එදත් අදත් පෙබරවාරි 16

වසර 24 ක් පුරා විජයගේ කෙස් රොද රකින කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ සේවකයෙක්

ඒ දිනය 1988 පෙබරවාරි දහසය වෙනිදාය. යතුරු පැදියකින් පැමිණි නාඳුනන තරුණයෝ දෙදෙනෙක් විජයගේ නිවස අද්දරදී එක වරම නතර විය. ඇයි මල්ලී? විජය කවදත් තමන්ට අඩු වයසේ ඕනෑම කෙනෙකුට කතා කළේ එපරිද්දෙනි. එහෙත් එයට පිළිතුරක් ලැබුණේ වදනින් නොවේ.

වෙඩි උණ්ඩ වරුසාවකිනි. හිතක් පපුවක් තිබුණේ නැත. මිනිස්කම ගැන කිසිදු ඉවක් තිබුණේ ද නැත. දහසකුත් ජනී ජනයා ආදරය කරන මේ උතුම් මිනිසා ගැන තඹ දොයිතුවක තරමේ වටිනාකමක් නොවීය. එදින මධ්‍යහ්න දොළහ පසු වී තත්ත්පර විනාඩි කිහිපයක් ගිය තැන විජය තම මෑණියන් වූ බ්‍රියට්‍රිස්ගෙනුත්, බිරිය වූ චන්ද්‍රිකාගෙනුත්, දුව යශෝධරාගෙනුත්, පුතු විමුක්තිගෙනුත්, තමන් ආදරය කළ රටේ සියලු ජනී ජනයාගෙනුත් යළි නෙයෙන්නට සමු ගත්තේය.

වෙඩි වරුසාවක් වැදී බිම වැටුණු විජය වෙත ආ වියරු වැටුණු ඝාතකයා ලේ විලක් මැද වැටී සිටි මිනිසුන් ආදරය කළ විජයගේ මනස්කාන්ත ලස්සන මුහුණ දෙසට තුවක්කු බටය මානා වෙඩි වැලක් මුදා හැරියේය. දහසක් මිනිසුන් ආදරය කළ ආදරණීය මිනිසකු අනාදරනීය මිනිසකු විසින් නිහඬ කරනු ලැබුවේ ඒ අයුරිනි.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මිනිස්කම විසින්ම පිරිපුන් මිනිසකු වූ විජයට ආදරය කළ මිනිසුන් එදා විජයගේ ලෙයින් තෙත් වූ පස් පවා සදාතනික සිහිවටන ලෙස රැගෙන ගියේ මේ දයාවෙන් පිරිපුන් මිනිසාට තිබුූ ආදරය නිසාමය. නළුවකු ලෙසත්, දේශපාලඥයකු ලෙසත් ජන හදවත් තුළ ලෙන්ගතු වී සිටි විජයට පැල්පතේ සිටි අන්ත අසරණ මිනිසාත් සුවිසල් මැදුරුවල සිටි මහා ධනපතියනුත් එක සේ ආදරය කළේ ඔහු තුළ තිබූ මානව දයාව නිසාමය.

විජයට ආදරය කළ මෙවැනි බොහෝ මිනිස්සු අතරේ සිටි කෙනෙකි සුනිල් ප්‍රේමසිරි පෙරේරා. විජය මිය යන විට ඔහු සේවය කළේ කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේය. එදා විජයගේ පශ්චාත් මරණ පරික්ෂණය සිදු කරනු ලැබුවේ කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේදීය. එදා විජයට පණ මෙන් ආදරය කළ සුනිල් විජයගේ පශ්චාත් මරණ පරීක්ෂණයට දායක වූ ආකාරය අදත් සිහිපත් කරනුයේ දැඩි ශෝකාන්විත භාවයකිනි.

මම මෙතන සේවයට එක් වුණේ 1987 වර්ෂයේ. ඒ වෙන කොට මෙහි ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා වූණේ සල්ගාදු මහත්තයා. සාමාන්‍යයෙන් කොළඹ මහ රෝහලෙන් හදිසි මරණයක් සිදු වූ විට අපේ කාර්යාලයට දන්වනවා. පශ්චාත් මරණ පරික්ෂණය සඳහා බොඩිය රැගෙන යන ලෙස. එදත් මම සුපුරුදු පරිදි සේවයට ඇවිත් හිටියා.

සවස දෙකට විතර අපේ කාර්යාලයට කොළඹ රෝහලේ හදිසි අනතුරු අංශයෙන් දන්වා සිටියා බොඩියක් තියෙනවා ඇවිත් අරන් යන්න කියලා. ඒ වෙන කොට මම දැනගෙන හිටියේ නෑ විජය කුමාරතුංගගේ බොඩිය තමයි මේ ගේන්න කියන්නේ කියලා. මම සුපුරුදු පරිදි වෙනදට බොඩි ගේන ටෙ‍්‍රාලියත් අරගෙන මහ රෝහලට ඇතුළු වුණා. ඒ යන කෙට රෝහල පුරාම මිනිස්සු කලබල වෙලා.

පාරවල්වල මිනිස්සු පිරිලා. සමහරු £අඬනවා. මමත් ට්‍රොලිය නතර කරල ටිකක් විපරම් කළාම දැනගන්න ලැබුණා විජයට වෙඩි තියලා, මැරිලා, මට මේ ගෙන්න කියල තියෙන්නේ ඒ බොඩිය කියල. මට ඒ සිද්ධිය දරා ගන්න බැරි වුණා. මට ඇඬුණා. මේ වගේ පුද්ගලයෙක් මේ ට්‍රොලියේ ගෙන යන එක හරි නැතිය කියලා මම හිතලා මා ගෙනා ට්‍රොලිය පැත්තකට කරලා තිබ්බා. රෝහල ළඟ මල් ශාලාවක් කරපු මහත්තයෙක් මම හඳුනනවා. ඒ මහත්තයාත් නිතර අපි ළඟට ඇවිත් බොඩි එහෙමත් ගෙනි යනවා. මම ඒ මහත්තයා හොයා ගෙන ගියා.

ලංකා පෙරේරා තමයි ඒ මහත්තයා. මම අඬ අඬා විස්තරය ඒ මහත්තයට කිව්වා. මහත්තයා හර්ස් එක අරගෙන මාත් එක්ක පාරට ආවා. එදා හදිසි අනතුරු වාට්ටුව තිබුණේ අද තියෙන තැන නෙමේ. අපි දෙන්නා හර්ස් එකෙන් එතනට යන කොට මහා ජන ගඟක් අතුරු සිදුරු නතුව හැම තැනම පිරිලා.

තාප්ප උඩ, ගොඩනැගිලි උඩ පවා මිනිස්සු. මම රෝහලට ඇතුළු වෙලා විජයගේ මිනිය හර්ස් එකට ගන්න හදන කොට බොඩිය හර්ස් එකට ඇතුළු වුණේ අත් දහසක් උඩින්. ඊට පස්සේ බොහොම අමාරුවෙන් බොඩිය අපේ කාර්යාලයට ගෙනාවා. මට මතක හැටයට අපේ හර්ස් එකට රෙක්ස් කොඩිප්පිලිත් නැග්ගා කියලා. මිනිය මෙතනට ගේන කොටත් මේ ප්‍රදේශයේ පුදුම ජන ගඟක් තිබුණේ. අපි පුදුම අමාරුවකින් තමයි බොඩිය මෙතනට අර ගත්තේ. මිනිස්සු අඬනවා, කෑ ගහනවා. නළු නිළියන්ගෙන් මේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය පිරිල ගියා.

මම පුදුම විදියට විජය කුමාරතුංගට ආදරය කළා. මම රද්දොලුගම. විජය මහත්තයා සීදූවේ. අපි කවදාවත් එකට හමුවෙලා නෑ. ඒත් මම විජය මහත්තයාට කැමැතියි. විජය මහත්තයාගේ පින්තූර මම හරියට එකතු කළා. පත්තරවල තිබුණ විජයගේ පින්තූර මම එකතු කළා.

මගේ රාජකාරි කරන ස්ථානයේ පුද්ගලික බඩු දාන ලොකර් එකේ දොරේ ඒ පින්තුර අලවලා තිබුණා. මේ ලොකර් එක රණසිංහ කියලා කෙනෙකුයි මායි තමයි පාවිච්චි කළේ. අපි දෙන්නම විජයට ආදරය කළා. විජයගේ අපි ආස කරන පින්තූරයක් ලැබුණොත් අපි කරන්නේ මේ ලොකර් එකේ දොරේ අලවනවා. අදටත් අලවපු පින්තූර එහෙම්මම තියනවා.

සවස තුන පහු වුණාට පස්සේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය, මහාචාර්ය කාලෝ ෆොන්සේකා ඇතුළු විශාල පිරිසක් අපේ කාර්යාලයට ආවා. ඔවුන් සමඟ මරණය සිදු වූ ආකාරය පිළිබඳ සාක්ෂි විමසීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණයේ කටයුතු ආරම්භ කළා. මුහුණට, බඩට, අතට වෙඩි වැදිලා තිබුණා.

දරුණු ලෙස මුහුණට වෙඩි වැදිලා තිබුණා. මේ විජය කුමාරතුංග ද කියලා එක එල්ලේ හඳුනා ගන්න බැරි තරමට වෙනස් වෙලා තිබුණේ. අපි ආදරය කළ විජයගේ ලස්සන මුහුණ හොරු අරන් ගියා වගේ.

මට මතක හැටියට විජය කොටු කොටු කමිසයක් හා කළු කලිසමක් ඇඳල හිටියේ. ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි සල්ගාදු මහත්තයා ඇතුළු අධිකරණ වෛද්‍ය නිලධාරින් කණ්ඩායම සිරුරේ පරීක්ෂණ කටයුතු සිදු කළා.

මමත් හිතේ තියෙන වේදනාව යටපත් කරගෙන මගේ රාජකාරිය ඉෂ්ඨ කළා. අපි කොච්චර ආදරය කරන කෙනෙකු වුණත් පරික්ෂණ කටයුතුවලදී අකුරට රාජකාරිය කළ යුතු වෙනවා. ඒ තත්ත්වය මම අවබෝධ කරගෙන වෛද්‍යවරුන්ට මගේ සහාය නොඅඩුව ලබා දුන්නා. ඔය අතරේදී මම විජය කුමාරතුංග සිහිපත් වෙන්න ඔහුගේ හිසෙන් කෙස් ටිකක් කපල තියා ගත්තා.

අදටත් මා ළඟ ඒ කෙස් ටික සුරක්ෂිතව තියෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු වෙලා අවසන් වෙන කොට රෑ බෝ වේගෙනත් ඇවිත් තිබුණා. ලක්ෂ සංඛ්‍යාත සෙනඟක් මුලු කාර්යාල භූමියේ, පාරවල්වල, ගොඩනැගිලිවල පිරී ඉතිරිලා ගිහින්. ඔය අතරේ විශාල පරිශ්‍රමයක් දරල විජයගේ මෘත දේහය මෙහි සිට මල් ශාලාවක් කරා රැගෙන ගියා.

දැනට කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ලෙස කටයුතු කරන ආනන්ද සමරසේකර මහතා ද විජයගේ මරණය සිදුවන දිනයේ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවයේ නියුතුව සිටියේය.

එවක ඔහු ජ්‍යෙෂ්ඨ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී ලෙස සේවය කරන වකවානුව විය. විජයගේ මරණයේ පශ්චාත් මරණ පරීක්ෂණය කිරීමේ කටයුත්තට ද එවක ඔහුට දායකවීමට අවස්ථාව ලැබිණි.

විජයගේ මරණය සිදු වුණු දවස මගේ ජීවිතයේ අමතක නොවන දිනයක්. මේ අධිකරණ වෛද්‍ය ඉතිහාසයේ වැඩිම ජන ගංගාවක් සිටින විට මරණ පරික්ෂණයක් සිද්ධ කළ සිද්ධියක් ලෙස එය ඉතිහාස ගත වෙනවා. මගේ රාජකාරි ජීවිතයේ මම දැක්ක වැඩිම සෙනඟක එකතුවක් විජයගේ මරණය.

හදිසි අනතුරු අංශයෙන් අපිට දැන්නුවා විජය කුමාරතුංග මිය ගිහින් ඇති බවත්, එහි මරණ පරීක්ෂණ කටයුතු සිද්ධ කරන ලෙසත්. ඔහුගේ මරණය සහතික කර පොලීසියේ සහ මහේස්ත්‍රාත් පරීක්ෂණවලින් පසු මෘත දේහය අපේ කටයුතුª සඳහා මෙහි රැගෙන ආවා. ඒ කාලයේ මම ජ්‍යෙෂ්ඨ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි ලෙස තමයි කටයුතු කළේ.

චන්ද්‍රිකා බණ්ඩාරනායක, සුනේත්‍රා බණ්ඩාරනායක, කාලෝ ෆොන්සේකා ඇතුළු පිරිසක් ඇවිත් සාක්ෂි විභාග කටයුතු සඳහා අසුන් ගත්තෙත් මගේ මේසයේ. ඒ කටයුතුවලින් පස්සේ හිටපු අධිකරණ වෙද්‍ය නිලධාරි සල්ගාදු මහතාගේ මූලිකත්වයෙන් අපි පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ආරම්භ කළා. විජයගේ මුහුණට වෙඩි තැබීම්වලින් දැඩිව හානි වෙලා තිබුණේ.

ඔහු පැළඳි විග් එක ගැල වී ගොස් තිබුණා. බැලූ බැල්මට එක පාරටම විජය කුමාරතුංග ද කියා හඳුනා ගන්න බැරි තරමට වෙනස් වී තිබුණා. සියලු පරීක්ෂණවලින් අනතුරුව අපි ක්ෂණික මරණයක් ඇතිවීමට හේතු වූ කාරණා ඇතුළත් වාර්තාවක් ලබා දුන්නා. අපිත් එක්ක රාජකාරි කරන සුනිල් ප්‍රේමසිරි සැමරුමක් හැටියට විජය කුමාරතුංගයන්ගේ ස්වභාවික කෙස් ටිකක් කපා ගත්තා.

සිරුරේ තිබුණ සියලු උණ්ඩ අප රජයේ රස පරීක්ෂකට භාර දුන්නා. පසුවදා උදෙන්ම පොල්හේන්ගොඩ මරණය සිදු වූ ස්ථානයට ගොස් අපි පරික්ෂණ කටයුතු සිද්ධ කළා. මෘත ශරීරයක් සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මෙලෙස එක් රැස් වෙනවා මම ජීවිත කාලයටම දැකලා නෑ.

එවැනි දෙයක් මම දැක්කේ විජය කුමාරතුංගයන්ගේ මරණ පරීක්ෂණය දවසේ. මමත් විජය කුමාරතුංගයන්ගේ රසිකයෙක්. ඔහු රඟපෑ චිත්‍රපට කොතෙකුත් නරඹලා තියනවා. ඒත් මගේ රාජකාරියේදී රටේ මොන තරාතිිරමේ කෙනෙකුගේ බොඩියක් වුණත් මට එකයි. පශ්චාත් මරණ පරික්ෂණ කටයුත්තේදී ඒ පුද්ගලයාගේ තරාතිරම අපිට අදාල නෑ.

අප කරන්නේ මරණය සිදු වී ඇති ආකාරය පිළිබඳ පරීක්ෂණ කටයුතුª සිදු කිරීම පමණයි. මෙතනදී රාජකාරියත්, රසිකත්වයත් පටලවා ගන්න බෑ.

අපේ පැත්තෙන් අපි මරණ පරීක්ෂණ වාර්තා ලබා දුන්නත් අධිකරණය පැත්තෙන් අදටත් නොවිසඳුණු මිනීමැරුමක්. අදටත් මේ ඝාතනයේ මිනීමරුවන් නිදැල්ලේ.

විජය ජන හදවත් හඳුනා ගත්තෙකි. විටෙක ඔහු නළුවෙක් විය. විටෙක දේශපාලඥයෙක් විය. මේ දෙආකාරයෙන්ම ජන හදවත් තුළට ප්‍රවිශ්ට වූ නළුවාට ද, දේශපාලඥයාට ද ආදරය කළ බොහෝ පිරිසකි. සොඳුරු මිනිස් ගති ගුණයෙන් පෝෂිත මේ අපූරු පුද්ගලයා හැම විටම ජන හදවතේ රැව් පිළිරැව් දෙන සොඳුරු මිනිසෙකි. විජය අප ළඟ දැන් නැත. එහෙත් තවමත් ඔහු ගැන කතා කරනුයේ ඔහුගේ සොඳුරු ගතිගුණ නිසාමය.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව