වැඩිම චත්‍රපට සංඛ්‍යාවක් රෑ ගැන්වූ මොහොමඩ් අබ්දුල් ගෆූර්
මේ වැඩිහිටියා වෙනුවෙන් ඔබටත්
යමක් කළ හැකියි
නිෂ්පාදකවරු මට
ලක්ෂ
විසි පහකටත් වඩා ණයයි
නිල්වන් අහස් කුස එක් පසෙක හිටි හැටියේ වැහි වලාවක් මෝදු වී එන්නේ සිහින් ගෙරවිලි
හඬක් සමඟිනි. එහෙත් බටහිර අහසේ රතු සිත්තම් මවන හිරුගේ අවසන් රැස් දහර තවමත් වියැකී
ගොස් නැත. ඒ දසුන නෙතගට එක් කරන්නේ අපූර්ව චමත්කාරයකි. තව මොහොතකින් මහ වැස්සක් ඇද
වැටී ඒ සොඳුරු දසුන සේදී යන්නට ද බැරි නැත.
එහෙත් සැබැවින්ම එය දුර්ලභ, සොඳුරු දසුනකැයි මට සිතේ.
කොළඹ සිට අප ආ වෑන් රිය, තිහාරිය මංසන්ධියෙන් දකුණට හැරී වාරණ පාර ඔස්සේ ඉදිරියට
ඇදෙයි. අප මේ සොයා යන්නේ සිංහල සිනමාවේ දස්කම්, විස්කම් පෑ දුර්ලභ ගණයේ කලාකරුවෙකි.
‘අර ගෆූර් මහත්තයගේ ගේ කොහෙද?’
‘ඔහොම යෙන්ඩ ඉස්සරහට. අර දකුණු පෙත්තේ කම්බි ගේට්ටුවක් තියෙන ගේ.’
තරමක් වියපත් මුස්ලිම් ජාතිකයකු සිය අසල්වැසියාගේ නිවස අපට පෙන්වා දුන්නේ ඒ
අයුරිනි.
එම්. ඒ. ගෆූර් . . .
ඔහු පිළිබඳ ඔබ අසා ඇතිවා නිසැකය. එහෙත් ඒ රුව නම් ඔබට නුහුරු වන්නට පුළුවන. මන්ද
යත් ඔහු තිරයෙන් පිටුපස හිඳ දේශීය සිනමාව බබලවන්නට තම දිවිය කැප කළ නිහඬ කලාකරුවකු
වන බැවිනි.
මේ ඊයේ පෙරේදා හැට පස් විය සපිරූ දේශීය සිනමාවේ වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක කැමරා
අධ්‍යක්ෂකවරයා වූයේ ඔහුය. ගෆූර් ගේ දෙනෙතින් ආලෝකය ලද එකී චිත්‍රපට ගණන දෙසීයකට
ආසන්නය.
මම ඉපදුණේ මන්නාරමේ. පාසල් ගියේ සෙන්ට් ක්ලේවියර් කොලීජියට. එස්. එස්. සී. දක්වා
ඉගෙන ගත්තා. දැන් මට අවුරුදු හැත්තෑ හතක්. ඒකෙන් අවුරුදු පණස් හතරක්ම ගෙවුණේ
සිනමාවත් එක්ක. ඒ බැඳීම තාමත් එහෙමමයි.
සිංහල සිනමාවත් සමඟ තිබූ නෑදෑකම නිසාදෝ ගෆූර් ගේ සිංහල බස හැසිරවීම හොඳය. සිනමාවට
එම්. ඒ. ගෆූර් වූ ඔහු උප්පැන්න සහතිකයට අනුව මොහොමඩ් අබ්දුල් ගෆූර්ය.
