ප්‍රේම කතාව', 'සිරිසඟබෝ'', 'කකුල් හතරේ ඉලන්දාරියා' විජය නන්දසිරි රඟපෑ සෙසු වේදිකා නාට්‍ය වෙයි. 'කකුල් හතරේ ඉලන්දාරියා' ආර්. ආර්. සමරකෝන්ගේ නාට්‍යයකි. ඔහුගේ නාට්‍යයක විජය රඟපෑ ප්‍රථම හා අවසාන අවස්ථාව එය විය.

විජය වේදිකා නාට්‍ය කීපයක් නිෂ්පාදනය කර ද ඇත. (උදා: 'කුස පබාවතී', 'ශ්‍රී ගජබා', 'වෘෂභ රාජ' වැනි).

1979 දී ටවර් හෝල් රඟහල පදනමේ අනුග්‍රහයෙන් රුසියාව, යුගෝස්ලාවියාව, බල්ගේරියාව වැනි රටවලට ගොස් නාට්‍ය කලාව අරභයා තම අත්දැකීම් පෘථුල කර ගත්තේය.

විජය නන්දසිරි සිනමා රංගනයට ප්‍රවිෂ්ට වන්නේ 'මාතර ආච්චි' චිත්‍රපටයේ සුළු චරිතයකිනි. ඉන්පසු ඔහු 'වස්තුව', 'තිලක හා තිලකා', 'මංගලා' වැනි චිත්‍රපටවල ද රඟපෑවේය. 'සිරිපතුල' චිත්‍රපටයේ ඔහුට ප්‍රධාන චරිතයක් ලැබුණත් එම චිත්‍රපටය මෙන්ම ඔහුගේ රංගනය ද අසාර්ථක වූවක් විය.

විජය පොදුජන ප්‍රේක්ෂක අවධානයට යොමුවුණේ කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරාගේ චිත්‍රපට ඔස්සේ යැයි සිතමි. 'නෑදෑයෝ', 'හිඟන කොල්ලා', 'සසර', 'රේල් පාර', 'බංගලි වළලු', 'වතුර කරත්තය' එම චිත්‍රපට වෙයි. මෙයින් 'නෑදෑයෝ' චිත්‍රපටය වඩාත් සුවිශේෂය. කේ. ඒ. ඩබ්ලිව් ගේ චිත්‍රපටවල බෙහෙවින් දක්නට ලැබෙන්නේ අධි රංගනයන්ය. විශේෂයෙන් ඩී. ආර්. නානායක්කාර, සම්පත් ශ්‍රී නන්දලෝචන, හර්බට් අමරවික්‍රම වැනි නළුවන්ගේ රඟපෑම් කෙරෙහි අවධානය යොමු කළ විට එය පැහැදිලි වෙයි. කේ. ඒ. ඩබ්ලිව්.ට උචිත රංග ශෛලියක් විජය නන්දසිරි සතුව තිබිණි. ඔහුට ඒ අවස්ථා ලැබුණේ ඒ නිසා යැයි සිතමි. 'නෑදෑයෝ' චිත්‍රපටයේ විජයගේ රංගනය මුළුමනින්ම අසාර්ථකය. ඔහුගේ පෞරුෂයට නොගැළපෙන ගී හඬක් (ටී. ඇම්. ජයරත්න) නිසා එය විගඩමක් බවට ද පත්වූයේය. 'සැනසුම් සුසුමන්', 'ජීවිතේ අමධාරා' වැනි ගී කේවල වශයෙන් ගත්විට රසවත් වුව විජය නන්දසිරි වෙනුවෙන් පසුබිම් ගී සඳහා එය අනුචිත වූයේය.

ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ ද විශාල අනුබලයක් කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා වෙතින් විජයට ලැබිණි. ඔහුගේ 'ගමන', 'ප්‍රමාද වැඩියි' වැනි ටෙලි මාලාවන්ගේ ද විජය රඟපෑවේය. ඉන් පරිබාහිරව 'හුමාලය', 'සඳුන් ගිර ගිනි ගනී' ඔහු රඟපෑ සෙසු ටෙලි නාට්‍ය කීපයකි.

විජය නන්දසිරි අති දක්ෂ විකට නළුවකු බව රසිකයන් සාක්ෂාත් කර ගත්තේ 'නෝනාවරුනි මහත්වරුනි', 'එතුමා' වැනි ටෙලි නාට්‍ය ඔස්සේය. ඉන්පසු 'මෙතුමා', 'අපේ කාලයේ සුබ සහ යස' වැනි ටෙලි නාට්‍යවල ද හෙතෙම විකට ස්වරූපයේ චරිත රංගනය කළේය. ඒකාකාරීව තිබූ විකට රංග වේදයට නව මාදිලියක් එක් කළේ විජයය. කහඹිලියා ගා ගත්තකු සේ දඟලන විකට රංගන ඉදිරියේදී ඔහු හාස්‍ය මතු කළේ සියුම් ඉංගිති ඔස්සේය. එසේ වුවත් ඔහු වෙළෙඳ භාණ්ඩයක් කරගත් චිත්‍රපට නිෂ්පාදක අධ්‍යක්ෂවරු ඔහුව බාල ගණයේ විකට නළුවකු බවට පත් කළහ. 'බහුභූතයෝ', 'පිස්සු ඩබල්', 'පිස්සු ට්‍රිබල්' වැනි චිත්‍රපටවලින් කළේ එවැන්නකි. විකට නළුවකු ලෙස විජයගේ ඉහළම රංගනය ඇතුළත් වන්නේ 'සිකුරු හතේ' චිත්‍රපටයේය. එය විකට රංගනයකටත් වඩා චරිතාංග නිරූපණයක් ලෙස නිගමනය කළ හැකිය. චිත්‍රපටය අවසානයේ ප්‍රේක්ෂකයාට මංගල ජයගේ චරිතය කෙරෙහි දයානුකම්පාවක් ඇතිවන්නේ ඒ චරිතයේම තිබූ කිසියම් ගැඹුරක් නිසාය.

විජය නන්දසිරි නමැති විකට නළුවා වේදිකාවේදී ද විකිණිණි. 'බල්ලොත් එක්ක බෑ', 'රූකඩ රාජ්ජේ', 'දෙය්යොත් දන්නෙ නැහැ', 'අලුත් හොරෙක් ඕනෑකර තිබේ' වැනි වේදිකා නාට්‍ය මීට නිදසුන්ය. මෙම නාට්‍යවලදී අවශ්‍ය වූයේ විජය නන්දසිරිගේ නාම මාත්‍රය පමණි. මන්දයත්, ඔහුගේ පෙනී සිටීම පමණක් වුව නාට්‍ය ලෝලයන්ට ප්‍රමාණවත් වූ නිසාය.

කෙසේ වෙතත් විජයගේ බිරිඳ (දේවිකා මිහිරාණි) ටෙලි තරුවක් වූ අවදියේ විජයගේ නමවත් අසන්ට නොලැබිණි. ඔහු පුනර්ජීවනයක් ලද්දේ විකට ශෛලියේ රංගන වෙතින්ය යන්න අපට බැහැර නොකළ හැකි සත්‍යයකි. දේවිකාගේ දීප්තිය කෙමෙන් කෙමෙන් වියැකී යද්දී විජය යළි නැඟී සිට්යේ හින්දි චිත්‍රපටයක කතා පුවත සිහි ගන්වමිනි. විජයට වේදිකාවේ මනමේ කුමරු වන්නට මෙන්ම ජසයා වන්නට ද හැකියාවක් තිබිණි.

මෙරට කලා ලෝලීන් විජය නන්දසිරිට බෙහෙවින් ආදරය කළහ. ඔහුගේ මරණය අසා ඔවුන් දැඩි සේ විස්සෝප වූයේ ඒ නිසාය.