හැන්දෑවට කලින් එන්න

‘1998 වසරේ හොඳම ගායිකාව සාවිත්‍රිගේ රාත්‍රිය චිත්‍රපටයේ ‘තනි වූයේ ඇයි මේ ලෙසින්’ ගීතය ගායනා කළ ප්‍රදීපා ධර්මදාස . . .’

ඇත්තෙන්ම එය සිහිනයක් ද? මගේ දෙනෙත් මටම අදහා ගන්නට නොහැකි වූවාක් මෙන් මට දැනුණි. වහා අසුනින් නැඟිට අඩියට, දෙකට වේදිකාවට පියමං කළේ අවට සිටි පිරිසගේ ඔල්වරසන් හඬ මධ්‍යයේ වුව ද, මගේ හදවතේ ගැස්මේ රාවය ඊටත් වඩා තදින් ඇසුණු බව මට දැනුණා සේය. සරසවිය සම්මාන උළෙලට මා පැමිණෙන විට සවස 7.20 ට පමණ විය.

උළෙල ආරම්භ වී පළමුවැනි සම්මාන අදියර අහවර වන්නට ඔන්න මෙන්න කියා තිබුණි. මා අසුන් ගන්නා විට හොඳම ගායකයා ලෙස ගුණදාස කපුගේ ගේ නම නිවේදනය කරනු මට ඇසුණි. නිමේෂයකින් මගේ නම ද නිවේදනය වූ මොහොතේ සත්තකින්ම මෙය අරුමයක්ද? මගේ සිත එක් ලස් කරගත නොහැකි විය.

සාවිත්‍රිගේ රාත්‍රිය පිළිබඳ මාගේ මතකය අවදි කරද්දී මා හද තුළ සියුම් වේදනාවක් ජනිත වන්නට පටන් ගත් බව මුසාවක් නොවේ. මාගේ මේ සම්මානයේ ගෞරවය හිමි විය යුත්තේ මට නොව චිත්‍රපටයේ අධ්‍යක්ෂ සමන්ත නීලවතුර සහ සංගීත අධ්‍යක්ෂ සරත් වික්‍රමට බව නොවලහා පවසන්නෙමි. නීලවතුර නොහොත් ‘ටොන් ටෝ’ ගේ ජීවිතය සාවිත්‍රිගේ රාත්‍රිය බවට පත් විය. ඔහු එහි තිර රචනය ලියා අධ්‍යක්ෂණය කළා පමණක් නොව මා සම්මාන ලද ගීතය රචනා කළේ ඔහු විසින්මයි. එම ගීතයේ පද රචනය එතරම් ප්‍රශස්ත මට්ටමේ නොතිබුණු නිසාවෙන්, ප්‍රවීණ ගීත රචකයකු ලවා ගීතය ලියවා ගන්නා ලෙස මා ඔහුට ඇරැයුමක් කළ ද ‘මම හරි ආසයි මේ චිත්‍රපටයට ගීත ලියන්න. මගේ අහිංසක ආශාවට ඉඩ දෙන්න’ යනුවෙන් නීලවතුර පැවසූ මොහොතේ මගේ හදවත කීරි ගැසුණා සේ මට දැනුණි. නමුත් නීලවතුර අද ජීවතුන් අතර නැත. මම ඔහුගේ ව්‍යායාමය තුළින් සම්මානලාභිනියක බවට පත් වූයෙමි. එසේ නම් මේ සම්මානයේ පූර්ණ ගෞරවය හිමි විය යුත්තේ ඔහුට නොවේද?

ඈ සිය සිතැඟි පහළ වූ අව්‍යාජ සිතුවිල්ල හෙළි කළේ මීට වසර දාහතරකට පෙර සරසවිය පුවත්පතටයි. අපට දැනුණේ ඒ අව්‍යාජත්වය වසර දාහතරකට පසුව වුවද ඈ අතහැර නොගොස් ඇති බවක්. ඒ අතීතයේ මතකය අභියස ඇගේ නෙත නතර වූයේ සොඳුරු සම්මානය අසල බව අප කාටත් රහසක් නොවෙයි. මගේ නෙත ගැටුණේ ඇහිපිල්ලමක් නොගසාම සම්මානය දෙසට යොමු වුණු ඇගේ නෙතු අද්දර සතුටු කඳුළක් ඇඳී නෑඳී යන අයුරුයි.

‘ඇත්තටම ඒ අතීතයේ තිබුණු සරසවිය සම්මාන උළෙල හා ගෙවුණු සන්ධ්‍යාව මගේ ජීවිතයේ නොමැකෙන මතක පිටු අතර ගෙවුණු මොහොතක්.’

ප්‍රදීපා නිර්මලී හේමමාලී ධර්මදාස නම් වන සොඳුරු ලිය සිය මතක පොතේ පිිටු පෙරළුවේ උවනෙහි නැඟුණු සිනහ රැල්ලක් අප වෙත පාමින්.

‘ඒ අතීත මතකය තමයි අපව ජීවත් කරවන්නේ. මේක මට විතරක් පොදු කාරණයක් නෙමෙයි. අප හැමෝගෙම ඒ අතීත මතකය අපව අතහැර නොයන සෙවනැල්ලක් වගේ ළඟින්ම ඉන්නේ ජීවිතය බෙදා හදා ගන්න ඉන්නා කෙනෙක් වගේමයි. ඒ ඔස්සේ අප ලැබූඅත්දැකීම්, පන්නරය අද වෙන කොට මගේ ජීවිතය අලුත් කටයුත්තකට යොමු කරලා. වසර හතක දිගු නිහැඬියාවකින් පස්සේ ඒ අලුත් කටයුත්තට මුල පුරන්නයි මා මේ සූදානම් වෙන්නේ.’

කොහොමත් ඈ වැඩිය සද්ද බද්ද නොකරන කෙනෙක් කියන කාරණය නම් අප හැමෝටම අලුත් දෙයක් නොවෙයි.

‘මේ තරම් දිගු නිහැඬියාවකට පස්සේ මොකක්ද ඈ මේ කරන්න හදන්නේ?’ කියලා මගේ සිතේ ඉපදුණේ කුහුලක්.

ඒ කුහුලට ප්‍රදීපා පිළිතුරු බැන්ඳේ ඇගේ සිතේ උපදින සතුට දෝරේ ගලන අතරතුරදීයි.

‘ඔන්න ‘හැන්දෑවට කලින් එන්න’ කියන මගේ සිව්වන සංයුක්ත තැටිය ආදරණිය ජනතාව අතරට අරගෙන එන්නයි මේ මම ලක ලැහැස්ති වෙන්නේ. හරියටම මේ මාසේ 18 වැනිදා සවස 6.30 ට කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී මගේ අලුත්ම හීනේ හැබෑ වෙනවා. සංයුක්ත තැටිය එළි දැක්වෙනවා පමණක් නොවෙයි. එදාට බොහොම සුන්දර ප්‍රසංගයක් පවත්වන්නත් මා සූදානම්. අලුත් සංයුක්ත තැටියේ ගීත කිහිපයක් වගේම ජනතාව මාව ආදරයෙන් වැළඳ ගත්ත, ඔබ ආදරය කරන ගීත බොහොමයක් ප්‍රාසාංගිකව අසන්නටත් ඉඩකඩ ඔබට වෙන් වේවි. ගී සැඳෑවට යුග ගායනයෙන් විශාරද නන්දා මාලිනී, විශාරද එඩ්වඩ් ජයකොඩි, අමරසිරි පීරිස්, ලක්ෂ්මන් විජේසේකර, කසුන් කල්හාර සහ නදීක ගුරුගේ මට සම්මාදම් වෙන කොට සංගීතය මෙහෙය වන්නේ මගේ ආදරණීය ගුරුවරයා ආචාර්ය රෝහණ වීරසිංහයන්.’

ඒ ආදරණීය ගුරුවරයාගේ නම ඇසන මොහොතේ ඇගේ නෙත ගැටුණේ අපූරු වාද්‍ය භාණ්ඩයකට. සාලයෙහි ඇති සංගීත භාණ්ඩ අතර වූ ඒ වයලීනය මඟ බලා සිටියේ ප්‍රදීපාගේ දෑතෙහි පහස ලැබ මියුරු ස්වරයක් නඟන්නට යැයි මට සිතුණේ ඉබේටමයි.

