නීටා ලුම්බිණි වේදිකාවෙන් පහළට

සේවාර්ජිත මහාචාර්ය තිස්ස කාරියවසම් කරන හෙළිදරව්ව

විද්වතුන් වූ රසවතුන් විශේෂාංගය සඳහා අද එක් වුයේ දස දහස් ගණන් දැයේ දූ දරුවන්ට ඥානය ලබාදුන් විශ්ව විද්‍යාල මහාචාර්යවරයකු, විවිධ විෂයන් යටතේ ග්‍රන්ථ රාශියක් රචනා කළ ග්‍රන්ථ කර්තෘවරයකු, චිත්‍රපට, ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය ජූරි සභිකයකු, විචාරකයකු වන සේවාර්ජිත මහාචාර්ය තිස්ස කාරියවසම් මහතාය.

* කලා ක්ෂේත්‍රයට ඇල්මක් ඔබ තුළ ජනිත වූයේ කොයි ආකාරයෙන්ද?

මගේ ගම බද්දේගම, ගනේගම මීට අවුරුදු හැත්තෑවකට එපිට තිබුණේ දැන් තියෙන පරිසරයට හාත්පසින්ම වෙනස් ස්වරූපයකින්. නාඩගම්, නාට්‍යය, තොවිල් ආදී අපේ ජන සමාජයත් එක්ක බැදුණු ගැමි නාටක කලාවකට උරුමකම් කිව්ව ප්‍රදේශයක් තමයි එදා අපිට තිබුණේ. ගම වටා තිබුණේ හරියට තුන්හුලස් නාඩගම් සම්ප්‍රදායක් කිව්වොත් හරි. දොඩංගොඩ ප්‍රදේශයේ බාරොන් මාස්ටර්ගේ නාඩගම, හල්පතොට ප්‍රදේශයේ සුබසිංහ මාස්ටර්ගේ නාඩගම, රත්ගම ප්‍රදේශයේ සමිත ලියනගේ ගේ නාට්‍ය කණ්ඩායමෙන් සැදුම් ලත් මේ තුන්කොන් නාඩගම් සම්ප්‍රදායයන් නිසා අපේ ජීවිතත් මේ නාඩගම් අතරේම දෝලනය වුණා. මේ පරිසරය තුළ අපිව පුදුම විදියට කලාව කෙරෙහි බැඳීම වේගවත් කළා. ඒ වගේම තමයි තොවිල්වලටත් අපේ ගම හරි ප්‍ර‍්‍රසිද්ධියක් ඉසිලුවා. ෆ‍්‍රැන්සිස් කියල යකැදුරෙක් හිටියා. ඔහු නිතර අපේ ගමේ තොවිල් පවිල් කළා. ඒ කාලේ මේව බලන්න යන එක අපේ විනෝදාංශයක්. අවුරුද්ද පුරාම ගම අවට මොනව හරි දෙයක් බලන්න පුළුවන්.

* මේ දේවල් බලන්න යන එකට තාත්තා, අම්මා විරුද්ධකම් පෑවේ නැද්ද?

කවදාවත් නෑ. මගේ තාත්තා ප්‍රසිද්ධ ගිහි පිරිත් කියන තැනැත්තෙක් වගේම සර්ප වෙදකම හොඳින් දන්නා වෙද මහත්තයෙක්. සමහර දාට අපිට මේව බලන්න යන්න අතට රුපියලක් දෙකක් පවා දුන්නා. දෙවොල් මඩු, ගම් මඩු, තොවිල්පලවල් බලන්න එන අයට කෑම පවා දුන්නා. නොමිලයේ ලැබෙන කෑම එක කාල එළිවෙනකන් මේව බලන එක ඒ කාලේ අපිට තිබුණ හොඳම විමෝදාංශය.

* රෑ පානේ මේව බලන්න යන කොට අකරතැබ්බවලට මුහුණ දුන්නේ නැද්ද?

එහෙම සලකුණක් තවමත් මගේ ඇඟේ තියෙනව. ගිං ගඟ පායන කාලෙට හිඳිල වැල්ල එකතු වෙලා තියෙන කොට අපේ ගමේ තිබුණේ නැති පත්තිනි ඇදහිල්ල ගමට ගෙනත් මේ ගංතලාවේ සිද්ධ කරනවා. හුලු අතු පත්තු කරගෙන දෙවට දිගේ වැට කඩොලුවලින් පැනගෙන කෙටි පාරවල්වලින් රෑපානේ පයින් එනකොට දවසක් කටු කම්බි වැලක කකුල පැටලුණා. කකුලේ කලව හරියෙන් වේදනාවක් දැනුණත් ගණන් නොගෙනම ගිං ගඟේ වැලි තලාවට යන කොට කකුල දිගේ සීතලට මොනවදෝ පෙරෙනවා. හුළු අතු එළිය අල්ලලා බලපුවහම කකුල දිගේ ලේ පෙරෙනවා කම්බිවලට සීරිලා. අදත් ඒ තුවාල කැලලි කකුළේ තියනවා. මේ පත්තිනි ඇදහිල්ලට අපි ඒ කාලේ කිව්වේ වැල්ලේ සෙල්ලම කියලා.

* මුල්ම සිනමා අත්දැකීම වුණේ?

කැලෑහඳ චිත්‍රපටය. ක්වීන්ස්, සීගිරි කියලා චිත්‍රපට හෝල් දෙකක් තිබුණා. ඒ කාලේ ටිකට් එකක් සත පනස් පහයි. ක්වීන්ස් චිත්‍රපට ශාලාවේ ගැලරියේ තමයි චිත්‍රපටය බැලුවෙ. චිත්‍රපටය බලන්න කලින් මම කැලෑහඳ පොත කියවලා තිබුණා. ඒකටත් හේතුවක් තිබුණා. අපේ තාත්තාගේ සිරිතක් තිබුණා ඊළඟ වසරේ පන්තියේ පොත් ටික කලින් අවුරුද්දේ අරන් දීමේ ක්‍රමයක්. ඒ නිසා නියමිත පන්තියට එන්න කලින් ඒ පොත් කියවන්න ලැබීම නිසා මට කැලෑහඳ පොත කලින්ම කියවන්න ලැබුණා. ගමේ මට යාළුවෙක් හිටියා සුමනදාස කියලා. ඔහුත් එක්ක තමයි මම නිතර චිත්‍රපට බලන්න ගියේ.

* ඔබ බෙර වාදනයටත් ප්‍රිය කළා නේද?

සොමිපාල කියලා දක්ෂ බෙර වාදකයෙක් හිටියා අපේ ගමේ. අපේ ගම් පුරාවට තිබුණේ යක් බෙරයි. මේකට ප්‍රධාන හේතුව වුණේ තොවිල්වලට ප්‍රසිද්ධ යකැදුරෝ හිටියේ අපේ ගමේ. ඔවුන්ට තොවිල් නැති දවස්වලට අමතක වෙයි කියල හිතල ත්‍රෝත්‍ර සවස් යාමයේ නිවෙස්වල නිතර ගායනා වුණා. සමහර ත්‍රෝත්‍ර ඒ කාලේ නිතර ඇහිලම අපිට කට පාඩම්. යක් බෙර වාදනයට මට තිබුණ ආශාව නිසාම සොමිපාලගෙන් මම බෙර ගහන්න ඉගෙන ගත්තා.

* අදටත් යක් බෙරයක් ලැබුණොත්?

හොඳට පදේ අල්ලල අගේට මට ගහන්න පුළුවන්.

* තොරණ් බලන එකත් ඔබගේ විශේෂ ඇල්ම අතරේ එක් කොටසක් නේද?

මගේ ගෙවල්වලට එහායින් හිටිය චන්ද්‍රසිරි කියල පුද්ගලයෙක්. ඔහුත් මාත් ඉපදිලා තියෙන්නේ එකම දවසේ වෙලාවල් විනාඩි කීපයක් එහාට මෙහාට වෙලා. අපි දෙන්නම ගජ යාළුවෝ. චන්ද්‍රසිරි හරිම ආසයි තොරණ් බලන්න යන්න. ඔහුගේ තනියට මාවත් එක්කන් යනවා. ඒ යාම් නිසාම මා තුළත් ආශාවක් ඇති කළා. ඒකට ප්‍රධාන හේතුව වුණේ තොරණේ විදුලි බිල ගෙවා ගන්න මුදල් දෙන අයගේ නමට කවි කියනවා. නම ලවුඩ්ස්පීකරයෙන් කියව ගන්න මමත් සල්ලි දෙනවා. රුපියලක් දුන්නහම හොඳ හැටියට කවියෙන් නම කියව ගන්නත්, ප්‍රාර්ථනා ලබා ගන්නත් හොඳටම ප්‍රමාණවත්. ඥාණා වෙලගෙදර කියල කාන්තාවක් තමයි මේ තොරණ් ළඟ කවි කිව්වේ. දවසක් චන්ද්‍රසිරි මේ කාන්තාව සමඟ කවියෙන් වාදයකට ගිහින් හිතේ හැටියට කවි කිව්වා. පහුවෙනිදාම තොරණ් අයිතිකරුවෝ චන්ද්‍රසිරි හොයා ගෙන ගෙදරට ආවා තොරණේ කවි කියන්න.

* ගමෙන් බැහැරවීමත් සමඟ ඔබ කලාවට සම්බන්ධ වුණේ කොයි ආකාරයෙන්ද?

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේ විශ්ව විද්‍යාලයට චිත්‍රපට ගෙන්නලා ප්‍රධාන ශාලාවේ පෙන්නුවා. විශ්ව විද්‍යාලයේ කලා මණ්ඩලය හරහා මේ දේවල් නරඹන්න ලැබුණා. ඒ වගේම ඒ කාලේ නුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයේ තමයි වැඩිපුර නාට්‍ය රඟ දක්වන්නේ. බක්මහ අකුණු, දේවතා එළි නාට්‍ය මම ඒ කාලේ තමයි මුලින්ම නැරැඹුවේ. කොළඹට පැමිණියාට පස්සේ මම මුලින්ම බොරැල්ල රිට්ස් සිනමා ශාලාවේ නැරැඹුවේ සාමා චිත්‍රපටය.

* ගමේදීත්, නගරයේදීත් නාට්‍ය නැරැඹීමෙන් ආශ්වාදයක් ලැබූ ඔබ කවදාවත් රඟපාන්න පෙළඹුණේ නැද්ද?

සුදෝ සුදු නාට්‍යයේ මුදලාලිගේ චරිතයට මම වරක් රඟපාලා තියෙනවා.

* ගායනය මෙන්ම වාදනය හැරුණු කොට ඔබ වඩාත් ආශා කළේ මොන වගේ දෙයකටද?

කුඩා කලේ පටන් මම හිතුවා මේ දෙකටම වඩා පොත් කියවන එක හොඳයි කියලා. ඒ නිසාම මම නිතර පොත පත කියවන්න පෙළඹුණා. බද්දේගම සන්දරවල ගනේගම සරණංකර නායක හාමුදුරුවන්ගේ හැඩි දෙමළ කන්දේ පන්සලේ පුස්තකාලයේ විශාල වශයෙන් ඉංග්‍රීසි පොත පත තිබුණා. හාමුදුරුවන්ගේ අවසරය පරිදි මම මේ පුස්තකාලයේ තිබුණ හැම පොතක්ම කියෙව්වා. කොච්චර මම පොත් කියෙව්වද කියනව නම් හාමුදුරුවොත් අවශ්‍ය පොතක් සොයා ගන්නේ මට කියලා.

* වඩාත් පොත පත පරිශිලනයට යොමු වීම නිසාම ද ඔබ පොත පත ලිවීමට පෙළඹෙන්නේ?

සිංහල ගද්‍යයේ පසුබිම කියලා 1964 දී මම මුල්ම පොත ලියා පල කළා. අද වෙන කොට විවිධ මාතෘකා යටතේ පොත් හැත්තෑවක් පමණ මම ලියා පල කර තිබෙනවා. මම කවදාවත් එක මාතෘකාවක් ඔස්සේ කොටු වෙලා ඉන්න උත්සාහ ගත්තේ නෑ. මේ පුංචි රටේ පාරවල් ගොඩක් නෑ. මම කළේ මේ තියන හැම පාරකම යමින් අලුත් රසයක් සෙව්වා. විටෙක නාට්‍ය කලාවට, ජන සන්නිවේදනය, තොවිල්, යාග හෝම, කාව්‍ය රසය, පරිවර්තන මේ හැම පාරකම රසය මගේ නිර්මාණ ඔස්සේ බිහි වුණා.

* ගීත ගායනයට ඔබ ඇල්මක් දැක්වූයේ නැද්ද?

අවශ්‍ය තැනකදී මම ගායනා කරනවා. මම දරුවන්ට උගන්වන්න ගියත් විෂයට අදාල තැනකදී කොතෙකුත් ගායනා කරල තියනවා. මම කරන ගායනය ගායකයකු වෙන්න උත්සාහයක් නෙමෙයි.

* ගීත රචනා ඔබ අතින් ලිය වුණා නේද?

ප්‍රේමදාස මහත්තයාගේ ගම්උදා සදහා අවශ්‍ය වූ පිළිගැනිමේ ගීත කීපයක්ම මා අතින් ලියවුණා.

* ඔබේ ජීවිතය දෙස ආපසු හැරිලා බලන කොට මොකද හිතෙන්නේ?

මම කළ සේවය ගැන මම තෘප්තිමත්. මගෙන් රටට විය යුතු යුතුකම නොපිරිහෙලා ඉටු කළා කියලා මට අද සන්තෝස වෙන්න පුළුවන්.

* කලා ක්ෂේත්‍රයේ නියැලෙන අතරේ ඔබට අමතක නොවන සිදුවීම් එහෙමත් ඇති නේද?

මම නාට්‍ය විනිශ්චය මණ්ඩලයේ කටයුතු කරද්දී ලුම්බිණියේ සඳ කිඳුරු නාට්‍යයේ රඟපෑ නීටා ප්‍රනාන්දු නටමින් කැරකෙන කොට වේදිකාවෙන් පහළට ඇද වැටී විනිශ්චය මණ්ඩලය අසළ නැවතුණ අවස්ථාව. එක්තරා දිනක ළමා නාට්‍ය විනිශ්චය මණ්ඩලයක කටයුතු කරන කොට පොරමඬුල්ල මධ්‍ය මහා විද්‍යාලයෙන් ඉදිරිපත් කළ අස්ප ගුඩුං, එහෙම උනොත් මුදලිතුමා නාට්‍ය දෙකේ විනිශ්චයේදී එහෙම උනොත් මුදලිතුමා නාට්‍යයේ මුදලිට රඟපෑ නළුවාගේ රැවුල ගැලවී එන විට ඔහුඅපටත් නොසඟවා හොරෙන් රැවුල ගලවා අහකට විසි කරමින් රංගනයේ යෙදුණා. එවකට ඒ චරිතය ශිෂ්‍යයෙකු ලෙස රඟපෑවේ ජයලත් මනෝරත්න.

මා නාට්‍ය අනු මණ්ඩලයේ ඉන්න කොට සුගතපාල ද සිල්වාගේ හෙලේ නැග්ගත් ඩෝං පුතා නාට්‍ය විනිශ්චයේදී ඔහු නාට්‍ය කණ්ඩායම අමතා කළ, හතර දෙනෙක් සංතෝස කරන්න මට බැරි නම් අපි කොහොමද මේ ශාලවේ හත්සීයක් සංතෝස කරන්නේ යයි කියූ කියමන.

ආඬි ටිකයි අම්බලමයි නාට්‍යයේ විනිශ්චයේදී චන්ද්‍රා කළුආරච්චි, ලියෝනි වීරසිංහ මා හා එකඟව ලබා දුන් සෘජු විනිශ්චය අදත් මගේ සිතේ රැඳී තිියෙනවා.

* ඉදිරියටත් සාහිත්‍ය කෘති ඔබ අතින් නිර්මාණය වෙනවාද?

ඔව්, ඒ අතරින් 1956 පසු අද වෙනකන් නාට්‍ය ඉතිහාසය, නර්තන කලාවේ ඉතිහාසය, ලංකාවේ නාට්‍ය ශාලා පිළිබඳ මම ග්‍රන්ථ කීපයක්ම මේ වන විට ලියාගෙන යනවා.

* මහා නාට්‍යකරුවන් ඇසුරත් ඔබව කලාව කෙරේ තදින් බැඳීමට ලොකුª ශක්තියක් වෙන්න ඇති?

එදිරිවීර සරච්චන්ද්‍ර, සුගතපාල ද සිල්වා, හෙන්රි ජයසේන, දයානන්ද ගුණවර්ධන, බන්දුල ජයවර්ධන මේ වගේ බොහෝ නාට්‍යකරුවන් මගේ සමීප මිතුරන් වුණා. මේ මිතුªදම මගේ කලා ඥාණය වර්ධනයට ලොකු ශක්තියක් වුණා.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව