මලක් යැයි සිතා මී මැස්සෙක් පූජාට විදලා
උදෑසන සුපිපි පුංචි රෝස කුසුම බඹරුන්ගේ ගුම් නාදය සොයා ගියේ පුංචි පා කඩිමුඩියේ
තබමින්. දුරක සිටින කිසිවෙකු හට මේ සිඟිත්තිය නොපෙනෙන්නේ අවට පරිසරය පුරා පැතිරුනු
තේ යාය නිසයි. අම්මාටත් රහසින් පැමිණි මේ පුංචි රෝස කුසමට තේ වත්තේ කෙළවරක පිහිටි
මීමැසි රජ දහන සොයා ගන්නට නම් එතරම් අපහසු වුණේ නෑ.
කුතුහලයෙන් පිරි පුංචි හිත නිසාම මේ සිඟිත්තිය දෙවරක් නොසිතාම මී මැසි පෙට්ටියට ඇහැ
තියලා විපරම් කළා. එසැනින් කලබල වූ මී මැසි රංචුවේ මී මැස්සකු මේ පුංචි මුවැත්තියගේ
නෙත් පියුම්වලට තුඬග තිබ්බේ රොන් උරන්නටද මන්දා?
අනේ මන්දා? ඒක දන්නේ මී මැස්සො තමයි. මම දන්නෙ එයාගෙ ඇහැට මී මැස්සෙක් ඇන්නා කියලා
විතරයි. මොකද දුව මං ළඟට අඬාගෙන එනකොටත් දූගේ ඇහැ පිල්ලම උඩ දළ තිබුණා.
ඊට පස්සෙ
එයාගෙ මුළු මූණම ඉදිමුණා. හරියට චීන බබෙක් වගේ. මම එයාව කණ්ණාඩිය ඉස්සරහට අරගෙන
ගිහින් පෙන්නුවාම බය වෙලා හොඳටම අඬන්න ගත්තා.
පුංචි දවස්වල මී මැස්සො ඇන්න තමන්ගේ මූණටම බය වුණු ඇය යොවුන් රංගන ශිල්පිනී පූජා
ගෞතමී උමාශංකර්. පූජාගේ පුංචි දවස්වල මතක සටහන් ඔබත් සමඟ බෙදා හදා ගන්නේ ඇගේ මව. ඇය
සන්ධ්‍යා උමාශංකර්.
පූජා පුංචි කාලේ හරිම දඟයි. කටත් හරියට කතුරක් වගේ. දවසක් අපි පුතයි දුවයි එක්ක
පන්සල් ගියා. එතකොට දුවත් ගොඩාක් පොඩියි. හැබැයි පොඩි වුණාට කියවනවා. අපේ පන්සලේ
හාමුදුරුවෝ ඇහුවා දුවගෙන් මල්ලිගේ නම මොකක්ද? කියලා. ටක් ගාලා කිව්වා ‘සිද්ධාර්ථ’
කියලා. එතනින් නැවතුණේ නෑ.
සිද්ධාර්ථ කුමාරයා කියලා තියෙනවා, මම ලොවට අග්‍ර වෙමි
කියලාත් කිව්වා. හාමුදුරුවන්ටත් හරිම පුදුමයි. අවුරුදු තුනක විතර පුංචි කෙලි
පැටික්කියක් එහෙම කියයි කියලා කිසිම කෙනෙක්ට හීනෙකින්වත් හිතෙන්නෙ නෑනේ.
පූජා පුංචි
කාලේ දඟ වුණාට ෆෙටෝස්වලට ඉන්න හරිම ලැජ්ජයි. පුංචි කාලේ කැමරාව දිහා බලාගෙන ගත්තු
ෆොටෝ එකක් නැති තරම්. එහෙම හැසිරුණු ළමයා කවදාවත් රංගන ශිල්පිනියක් වේවි කියලා මම
වගේම තාත්තාත් හිතුවේ නෑ.
හැබැයි දෝණි පළමුවෙනි චිත්‍රපටයේ රඟපෑවේ අම්මාටයි
තාත්තටයි හොරෙන්. ඒක තමයි පූජා කරපු ලොකුම මුරණ්ඩුකම. පූජා යාළුවොත් එක්ක ෂොපිං
කරන්න ගිය වෙලාවේ මනුස්සයෙක් ගොඩාක් වෙලා පූජාගේ දිහාම බලාගෙන ඉඳලා.
කොහොම හරි
පූජාත් එයාව ගොඩක් වෙලා ඉඳන්ම නෝට් කරගෙන ඉඳලා තියෙන්නේ. මෙයා ඉතින් බයත් නෑනේ. ඒ
මනුස්සයා ගාව මෙයාගේ යාළුවෙකුත් ඉඳලා. පූජා කෙළින්ම ගිහින් අහලා ඇයි මගේ දිහා
බලාගෙන ඉන්නෙ කියලා.
ඊට පස්සේ යාළුවා කියලා මෙයා චිත්‍රපට අධ්‍යක්ෂ කෙනෙක්. ඔයාව
මෙයාගේ ඊළඟ ෆිල්ම් එකට ගන්නත් කැමතියි. ලක්ෂ 2 ක් ඔයාට ගෙවනවා කියලා. ඒ වෙලාවේ පූජා
බෑ කියලා හොස්ටල් එකට ඇවිත් යාළුවන්ට සිද්ධිය කියලා.
එකම වයසෙ කට්ටියනෙ. වැඩිය ජීවිතේ බරක් පතලක් තේරෙන්නෙ නෑනේ. යාළුවෝ පූජාට කියලා
‘අපරාදේ ලක්ෂ 2 ක් ලැබෙනවා. ඔයා නම් මහ මෝඩියෙක්. අපි ලක්ෂ දෙක බෙදා ගමු, ඔයා යන්න’
කියලා. එතකොට මම හිටියේ ලංකාවේ.
දවස් දහයක් විතර ෂූටිං ගිහාම කෙල්ලට බය හිතිලා ෆිල්ම් එක හෝල්වල යනකොට ගෙදරින් දැන
ගත්තාම මොනවා වෙයිද කියලා.
පූජාගේ තාත්තා සැරයි. ඒ නිසා මෙයා මට කෝල් කරලා විස්තරේ කිව්වා. ඒක ඇහුවාම මට
ඇත්තටම හීන් දාඩිය දැම්මා. මම කිව්වා මට නම් බෑ, තාත්තාට කියන්න. ඔයාම තාත්තාට
කියන්න කියලා. තාත්තාට කිව්වාම තාත්තා හොඳටම බැන්නා. ‘ඔයා මගේ දුව නෙවෙයි. ගෙදර
ආවොත් හම ගහනවා’ කිව්වා.
ඔය මුරණ්ඩු වැඩේ කළේ පෝස්ට් ග්‍රැජුවඩ් එක කරන කාලේ. දුව ඉන්දියාවේදී ඉස්කෝලේ
ගියෙත් බෝඩ් වෙලා. ඒ දවස්වල එයාගේ බෝඩිමට ගේ කුරුල්ලෙක් එනවලු.
මේගොල්ලෝ ඒ ගේ කුරුල්ලාව ටික කාලෙකින් අත් උඩ තියාගෙන ඉන්නත් පුරුදු කරගෙන. ඊට
පස්සේ තමයි ගේ කුරුල්ලාට හොඳම වැඩේ පුරුදු කරලා තියෙන්නේ.
මේගොල්ලෝ කටේ කෑම සේරම පුරවගෙන ගේ කුරුල්ලව අතට අරගෙන කට අරිනවා. අනේ. . . එතකොට අර
ගේ කුරුල්ලා හොටෙන් චුට්ට චුට්ට ඇන ඇන අර කටේ තිබුණු සේරම කෑම ටික කනවා. ඔන්න
ඔහොමයි පුංචි පූජාගේ ලොකු වැඩ. දැන් නම් පූජා මුරණ්ඩු නැති වුණාට දඟකාරකම් නම්
තවමත් එහෙන්මමයි.
නිශංකා
උඩුගම්පල
|