‘වයලීනයට මං බොහොම ආදරෙයි’

ප්‍රදීපා වයලීනය අතට ගත්තා. ඇගේ සුමුදු රතැඟිලි පහස ලැබ වැයෙන වයලීනයෙන් ඇසුණේ ජයන්ත චන්ද්‍රසිරිගේ වෙද හාමිනේ ටෙලි නාට්‍යයේ ගැයෙන ‘දූවිල්ලෙන් සැදුණු ලියේ’ ගීතයේ මියුරු නාදයයි. ඒ හඬ ඔස්සේ අප දැක්කේ යෞවනයේ අග්ගිස්සේ සිිටි ප්‍රදීපා නම් තරුණ යුවතියයි. ඒ යුවතිය මුලින්ම නිළියක්. ප්‍රදීපා ධර්මදාස නම් වන මේ යුවතිය අද ගායිකාවක් ලෙස ජනතා ප්‍රසාදය දිනා සිටියත් කලා ලෝකයට ඈ එබී බලන්නේ වේදිකා නිළියක් ලෙසින්.

මොරටුවේ වේල්ස් කුමරි විදුහලේදී මූලික අධ්‍යාපනය හමාර කළ ප්‍රදීපා උසස් පෙළ හදාරන්න ආවේ කොළඹ සුජාතා විද්‍යාලයට. ඈ ඇවිත් සතියක්වත් ගිහින් නෑ බොහොම අපූරු වැඩක් වුණේ සැවොම පුදුමයට පත් කරමින්.

සෝමලතා සුබසිංහ කියන අපේ නාට්‍යවේදිනියගේ ‘සඳ කිඳුරු’ වේදිකා නාට්‍යයට කිඳුරියක් හොයන්න ඈ නොගත්ත උත්සාහයක් නෑ. සුජාතා විද්‍යාලයේවත් කිඳුරියක් සොයා ගන්න පුළුවන්ද කියලා හිතුව ඈ ඒ විද්‍යාලයට ගොඩ වුණේ බලාපොරොත්තු රාශියක් හිතේ පොදි බැඳගෙනයි. ඒ බලාපොරොත්තුව මල් ඵල ගන්වමින් සෝමලතා මිස් ගේ නෙතට හසු වූයේ අපූරු යුවතියක්. ඈ මේ යුවතිය ළඟට ඇවිත් ගීතයක් ගයන්න කියලා කොළයක් අතට දුන්නේ ඒ නිසාමයි.

‘සඳගිරි මුදුනා - බසිමින් දෙදෙනා

මල් ගෙන අමුණා සැරසූයේ’

ඒ යුවතිය තමන්ට පුළුවන් තරම් ලස්සනට ගීතය ගැයුවේ සෝමලතා මිස් පුදුමයට පත් කරමින්. මේ අපූරු යුවතියගේ අතින් අල්ල ගත්ත සෝමලතා මිස් නැවතුණේ විදුහල්පතිතුමිය අභියසට ගිහින්.

‘මෙන්න මෙයා තමයි මගේ සඳකිඳුරි’

ඈ කියන කොට මේ යුවතියට ඒක ඇත්තක් ද කියලා අදහ ගන්නවත් බැරි වුණා. මේ විදියට කිඳුරියක් විදියට තම කලා ගමන ආරම්භ කළ ප්‍රදීපා 1984 දී මූදු පුත්තු වේදිකා නාට්‍යයේ හින්නි හාමිත් වෙනවා. විකෘති, සුබ සරණාගත, සත්‍යාංගනී, නෙළුම් පොකුණ, සක්විති නික්මන, මුහුණු දෙකක්, දූවිලි, නාග ගුරුළා, සිංහබාහු, උක්දඬු ගින්න කියන වේදිකා නාට්‍යවලට දිගින් දිගටම තම රංගන කෞශල්‍ය එක් කරන්නේ බොහොම කැමැත්තෙන්. ‘උක්දඬු ගින්න’ ඇගේ රංගන ජීවිතයේ රංගාභිෂේකය වෙන්නේ හොඳම නිළිය විදියට ගත්ත කිරුළත් තුරුළු කර ගනිමින්. නීතිඥවරියක් වෙන්න සිහින මැව්ව ප්‍රදීපා ධර්මදාස මුලින්ම නිළියක් වෙන්නේ එහෙමයි. වේදිකා නාට්‍ය කිහිපයකම ගීත ගයලා තිබෙන නිසාම සංගීතය ඉගෙන ගන්න ඈ රෝහණ වීරසිංහයන්ගේ කලා භූමි තක්සලාවට පිය නගන්නේ මේ අතරවාරයේදී.

‘සත්‍යාංගනාවි’ වේදිකා නාට්‍යයේ ගීත 18 ක්ම ගයලා රඟපෑව ප්‍රදීපාට අපූරු අදහසක් පහළ වෙන්නේ ඊට පස්සෙයි.

‘මගේම කියලා ගීත ගැයුවොත් මොකද’

ප්‍රශ්න කරගන්නේ ඈ ඇගෙන්මයි. ප්‍රදිපාගේ ඒ අපූරු සිතුවිල්ල ‘දූවිල්ලෙන් සැඳුණු ලියේ’ ගීත තැටියක් ලෙසින් එළි දකින්නේ 1992 වසරේදී. ඊට පස්සේ ඈ ගායිකාවක්. ඒත් ඒ ජනතාවාදී ගායිකාවගේ ගීත හයක්ම වාරණයට ලක්වෙන්නේ නොසිතුව මොහොතකයි.

දුක, වේදනාව, පරාජය දරාගෙන ඉදිරියට යෑමේ ආත්ම ශක්තියක් ඈ කෙරෙහි තිබුණේ කුඩා කාලයේදීමයි. එයින් නොසැලුණු ප්‍රදීපා කියන ගායිකාව 1998 වසරේදී ‘කඳුළු තොටුපළ’ත්, 2004 වසරේදී ‘සත්‍යාංගනාවී’ කියන ගීත එකතුවත් රසික රසිකාවන්ට පුද කරන්නේ මේ නිසාමයි. ඈ ගැයූ සෑම ගීතයකම තිබුණේ සමාජ විවරණයක්. සාමාන්‍ය පවුලක ඉපදුණු සාමාන්‍ය තරුණියක් විදියට ගෙවුණු කටුක ජීවිතය ඈව ජනතාවට ළං කළ ගායිකාවක් කිරීම අරුමයක් නොවෙයි. ප්‍රදීපා තම ගීතය නමැති භාෂණය ඔස්සේ දරිද්‍රතාවයෙන් පෙළෙන්නන් ගැන කතා කරන්නට, අසාධාරණයට විරුද්ධව නැඟී සිටින්න, සමාජයේ ඇති කාලීන ප්‍රශ්න පිළිබඳ අපව දැනුවත් කරන්නට ගත් උත්සාහය බොහොම ප්‍රශංසනීයයි සිතෙයි.

ඔබ ගැයූ මේ ගීත පටයේ ගීත ඔස්සේත් සමාජ විවරණයක්, සමාජ දර්ශනයක් ගැන කතාබහට ලක් වෙනවාද?

අප මෙසේ ඇසුවේ අතීතයේ කිමිඳ සිටි ඈව වර්තමානයට රැගෙන එමින්.

‘කලාකරුවකුගෙන් සිදු විය යුත්තේ ජනතාවට සේවයක්. ඔහුට තමා නියැළෙන කලා මාධ්‍ය මුල් කර ගනිමින් සමාජයේ විවිධ පැතිකඩයන් පිළිබඳ කතාබහට ලක් කළ හැකියි. කැමරා ශිල්පියා තම කැමරා කාචය ඔස්සේ සමාජයේ පැතිකඩ විවරණයට ලක් කරනවා. සමාජයේ තිබෙන්නා වූ වර්තමාන තත්ත්වය රූපයට නඟනවා. ලේඛකයාගෙන් සිදු විය යුත්තේත් එයමයි.

