වර්ෂ 2016 ක්වූ ජූනි 09 වැනිදා බ්‍රහස්පතින්දා




ගාමිණී ජනප්‍රිය සම්මානය එපා කියයි

ගාමිණී ජනප්‍රිය සම්මානය එපා කියයි

කිත්සිරි නිමල් ශාන්ත නම් අපේ පුංචි මිතුරා දිනක් මම අපේ සරසවිය කර්තෘ මාණ්ඩලික සෝමවීර සේනානායකට හඳුන්වා දුනිමි. ඇතැම් හවස් වරුවක අප එක් වී අලුත පිට වූ පොත පත ගැන, වේදිකා නාට්‍ය ගැනත්, චිත්‍රපට ගැනත් කතා කළෙමු.

'මගේ ලොකු ආසාවක් තියෙනවා රංජිත්ගේ පොත් කවර ප්‍රදර්ශනයක් ගාල්ලේ පවත්වන්න. සෝමවීර මහත්තයාට පුළුවන් නේද රංජිත්ගේ පොත් කවර ගැන කතාවක් කරන්න. මහින්ද විද්‍යාලයේ මාත් එක්ක ඉගෙන ගත්තු යාළුවෝ ටික එකතු කර ගන්න පුළුවන් සංවිධාන කටයුතු කර ගන්න' දිනක් කිත්සිරි අපට කීය.

'මම ඒ කතාව කරන්න ආසාවෙන් බාර ගන්නම්' සෝමවීර කිවේය.

ගත වූයේ දෙසතියකි.

'රංජිත් පොත් ප්‍රදර්ශනයට මම දිනයක් නියම කර ගත්තා. ප්‍රදර්ශනය විවෘත කරන්න බ්‍රැඩ්මන් වීරකෝන් මහත්තයට මම ආරාධනා කළා. එතුමා සතුටින් බාර ගත්තා' කිත්සිරි දිනක් පැමිණ අපට පැවසුවේ රටක් රාජ්ජයක් දිනා ගත් සතුටකිනි.

අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස අගමැතිවරු හය දෙනෙකු හා අගමැතිනියක ළඟ සමීපව කටයුතු කළ කීර්තිමත් සිවිල් නිලධාරියකු වූ බ්‍රැඩ්මන් වීරකෝන් මහතා එවකට ගාල්ලේ මහ දිසාපතිය. ඔහු වැනි උසස් පුද්ගලයකු මගේ පොත් කවර ප්‍රදර්ශනය විවෘත කිරීමට පැමිණීම ඓශ්වර්යක් නොවේද? මම කොතරම් වාසනාවන්තයෙක් දැයි සිතුවෙමි.

නියමිත දිනයේ උදේ පාන්දරින්ම සෝමවිරත් මමත් ගාල්ල බලා දුම්රියෙන් ගියෙමු. ප්‍රදර්ශනය පැවැත් වූයේ ගාල්ලේ ශාන්ත ඇලෝෂියස් විද්‍යාලයීය ශාලාවේය.

එදා වූ අමතක නොවන සිද්ධිය නම් ප්‍රදර්ශනයට ඇතුළු වන දොරටුවේ පීත්ත පටිය කපා විවෘත කිරිමට මහ දිසාපතිතුමා නියමිත වේලාවට ටිකක් කලින් ශාලාවට පැමිණියේය. පීත්ත පටිය කැපීමට කතුරක් ගෙන ඒමට කිත්සිරිට අමතකව තිබුණි. කලබලයට පත් කිත්සිරි පන්තියකට ගොස් ඩෙස්ක් එකක් උඩ තිබූ මළකඩ කෑ බ්ලේඩ් තලයක් සොයා ගෙන පීත්ත පටිය කැපීමට දිසාපතිතුමාට දුන්නේය. දිසාපතිතුමාට සිනා ගියේය. ඔහුට ද මෙය අලුත් අත්දැකීමකි.

'සමාවෙන්න දිසාපතිතුමා මට කතුර ගේන්න අමතක වුණා' කිත්සිරි බැගෑපත් ස්වරයෙන් අහිංසකව සිනාසෙමින් කිවේය.

'කිත්සිරි ඕක ගැන හිතන්න එපා. ඒක සුළු අත් වැරදීමක්. අපි අගය කරන්නේ ඔයාගේ උත්සාහය' දිසාපතිතුමා සැහැල්ලුවෙන් කිවේය.

කිත්සිරිගේ මිය ගිය පියාට තිිබූ සැලකීමක් ගෞරවයක් වශයෙන් මේ ආරාධනය පිළිගත් බව දිසාපතිවරයාගේ කතාවේදී කීවේය. එදින සෝමවීරගේ කතාවේද කිත්සිරි කලාවට තිබූ ඇල්ම ප්‍රශංසා කළේය.

කලා විචාරකයකු වූ බ්‍රැඩ්මන් වීරකෝන් මහතා මගේ ප්‍රදර්ශනයට කැඳවා දීම ගැන ද මගේ ප්‍රදර්ශනයක් ගාල්ලේ පැවැත්වීම ගැන ද අද ජීවතුන් අතර නැති කිත්සිරි නිමල් ශාන්තට මගේ ගෞරවය හා ස්තූතිය හිමි වේ. එය මට කිසිදා අමතක නොවේ. පසු කලෙක දිවයින විශේෂාංග කර්තෘ හා ලක්බිම දිනපතා පුවත්පතේ ප්‍රධාන කතුවරයා වූ අකාලයේ මියගියදා මට එක කුස උපන් සොහොයුරෙකු නැති වූවා මෙන් සංවේගයක් දැනුණි.

ගාමිණී ෆොන්සේකා ගැන තවත් අපූරු සිද්ධියක් 1976 වසරේ සිදු විය. 1976 මෙරට පැවැත් වූ නොබැඳි ජාතීන්ගේ සමුළුව නිමිතිකොට ලේක්හවුස් ආයතනයේ දිනපතා හා සති අග සිංහල පුවත්පත් සංවිධානය කළ රචනා තරඟයේ ජයග්‍රාහකයින්ට ත්‍යාග පිරිනැමීම හා 1974 තිරගත වූ චිත්‍රපට අතරින් ප්‍රියතම කලාකරුවන් කූපන් මඟින් තෝරා ඔවුනට සම්මාන පිරිනැමීමේ උලෙළක් සංවිධානය කරන ලදී. සරසවිය හා ජනතා පුවත්පත්වල පළ වූ කූපන් පුරවා දහස් ගණනක් පාඨකයෝ කූපන් එවූහ. ප්‍රියතම කලාකරුවන්ට පිරිනැමීමට මේ උලෙළ සඳහාම විශේෂ සම්මානයක් නිර්මාණය කරන ලදී. සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වීමට නියමිතව තිබුණේ 1976 නොවැම්බර් 21 වෙනි ඉරු දින කොළඹ නව රඟහලේදීය. මෙය ප්‍රියතම කලාකරුවන් තේරීමේ තරඟයක් මිස එය සරසවිය සම්මාන උලෙළක් ලෙස සැලකිය නොහැකිය. පාඨකයින් කූපන් අති මහත් සංඛ්‍යාවක් මේ සඳහා එවන ලදී. ජනප්‍රිය නළුවා සඳහා වැඩිම කූපන් එවා තිබුණේ 'කස්තුරි සුවඳ' චිත්‍රපයේ රඟපෑ ගාමිණීටය. ඒ ආරංචිය මුළු ලේක්හවුසිය පුරාම පැතිරිණ. උත්සවයට ඇත්තේ තව දින පහකි. සම්මාන පිරිනමන්නේ අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අතිනි. සරසවිය කර්තෘතුමා කලබලයෙන් තම කාමරයට පැමිණියේ සභාපතිතුමාගේ කාමරයේ සිටය. ඔහු සමඟ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ධර්මසිරි ජයකොඩි 'දිනමිණ' කර්තෘ ටී. බී. පෙරමුණේ තිලක මහතුන්ද පැමිණියහ. එකල විමලසිරි පෙරේරා මහතා සරසවියේ මෙන්ම සිළුමිණේ ද ප්‍රධාන කතුවරයාය. ඔහුට ආයතනයේ විශාල බලයක් ද තිබුණි.

කතුවරයාගේ සීනු හඬින් මම ඒ දෙස බැලුවෙමි. ඔහු මට හිසෙන් කතා කළේය. සියල්ලෝම කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂකගේ කාමරයට ගියහ.

'රන්ජිත් දන්නවනේ මේ පාර පාඨක තරඟයෙන් ගාමිණීට පාඨකයෝ හුඟාක් කූපන් එවල බව'

මම නොදන්නවාක් මෙන් සිටියෙමි.

'ගාමිණී ඔයාගේ හොඳම යාළුවනේ. ඔයා එයා ගැන පොතකුත් ලිව්වනේ. දැනගන්න එපායැ'

එවර කතා කළේ ධර්මසිරි ජයකොඩි මහතාය. මම එවර ද මුනිවත රැක්කෙමි.

'මේ වැඩේ කරන්න පුළුවන් රන්ජිත්ටම විතරයි' පෙරමුණේ තිලක මහතා එවර කතා කළේය.

'අපි දැන් රන්ජිත්ට වාහනයක් දෙන්නම්. ගාමිණී ඉන්න කොයි ලෝකෙකට හරි ගිහිල්ලා හම්බ වෙන්න. එයාව කොහොම හරි සම්මාන උලෙළට ගෙන්න ගන්න ඕනෑ. නැත්නම් අගමැතිනියට තරහ යාවි' ජයකොඩි මහතා ඕනෑකමින් කීවේය.

'මේ වැඩේට මම පුංචි වැඩියි. මට වඩා ජ්‍යෙෂ්ඨ කෙනෙක් යැව්වොත් නේද හොඳ?' මම කිවෙමි.

'වැඩේ හරි යන්නේ නැහැ. කුමාරදාස වාගිස්ට ගියා බැහැ කිව්ව විතරක් නෙවෙයිලු එලවා ගත්තලු'

මට කලින් කුමාරදාස වාගීස්ට ද ප්‍රතිඵල රහිතව පැමිණි බව දැනගත් පසු මම බිය වුණෙමි.

'මම කියන දේ එයා අහවිද? එයා නහයට නාහන අමුතු කෙනෙක්. කිව්වොත් කිව්වා. මම ආශ්‍රය කරන්නෙත් පරෙස්සමෙන්' මම යළිත් කීවෙමි.

'ගාමිණීට සරසවිය අමතක කරන්න බැහැ. එයාට අපි සම්මාන කීයක් දීලා තියෙනවාද? කොච්චර පිට කවර දාලා දීලා තියෙනවාද පත්තරෙන්, අපි කොපමණ උදව් කරල තියෙනවාද?' විමලසිරි මහතා ශාන්තව කතා කරයි.

'අපි මැතිවරණයන් පස්සේ එයාගේ පබ්ලිසිටි ටිකක් අඩු කළා තමයි. ඒකත් ජනතා කැමැත්තට. අපි ඉඩ දුන්නේ . . . ඒකත් ටික කාලයනේ . . .' ධර්මසිරි ජයකොඩි මහතා කිවේය.

'හොඳයි ඔයා මේ ගැන කා එක්කවත් කතා කරන්න යන්න එපා. මේක අතිශයින්ම රහසක්. සභාපතිතුමාත් දන්නවා. ඔයාගේ යාළුවා හින්ද කිව්වේ. හොඳ විදිහක් හිතලා අපිට කියන්න. වාහනයක් ඕනෑම වෙලාවක ලෑස්තියි කර්තෘතුමා කීවේය.

මගේ ආසනයට පැමිණි මම දස අතේ කල්පනා කළෙමි. ගාමිණීට වැඩිපුරම කූපන් ලැබී ඇත්තේ 'කස්තුරි සුවඳ' චිත්‍රපටයටය. එහි නිෂ්පාදක අධ්‍යක්ෂ සේන සමරසිංහ මගේ මෙන්ම ගාමිණීගේ ද සමීප මිතුරෙකි. සේන ඉන්නේ රඹුක්කන. මම ඔහුට ටෙලිෆෝනයෙන් කතා කළෙමි. ඔහු කොළඹ පැමිණ ඇත. මම හැඳල විජය චිත්‍රාගාරයට කතා කොට ඔහු සම්බන්ධ කර ගත්තෙමි.

'සේන ලොකු හදිසියක්. මාත් එක්ක ගාමිණීගේ ගෙදර යන්න එන්න පුළුවන්ද?'

'මේ දැනුත් ගාමිණී ස්ටුඩියෝ එකේ ඩබිං. ඉතින් මෙහේ එන්නකො'

'එහෙම බැහැ ඕව ස්ටුඩියෝවල කතා කරන එක හොඳ නැහැ. අපිට බැරිද අද හවස ගාමිණීගේ ගෙදර යන්න'

මම සේනට සියලු විස්තර කීවෙමි.

'සේන මේ සම්මානය ගාමිණී ගන්න ආවොත් ඔයාගේ ෆිල්ම් එකටත් පබ්ලිසිටි ලැබෙනවා. අපි දෙන්නම කිව්වොත් ගාමිණී ඒවි'

 'හොඳයි අපි කියලා බලමු. එයාව නම්ම ගන්න එක තමයි ප්‍රශ්නේ. මම ගාමිණී එක්ක කතා කරලා බලලා සරසවියට කතා කරන්නම්' සේන කීවේය.

'හොඳයි සේන මම කන්තෝරුවේ නොහිටියොත් ස්ටාෆ් එකේ කාට හරි මැසේජ් එක දෙන්න. මේක රහසක්, කාටවත් කට හොලවන්න එපා'

සේනගෙන් ටෙලිෆෝන් පණිවුඩයක් ලැබී තිබුණේය. එදින සවස ඔහු සමඟ ගමන පිළියෙල විය. කර්තෘතුමා ද සැනසුම් සුසුම් හෙළුවේය.

සේන සමරසිංහ සංචාරක අමාත්‍ය පී. බී. ජී. කළුගල්ල මහතාගේ සමීප හිතවතෙකි. එපමණක් නොව ඔහුගේ 1970 මැතිවරණයට උදව් කළ කෙනෙකි. ඔහුට ද අවශ්‍ය ගාමිණීගේ ප්‍රශ්නයට විසඳුමක් ලබා දීමටය. ඔහු අවංක උත්සාහයක් ගත්තේය.

සේන සහ මා ගාමිණීගේ නිවසට යන විට හොඳටම ඇඳිරි වැටී තිබුණි. ආ ගිය කතා අවසන් වූ පසු සේනට මම ඉඟියක් දුනිමි.

'ගාමිණී, මේ රන්ජිත් කියන්නේ ගාමිණීට දහස් ගණන් කූපන් එනවා කියලා'

'හුම්'

'කස්තුරි සුවඳට ඡන්ද ගොඩක් ඇවිල්ලලු'

'හොඳා'

'ඉතින් ගාමිණී අයියා සම්මානය ගන්න ආවොත් පාඨකයන් ගැනත් හිතලා . . .' මට කියා ගන්න හැකි වූයේ එපමණකි.

'මේ රන්ජිත්, සේන, ඕක ගැන අපි කතා නොකර ඉම්මු. උඹලා දෙන්න නෙවෙයි නං ආපු අනිත් අය වගේ එළියට දානවා. මම සම්මාන ගන්න එන්නේ නෑ එච්චරයි. ඒක ගැන කතා කිරීම තහනම්. සහෝදරයා උඹ මා ගැන එක අකුරක් සරසවියේ නොලිව්වට කමක් නෑ. උඹට ඕනෑ වෙලාවක මේ ගෙදර විවෘතයි' ගාමිණී මා දෙසට හැරී කීවේය.

'ඡ්යබපඥථඥතර ඉධපපර ඉඥදච' ගාමිණී සේන දෙසට හැරී කීවේය.

අපි හිස් අතින් ආපසු හැරුණෙමු. පසුදා සියල්ල කතුවරයාට පැහැදිලි කළේය.

'අප' ඒ සම්මානය එනවුන්ස් නොකර ඉම්මු' කතුවරයා කීවේ ජයකොඩි මහතාටය.

'ඔව් අගමැතිනිය අතින් ගන්න නිසා . . . අපි එහෙම කරමු. ඒක එතුමියට කරන අගෞරවයක්. ජෝතිපාල එන එක ස්ථිරද?' ජයකොඩි මහතා මගෙන් ඇසීය.

'මම නිල වශයෙන් කිව්වේ නෑ. එයාට වටින් පිටින් ආරංචි වෙලා . . . කියන්නම ඕනෑ නම් මම දන්වන්නම්' මම කීවෙමි.

'ඒක හොඳයි. ගාමිණී නේන නිසා ජෝතිපාල හිටියොත් ඒකේ අගයක් තියනවා. එක යූ. ඇන්. පී. කාරයෙක්වත් ඉන්නවනේ' කතුවරයා කීවේය.

එම සම්මාන ප්‍රදානෝත්සවය මනමාලයා නැති මඟුල් ගෙයක් බඳු විය. ජනප්‍රිය චිත්‍රපටය ලෙස 'ළසඳා' (මේ සම්මානය සිලෝන් තියටර්ස් සභාපති එස්. සෙල්ලමුත්තු ලබා ගන්නා ලදී). ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ ලෙස කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා (ළසඳා) ජනප්‍රිය ගීත රචකයා ලෙස කරුණාරත්න අබේසේකර ('මේ ජීවනයේ ' ඔන්න බබෝ බිල්ලේ එනවා) ජනප්‍රිය නිළිය මාලිනී ෆොන්සේකා (සුසී) ජනප්‍රිය ගායකයා එච්. ආර්. ජෝතිපාල ('මේ ජීවනයේ - 'ඔන්න බබෝ බිල්ලේ එනවා') ජනප්‍රිය ගායිකාව සුජාතා අත්තනායක ('පුතුනේ මේ අහගන්න' - කල්‍යාණි ගංගා) අගමැතිනිය අතින් සම්මාන ලැබුව ද ජනප්‍රිය නළුවාගේ නම ප්‍රකාශයට පත් නොවිණ.

'මම ඉන්න කටඅවුට් පුච්චලා. සිනමාහල් පුච්චලා, මාව හතරවැනි තට්ටුවට ගෙනියලා, මගේ පින්තූර පත්තරවල දාන්න නොදී මට කරපු දේවල් මෙච්චර ඉක්මනට අමතක කරන්නද මට කියන්නේ' ගාමිණී පසුව හමු වූ විට මට කීවේය.