සෝනුනිගම් ගැන දන්නේ මොනවාද?

ජනතාවගේ හදවත නම් වීනාවේ තත් ඔහුගේ මිහිරි ගැඹුරු හඬින් පිරිමැදෙයි. ඒ හඬ සිත සැනකින් සමාධිගත කිරීමට තරම් ප්‍රබලය.

භාරතයේ ගීත කෝකිලයන් අතර පෙරමුණේ සිටින මේ කෝකිලයා, ගීත ලොවට පා තැබුවේ වයස අවුරුදු තුනක් තරම් කුඩා කාලයේදීය. පියා, අගම් කුමාර් නිගම් සමඟ එක් වී ඔහු මොහොමඩ් රාෆිගේ ‘ක්යා හුවා තෙරෙ වාදා - වෝ කසම් වො ඉරාදා’ ගීය ගැයුවේය. එදා පටන් ඔහුට ගායනයෙන් තොර ජීවිතයක් නොතිබිණි. මංගල උත්සව, සාද රස ගැන්වීමට අගම් කුමාර් සමඟ ඔහු ද එක් වූයේය.

නව යෞවනයකු වූ පසු විවිධ ගීත තරගවලින් සෝනු ජය පිට ජය ලැබුවේය. හරියටම වයස අවුුරුදු දහ නවයේදී ඔහු පියා සමඟ මූම්බායි පැමිණියේ බොලිවුඩයේ නමක් ඇති ගායකයකු වීමේ හිතක් ඇතිවයි.

මුලින්ම ඔහු මහා ගායක මොහොමඩ් රාෆිගේ ‘රාෆි කි යාදීන්’ ඇල්බමයට ගී ගැයුවේය. ඇල්බමය නිකුත් වූයේ ටී - සීරිස් සමාගම මඟිනි. ටී - සීරිස් ප්‍රවර්ධනය කළ ගුල්ෂන් කුමාර් මේ නවකයාට අත හිත දුන්නේ ඔහුගේ හැකියාවන් හොඳින්ම හඳුනා ගෙනයි.

සෝනුගේ ගායන දිවිය ආරම්භයේදී ඔහු රාෆිගේ ක්ලෝනයක් බඳු යැයි කියා වැඩි දෙනකුට සිතුනේ ඔහුගේ ගායන ශෛලිය රාෆිට සමාන වූ නිසයි. එවැනි හඳුනා ගැනීමක් ඇතිව සෝනු බොලිවුඩ් ගී ලොවට පිවිසුණේය.

‘ජනම්’ (1990) සෝනු සිනමා පසුබිම් ගායකයකු කළ පළමු සිනමාපටයයි. අවාසනාවකට ඒ ගීය නිල වශයෙන් නිකුත් නොවීය. එකල ගී ලොව කාර්යබහුල ගායකයකු නොවූ ඔහු ලැබුණු විවේකයේදී ශාස්ත්‍රීය ගායක උස්තාද් ගුලාම් මුස්තාෆා ඛාන්ගෙන් ගායනය පිළිබඳ පුහුණුවක් ලැබුවේය.

ගායකයකු වශයෙන් පමණක් නොව සෝනු පුංචි තිරයේ ‘සා රි ග ම’ ජනප්‍රිය ගීතමය වැඩ සටහන ඉදිරිපත් කරන්නකු ලෙස ද ජනාදරයට පත් විය. ගායන ජීවිතයේ වාසනාවන්ත කාලයක් උදා කළේ ‘බේවෆා සනම්’ (1995) ඇල්බමයට ඔහු ගැයූ ‘අච්චා සිලා දියා’ ගිතයයි. ‘බෝඩර්’ (1997) සිනමාපටයට ගැයූ ‘සන්දීස් ආතේ හේන් . . .’ සමඟ ඔහු වෘත්තීය ජීවිතයේ තවත් යෝධ පිම්මක් පැන්නේය.

සෝනු නිගම්ගේ ‘දීවානා’ ඇල්බමය 1999 දී නිකුත් වූ අතර ප්‍රේමාන්විත ගී ගැයීමට ඔහුට ඇති හැකියාව රසිකයෝ වඩාත් හොදින් හඳුනා ගත්හ. එදා මෙදාතුර භාරතයේ නිකුත් වූ ගීත ඇල්බම් අතරින් ජනප්‍රියත්වයෙන් ‘දීවානා’ අදටත් තබා ඇත්තේ නොබිඳෙන වාර්තාවකි.