එනිසා මා ගායිකාවක් විදියට මේ සමාජයේ වෙසෙන්නන්ගේ සිතුවිලි, දුක්ඛ දෝමනස්සයන්, සමාජ විවරණයන් ගීතයට හසු කර ගැනීමට උත්සාහ ගත්තා. වසර තිහක තිබුණු යුද්ධය අවසාන වුණත්, ඒ අවසාන වූ යුද්ධයෙන් පසුව මිනිසුන්ගේ සිතුම් පැතුම්, ඔවුන්ගේ ප්‍රශ්න අප කතාබහට ලක් කළ යුතුයි. මට නම් හිතෙන්නේ කලා කෘතීන් ඔස්සේ ඒ දේ සිද්ධ වුණේ බොහොම අඩුවෙන් කියලයි. මා උත්සාහ කරන්නේ ඒ අඩුව පුරවන්නයි. රත්න ශ්‍රී ගේ ‘යාල් දේවී’ ගීතය ඒ ඉසව්ව කරා ඔබව රැගෙන යාවි. ගීතය ඔස්සේ කතා කරන්නට තනන සමාජයේ විවිධ පැතිකඩයක් හා ප්‍රශ්න පද මාලාවන් ඔස්සේ ඉතා සරලව ඉදිරිපත් කිරීමට මා උත්සාහ ගත්තා. අද තිබෙන්නා වූ සංකීර්ණ සමාජ රටාවේ වෙසෙන්නන්ට ගීතයක තිබෙන්නා වූ හරබර වචන සොය සොයා ඉන්න වෙලාවක් නැහැ. ඒ වගේම පසුගිය කාලයේ එවැනි ආකාරයේ ලියැවුණු ගීත සමහර අය වරද්දවා තේරුම් ගත්ත නිසාම වැරැදි අර්ථකථන පවා ලැබුණා. ඒ නිසා මේ සියල්ල පිළිබඳ සලකා බලමින් තමයි ‘හැන්දෑවට කලින් එන්න’ මගේ රසික – රසිකාවන් අතරට එන්නේ. මම හිතන්නේ නියම කාලයට, නියම වෙලාවට මා මේ සංයුක්ත තැටිය එළිදක්වන බවයි.’

දූවිල්ලෙන් සැඳුණු ලියගේ මෙවර සංයුක්ත තැටියේදී අපට හැඟෙන්නේ තාරුණ්‍යයට වෙන් වී ඇති ඉඩකඩ බොහෝ බව නොවේද?

‘අපට දක්ෂතාවන්ගෙන් සපිරුණු, මනා කෞෂල්‍යයක් ඇති තරුණ පරපුරක් සිටිනා බව කියන්නම ඕන කාරණයක්. සමහර ප්‍රවීණ ශිල්පීන් තාරුණ්‍යයේ වෙසෙන්නන්ට චෝදනා කළත් ඔවුන්ව හරි මඟට පිවිසෙන්න උදව් කළ යුත්තේත් ප්‍රවීණයින් විසින්මයි. අපේ දරුවෙක් වැරැද්දක් කළොත් මොකක්ද හරි දේ කියලා ඔහුට පහදලා දෙමින් යහමඟට ගන්නවා වගේම මේ තාරුණ්‍යයත් යහමඟට ගත යුතුයි. ඔවුන් තාක්ෂණය අතින් දක්ෂ දරුවන්. ඒත් අතීතයේ අපේ දේ පිළිබඳ ඔවුන්ට ඇති දැනුම අල්ප විය හැකියි. ඔවුන්ව දැනුවත් කළ හැක්කේ අපේ ප්‍රවීණයන්ටමයි. මගේ කටයුත්තේදී මට ඕනෑ කරන්නේ මොකක්ද කියලා ඔවුන්ට පහදලා දුන්නාට පස්සේ ඔවුන් සමඟ කටයුතු කිරීමට මට අපහසුවක් වුණේ නෑ.

ගී පද රචනයෙන් මහාචාර්ය සුනිල් ආරියරත්න, රත්න ශ්‍රීී විජේසිංහ, මහින්ද චන්ද්‍රසේකර, බන්දුල නානායක්කාරවසම්, වසන්ත කුමාර කොබවක, කපිල කුමාර කාලිංග යන ප්‍රවීණයන් වගේම රජී වසන්ත වෙල්ගම යන නවක ගී පද රචකයන්ගේ ද ගී පද මෙයට ඇතුළත්. ආචාර්ය රෝහණ වීරසිංහ, නවරත්න ගමගේ, මහින්ද බණ්ඩාර, කළණි පෙරේරා, සුරේෂ් මාලියද්ද, අසේල බණ්ඩාර, රොෂාන් ප්‍රනාන්දු, ඉන්ද්‍රජිත් මිරිහාන, සුමුදු ගුරුගේ, නදීක ගුරුගේ, රවී අලුත්ගේ ආදීන්ගේ තනු සහ සංගීත නිර්මාණයන් ‘හැන්දෑවට කලින් එන්න’ ට ආලෝකයක් ගෙනෙනවා. ඒ වගේම මෙහිදී මගේ සැමියා වූ ඩලස් අලහප්පෙරුම ලියූ ගී පද රචනයක් මෙම සංයුක්ත තැටියට මා තෝරා ගත්තා. ඒ ඔහු මගේ සැමියා නිසා නොව ලියා තිබූ ගීතයේ අර්ථය නිසාමයි. දුවක් පිළිබඳ පියෙකුගේ සිතුවිලි විවරණය කිරීමක් වුණු මේ ගීතය බොහොම සුන්දර ගීතයක්. සංයුක්ත තැටියෙහි අඩංගුª ගීත පුංචි පොතක් ලෙසත් මුද්‍රණයෙන් නිකුත් කර ගීත තැටියත් සමඟම මගේ රසිකයන්ට ලබා දෙන්නට මා තීරණය කළා.’

සංවේදී හිතක් හිමි හා නොසැලෙන ශක්තියකින් යුත් ප්‍රදීපා ‘කොළොම් තොටෙන්, ඉරණවිල වේදනාව, ඇසට කඳුළු උනයි, සඳගිරි පව්ව, සුපෙම් හැඟුම් ඔබෙන් එපා, විනේ කටින උන්, නාඬන් පුංචි හිරමනේ’ ආදී අප හදවත රැඳුණු ගී රාශියක් ගැයුවේ අප වෙනුවෙන්. එමෙන්ම අරගලය චිත්‍රපටයෙන් ඇරැඹූ තම චිත්‍රපට පසුබිම් ගායනය මිරිවැඩි සඟලක්, නිදි යහන කැළඹිණි, තහනම් ගහ යන නිර්මාණ ඔස්සේ ද මුදා හළ බව අපගේ මතකයට කැන්ඳයි. ඒ මතකයන් අතරට ප්‍රදීපාගේ ‘හැන්දෑවට කලින් එන්න’ සංයුක්ත තැටියෙහි පෙළ ගැසුණු ගීතත් අයත් වනු ඇතැයි අපට සිතෙයි.

මේ අතර ප්‍රදීපාගේ ජීවිතය ගෙවෙන්නේ බොහොම සුන්දරව වග ඇගේ උවනේ ලියැවිලා. ඒ කෞෂික, මහිම පුතුන් දෙදෙනාගේත්, ඩලස් අලහප්පෙරුම යන දයාබර සැමියාගේත් ආදරයෙන්.

ඈ මුලින්ම නිළියක්.

ඊට පස්සේ ගායිකාවක්.

ඊටත් පස්සේ මන්ත්‍රී බිරිඳක්.

දැන් ඇමති බිරිඳක්.

නමුත් ඈ තවමත් සාමාන්‍ය කාන්තාවක්. විශිෂ්ට ගායිකාවක්.

ඈ දෙස විමසිල්ලෙන් බලන කළ මට හැෙඟයි.

පළමු බුදුවරිය
ඇයි දුවේ මගේ රත්තරං
තාම නුඹ නාවේ
මීදුමක් සේ ගත වෙළෙන්නට
සඳ එළිය සේ සිත නිවන්නට (පිරිමැදුමට)
නිවහනේ මිණි පහන වන්නට
තාම නුඹ නාවේ

සත් පියුම් පීදිලා
දෙපා පොඩි සිප ගන්න
කිරි මවුන් පේවිලා
සෙත් පිරිත් මුමුණන්න
සල් උයන් පිරිවරා - නෑ සියන් මඟ බලන
වඩිනු මැන දියණියේ
පිය සසර කෙටිවන්න

කුස යහන සියුමැලි ද
දෙපා පොඩි ලෙලවන්න
පවක් යැයි සිතුණා ද
ලේ කිරට හරවන්න
දෙරණ සේ උහුලනා - මවුන් ගිනි සතපන්න
දෙවැනි බුදු නොවී නුඹ
සිතුවා ද බුදුවන්න

 

ගායනය – ප්‍රදීපා ධර්මදාස

සංගීතය – ආචාර්ය රෝහණ වීරසිංහ

පද රචනය – ඩලස් අලහප්පෙරුම

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව