සැළා සමඟ දශක තුනක්
පසුගිය මැදින් පුන් පෝ දින ජාතික රූපවාහිනිය ඔවුන්ගේ තිස්වැනි සංවත්සර වැඩසටහන්
මාලාව වෙනුවෙන් මහත් පිංකමක් කරන ලද්දේ සිරිපා මළුවේ සිට ය. මෙයට වසර ගණනාවකට පෙර
මැදින් පෝය සමීපයෙහි මා සිරිපා වන්දනාවකට එක්වූයේ දැරණියගල මාලිම්බඩ හරහා අති
දුෂ්කර ගමනක යෙදෙමිනි.
මෙරට මහා සමන් දේවාල සතරෙන් එකක් වූ දැරණියගල සිට දේවාභරණ රැගෙන ගිය එම පෙරහැරට
යන්නට මට පින ලැබුණේ එච්. ආර්. මිත්‍රපාල ඇමැතිතුමන්ගේ ආරාධනාවකිනි. ඒ එතුමන්ගේ
සම්බන්ධීකරණ නිලධාරී සම්මානනීය කලා අධ්‍යක්ෂවරයෙකු වූ සේන මාඹුලගේ හිතවතා නිසාවෙනි.
ලංකාවේ මහා සමන් දේවාල හතර පිහිටියේ මෙරට මහා ගංගාවන් හතර ඇසුරු කොටගෙන ය. එයින්
දැරණියගල පිහිටියේ කැලණි ගඟ නිම්නයට ආසන්නව ය.
එහි සිට මාලිම්බඩ හරහා සිරීපාද වන්දනාවේ යෑම මෙරට එකී වන්දනාවේ යන දුෂ්කරම ගමන්
මඟයි. එහි බොහෝ තැන් කඳු වැටි දිගේ එල්ලෙමින් අඩි පාරවල් දිගේ යායුතු ගමනකි. ඒ
මදිවාට වනපෙත අරක් ගෙන සිටින කූඩැල්ලෝ ලද ඇසිල්ලෙන් කකුල්වල පොකුරු පිටින් එල්ලෙති.
හතර අත විහිඳ ගත් වනපෙත විනා වෙනත් මිනිස් පුළුටක් නැත.
ඉතාම පුරුදු ගමන්කරුවකු විනා ඉඳ හිට කඳු නඟින අප වැන්නෙකුට එය මහත් දුෂ්කර ගමනක්
යැයි සිතෙන්නේය. එහෙත් ආපසු හැරෙන්නට කිසිසේත් ඉඩක් නැත්තේය.
කෙසේ වෙතත් මගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ දවස කවදා දැයි ඇසුවෙකුට මා හැමවිටම පවසන්නේ
එදින ගමන අවසන මහමළුව වැන්දා වූ අවස්ථාව බව ය. එම ගමන අවසානයේ මා ලද සතුට මට
වචනයෙන් විස්තර කළ හැකි එකක් නොවේ. එහෙත් මගේ මේ වෑයම එම ගමන විස්තර කිරීම නොවේ.
තිස් වසරක් මුළුල්ලේ ජාතික රූපවාහිනිය පිළිබඳ විමසා බැලීමකි.
මෙරට ජාතික රූපවාහිනියේ සේවාවන් ඇරැඹියේ 1982 වසරේ පෙබරවාරියෙ ්ය. එය සිය විකාශය
ආරම්භ කළේ මුළු රටම ආවරණය වන පරිද්දෙනි. ඒ වනවිටත් ස්වාධීන රූපවාහිනිය සිය විකාශයන්
මෙරට අරඹා තිබුණ ද එමගින් එකල ආවරණය වූයේ කොළඹ සහ කිලෝමීටර් පනහක වට ප්‍රමාණයක
ප්‍රදේශයක පමණි. ඒ වනවිටත් රූපවාහිනි යන්ත්‍රය සලකනු ලැබුවේ සුඛෝපභෝගී භාණ්ඩයක්
හැටියටය. එමෙන්ම එහි මිල ද එවකට සාමාන්‍ය ජනතාවට ඔරොත්තු දෙන්නක් නොවී ය.
