ළදරු පාසල් ගිහින් ඉස්සෙල්ලාම මාව එලෙව්වා
අයෝමි ශානිකා
(සුදු නංගී) ගේ
අම්මා කියන කතාව
එදා සුදු බේබි පෙර පාසල් ගිය පළවෙනි දවස. පුංචි දරුවෝ හැමෝම හිටියේ අම්මාගේ හරි
තාත්තාගේ හරි අතේ එල්ලුණු ගමන්මයි. සමහර දරුවෝ අම්මලා තාත්තලාට යන්න එපා කියලා
අඬනවා.
හැබැයි මගේ දෝණි කළේ ඒකේ අනිත් පැත්ත. නර්සරියට ඇතුළු වුණා විතරයි මට ගෙදර යන්න
කියලා බේරිල්ලක් නෑ. මාත් ඉතින් ගෙදර ආවා. අපේ කෙල්ලට දාංගලේනේ . . . කෙහොම හරි දුව
නර්සරියේදී වැටිලා. නිකටත් තුවාල වෙලා.
එතන හිටපු ළමයිනුයි දෙමව්පියෝයි හැමෝම දුව
වට කරගෙන. අනිත් අය කලබල වුණාට මගේ සුදු බේබිට කිසිම ගාණක් නෑ. දන්නවද සුදු බේබි
දඩි බිඩි ගාලා නැඟිටලා මොනවද කිව්වෙ කියලා? ‘ඇයි ඔයගොල්ලන්ට ගෙදර වැඩ නැද්ද, මෙතනට
වෙලා ඉන්නේ? අපේ අම්මා නම් ගෙදර ගියා.’ ඔන්න ඔහොම තමයි සුදු බේබිගේ පෙර පාසල්
ජීවිතේ පළවෙනි දවස ගත වුණේ.
ඔබ ආදරය කළේ සුදු බේබිට නෙමෙයි. ඔබ ආදරය කළේ සුදු නංගිට. සුදු නංගි ලෙසින් ඔබේ
පවුලේත් ආදරණීීය හිතවතිය වූ ඇය අයෝමි ශානිකා. සුදු බේබි හෙවත් අයෝමි ශානිකා ඒ. පී.
ජී. ස්වර්ණා මහත්මියගේ දූ සිඟිත්තිය.
මේ සතියේ සුදු බේබිගේ පුංචි දවස්වල රසබර මතකයක් ඔබට කියන්නේ ඇයයි.
සුදු බේබි පුංචි කාලේ හරිම කටකාරයි. පුංචිකමට එයා කියන කතා නිසා සමහර වෙලාවට ලැජ්ජා
හිතෙන්නෙ මට. ඉස්සර මමයි දුවයි හවසට ගාල්ලේ චිල්ඩ්රන්ස් පාර්ක් එකට යනවා.
ඒ ගිහින්
හවසට අපි එන්නෙ බස් එකේ. එක දවසක් අපි පාර්ක් ගිහින් බස් එකේ එන කොට දුව දැක්කා
තාත්තා වැඩ ඇරිලා බයික් එකේ එනවා. කෙල්ලට කොච්චර සතුටු හිතුණද කියලා කිව්වොත්
කියන්න ඕන මොනවද කියලවත් එයාට හිතා ගන්න බැරි වුණා.
කොහොම වුණත් එයා ඒ වෙලාවේ
කෑගැහුවේ ‘අන්න අපේ තාත්තා එනවා. හානේ අපේ තාත්තා කලිසමකුත් ඇඳලා’ කියලා. මට එදා
නම් හොඳටම ලැජ්ජා හිතුණා. දුව හරියට කෑගැහුවේ ජීවිතේ පළවෙනි පාරට එයාගේ තාත්තා
කලිසමක් ඇන්දා වගේ.
කට වගේමයි සුදු බේබිගේ වැඩත්. එයාට පුංචි කාලේ හරි අපුරු පුරුද්දක් තිබුණා. ඒක හොඳ
පුරුද්දක් කියලා නම් කියන්න බෑ. ඉස්සර එයාට බත් කන්න ඉල්ලන්නෙම වීදුරු පිඟන්.
ප්ලාස්ටික් පිඟන්වල නම් බැරි වෙලාවත් කන්නෙම නෑ. ඉතින් ලස්සනම වැඩේ කියන්නෙ හැමදාම
බත් කාලා දුව පිඟාන වීසි කරනවා. එතකොට අපිට හිටිය එකම හුරතලේ නිසා අපි මුකුත්ම
කිව්වෙත් නෑ. කොහොම හරි මට මතක විදිහට පිඟන් දුසිමක් විතර එයා එහෙම වීසි කළා.
පිඟන්
විතරක් වීසි කරලා නැවතුණා නම් මදැයි. උදේට මම එයාට ලොකු අලි ගැට පේර වීදුරුවක්
බොන්න දෙනවා. පිඟානට අමතරව හැමදාම අලි ගැට පේර බීලා ඒ වීදුරුවත් වීසි කරනවා.
දුවට වඩා පුතා අවුරුදු පහක්ම බාලයි. එයාගේ මල්ලිට එයා පණ ඇරලා. සුදු බේබිගේ පුංචි
කාලේ ගැන කතා කරන කොට මතක් වෙන්නෙම එයා කියපු කතාමයි.
මොකද කෙල්ල පුංචි කාලේ
පුංචිකමට හිතට එන හැමදේම කියනවා. පුතාගේ බෙල්ලට එක්සර්සයිස් කරන්න ඩොක්ටර් කෙනෙක්
අපේ ගෙදරට ආවා. ඒ ඩොක්ටර් පුතාගේ බෙල්ල හෙමිහිට කරකවනවා.
දුවට ඉතින් ඒක තේරෙන්නෙ
නෑනේ. ඩොක්ටර් පුතාට එක්සර්සයිස් කරන කොට ‘මෙන්න මල්ලිව මරනවෝ’ කියලා මරලතෝනි
තියනවා. ඉතිං ඒ ඩොක්ටර්ව පෙන්නන්න බෑ. දුව හැමදාම ඒ විදිහට කෑගහන නිසා අපි ඒ වෙලාවට
දුවව ළඟ ගෙදරකට සෙල්ලම් කරන්න යැව්වා.
මගේ සුදු බේබි පුංචි කාලේ තත්පරේකට කට පියන්නෙ නෑ. කියන්න මුකුත්ම නැත්නම් සිංදුවක්
හරි කියනවා. හැබැයි වැඩේ කියන්නෙ සිංදුවක් කියන්න නම් එයාට බංකුවක් හරි පුටුවක් හරි
උඩ නඟින්නම ඕන. ඒ සෙල්ලම් වැඩිපුරම තියෙන්නෙ නර්සරියේදී තමයි.
අනිත් ළමයි ගෙදර
ගියාටත් පස්සේ අපේ දූ ටීචර් ළඟට වෙලා පුටුවක් උඩ නැගලා සිංදු කියනවා. හැබැයි ඒ
විතරක්ම නෙමෙයි, කියන සිංදුවලට ටීචර්ගෙන් කිස් එකකුත් ඕන. ටීචර්ගෙන් කිස් එකක්
නැතිව කෙල්ල ගෙදර නම් එන්නෙ නෑ.
දැන් නම් ඉන්නේ පුංචි කාලේ හිටපු සුදු බේබි ද මන්දා? දැන් ලොකුයිනේ. පුංචි දවස්වල
වගේ ඕන එකයි එපා එකයි වෙනසක් නැතිව කියන්නේ නෑ. පුංචි කාලේ සමහර වැඩවලට මටත් ලැජ්ජ
හිතුණා. හැබැයි මට මගේ දු ආඩම්බරයක්.
නිශංකා උඩුගම්පල
|