වෙස් මුහුණේ වෙස්

වෙස් මුහුණු කපන්නේ රුක් අත්තන ලීයෙන් යැයි මා දැනගත්තේ සාමාන්‍ය පෙළ අවසන් වී උසස් පෙළට අලුත් පාසලකට යාමට බලා සිටින ශිෂ්‍ය නාස්ති කාලයේදීයි.

මා එය ‘ශිෂ්‍ය නාස්ති කාලයක්’ යැයි හඳුන්වන්නේ හොඳ අධ්‍යාපනයක් පවතින ලෝකයේ කිසිම දියුණු රටක ශිෂ්‍ය වයසේ දරුවන් එලෙස කාලය නාස්ති කර නොදමන නිසාය.

මගේ දරුවන් තවමත්උසස් පෙළ හදාරද්දී මගේ බාල සහෝදරයාගේ දරුවන් හෙවත් මගේ දරුවන්ගේ බාල ඥාති සහෝදරයන් යුරෝපා රටවල විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරන්නේ අපේ රටට මෙන් ඒ රටවල ශිෂ්‍ය නාස්ති කාල නැති නිසාය.

මම මගේශිෂ්‍ය නාස්ති කාලය ප්‍රයෝජනවත් වැඩක යොදවන්නට උත්සාහ කළෙමි. අත්කම් ප්‍රදර්ශනයකදී අලංකාර වෙස් මුහුණු කැටයම් දැක තිබූ මම එය මට ද කළ හැකි කටයුත්තකැයි අනුමාන කළෙමි.

කුඩා කල සිට මැටියෙන් කැටයම් අඹා පාසල් ත්‍යාග පවා මම දිනා සිටියෙමි. 1960 ගණන්වල කොළඹ පැවැත් වූ ‘සියවස ප්‍රදර්ශනය’ සඳහා බණ්ඩාරවෙල පාසල් අතරින් තේරුණු හොඳම බුදු පිළිමය මැටියෙන් ඇඹුවේද මාය. වෙලෙන් ගත් කිරිමැටි පදම් කරනා ක්‍රමවේදය මට පාසලේදීීී කියා දී තිබුණි.

එහෙත් රුක් අත්තන ලීයෙන් වෙස් මුහුණු කපනා හැටි කිසිවකුත් මට කියා දී නොතිබුණේය. පොඩි වී කුඹුරේ මගේ මව් පරම්පරාව සාම්ප්‍රදායික වඩු පරම්පරාවකි. මගේ මවගේ පියා සියුම් කැටයම් වඩිම්බු සහිත ගෙවල් නිර්මාණය කොට ඇත. මගේ මවගේ සහෝදරවරු දෙදෙනෙක්ම පළාතේම ප්‍රකට වඩුබාස්ලා දෙදෙනෙකි.

එහෙයින් කැටයම්කම සිතට ගත් මා ගෙයි පිළිකන්නෙන් පොරොව රැගෙන අවුත් අපේ ඕවිටේ තිබූ රුක් අත්තන ගස් දෙකම කපා පෙරළුවෙමි. අම්මා බැන වදිද්දීම මම රුක් අත්තන ගස කුට්ටි කොට දැමුව ද අපේ ඕවිට ලස්සන කර තිබූ මේ සුන්දර ගස් දෙක කපා දැමීමෙන් මට ඉතිරි වූවේ පිරිමසා ගත නොහැකි පශ්චත්තාපයක් පමණි.

මම කැටයම් ශාස්ත්‍රය නොදැන සිටි නිසා මට රුක් අත්තන ලීයෙන් කිසිදු කැටයමක් කපා ගත නොහැකි විය. මගේ ශිෂ්‍ය නාස්ති වයසේ මා අතින් සිදු වූ බරපතල ස්වභාව නාස්තිය එය යැයි පමණක් මගේ මතකයේ ඉතිරි විය.

මට අතීත මතකයක් ඉස්සර කර ගන්නට සිතුණේ අම්බලන්ගොඩ කැටයම්කරුවා මොන තරම් සාම්ප්‍රදායික න්‍යාය අධ්‍යාපනයක යෙදී සිටිනවාදැයි ඒත්තු ගන්වන්නටය. අම්බලන්ගොඩ රුක් අත්තන ගස් නාස්ති වන්නේ නැත. ඒවා වලින් ජාත්‍යන්තර කලා රසවතුන් සහ විචාරකයන් විශ්මයට හා රසයට පත්වන උසස් කලාවන් නිර්මාණය වන බැවිනි.