මේ මිල ගණන් යටතේ එවකට රූපවාහිනි යන්ත්‍ර අලෙවි කළ හැකිව තිබුණි ද යන්න පිළිබඳ මම
පසු කලෙක එකල සිටි මෙරට රූපවාහිනි යන්ත්‍ර ආනයන කරුවකුගෙන් විමසා සිටියෙමි. ඔහු මට
දුන් කදිම පිළිතුර නම් මුල්ම ගැටලුව එය විලාසිතාවක් බවට පත් කිරීම බව ය. එයින් පසු
බෝකර ගැනීම පහසු බව ය. එබැවින් රූපවාහිනිය ද පහසුවෙන් අලෙවි වන දෙයක් විය. මට මතක
හැටියට මෙරට රූපවාහිනි යන්ත්‍ර වැඩිම සංඛ්‍යාවක් එකවර අලෙවි වූ මුල්ම අවස්ථාව නම්
චාල්ස්, ඩයනා විවාහ මංගල්‍යයයි. මේ සඳහා සමහරු රූපවාහිනි යන්ත්‍ර මිලට ගෙන අහසට
ඇන්ටෙනා බැඳ ගත්හ.
ඒ කෙතරම් ඉහළට දැයි කිවහොත් එහි මුදුනට නැඟි කළ ලන්ඩනයේ මඟුල් ගෙදර නිකම්ම පෙනෙන්නට
ඉඩ තිබුණ තරම් ය. මෙරට ජනතාවට රූපවාහිනිය බල පෑ මුල්ම අවස්ථාවන්ගෙන් එකක් වූයේ ද
එයයි. එමගින් ලත් උමතුව සමඟ ඈත ගම්බද තරුණියෝ පවා තම දිග කොණ්ඩය ඩයනා කට් එකට
කැපූහ. ඒ වනවිට සිනමාව මගින් අනුගත කරන ලද විලාසිතාවන් ගෙදරටම පැමිණි මුල් අවස්ථාව
එය විය. තව දුරටත් කොළොම්පුරේ පරණ පැටන් මේ පැත්තේ අලුත් පැටන් යැයි මැසිවිලි
කියන්නට ඇවැසි නොවී ය. එක රැයෙන් රටපුරා බිජු වට වපුලන්නට රූපවාහිනි යන්ත්‍රයට හැකි
විය.
ඒ අනුව ගත වූ තිස් වසර මුළුල්ලේ උපන් පරම්පරාව ජීවිතය හා ලෝකය දැක්කේ ගෙයි මැද
දිදුලන ටෙලි විෂනය හරහා ය. ටෙලි විෂනය මෙරටට එන්නට කලින් උපන් මා මුල් වරට
සිනමාහලකට ගෙන ගිය විට අඳුරු ශාලාවේ පතිත වන දැවැන්ත රූපවලට බිය වූ විට එයින් එළියට
ගෙන යන්නට අපේ තාත්තාට සිදු විය. එහෙත් එබඳු අකරතැබ්බයකට මා ගොදුරු නොවූයේ මගේ
දියණිය සිනමා තිරයේ දිග හැරෙන රූපය ලොකු ටීවී එකක් ලෙස අර්ථ දක්වා ගත් බැවිනි.
මෙරට ටෙලිවිෂනය පිවිසි මුල් දවස්වල සිනමාව එයට විරුද්ධව බොහෝ දෙනෙක් අවි අමෝරා
ගත්හ. මේ පරම්පරාගත වෙනස සමඟ මුහුණ නොදුන්නන් අසරණ වූයේ කලකට ඉහත නූර්ති සහ නාඩගම්
ඔස්සේ සිනමාවට නොපිවිසි පරම්පරාව සේය.
මට මතක හැටියට මෙරට මුල් වරට චිත්‍රපටයක් සඳහා ටෙලි විෂන ප්‍රචාරය ලබා ගත්තේ ශ්‍රී
ලංකා ඉන්දීය හවුල් නිෂ්පාදනයක් වූ ‘ තී’ චිත්‍රපටය සඳහා ය. ටෙලි ිවිෂන නාලිකාවක
මුල් වරට විකාශය වූ සිංහල චිත්‍රපටය ‘මඩොල්දූව’ විය. එය විකාශය කිරීමේ ගෞරවය ලබා
ගත්තේ ස්වාධීන රූපවාහිනියයි.
