ජීවිතය වේදිකාවේදී ජය ගැන්ම
ගර්දා කොනිග්
ඇගේ සුන්දර උවනෙහි රැඳී ඇත්තේ බලාපොරාත්තුවේ සේයාවයි. අධිෂ්ඨානය, ධෛර්යය, කැපවීම,
පරාර්ථය යන බොහෝ දේ ඇගේ උවනෙහි සටහන්ව ඇතැයි සිතෙන්නේ ඇගේ උවන දෙස පරීක්ෂාකාරී ලෙස
බලන කල ය. මේ සියලු දෑ ඇය සිතෙහි දරා ගනිමින් මුහුදු තරණය කර අප මව්බිමට පැමිණ
සිටින්නීය.
ගර්දා කොනිග්.
සිය ජීවිතයෙන් උරුම වූ ආබාධිත බව පිළිබඳ කිසිදු තැකීමක් නොකළ කාන්තාවකි.
‘සිත ඇත්නම් පත කුඩා ද’ යන අපූරු සිංහල ප්‍රස්ථා පිරුළ ලියැවුණේ ඈ සඳහාමය යන්න
විටෙක අප සිතට නැඟෙන්නේමය. උපතින්ම ආබාධිත දැරියක වූ ගර්දා සිය ජීවිතය ජය ගන්නට පා
නැඟුවේ දෙපා මතින් ඇවිද යමින් නොවේ. ඒ සඳහා ඇයට උපකාරී වූයේ රෝද පුටුවයි. දෙපා
වාරුවෙන් ඇවිද යන බොහෝදෙනාට කළ නොහැකි දේ ඈ රෝද පුටුවෙහි වාඩි වී ඉටු කිරීමට
පෙලඹුණේ කුඩාකලම ජීවිතය පිළිබඳ ලැබූ අත්දැකීම් දැයි අපට හැෙඟන්නේ ඈ දෙස බලනා විටය.
ගර්දා තම ආබාධිත බව ජීවිතයට ගැටලුවක් කර නොගත්තාය. ඒ වෙනුවට ඕ තමන් වගේම පිරිසක්
වෙනුවෙන් ඇප කැප වූවාය. අපේ මිනිසුන්ට ආදර්ශයක් රැගෙන ආවා ය.
‘ජීවිතය කියන්නේ බොහොම වටිනා දෙයක්. ජීවිතයෙන් ඵල ප්‍රයෝජන බොහෝමයක් ගන්න ඕන කියන
අදහස මට කාලයක පටන් සිතෙහි ඇති වුණු සිතුවිල්ලක්.
ඒ සිතුවිල්ල තමයි මාව මේ තරම් දුර
අරගෙන ආවේ. ජර්මනියේ මගේ ගමට පැමිණි නාට්‍ය හා රංග කලා වැඩමුළුවට මම සම්බන්ධ වුණෙත්
ඒ පිළිබඳ තිබුණු ඇල්ම නිසාමයි. ඒ ඔස්සේ ඔවුන් මට යමක් සිතන්නට ඉඩ ඉතිරි කළා.
ඉන්
ලබාගත් අධ්‍යාපනය ඔස්සේ අනිත් අයට කුමක් හෝ කළ යුතුව ඇතැයි මට සිතුණා. ඒ අනුවයි අපේ
මේ ‘ DIN A 13’ කියන ආයතනය බිහි වෙන්නේ. මම වගේම ඒ හා සම්බන්ධ තවත් දෙදෙනෙක් ඒ
වටා රොක් වී සිටීම මට ශක්තියක්.
ගුස්ටාවෝ හේල්කෝ ඒ ශක්තියේ ප්‍රධානියා. නිෂ්පාදන
අධ්‍යක්ෂ වන්නේ ඔහුයි. නාට්‍යයේ රංග වින්‍යාසය මා නිර්මාණය කරන කොට නර්තනය සඳහා
සහාය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නේ මාක් ස්ටුල්මාන්. අප සියලු දෙනාගේම
මූලිකත්වයෙන් තමයි මේ කටයුතු සිදු වෙන්නේ.’
මෙහි ආරම්භය දිව යන්නේ කොයි තරම් කාලයකටද?
ජර්මනියේ කලෝන් නගරයේදී 1995 වර්ෂයේදී මගේ සිතේ ඇතිවන අදහස ක්‍රියාවට නඟන්න පුළුවන්
වුණා. මම පුරෝගාමියා ලෙස කටයුතු කරන ගමන්ම ගුස්ටාවෝ වගේම මාක් මට දිගු ගමනකට අත
දුන්නා. ඒ් ඇතිවුණු අදහස මල්ඵල ගැනෙන්නේ 2004 වර්ෂයේදී. ජර්මනියෙන්ම ආරම්භ කරන මේ
සුන්දර කටයුත්තට මුලින්ම ආබාධිත අය සම්බන්ධ කර ගැනීමට මට හැකි වුණා.
ඔවුන් ඉලක්ක කර
ගනිමින් ඔවුන්ගේ චලන මාර්ගයන්ගෙන් ගත් දේ ඔස්සේ ඩාන්ස් තියටර් ඉදිරිපත් කිරීමට අපට
හැකියාව ලැබුණා. ඒ සඳහා බොහෝ වෙහෙසක් ගැනීමට සිදු වුණත් අවසානයේදී සාර්ථක
ප්‍රතිඵලයක් අපට ලැබුණා. ඔවුන් තුළ තිබෙන්නා වූ දක්ෂතා මේ නිසාම අපූරුවට එළි
දැක්වුණේ සියලු දෙනාම පුදුමයට පත් කරමින්. මේ කටයුත්ත සඳහා ලැබුණු ප්‍රතිචාර අපව
ධෛර්යමත් කළා. ඒ ධෛර්යමත් බවයි මේතාක් දුරකට අපට එන්නට පාර පෙන්වා දුන්නේ.
පළමුවෙන්ම ජර්මනියෙන් ආරම්භ කළ අපූරු කටයුත්ත අනෙක් රටවලටත් ඔබ රැගෙන යනවා.
මහන්සියෙන් ආරම්භ කළ කටයුත්ත ජර්මනියට පමණක් සීමා නොකළ යුතුයි යන සිතුවිල්ල මට ඇති
වුණා. ඒ නිසාම 2004 වර්ෂයෙන් පස්සේ ආබාධිත අය සම්බන්ධ කරගෙන කරන මේ රංග කටයුත්ත
රටවල් 05 ක් දක්වා රැගෙන යන්න හැකිවීම අප ලැබූ ජයග්‍රහණයක්. ඉතියෝපියාව, කෙන්යාව,
බ්‍රසීලය, දකුණු අප්‍රිකාව, ගානාව, සෙනගල් කියන රටවල්වලට අපි යාත්‍රා කළා.
එහි
සිටින ආබාධිත අය සමඟ ඔවුන්ගේ දක්ෂතා වර්ධනය කරන්න, තමන් තුළත් මෙවන් දක්ෂතා තිබෙන
බව යන සිතුවිල්ල සිත් හි ඇති කිරීම අපගේ අරමුණ වුණා. මම හිතන්නේ ඒ සුබවාදී
සිතුවිල්ල ඔවුන්ට බලපෑවා කියලයි. ඔවුන්ගේ ජීවිතය ජය ගන්න ඔවුන්ට එවැනි සිතුවිලි ඇති
කළ හැකිවීම අපට සතුටක්.
Upheaval යන තේමාව පිළිබඳත් ඔබගේ ආයතනය අවධානය යොමු කළා නේද?
මේ කියන තේමාව මූලික කර ගැනීම පිළිබඳ අදහසක් ඇති වෙන්නේ ගිය වසරේදී. ‘පෙරළිය’,
‘කම්පනය’ කියන අදහස තීම් එකක් ලෙස භාවිත කරමින් වැඩසටහනක් ආරම්භ කළ යුතු යැයි අප
සිතුවා.
අපේ මේ කටයුතු පිළිබඳ අවධානයෙන් සිටිය ලංකාවේ තිබෙන ජර්මානු සංස්කෘතික
මධ්‍යස්ථානය අපට ලංකාවට පැමිණෙන්න කියලා ආරාධනා කළා Upheaval කියන තේමාව මූලික කර
ගනිමින් ක්‍රියාත්මක වෙන ව්‍යාපෘතිය මුලින්ම ක්‍රියාත්මක වෙන්නේ ශ්‍රී ලංකාවේ.
එහිදී අප ලංකාවෙන් හය දෙනෙක් මේ සඳහා තෝරා ගත්තා.
ආබාධිත අය තුන් දෙනෙක් වගේම
ආබාධිත නොවන තුන් දෙනෙක් සම්බන්ධ කර ගනිමින් අප මේ ඩාන්ස් තියටර් එක ලංකාවේ ආරම්භ
කළා. මෙය ලංකාවේ වේදිකා ගත වෙන්නේ මේ මාසයේ 24 වැනිදා. ඒ ලංකාවේ තිබෙනා ජාත්‍යන්තර
රංග කලා උළෙලේ දී.
අපේ නාට්‍යයත් එදාට රංග ගත වෙනවා. මේ රංග ගත කිරීමෙන් පස්සේ මැයි
මාසයේ දී ජර්මනියේදීත් මෙම කණ්ඩායම තම දක්ෂතා ප්‍රදර්ශනය කරනවා. ඊට පස්සේ මෙවැනිම
කණ්ඩායම් කිහිපයක් නිර්මාණය කරන්නට අප ලෙබනන්, වෙනිසියුලාව වගේ රටවල්වලට යන්නට
තීරණය කළා. අවසානයේදී 2014 දී පමණ සියලු දෙනාම සම්බන්ධ කර ගනිමින් ජර්මනියේදී විශාල
උළෙලක් නිර්මාණය කිරීමේ අදහසක් අපේ සිත්වල තිබෙනවා.
ඔබගේ කටයුත්තට අවශ්‍ය අය තෝරා ගත්තේ කොහොමද?
ඒ සඳහා අපට උදව් කළේ ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයයි. මුලින්ම එහි පැමිණ සිටි අයට
යම් තේමාවක් යටතේ නිදහසේ චලන රටාවන් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දුන්නා. ඔවුන්
ඉදිරිපත් කළළ දෑ සැලකිල්ලට ගනිමින් විනිශ්වය වට තුනකින් පස්සේ ළමුන් හය දෙනෙක් තෝරා
ගන්න අපට හැකියාව ලැබුණා.
ඔවුන්ගේ ඉදිරිපත් කිරීම තුළින් මතුවන නිදහස් චලනයන් මූලික
කර ගනිමින් විවිධ රංග වින්‍යාස නිර්මාණය කළා. ආබාධිත අය හා ආබාධිත නොවන අය සමඟ
ඔවුන්ගේ මේ චලන ඔස්සේ වේදිකාවට රැගෙන එන නිර්මාණයන් කලාත්මක ලෙස පෙළ ගස්වන්න
හැකිවීම සතුටට කාරණයක්. මේ ඔස්සේ අප කියන්නේ ආබාධිත අයට නටන්න පුළුවන් කියලා නම්
නෙමෙයි.
මහේෂ් උමගිලිය, නදීකා තරංගනී, වෙනුරි පෙරේරා, සමන් පුෂ්ප කුමාර, තුසිත
විමලසූරිය, සුරංග බෝපිටිය යන අය සමඟ කෙරෙන මේ ප්‍රසංගයේ බොහෝ සුන්දර වේවි. ඒ වගේම
මාර්තු 24 වැනිදාට ඇවිත් මේ ප්‍රසංගය නරඹන්න අප ඔබට ආරාධනා කරනවා.
කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල පිළිබඳ ඔබට මොකද සිතෙන්නේ?
ඇත්තටම ඒක බොහොම අගනා උත්සාහයක්. අප වුණත් මෙහි හරඹ දක්වන්නේ මේ අපූරු කටයුත්ත
නිසාමයි. රටවල් විශාල ප්‍රමාණයක් මෙහි පැමිණෙන නිසාම සංස්කෘතික හුවමාරුවක් වගේම
ලෝකයේ තිබෙන නව නාට්‍ය ප්‍රවණතාවක් මෙහිදී සජීවීව දැකගන්නට විඳගන්නට ලැබීම අලුත්
අත්දැකීමක් වේවි. ඒ නිසා මෙවන් කටයුත්තක් ඇගයීමට ලක් විය යුතුයි.
සේයාරූ - ප්‍රසාද් සමරතුංග
|