එහෙත් වර්තමානයේ වෙල් කදුරු, එරබදු, පුළුන් වැනි සැහැල්ලු ලී වර්ගවලින් ද වෙස් මුහුණු නිර්මාණය වන බව මහාචාර්ය ආරියරත්න කළුආරච්චි පවසයි. මේ කලාවන් වාණිජකරණය වීමේ ආදීනව ලෙස, ගුණාත්මකභාවය පිළිබඳ නොතකා ප්‍රමාණාත්මක වර්ධනය අරමුණු කොට ගෙන එබඳු දුබතාවන් දැකගත හැකි වී තිබේ. වෙස් මුහුණක් සකස් වූවේ පිත්තියේ එල්ලා තැබීමට නොව නර්තන ශිල්පියකුට මුහුණේ පැළඳ ගැනීම සඳහාය.

ඒ නිසා වෙස් මුහුණ හැකිතාක් සැහැල්ලු විය යුතුය. එහෙත් වෙස් මුහුණු උත්පත්ති කතාවේ දැක්වෙන්නේ මුල්ම වෙස් මුහුණ සඳුන් ලීයෙන් නෙළූ බවය. සඳුන් ලීය රුක් අත්තන ලීයට වඩා බරෙන් වැඩිය. එහෙත් පුහුණු නර්තන ශිල්පියකුට සඳුන් ලී මුහුණක් දරා සිටිය හැකි විය යුතුය. ඔහු තම සිරුර සමබරව තබා ගැනීමේ හරඹ අභ්‍යාස පවත්වන්නේ ඒ නිසාය.

කෝලම් මුහුණු අතර ඇති ජස, ලෙන්චිනා, පුරංසිනා, නොංචි, නිළමේ ආදී කුඩා වෙස් මුහුණු කෙසේ වෙතත් රජ බිසෝ මුහුණු යුගලය ඉතා විශාලය. මම රජ මුහුණ පැළඳ නැතත් තරමින් විශාල ගරා මුහුණ, නාග රාක්ෂ මුහුණ බැඳ රැගුම් පා ඇත්තෙමි. සාමාන්‍ය මිනිසකුට නම් මේ මුහුණක් පැළඳ නටනවා තබා කෙළින් සිටගෙන සිටීම ද අසීරු විය යුතුය.

එහෙත් හොඳින් සරඹ පානා ශරීරය සමබර ලෙස පුහුණු කරගත් නැට්ටුවකුට වෙස් මුහුණේ බර දරා සිටිය හැකිය. ගුරුළු රාක්ෂ, නාග රාක්ෂ, ගරා රාක්ෂ ආදී මුහුණු බැඳ මාලක්කම්, කැරකිල්ල ආදී නටන නැට්ටුවන් මෙන් ම බඹරය සේ වෙස් පානා නැට්ටුවන් ද අප ඕනෑ තරම් දැක තිබේ. හොඳට මැන්ඩියට සිට කොන්ද කරකවා වෙස් පානා නැට්ටුවකුට නම් මුහුණ බර වූ තරමට වෙස්පෑම (කොන්දෙන් කැරකීම) වේගවත් කළ හැකිය.

ලංකාවේ හමු වී ඇති විශාලතම මුහුණු කට්ටලය වනාහි රජ බිසෝ මුහුණු යුගලයයි. ලෝකයේ බොහෝ රටවල ද අති විශාල මුහුණු අප දැක තිබේ. අප්‍රිකානු, දකුණු අමෙරිකානුගෝත්‍ර අතර මෙන්ම පැපුවා නිව්ගිණියා සහ පැසිපික් දූපත්වාසී සාම්ප්‍රදායික ජනයා අතර ද අති විශාල මුහුණු තිබේ. දකුණු ඉන්දියාවේ පවත්වන දුසේරා උත්සවයේ ඇති දසිස් රාවණාගේ මුහුණ අති විශාල මුහුණකි. නමුත් එය මිනිසකු පලඳින්නක් නොව මුහුණටම ගැළපෙන යෝධ පඹයකු පලඳින මුහුණකි. එතරම් විශාල නැතත්සබරගමු මහ සමන් දේවාලයේ වාර්ෂික පෙරහැරේදී ප්‍රදර්ශනය කරන මහා බඹා කෝලමේ මුහුණු දෙකේ වෙස් මුහුණ ද යෝධ පඹ ශරීරයකට සවි කොට ඇති තරමින් විශාල වෙස් මුහුණක් වෙයි.

පැසිපික් දුපත්වාසී මව්රි ග්‍රෝත්‍ර පිළිවෙත්වල හමුවන සමහර වෙස් මුහුණු නැට්ටුවාගේ ශරීරය තරම් ම විශාලය. එහෙත් ඒවා බැඳ නටන නැටුම වේගවත් නැත. ලංකාවේ කෝලම් නැටුමේ විශාලතම මුහුණ වන රජ බිසෝ මුහුණ බැඳ නටන නැටුම ද කරකැවී, දඟ කැවී කරන කස්තිරමක් නොවේ. නිලමේ මුහුණ රජ මුහුණ තරම් තරමින් විශාල නොවූවත් ඒ චරිතයට අනුගතව නටන නැටුම් තේජාන්විත හා සාඩම්බර නැටුමකින් යුක්තය. රජ බිසෝ නර්තනය නිලමේ නැටුම තරම් වත් සෙලවුම් පෙරළුම් නැත්තකි.

එහෙත් ගුරුළු, නාග ආදී රාක්ෂ මුහුණු තරමින් විශාල වන අතර ම ඒවා බැඳ නටන නැටුම් ලොව කවර රටක හෝ මුහුණු බැඳ නටන නැටුමකට වඩා තාණ්ඩව හා ජව සම්පන්න වේගයකින් යුක්තය.

ඉන්දියාවේ කතකලී නැටුම සඳහා වෙස් මුහුණක් නොපැලැන්දුව ද කෘත්‍රීම තල්ලක් සහ විශාල හිස් පලඳනාවක් දරනු ලැබේ. ලීයෙන් තනන ලද මේ හිස් පලඳනාවේ ඇති අධිබර හේතු කොට ගෙනම මේ නැටුමේ අපූරු විනය කර්මයක් හටගෙන තිබෙන්නේ යැයි මා සමඟ පැවසුවේ ලංකාවේ සිටින ප්‍රවීණතම කතකලිි පුහුණු නර්තන ගුරුවරයා වන රවිබන්දු විද්‍යාපති මහතාණන්ය.

මම ‘කුසපබා’ චිත්‍රපටය සඳහා කතකලි නැටුමක හිස් පලඳනා දැරූවෙමි. චිත්‍රපටයට උචිත ලෙස විශේෂිත පල්පයක් යොදාගෙන මේ හිස් පලඳනාව නිමවා තිබුණ ද එහි විශාලත්වය හේතු කොට ගෙන මගේ ගෙලට දැනුණ බර මට මතක තිබේ. එහෙත් ඉන්දියාවේදී කතකලි නටා ඇති චන්දන වික්‍රමසිංහ මා සමඟ කීීවේ එතරම්ම විශාල කතකලි හිස් පලඳනාව ඔවුන් පැලඳ නටන්නේ ලීයෙන් නිර්මාණ කොට ගෙන බවයි. කෘත්‍රිම පල්ප් පලඳනාවෙන් මට දැනුණු බර ලීයකට ආරෝපනය කොට එහි බර පිළිබඳ මට සිතාගත හැකිය. ඒ බර දරාගෙන නටන නැට්ටුවාගේ පුහුණුව කොතෙක් විය හැකි දැයි මට සිතාගත හැකිය.

ලංකාවේ වෙස් මුහුණුවල ඇති චරිත ලක්ෂණ සහ සාත්වික ඉංගිත පිළිබඳ ශාස්ත්‍රීය විග්‍රහයක යෙදෙන පර්යේෂකයකු උත්තේජනය වන්නේ අප සතු වෙස් මුහුණුවල ඇති පරස්පර වූ විවිධාංගීකරණ ලක්ෂණ හේතු කොට ගෙන යැයි මට සිතේ. වෙනත් රටවල ඇති වෙස් මුහුණුවල අපේ තරම් විවිධතා නැත. එහෙයින් අපේ වෙස් මුහුණුවල ඇති භාව වින්දනය අප එකින් එක ගෙන බැලිය යුතුය.

එහෙයින් එන්න,

ලංකාවේ වෙස් මුහුණුවල චරිත ලක්ෂණ එකින් එක ගෙන බලන්නට මේ උස් බිම හොඳයි

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව