යුද්දෙට පස්සෙ වියට්නාම් චිත්‍රපට
මුල් වරට වියට්නාම සිනමා උළෙලක් මේ දිනවල කොළඹ දී පැවැත්වේ. ඒ ජාතික චිත්‍රපට
සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේ ය. මේ ලිපිය ඒ නිමිත්තෙනි. මෙම උළෙල ඊයේ ඇරැඹුණ අතර
එය ලබන 19 වැනි දා දක්වා පැවැත්වේ.
එයට ඇතුළත් ව අද තිරගත වනුයේ හයි නින්හෛ තැනූ ද ලිට්ල් ගර්ල් ඔෆ් හැනෝයි,
චිත්‍රපටයයි. හෙට නග්යූයෙන් වින් සොං තැනූ ද මූන් ඉන් ද බොටම් ඔෆ් ද වෙල්,
චිත්‍රපටය ද සෙනසුරාදා හොංග් නේ අධ්‍යක්ෂණය කළ ‘ද බැන්ඩන්ඩ් ෆීල්ඩ්’ සහ ඉරිදා
ක්වාංග් හායි න්ගෝ තැනූ ‘ද ස්ටෝරි ඔෆ් පාඕ ’යන චිත්‍රපට ද මේ අනුව ඉදිරියේදී තිරගත
වීමට නියමිත ය. ඒ දිනපතා පස්වරු 6.00 ට ය. මේ චිත්‍රපට වියට්නාමයේ වඩාත්ම ප්‍රචලිත
චිත්‍රපට එකතුවක් වන අතර එයින් ද ලිට්ල් ගර්ල් ඔෆ් හැනෝයි 1973 වසරේ තැනුණ
චිත්‍රපටයකි. සෙසු චිත්‍රපට බහුතරය 2006 හා 20 08 වසරයන්හි නිර්මාණය වූ ඒවා ය.
මෙය මෑතභාගයේ අප දකින විශිෂ්ටතම සිනමා එකතුවකි . වියට්නාමය පිළිබඳ අප සිනමාව මගින්
ඕනෑ තරම් දැක ඇත. එහෙත් එසේ දැක ඇති බහුතරය වියට්නාමය පිළිබඳ පිටස්තරයන් විසින් තනන
ලද නිර්මාණයන් ය. ඒ චිත්‍රපටවලින් ද සියයට අනූනමයක්ම දැවැන්ත හොලිවුඩ් නිර්මාණයන්
ය. 1973 දී වියට්නාමයේ වියට්කොන් ගරිල්ලන් හමුවේ අමෙරිකාව ලද අන්ත පරාජයේ අමිහිරි
මතකය තවමත් එරට හදවත පාරන්නක් වේ.
මේ වේදනාව බොහෝ දුරට සමනය කර ගත හැකිවූයේ
වියට්නාමයට එරෙහිව සිනමා වීරයන් බිහි කිරීමෙන් පමණකි. එහෙත් ඇතැම් අමෙරිකානු
සිනමාකරුවෙකු එහි සිදුවූ කටුක අමිහිරි යථාර්ථය නිර්දය ලෙස හෙළිදරව් කළේය. අමෙරිකාව
වියට්නාමය අතහැර ගිය ද හොලිවුඩ් සිනමාකරුවන් ඒ තරම් පහසුවෙන් වියට්නාමය අතහැර ගියේ
නැත. වියට්නාමයේ රූ නොගැන්වුණ ද හොලිවුඩ් වීරයෝ ඒ අසල්වැසි තායිලන්තයේ නැතහොත්
මැලේසියාවේ ද ඉඳහිට ලංකාවේ ද එරට පසුතලය ගොඩනඟා එයට ආදේශකයන් බවට පත් කර ගත්හ.
රැම්බෝ ෆස්ට් බ්ලඩ්,මිෂිං ඉන් ඇක්ෂන්, වැනි චිත්‍රපට වියට්නාමයට එරෙහි අමෙරිකානු
යුද වීරයා නිර්මාණය කළේය. වරක් අමෙරිකානු ජනාධිපතිවරයෙකු ව සිටි සිනමා නළු රොනල්ඩ්
රීගන් කියා සිටියේ අන්තිම මිනිසා ද ගෙදර එනතුරු යුද්ධය නිමා නොවන බව ය. රැම්බෝ වැනි
චිත්‍රපට තනමින් අමෙරිකානු සිනමාකරුවන් කඩේ ගියේ එකී මතවාදය ව්‍යාප්ත කිරීමට ය.