මොහොමඩ් රාෆිිගේ ක්ලෝනයක් ලෙස සෝනුට ඇලවී තිබුණු ලේබලය ගැලවුණේ ‘පර්දේස්’ සිනමාපටයට ගැයූ ‘යේ දිල් දිවානා’ ගීය සමඟයි.

සෝනු තවත් මොහොමඩ් රාෆි කෙනකු නොවන බව රසිකයෝ හඳුනා ගත්හ. ඔවුහු සෝනු නිගම් නම් ගායකයාගේ යෞවන හඬ පෞරුෂයට වශී වූහ. භාරත ගීත කලාවේ පතාක යෝධයකු බවට පත්වීමට සෝනුට වරම් ලැබුණි. ‘කල් හෝ නා හෝ’ තේමා ගීතය සෝනු නිගම් නම් ගායකයාගේ ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කළේය.

හින්දි ගීත පදවැල් පමණක් නොව කන්නඩ, බෙන්ගාලි, ඕරියා, පන්ජාබ්, දමිළ, තෙළිගු, ඉංග්‍රීසි, බෝජ්පුරි, උර්දු, නේපාලි, චතිස්ගරි, මලයාලම් සහ මරාති ගී පදවැල්වලට ද ඔහුගේ හඬ මුසු වී තිබුණි. වේග රිද්ම සංගීතයට වේවා, ශාස්ත්‍රීය සංගීතයට වේවා සෝනු සිය හඬ මුසු කළේ කෙනකු ප්‍රේමයෙන් මුසපත් කරවන හෝ විරහ වේදනාවෙන් කඳුළු සලන්නකු බවට පත් කරමිනි. එපමණටම ඒ හඬ හදවතට ළෙන්ගතු ආමන්ත්‍රණයක් කරන්නේය.

කඩවසම් රුවත්, කෙනකු සංවේදී කරන හඬත් නිසා රංගනයෙන් ද සෝනුට ගැලවීමක් ලැබී නැත. ළමා වියේදී ඔහු සිනමාපට ගණනාවක රඟපෑවේය. ‘බේටාබ්’ (1983) ඒ අතරින් ප්‍රධානයි. යෞවනයකු ලෙස ඔහු ‘ඒක් අනෝඛ් කහානි’, ‘හමාරේ හෝතේ’ වැනි සිනමාපටවල රඟපෑවේය. එහෙත් තවදුරටත් ගායකයකු නොවී නළුවකු වීමට ඔහුට සිතක් ඇති කළේ ‘ලව් ඉන් නේපාල්’ සිනමාපටයයි.

ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට ඔහු ‘ආන්කෝන් ආන්කෝන් මේන්’ සිනමාපටයෙන් අන්ධ ගායකයකු ලෙස හමුවනු ඇත.

හොඳම ගායකයා ලෙස සෝනු ජාතික සම්මානයෙන් පිදුම් ලැබුවේ ‘කල් හෝ නා හෝ’ ගීතයටයි. ඒ වසර 2004 දීයි. මේ වන විට ඔහු හොඳම ගායකයා ලෙසින් ෆිල්ම් ෆෙයාර් සම්මාන සඳහා සොළොස් වරක් නිර්දේශ වී ඇති අතර දෙවරක් සම්මානයට පාත්‍ර විය. උතුරේ ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලවලදී මෙන්ම දකුණේ ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලවලදී ද ඔහු හොඳම ගායකයා ලෙසින් සම්මාන දිනා ඇත.

තිස් අට හැවිරිදි මේ ගායකයා දෙවියන් අදහන්නකු නොවේ.

ඔහු නිරන්තරවම යෝග ව්‍යායාම කරන, ටයිකොන්ඩෝ පුහුණුව ලබන කෙනකි. ඔහුගේ සොයුරිය නීඛිතා ද සම්මාන කිහිපයක්ම දිනාගත් නැඟී එන ගායිකාවකි.

සෝනුගේ ප්‍රිය බිරියගේ නම මධුරිමායි. ඔවුන්ගේ පුතු නිවාන් ද මේ වන විට ජනප්‍රිය ගායකයකි. සිව් හැවිරිදි නිවාන් පසුගියදා භාරත ගීත කෝකිලා ලතා මංගේෂ්කාර් සමඟ ගීයක් ගැයුවේය. නිවාන් මේ දිනවල වඩාත් කතාබහට ලක් වී සිටින්නේ ‘කොලවරි ඩි’ ගීයේ ළමා ගීය ගැයීම නිසයි.

ලෝ පුරා සංචාරය කර ඇති සෝනු ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ප්‍රථම වරටය.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව