|
මැග්සෙසේ සම්මානය පිටුපස මම ද සිටියෙමි
1979 දී පමණ මල්ටිපැක්ස් ආයතනය අලුත් පුවත්පතක් ආරම්භ කළේය. ඒ 'සත්දින'ය. මෙහි ප්‍රධාන කර්තෘ වූයේ ගුණදාස ලියනගේ මහතා වුවත් පත්‍රය පවත්වාගෙන ගියේ ඔහුගේ හොඳම ගෝලයා වූ චන්ද්‍රසේන කිරිවත්තුඩුවය. ටෛම්ස් ආයතනයේ පඩි පෙළ නැඟ 'ලංකාදීප'යට ගොස් මා කිරිවත්තුඩුව හමු වූ ආකාරය මීට ඉහත ලිපියක සඳහන් කළා ඔබට මතක ඇතැයි සිතමි.
'සත්දින' ට ලියන්නැයි කිරිවත්තුඩුව මට කියා සිටියේය. ඒ වාගේම එහි සාහිත්‍ය ලිපි සකස් කරමින් සිටියේ අද 'දිවයින' ඉරිදා සංග්‍රහයේ කර්තෘ අනුර සොලමන්ස්ය. අනුර කිසියම් විභාගයකට පෙනී සිටීම සඳහා සති කීපයක් නෑවිත් සිටියෙන් සාහිත්‍ය ලිපි සැකසීමේ වගකීම මට පැවරිණී. මම ඒ අවස්ථාව උපරිමව ප්‍රයෝජනයට ගනිමින් මහාචාර්ය ඒ. වී. සුරවීර ප්‍රමුඛ ලේඛකයන් හමු වී සම්මුඛ සාකච්ඡා කොට ලිපි කීපයක් සකස් කළෙමි. වෙසක් ආසන්න සමයක මර්සලින් ජයකොඩි පියතුමා ලවා වෙසක් අළලා විශේෂ ලිපියක් ලියවා ගෙන එන්නැයි කිරිවත්තුඩුව මට කියා සිටියේය. 'සිත්සර' ඡායාරූප ශිල්පී තිලක් කුමාර රත්නායක සමඟ මම ජයකොඩි පියනම ඒ වනවිට විශ්‍රාමිකව සිටි කැලණිය පිලපිටිය පල්ලියට ගොස් උන්වහන්සේ හමුවීමි. ඒ මා උන්වහන්සේ මුණ ගැසුණු පළමු අවස්ථාවය. උන්වහන්සේ ලියූ ගීතිකා අප අනේක වාරයක් පාසලේදී ගායනා කර තිබිණි. මෙලෙස 'සත්දින' ඔස්සේ ජයකොඩි පියනම හඳුනාගන්නට ලැබීම මගේ ජීවිතයේ මහත් භාග්‍යයක් කොට මම අදත් සලකමි. 'සුදු පළදා මල් තැටි ගෙන' යන ශීර්ෂය යටතේ ජයකොඩි පියනමගේ ලිපිය 'සත්දින' 1979 මැයි 6 කලාපයේ පළ වූයේය. පසු කාලෙක ගුණදාස ලියනගේ හා කිරිවත්තුඩුව එක්ව 'කල්පනා' සඟරාව පවත්වාගෙන යද්දී කිරිවත්තුඩුවත් මමත් එක්තරා නත්තල් සමයක් වෙනුවෙන් ජයකොඩි පියනම අළලා විශේෂ කවරයේ කතාවක් ලීවෙමු. (1982 දෙසැම්බර් කලාපය) ජයකොඩි පියනමට පිලිපීනයේ මැග්සෙසේ සම්මානය ලැබීමට මඟ පෑදුණේ මේ කවරයේ කතාවයි. ඒ බව ජයකොඩි පියතුමා මට කීවේ සම්මානය ලබා ලංකාවට පැමිණ මාස කීපයක් ගත වූ කල්හිය. මැග්සෙසේ ත්‍යාග කමිටුව ලංකාවට පැමිණ එතුමා ගැන කරුණු සොයද්දී 'කල්පනා' සඟරාවේ ජයකොඩි කලාපයක් ද ඔවුන්ට අහම්බෙන් දැකගන්ට ලැබී ඇත. එහි සඳහන් කරුණු ඉංග්‍රීසියට පරිවර්තනය කරගත් ඔවුන් ඒ සියලු විස්තර පිලිපීනයට දන්වා යවා තිබේ. තමාට මැග්සෙසේ සම්මානය ලැබීමට 'කල්පනා' සඟරාව ද හේතු වූ බව ජයකොඩි පියතුමා මා සමඟ කියූ පුවත් මා කිරිවත්තුඩුව හමුවේ කියද්දී ලියනගේ මහතාට එය ඇසිණි. ඔහු මහත් උනන්දුවකින් වැඩිදුරටත් මගෙන් කරුණු විමසන්නට පටන් ගත්තේය. ලියනගේ මහතා යනු ඕනෑම සිද්ධියක ප්‍රවෘත්තිමය වටිනාකම දැන සිටි කෘතහස්ත මාධ්‍යවේදියෙකි. ඔහු 'කල්පනා' ඊළඟ සඟරාවේම (1983 සැප්තැම්බර්) 'ජයකොඩි පියතුමා සහ මැග්සයිසයි තෑග්ග' යන සිරස්තලය යටතේ විශේෂ සටහනක් ලීවේය. ඔහු ඉන් වැඩි ගෞරවයක් 'කල්පනා සඟරාව' වෙත ලබා ගත්තේය. ඉන්පසු මා සම්බන්ධ වූ පුවත්පත්, සඟරා ගණනාවකටම ජයකොඩි පියනම සමඟ සම්මුඛ සාකච්ඡා කොට ලිපි සකස් කළෙමි. ඒ අතරින් තවත් සුවිශේෂී අවස්ථාවක් වන්නේ 'දෙසතිය' සඟරාවේ කවරයේ කතාවයි. (1983 අගෝස්තු 30) 'කවියකු වු දේවදූතයා' යන ශීර්ෂය යටතේ එම කවරය ලිව්වේ ගාමිණී විජේතුංග සහ මාය. ජයකොඩි පියතුමා සමඟ සම්මුඛ සාකච්ඡා කොට මා සකස් කළ ලිපි එක්කොට පසු කලෙක මම පොතක් ද පළ කළෙමි. එහි නම 'ජයකොඩි ලකුණ'ය. ජයකොඩි පියතුමා ගීත රචකයකු වශයෙන් සිනමා ක්ෂේත්‍රයට ද සම්බන්ධව සිටියේය. ඔබ අප සැම දන්නා පරිදි 'රේඛාව' චිත්‍රපටයේ එන සියලු ගී රචනා උන්වහන්සේගේය. එහෙත් උන්වහන්සේ වරක් මා සමඟ කියා සිටියේ 'රේඛාව'ට ලියූ ගී එකකටවත් තමාට මුදල් නොගෙවූ බවය. 'ඒ අය දුන්නෙත් නැහැ. මම ඉල්ලන්න ගියෙත් නැහැ' උන්වහන්සේ කීවේය. ජයකොඩි පියනම 'රේඛාව'ට ලියූ ගී මොන තරම් ජනප්‍රිය වී ද කිවහොත් 1957 දී 'සිලෝන් ඔබ්සර්වර්' පුවත්පත පැවැත් වු ජනප්‍රිය චිත්‍රපට පුද්ගලයා (ජ්ධ්ඹ්ර් ර්‍ථඡ්අඉර්‍ණව්ඒඹ්ධ්ඊක) පාඨක තරගයෙන් වැඩිම ඡන්ද සංඛ්‍යාවක් දිනා පළමු ස්ථානයට පැමිණියේ ජයකොඩි පියනමය. රුක්මණී දේවි, සිසිර සේනරත්න, කාන්ති ගුණතුංග හා එඩී ජයමාන්න පිළිවෙළින් දෙවැනි, තෙවැනි, සිවුවැනි හා පස්වැනි ස්ථාන ලදහ. රුක්මණී දේවි සම්මාන උත්සවයදා ජයකොඩි පියනම සමීපයට විත් මෙසේ කියා ඇත. 'ෆාදර් අයි ඈම් සර්ප්‍රයිස්' එවිට එඩී ජයමාන්න කියූ දෙයින් මේ සටහන නිමා කරමි. 'ඕක තමයි මං නිතරම ඩේසිට කියන්නේ ඇඬෙන සින්දු කියන්න එපා කියලා. ඔයා සින්දු කියනකොට රසිකයන්ටත් ඇඬෙනවා. ඒ තියා මටත් ඇඬෙනවා. මං කැමැති වුණාට රසිකයෝ ඔය නිතරම අඬන අයට කැමැති නැති බව දැන්වත් දැනගන්ව නං හොඳයි'
ලබන සතියේ 'දෙසතියෙන් ගොඩනැගුණු සරච්චන්ද්‍ර ඇසුර |