එහෙත් වියට්නාම යුද්ධයේ කටුක අත්දැකීම්වලට මුහුණ පා සිටි ඔලිවර් ස්ටෝන් වැනි
සිනමාකරුවෝ එයට වඩා අමෙරිකාව මුහුණ දුන් ඇත්ත නිරාවරණය කළහ. ස්ටොන් ගේ ප්ලැටූන්
මෙන්ම, ඩියර් හන්ටර්, කමිං හෝම්, අපොකල්ප්සේ නව්,බෝන් ඔන් ද ෆොත් ඔෆ් ජුලයි, වැනි
චිත්‍රපට මේ අතර මගේ මතකයට එයි. එහෙත් මේ හැම චිත්‍රපටයක්ම අප දුටුවේ වියට්නාමය
පිළිබඳ වියට්නාමයේ ඇසින් නොවේ. අමෙරිකානු ඇසෙනි.
මේ හැරෙන්නට වියට්නාමය පසුබිම් කළා වූ ලොවපුරා අතිශය ජනප්‍රිය චිත්‍රපට යුගලක්
පසුගිය දශක දෙක ඇතුළත තිරගත විය. එයින් එකක් බ්‍රිතාන්‍ය සිනමාකරු ජෝන් බූමන්
නිර්මාණය කළ ‘ඉන්දෝ චයිනා’ ය. අනෙක ප්‍රංශ සිනමාකරු ශීන් යාක් ඇනවුඩ් නිර්මාණය කළ
‘ද ලවර්’ය. කෙසේ වෙතත් මේ චිත්‍රපට සියල්ල විදේශිකයන් විසින් පිටස්තරයන් ලෙස පැමිණ
වියට්නාමය පිළිබඳ රූ ගැන්වූ වෘතාන්ත චිත්‍රපට වේ. වියට්නාමය ආසියාතික රටක් වුවද එහි
තැනෙන චිත්‍රපට අප දැක ඇත්තේ අල්පයකි.
ඉතා මෑතක් වනතුරුම වියට්නාම සිනමාව පිළිබඳ
බොහෝදෙනා දැන සිටියේ ද අඩුවෙනි. වියට්නාමය පිළිබඳ වඩා ලොව දැන සිටියේ අහක යන
යුද්ධයකට අත දමන්නට ගිය අමෙරිකාවට මේ පුංචි මිනිසුන්ගේ ධෛර්යය හා නිර්භීත කම හමුවේ
ඇඳීවත ද අහිමි කරදුන් රටක් හැටියට ය.
වසර ගණනාවක් අමෙරිකාව විසින් වියට්නාමයට හෙළන
ලද බෝම්බ ප්‍රමාණය දෙවැනි ලෝක මහා සංග්‍රාමයේ දී නාසින් හමුවේ ඔවුන් විසින් හෙළන ලද
බෝම්බ ප්‍රමාණයට සමාන බැව් ඇතැම් මූලාශ්‍ර හෙළිදරව් කරයි.
එහෙත් එමගින් වියට්නාම
වාසීන්ගේ දේශපේ‍්‍රමීත්වයට කිසිසේත් හානියක් සිදුවූයේ නැත. අමෙරිකාවේ තැනුණ
වියට්නාම යුද්ධය නිර්දය විවේචනයට ලක්කළ සිනමාපට පුරා අමෙරිකානු සොල්දාදුවන්ගේ
ඛේදවාචකය ඉස්මතු කළා විනා ඒවායේ ඇතැම් දර්ශන ඉස්මතු කරන ලද්දේ වියට්නාම් මිනිසුන්
කුරිරු පිරිසක් ලෙසට ය.
වියට්නාමය අමෙරිකාවට කෙතරම් බලපෑවේ ද යත් එම යුද්ධය පසුබිම් කොටගෙන තැනුණ හොලිවුඩ්
චිත්‍රපට සංඛ්‍යාව 128 කි. මේ චිත්‍රපට බහුතරය අමෙරිකානු කාඩ්බෝඩ් වීරයන්
වියට්නාමයට පැමිණ කළ මහා හපන්කම් පිළිබඳ ය. නැතිනම් වියට්නාමයේ අතර මං වූ නැතහොත්
ඕනෑ කමින් අතර මං කරන ලද අමෙරිකානු සොල්දාදුවන් ගලවා ගැනෙන මෙහෙයුම් පිළිබඳ ය.
එහෙත් මේ සියල්ල හොලිවුඩ් හිතළු කතන්දර වේ. ඇත්ත නම් එයට වඩා වෙනස් වූයේය.
මේ නිසාම
වියට්නාම යුද්ධය අළලා හොලිවුඩයේ තැනුණ වඩාත් වැදගත් චිත්‍රපට ලෙස ගැනෙනුයේ වී වර් ද
සොල්ජර්, ෆුල් මෙටල් ජැකට්, ද ඩියර් හන්ටර්, ගුඩ් මෝනිං වියට්නාම්, ද ෆොග් ඔෆ් වෝ,
පාත් ටු වෝ, හැම්බර්ගර් හිල්, ප්ලැටූන්, හැනෝයි හිල්ටන්, බොන් ඔන් ද ෆෝත් ඔෆ් ජුලයි
යන චිත්‍රපටයන් ය. මේ චිත්‍රපට සියල්ල අමෙරිකානු යුද ප්‍රතිපත්ති හා එහි ප්‍රතිඵලය
විවේචනයට ලක්කළ චිත්‍රපටයන් ය.
එහෙත් වර්තමානයේ එනම් වසර හතළිහකට පසු අමෙරිකානු සමාගම් එහි යන්නේ ව්‍යාපාර
ආයෝජකයන් ලෙසට ය.
වියට්නාමය ආසියානු කලාපයේ ඇති දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන රටකි. එහෙත් එය බොහෝ
ආසියාතික රටවල මෙන් බ්‍රිතාන්‍යයේ හිරු නොබසින අධිරාජ්‍යයේ කොටස් කරුවන් වී සිටියේ
නැත. ඒ වෙනුවට එය යටත් ව සිටියේ ප්‍රංශයට ය. ‘ඉන්දෝචයිනා’ නමින් එකල හැඳීන් වූ මේ
බිම දිගු කලක්ම චීන අධිරාජ්‍යයේ ලක්ෂණවලින් ද ආභාෂය ලද්දේ ය. ඉතිහාසය පුරාම චීනයේ
බලපෑම වියට්නාමයට හුරු වූයේය.
රටේ බහුතරය බෞද්ධයන් වූ අතර 1963 වසරේ දී අමෙරිකානු
අත පෙවීමට මුල් වූයේ ද එවකට දකුණු වියට්නාම පාලකයාව සිටි ඩිං ඩියෝං විසින් වෙසක්
පොහෝ දිනක බෞද්ධ කොඩිය එසවීමට ඉඩ නොදීමේ සිද්ධියකි. එරට ඇතුළත කැරැල්ලක් පැන නැඟීමට
එය හේතුවිය. එම පිරිසට එවකට උතුරු වියට්නාමයේ සහාය ලැබී ඇතැයි යන සිදුවීම මේ
ආක්‍රමණයේ මුල් පියවර විය.
වියට්නාම සිනමාව ආරම්භ වනුයේ 1921 වසරේ ය. එහෙත් ප්‍රංශයෙන් නිදහස ලැබීමත් සමඟ
උතුරු සහ දකුණු වියට්නාමය ලෙස වෙන්වුණ වියට්නාමයේ සිනමාව තැනුණේ පිල් දෙකක
දෙයාකාරයට ය. උතුරු එනම් සමාජවාදී කඳවුරේ පිහිටි හැනෝයි නගරයේ බිහිවූ සිනමාව රාජ්‍ය
ප්‍රචාරය කේන්ද්‍ර කොට ගත්තකි. එහෙත් දකුණේ එනම් සයිගොන්(වර්තමානයේ එය හෝ චි මිං
නගරය යි) සිනමාව වඩාත් බිහි කළේ යුද්ධය හෝ විකට තේමාවන් ය.
පසු කලෙක එය වඩාත්
රාජ්‍ය පක්ෂපාතී මහජන ආරක්ෂාව පිළිබඳ තේමාවන් වෙත ළං වූයේය. 1956 වසරේ හැනෝයි හි
බිහිවූ වියට්නාම් චිත්‍රාගාරය මෙන්ම 1958 වසරේ බිහිවූ සිනමා පාසල උතුරේ
සිනමාකරුවන්ට මනා තෝතැන්නක් විය. එහෙත් යුද්ධය සමඟ දකුණ වඩාත් ප්‍රවෘත්ති චිත්‍රපට
සඳහා කාලය යොමු කළේය. 1965 සහ 73 කාලය ඇතුළත වියට්නාමයෙන් බිහිවුණ වාර්තා චිත්‍රපට
සංඛ්‍යාව 300 ඉක්මවයි.
කෙසේ වෙතත් වියට්නාමය යුද්ධයෙන් පසු එක්සත් වුවද එහි සිනමාව වඩා ලොවපුරා පැතිරෙන්නට
පටන් ගත්තේ 1986 වසරේ එරට නිදහස් ආර්ථික ප්‍රතිපත්තිවලට පිළිපන් පසුව ය. මේ වනතෙක්
රජයේ ආයෝජනයෙන් ආරක්ෂිතව තැනුණ චිත්‍රපට ව්‍යාපාරය බලවත් තර්ජනයකට මුහුණ පෑවේ මේ
සමඟ ය. විශේෂයෙන් ඒ වනවිට ටෙලිවිෂනය සහ ඩීවීඩි යනු වියට්නාම සිනමාවට අභියෝගයක් නොවී
ය. විදේශ චිත්‍රපට පවා රට ඇතුළට පිවිසියේ සීමා සහිතව ය.