ජාතික රූපවාහිනිය විකාශය කළේ ‘පිංහාමි’ චිත්‍රපටයයි. වැදගත්ම කරුණ නම් ‘පිංහාමි’
සිනමාහල්වල තිරගත වූයේ එයින් වසරකට පසුව වීමය. මුල් වරට ටෙලිවිෂනය හරහා ප්‍රචාරයක්
ලබාගත් සිංහල චිත්‍රපටය නම් මුවන් පැලැස්ස 2 විය. කෙසේ වෙතත් ආරම්භයේ රූපවාහිනියේ
ජනප්‍රියම වැඩසටහන වූයේ සිංහල චිත්‍රපටයයි. අද මෙන් ටෙලිවිෂන යන්ත්‍ර නොවූ එදවස
මුලින්ම ගමකටම තිබුණේ එක් යන්ත්‍රයකි.
නැත්නම් දෙකකි. සිංහල චිත්‍රපටය විකාශය වන දිනයට ඒ නිවස මුළු ගමෙන්ම පිරී යයි.
අනතුරුව එම තැන ගත්තේ ටෙලි නාට්‍යයයි. සිංහල චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නිසා
සම්ප්‍රදායික සිනමාකරුවෝ තැති ගත්හ.
කල් පැන්න සිංහල චිත්‍රපට දවසෙන් දෙකෙන් ගැලවී ගියේය. මේ නිසාම නාහෙන් ඇඬූ
සිනමාකරුවන් සැනසීමට විවිධ තීරණ ගනු ලැබිණ. ඒ කිසිවක් දීර්ඝ කාලීන සැලැසුම් නොවීය.
එදිනෙදා පැලැස්තර පමණක් විය.
මුල් යුගයේ එයට පරිබාහිරව තැනුණ ටෙලි නාට්‍ය බයිසිකෝප් ගෙදරට ගෙන ඒමක් විය. ඉතා
ඉක්මනින් ටෙලිවිෂනය ගෙදර සංස්කෘතියට බලපෑම් කරන්නට පටන් ගත්තේ එයින් පසුව ය. ගෙදරට
විලාසිතා පමණක් නොව අම්මා මුතුන් කලෙක නොඇසූ අනේක විධ ලෙඩ රෝගවලින් ගෙයි ගැහැනුන්
පෙළීම දක්වා එය ව්‍යාප්ත විය. එමෙන්ම කන බොන කෑම බීම සිතුම් පැතුම් සියල්ල තීරණය
කිරීම ඉබේටම ටෙලිවිෂනය පවරා ගත්තේය.
ටෙලි විෂනය හරහා නව ව්‍යාපාරික ප්‍රජාවක් බිහිවූ අතර එහි සිතුවිලි සහ හැසීරීම්
වෙනත් වෙළෙඳ කුලකයන් විසින් ඉක්මනින් වැළඳ ගන්නා ලදී.
අනාදිමත් කලක සිට අප වටා පැවැති ආගන්තුක සත්කාරය පවා ටෙලි නාට්‍ය සංස්කෘතිය මගින්
වෙනස් කරන ලදී . ඇතැම් පන්සල් මගින් ධර්ම දේශනා වේලාව වෙනස් කරන ලද්දේ දායකයන් ටෙලි
නාට්‍ය වේලාව නොවරදවා නරඹන්නට පටන් ගත් හෙයිනි.
ඒ සමඟ අලුත් තරු පරම්පරාවක් බිහිවූ අතර ඒ බොහෝ දෙනෙකු වාණිජ අවශ්‍යතා ගොඩනැඟුණ
නිසාම එයින් බිහි වූ බහුතරය අක්මුල් සිඳුණු පරම්පරාවක් වීම වැළැක්විය නොහැකි විය.
මේ අතර ටෙලි විෂනය සම්බන්ධ මුලින් ගොඩනැඟු ඇතැම් මතවාද ඉක්මනින් බිඳ හෙලූ
පරම්පරාවක් ද මේ අතර ගොඩ නැඟිණ. ඔවුන් පරණ පරම්පරාව මෙන් ටෙලි විෂනය හා වෛර බැඳ
ගත්තවුන ්නොවීය. ඔවුන් එය ආයුධයක් කර ගන්නට මැලි නොවීය.
කෙසේ වෙතත් ටෙලි විෂනය යනු සිනමාවේ යාවජීව මිත්‍රයකු ලෙස සිතන පරම්පරාවට වඩා බලපෑවේ
එය චිත්‍රපට නරඹන්නට විකල්ප මාධ්‍යයක් ලෙස තෝරා ගන්නට හැකිවීමත් සමඟ ය.
ලෝකයේ ටෙලි විෂන නාලිකාවන් ඇරැඹූ විසිවන සියවසේ දෙවැනි දශකයේ දී නිකම්ම පුවත්
මාධ්‍යයක් වූ යන්ත්‍රය ඉතා ඉක්මනින් ගෘහස්ථ සිනමා ප්‍රක්ෂේපනයක් විය. ටෙලි විෂන
කැමරාව සිනමා කැමරාව හා සමවන්නට පටන් ගැනීමත් සමඟ ශත වර්ෂයකට පෙරාතුව සිනමාවේ
පුරෝගාමියකු වූ ග්‍රිෆිත් පැවසූ පරිද්දෙන් සිනමා නිර්මාණය පෑන් පැන්සල් ගණනට ගියේය.
එහෙත් විශ්වයට කතා කළ හැකි රූපය හඳුනා ගන්නා පරම්පරාව සිනමා පාසල් නොමැති අපේ රටට
දායාද කළේ එමගිනි.
රූපවාහිනිය අපේ යුගයේ වීරයන් නිර්මාණය කළේය. එය අපේ ජීවිතයට බලපෑම් කළේය. පසුගිය
දශක තුන මුළුල්ලේ එය අපේ ජීවිතයේ කුදු මහත් ඕනෑ එපාකම් නිර්මාණය කළේය.
කොටින්ම එය නැතුව දවසක් හෝ ගෙවන්නට අපට නොහැකි බව ඇත්තය. එය අපේ ජීවිතයට බලපාන වග
මා අත් දුටුවේ ජාතික රූපවාහිනිය සිය විකාශයන් ආරම්භ කරන ලද දිනයේය. එකල පාසල්
සිසුවකු වූ මට තිබූ එක් පුරුද්දක් වූයේ පයින් යෑමය.
පයින් යන්නේ චිත්‍රපට නරඹන්නට මුදල් ඉතිරි කර ගන්නට ය. මා කිසි කලක දුම් වැටියක්
තොල නොගෑවේද චිත්‍රපට නරැඹීමේ වුවමනාව නිසා ය. එලෙස පයින් යන විට අතරමඟ ඇති නයි
නැටවීමේ සිට බේත් තෙල් විකිණීම දක්වා වූ මිනිසුන් රොක්වන තැන් තැන්වල සිදුවන දෑ
නැරැඹීමේ පුරුද්දක් ද මට විය.
එබඳු එක් දවසක මා ගුවන් විදුලි සංස්ථාව අසලින් පැමිනෙද්දී එයට යාබදව වසරකට පෙර
ටෙනිස් පිට්ටනියක්ව තිබූ භූමියේ ජාතික රූපවාහිනිය ඇරැඹෙන දවස විය. වැඩි මනත් මුරක්
නොතිබූ බැවින් මම එම බිමට රිංගා ගෙන පුටුවක ද වාඩි වුනෙමි.
ජාතික රූපවාහිනිය ආරම්භ වූ ටික වේලාවකින් එහි ඉදිරිපිට ගොඩනඟා තිබූ වේදිකාවේ තිරයක්
ගිනි ගත්තේය. කිසිවකු වහා එය නිවා දැම්මේය. මේ සිදුවීමෙන් පසු මම නිවස බලා ගියෙමි.
රස්තියාදු ගසමින් මා නිවසට යන විටත්එම උළෙලට ද සහභාග ිවූ පුවත කිසිවකු විසින් දන්වා
තිබිණ.
එබන්දක් ගැන කේලම් කියන තරහා කාරයකු එදා මට උන්නේ නැත. එහෙත් ටික වේලාවකින් සියල්ල
නිරාකරණය විය. මා ගැන කේලම කියා තිබුණේ ජාතික රූපවාහිනියේ කැමරාවයි. එදායින් පසු මම
රූපවාහිනි කැමරාවලින් ඉවත්ව සිටීමට හැම විටම වග බලා ගතිමි.
|