1954 දී මම සිනමා කර්මාන්තයට සම්බන්ධ වුණා. ඒ කාලේ තියටර්ස් නෙවෙයි වැඩිපුර තිබුණේ
ටෙන්ට්ස්. මාතලේ ටෙන්ට් එකක තමයි මුලින්ම වැඩ කළේ. කුවීන් එලිසබෙත් ලංකාවට ආවේත් ඒ
කාලේ. මමත් එතකොට ගිහින් බැලුවා. ඊට පස්සේ 1957 දී ‘ලංකා’ චිත්‍රාගාරයේ සේවයට
බැඳුණා. ශබ්ද අංශයේ හා සංස්කරණ අංශයේ මුලින් වැඩ කළේ. ශෝධන අංශයේත් හිටියා. එහෙම
ඉඳලා තමයි කැමරා එක අල්ල ගත්තේ. මම හැම අහුමුල්ලකම රිංගුවා.
කවුද ඔබේ ගුරුවරයා?
ටී. වයි. එම්. සාමි කියලා හිටියා. ඊට පස්සේ එම්. එස්. ආනන්දන්. එයාගේ ඇසිස්ටන්ට්
හැටියට වැඩ කළා. දැන් ආනන්දන් හැරුණාම මගේ බැච් එකේ වෙන කවුරුත් නැහැ. එම්. එස්.
ආනන්දන් එක්ක මම ‘නිධානය’, ‘අක්කර පහ’ වගේ චිත්‍රපටවලත් වැඩ කළා.
එතකොට ඔබ සිනමාවට එක් වුණේ මම හිතන්නේ ශාන්ති කුමාර්ගේ ‘සංසාරේ’ චිත්‍රපටයේ සහාය
කැමරා ශිල්පියා විදිහට?
ඔව්, ඊට පස්සේ මම ඔපරේටින් කැමරාමන් හිටියා කිංස්ලි රාජපක්ෂ මහත්තයාගේ ‘හඳපාන’
චිත්‍රපටයේ. මට මතක හැටියට ඒ 1957දී ඊට පස්සේ ‘හිතට හිත’ චිත්‍රපටයේ ප්‍රධාන කැමරා
ශිල්පියා වුණා. වැඩිපුර මම කළේ කොමර්ෂල් ෆිල්ම්ස්. ඒ අතරේ ‘නිධානය’ වගේ චිත්‍රපටවල
සෙකන්ඩ් කැමරාමන් විදිහට වැඩ කළා. ඒ ගැනත් ලොකු සතුටක් දැනෙනවා.
තවත් මොනවද ඔබ සම්බන්ධ වුණ කලාත්මක චිත්‍රපට?
ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාගේ ‘නිධානය’ කළේ සිලෝන් ස්ටුඩියෝ එකේ. එතුමා සිලෝන්
ස්ටුඩියෝ එකට මුලින්ම ගත්තේ ‘ගොළු හදවත’ චිත්‍රපටය කරන්න. එම්. එස්. ආනන්දන් තමයි
‘චීෆ්’. මම එයාගේ සහායකයා. ‘ගොළු හදවත’ මුල් දවස්වල දිව්වේ නෑ. ඊට පස්සේ මම වෑන්
එකක් අරගෙන කතරගමට ගිහින් බාරයක් වුණා. පස්සේ චිත්‍රපටය බලන්න ටිකෙන් ටික සෙනඟ ආවා.
ගෆූර් අපේ සිනමාවේ වඩාත් ප්‍රකටව සිටියේ ඉතා අඩු කාල සීමාවකින් චිත්‍රපටයක් රූගත
කිරීමට උපන්, හපන්කම් පානා කැමරා ශිල්පියෙකු ලෙසිනි. මේ නිසාම බොහෝ නිෂ්පාදක,
අධ්‍යක්ෂවරුන් මෙන්ම නළු නිළියන් ද ඔහු සමඟ වැඩ කිරීමට වැඩි කැමැත්තක් දැක්වූ බව
නොරහසකි.
මම අව්ව වැස්ස බලන්නේ නෑ.
එක්ස්පෝසර් එක ඒ විදිහට ඇජෙස් කරගෙන යනවා. දෙයියෝ දීපු ඒ දැනුමත් මට තිබුණා. මම
තමයි මුලින්ම ඇරී කැමරාවකින් ස්පීඩ් ගත්තේ. ‘සත පනහ’ චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකා අර
බීච් එකේ දුවන දර්ශනය බැට්රි දාලා, බැට්රිවලින් ස්පීඩ් කරලා මම ගත්තේ. ඊට පස්සේ
තමයි ඒරියබල් මෝටර්ස් ආවේ. මම බඩල් ඇක්ටින් දර්ශනත් ගත්තා ඇරී කැමරාවෙන්. ‘නැව
ගිලුණත් බෑන්ඩ් චූන්’ චිත්‍රපටයේ මාලිනී ෆොන්සේකා, අනෙක් මාලිනීගේ ඔළුවට අත තියෙන
දර්ශනය, ඒවා ඔක්කොම ඇරී කැමරාවෙන් ගත්තේ.
අධ්‍යක්ෂවරයාට වගේම කැමරා ශිල්පියාටත් බොහෝ විට නළු, නිළියන් හසුරවන්නට සිදු වෙනවා.
වඩාත් පහසුවෙන් ඔබට එසේ හසුරුවා ගත හැකි වූ නළු, නිළියන් පිරිසක් සිටියාද?
සිංහල සිනමාවේ පළමුවැනි නළු, නිළි යුවළ එඩී ජයමාන්න, රුක්මණී දේවිගේ ඉඳන් සියලුම
නළු නිළියන් එක්ක මම වැඩ කරලා තියෙනවා. නමුත් කැමරා කෝණ ගැන ඉතාමත් හොඳ දැනුමක්
ගාමිණී ෆොන්සේකාට තිබුණා. ඔහු දන්නවා ඔහු කොතැනද ඉන්න ඕනෑ, කොහොමද ෂොට් එකට ෆේස්
කරන්න ඕනෑ කියලා. ගොඩක් අයට මේ දැනුම තිබුණේ නැහැ. ගාමිණී මට හරි ආදරෙයි. ඔහු මට
කතා කළේ ‘කාක්කා’ කියලා. මුස්ලිම් භාෂාවෙන් කාක්කා කියන්නේ අයියාට. ගාමිණී
අධ්‍යක්ෂණය කළ ‘ඉලෙයි නිලා’ දෙමළ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය කළේ මම. ප්‍රදර්ශනයට
සේරම සූදානම් කරලා තියෙද්දී 1983 කෝලහාලවලදී ඒක පිච්චුවා.
ගෆූර් 1973 වසරේ දීපශිඛා සම්මානයෙන් පුද ලැබුවේ එවකට වැඩිම චිත්‍රපට ප්‍රමාණයක
කැමරා අධ්‍යක්ෂවරයා ලෙසිනි. 1989 වසරේ ‘චණ්ඩින්ගෙත් චණ්ඩියා’ චිත්‍රපටය සඳහා ඔහුට
එම වසරේ හොඳම කැමරා අධ්‍යක්ෂණය උදෙසා වන ‘සරසවිය’ සම්මානය හිමි විය. ‘සැනසුම’
චිත්‍රපටයේ සම අධ්‍යක්ෂවරයා වූ ගෆූර් ‘සාගර තිළිණ’ චිත්‍රපටය නිෂ්පාදනය, අධ්‍යක්ෂණය
කරමින් එහි සංස්කරණ ශිල්පියා ලෙසින් ද කටයුතු කළේ සිනමා මාධ්‍යය භාවිතයේ ඔහු සතු
විසල් දැනුම අපට පසක් කර දෙමිනි.
‘සාගර තිළිණ’ රිලීස් වුණේ ප්‍රේමදාස ජනාධිපතිතුමා ඝාතනය වෙලා දවස් කීපයකට පස්සේ.
හරියටම 1992 මැයි 05 වැනිදා. ඒ කාලේ රටේ තත්ත්වයත් ඒතරම් හොඳ නැහැ. සමහර තියටර්ස්
වහලා. ඒත් චිත්‍රපටය කොහොම හරි ඇදගෙන ගියා. ලාභත් නෑ, පාඩුත් නෑ. ගාණ ෂේප්.
රූගත කිරීම්වලට ලංකාව වටේම යන්න ඇති ඒ කාලේ?
අපොයි ඔව්. මම ලංකාවේ හතර කොණටම ගිහින් තියෙනවා. සමහර සිදුවීම්, අත්දැකීම් දිහා
හැරිලා බලන කොට හිතට දැනෙන සතුට වචනයෙන් විස්තර කරන්න බෑ. සිනමා ලෝකයේ හැමෝම වගේ මම
ඇසුරු කළා. ලංකාවේ විතරක් නෙවෙයි, මම පිටරටත් ගිහින් තියෙනවා.
‘ලව් ඉන් ලන්ඩන්’ චිත්‍රපටය රූගත කරන්න ගිහින් මාස තුනක් ලන්ඩන්වල හිටියා. ෂූටිං
තිබුණේ දවස් හතයි. එතකොට ‘ලව් ඉන් බැංකොක්’ කරන්න ගිහින් බැංකොක්වල සති දෙක, තුනක්
හිටියා. මට මල්ටි වීසා තිබුණා. සිංගප්පූරුව, මැලේසියාව, කැනඩාව, බංග්ලා දේශය ඇතුළු
රටවල් දාහතරකට මම ගිහින් තියෙනවා.
මෙරට වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක කැමරා අධ්‍යක්ෂවරයා වීමේ වරම, වාසනාව ගෆූර්හට ලැබුණ
ද එහි ගෞරවය සහ අභිමානය සිනමාවෙන් බැහැර ඔහුගේ පෞද්ගලික ජීවිතයට උරුම වූ සෙයක්
පෙනෙන්නට නැත. ඒ මුදල් පසුපස හඹා නොගිය අවිහිංසක සැබෑ කලාකරුවන්ගේ ඉරණමේ හැටිය.
අපේ චිත්‍රපට නිෂ්පාදකයන්ගෙන් හුඟ දෙනෙක් මට ණයයි. සමහරු අද ජීවතුන් අතර නැහැ.
ඇත්තම කිව්වොත් ලක්ෂ විසි පහක් විතර මට එන්න තියෙනවා. එක චිත්‍රපටයකින් රුපියල්
පහළොස්දාහ ගානේ තිබ්බත් කීයක්ද? හුඟ දෙනෙකුගෙන් මට ලැබුණේ ඇඩ්වාන්ස් එක විතරයි.
හැමෝටම මම උපරිමයෙන් උදවු කළා. ඒත් සමහරු ඒවා අමතක කළා. හැබැයි ඒ කා එක්කවත් මගේ
හිතේ තරහක් නම් නෑ.
ගෆූර් පවසන්නේ අවිහිංසක සිනාවක් මුවට නඟා ගනිමිනි. කඳුළු අතරින් සිනාසෙන සොඳුරු
කලාකරුවන්ගේ හැටි එහෙමය. ඔවුන් කිසි විටෙක තමන්ගේ මෝඩකම්වලට සමාජයට වෛර කරන්නේ
නැත.
‘කෝරළේ මහත්තයා’ ටෙලි නාට්‍යයේ කොටස් සීයක් අපි කළා. ගිය අවුරුද්දේ මම ජීවත් වුණේ
ඒකෙන්. ඒ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ පද්මසිරි කොඩිකාර මහත්තයා මට හොඳට ගෙව්වා. ඔහුට
ගොඩක් ස්තුතිවන්ත වෙනවා.
ඔබ මේ ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකු එක්ක වැඩ කර තිබෙනවා. ඒ අය අද ඔබට උදවු කරන්නේ නැතිද?
නෑ, මම එහෙම කාගෙන්වත් උදවු ඉල්ලන්න යන්නේ නෑ. මට ලැජ්ජයි. විජය මහත්තයා හිටියා නම්
මට උදවු කරයි. එයා ඒ වගේ උතුම් මිනිහෙක්. ඒ කාලේත් මට උදවු කළා. ටවර් හෝල් පදනමෙන්
මාසිකව රුපියල් දෙදාස් පන්සීයක් මට ලැබෙනවා. සිනෙස්ටාර් පදනමෙන් මාසිකව දෙදාස්
පන්සීයක් ලැබෙනවා. මම කෝපරේෂන් එකට ලිව්වා. තව හුඟක් තැන්වලට දැන්නුවා. ඒත් කිසිම
පිළිසරණක් ලැබුණේ නැහැ. මම හිතන්නේ ලංකාවේ විතරක් නෙවේ, ඉන්දියාවෙත් නැතිව ඇති
චිත්‍රපට දෙසීයක් කරපු කැමරා අධ්‍යක්ෂවරයෙක්. ඒක රෙකෝඩ් එකක්.
සැබැවින්ම අද ඔහු ගෙවන්නේ සිනමාවේ උන්නතිය වෙනුවෙන් ඔහු කළ මෙහෙවරට සරිලන දිවි
පෙවෙතක් නොවේ. සිය බිරිය සමඟ බාගෙට තැනූ නිවසක ඔහු දිවි ගෙවයි. ඔහුගේ නිදන කාමරයත්,
ආලින්දයත්, මුළුතැන් ගෙයක්, කුඩා කාමරයකට සීමා වී තිබේ.
මේ ඉන්නේ මගේ පවුල. මට දරුවී හය දෙනෙක් ඉන්නවා. එක කොල්ලයි. අනිත් පස් දෙනාම
කෙල්ලෝ. ඒගොල්ලොත් ටිකක් අමාරුවෙන් ජීවත් වෙන්නේ. මට කන්න, බොන්න දෙන්නේ එයාලා
තමයි. සේරමලා කසාද බැඳලා. එයාලට දරුවෝ ඉන්නවා. මම සීයා කෙනෙක්.
ලබන අවුරුද්දේ අපි දෙන්නා විවාහ වෙලා අවුරුදු පණහයි. මම ළමයින්ට මගේ තිබුණ දේවල්
ලිව්වා. දැන් මමයි, පවුලයි විතරයි මෙහේ. තාම ගේ නම් කම්ප්ලීට් කරන්න බැරි වුණා.
දෙයියන්ගේ පිහිටෙන් මට දෙයියෝ මොනවා හරි දෙනවා. අපි කලාකාරයොනේ, දෙවියෝ මොනවා හරි
දෙනවා. තියාගන්න, යට කරන්න බැංකුවල දාන්න නෙවෙයි, කන්න, බොන්න, වැටිලා ඉන්න දෙනවා.
කොතැන ගියත් මට මිනිස්සු සලකනවා. ඒක සල්ලිවලට ගන්න බැහැ.
ඔහු යළිදු හිනැහේ. හඬ නඟා හිනැහේ. ඒ සිනහව යට කඳුළින් රිදුම් දෙන බොහෝ සංතාපයන්
ඇතැයි මට සිතේ. එහෙත් සැබෑ කලාකරුවන් මෙලොවට බිහි වූයේ තමන් හඬන්නට නොව, හඬන,
වැළපෙන මිනිසුන් සුවපත් කරන්නටය. එම්. ඒ. ගෆූර් නමැති ප්‍රවීණ, නිහතමානී කලාකරුවා
අපට මේ කියා දෙන්නේ ඒ පරම සත්‍යය නොවේදැයි මම ඔබෙන් විමසමි.
07787000966 අංකයෙන ඔබට ඔහු හම්විය හැකිය
සංවාදය
අසංක දේවමිත්ර පෙරේරා
|