එහෙත් නිදහස් ආර්ථික
ප්‍රතිපත්ති සමඟ සියලු ආකල්පවල වෙනස්වීම් දක්නට ලැබිණ. තව දුරටත් අමෙරිකාව සමඟ
පැවැති එදිරිවාදී පැරැණි පසමිතුරු කම් බිඳ වැටුණ අතර අලුත් පේ‍්‍රමයක් ඒ මත්තෙහි
ලියලා වැඩිණ. එයින් වඩාත් අවදානමට ගොදුරු වූයේ සම්ප්‍රදායික සිනමාකරුවන් ය. එහෙත්
සිනමාව යනු සිනමාකරුවන්ගේ ආත්ම ප්‍රකාශනයක් ලෙස සැලකූ නැතහොත් සිනමාව යනු ජීවිතයේ
තෙවැනි ඇසක් ලෙස සැලකූ සිනමාකරුවන්ට සිනමා උත්සව හරහා ජාත්‍යන්තරයේ දොර විවිර විණ.
මෙහි ලා ඔවුනට තවත් වාසියක් තිබිණ. ඒ වියට්නාමය පැරැණි ප්‍රංශ කොලනියක් වීමයි.
ප්‍රංශය සිනමා කර්මාන්තයේ ලොවපුරා නව වෙළඳ පොළක් තනා ගත්තේ අමෙරිකානු හොලිවුඩ්
සිනමාවට සාපේක්ෂව අඩු වියදම් සහිත එමෙන්ම ඒ ඒ රටවල තරුණ සිනමාකරුවන්ගේ ආයෝජකයන් බවට
පත්වෙමිනි. අප්‍රිකාවේ ඇතැම් රටවල මෙන්ම ඉරානයේ ද ඇතැම් සිනමාකරුවන්ට ප්‍රංශ
සිනමාවේ ආයෝජකයෝ මහත් මෙහෙයක් කළහ. මෙහි දී වියට්නාම සිනමාව හරහා වඩාත් ලොව දැන
ගත්තේ ට්‍රාන් ආන් හුංග් හරහා ය.
ඔහුගේ ද සෙන්ට් ඔෆ් ද ග්‍රීන් පපායා කාන් උළෙලේ
සම්මානයට පාත්‍රවීම මෙහි වැදගත්ම ලකුණක් විය. ආන් හුංග් ගේ ‘සයික්ලෝ’, ‘වර්ටිකල් රේ
ඔෆ් දසන්’ වැනි චිත්‍රපට සියල්ලම පාහේ ලොවපුරා සිනමා විචාරකයන්ගේ අවධානයට පත් විය.
කෙසේ වෙතත් ඔහු ඇතැම් විට වියට්නාම සිනමාකරුවකු ලෙස හැඳීන්වීමට ද සමහරු අකැමැති ය.
හේතුව ඔහු ජීවත් වනුයේ ප්‍රංශයේ බැවිනි. කෙසේ වෙතත් බෆලෝ බෝයි, ද වයිටි සිල්ක්
ඩ්‍රෙස්, මුවෝයි, ජර්නි ෆ්‍රොම් ද හෙල්, ස්ටෝරි ඔෆ් ගුඩ් බිහයිවර් වැනි චිත්‍රපට
මෑත භාගයේ බොහෝ සිනමා උළෙලයන්හි දැක ගන්නට ලැබුණ වියට්නාම චිත්‍රපට වේ.
වියට්නාම සිනමාවේ අසල්වාසින් වූ චීනය හා තායිවානය අද ලෝක සිනමාවේ වඩාත් කැපී පෙනෙන
සිනමාවන් බවට පත් වී හමාර ය. වියට්නාමය ලෝකය හා තරග වදින්නට එන්නේ ආසියාවේ සෙසු
රටවල සිනමාවට බොහෝ කලකට පසුව ය. එහෙත් එම සිනමාව සෙසු රටවල් හා ඉක්මනින් තරග වදිනු
ඇතැයි ඇතැම් විචාරකයන්ගේ මතයයි. මේ සිනමා උළෙල එකී සිනමාවේ හරස් දැක්මක් වැන්න.
එමෙන්ම වඩාත් නූතන වියට්නාම චිත්‍රපට ඉදිරි වියට්නාම සිනමා උළෙලක දී දැක ගන්නට
ලැබෙනු ඇතැයි පේ‍්‍රක්ෂක අපේ බලාපොරොත්තුවයි.
|