|
බිහිසුණු ලංකා නාට්‍යයෙන් අයිරාංගණීට එක් වූ ලිලියන් එදිරිසිංහ
ලිලියන්ගේ චිත්‍රපට කලා ජීවිතය ඇරැඹෙන්නේ 1953 වසරේ සිටය. ඒ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ 'අයිරාංගණී' චිත්‍රපටයේ සිටය.
හරියටම මෙයට වසර 35 කට එපිට මාත් කැමරා ශිල්පී වයික්කාලේ ලුවිස් කුමාර් සමඟ කැලණියේ දළුගම අංක 08 නිවසට ලිලියන් එදිරිසිංහ හමුවීමට ගිය ගමන මට අදත් හොඳට මතකය. අද ජීවතුන් අතර නැති ඇයගේ නිරහංකාර සිනාවත් මට තවම මතකය. 'මට හොඳ යහපත් චරිතයක් රඟපෑමට ලැබුණේම නැහැ කිව්වොත් ඒක නිවැරැදිය. කපටිකමට, කුරුරිකමට, යටි සූත්තර වැඩවලට, තරුණ තරුණියන් නොමඟ යවන චරිතවලට, නපුරු කුඩම්මාගේ චරිතවලට, අහිංසක රෝගීන්ට දවල් කෑමට දෙන බිත්තර ගිල දමන චරිත තමයි මට වැඩිපුර රඟපෑමට ලැබුණේ. මා නොයෙක් වර ප්‍රේක්ෂකයාගේ හාස්‍යයටත්, පිළිකුලටත් හසු වූ අවස්ථා එමටයි. ඒත් මට ලැබෙන මේ චරිත මා හොඳින් රඟපෑ බවයි මෙයින් අවබෝධ කර ගත්තේ. හැබැයි මගේ සත්‍ය ජීවිතයේ නම් ඒ කුඩුකේඩුකම්, ඊර්ෂ්‍යාකම්, නපුරුකම් ඇත්තෙම නැහැ. අනික මම හැම නළු නිළියක සමඟම එකමුතුව සහයෝගයෙන් රඟපාලා තියෙනවා' ලිලියන් එදා අපට කීවාය. ලිලියන්ගේ චිත්‍රපට කලා ජීවිතය ඇරැඹෙන්නේ 1953 වසරේ සිටය. ඒ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ 'අයිරාංගණී' චිත්‍රපටයේ සිටය. 1922 මැයි 19 වෙනිදා නුවර පාරේ 15 වැනි කණුව අසල ඉඹුල්ගොඩ දී උපත ලැබූ ලිලියන් එදිරිසිංහ සහෝදර සහෝදරියන් එකොළොස් දෙනෙකුගෙන් යුත් පවුලක හත්වැනියාය. 'මගේ තාත්තගේ නම ලුවිස් එදිරිසිංහ. ඔහු ගොවියෙක්. අම්මා කළු කංකානමගේ පොඩි නෝනා. අබිලීනු, සිරිමොන්, මියුරියෙල්, ප්‍රේමලතා, මිසිනෝනා, රොසලින්, සයිමන් යන සහෝදරයන් මට හිටියා. අද මේ ජීවත් වෙන්නේ බාල නංගී රොසලින් සමඟ. කොස්ඉන්නේ පරකන්දෙනිය විද්‍යාලයේ මම ඉගෙන ගත්තේ. මම ඒ කාලේ පාසල් වේදිකාවේ රඟපාන්න ආසයි. ඒත් ගෙදරින් මට විරෝධතා මතු වුණා. 'උඹ ලෑස්ති වෙන්නේ නාඩගම් නටන්නදැයි' අම්මා මට කියූ වාර අනන්තයි. ලිලියන් අතීතය සිහිපත් කරමින් කීවාය. හීන් කෙසඟ සිරුරක් ඇති යුවතියකව සිටි ඇය තමා ගිය ඒ පාසල් සමයේ මතකය සතුටින් සිහිපත් කළාය. සම වයසේ යුවතියන් අතර කැපී පෙනෙන තරුණ ශිෂ්‍යයන්ගේ සිත් දිනා ගත් කෙළිලොල් චරිතයක් වූ බව ඇය කීවේ ඒ රසබර අනුවේදනීය පුවත් සිතින් අල්ලා ගනිමිනි. එක් තරුණයෙන් ඇගේ ආදරය පතා ඇය පසුපසම පැමිණ ඇත. දෙමාපියන්ගේ බලවත් අකමැත්ත මැද එය බිඳී ගොස් ඇත. 'මේ කාලයේ මගේ මතක ලෝකයේ රැජිනව සිටියේ ටවර් යුගයේ දිලිණු තරුවක් වූ ලක්ෂ්මි බායි. ඇය රඟපෑ නාට්‍ය බලන්න තාත්තාට බල කොට බලන්න ගියා. ලක්ෂ්මී බායි රඟපෑ චරිත ගෙදර කාමරයක් වසාගෙන කණ්ණාඩිය ඉස්සරහ රඟ පෑ හැටි අක්කලා නංගිලා බලා හිටියා මම දැක්කේ නැහැ. 'අනේ අපොයි අපේ ලක්ෂ්මි බායි, අපේ රාජ කුමාරි' කියලා ඒ අය මට විහිළු කළා. එක දවසක් ලක්ෂ්මී බායි අපි ජීවත් වූ කිරිල්ලවල ගමට ආපු දවස මට කිසිදා අමතක වෙන්නේ නැහැ. ඇය ආවේ නැටුම්වලට දක්ෂ ගැහැනු ළමයෙකු සෙවීමට. ඒ එක්දාස් නවසිය තිස් ගණන්වල. එහෙත් කිරිල්ලවල ගමෙන් වැඩිහිටියන් නැටුම්වලට ළමයින් ඉදිරිපත් කිරීමට මැලි වුණා. වයස අවුරුදු 10 ක දැරියක් වන මම මේ සඳහා ඉදිරිපත් වුණේ අම්මටයි, තාත්තටයි පෙරැත්ත කිරීම නිසා.'
දෙමාපියන් සමඟ කොළඹ ආ ලිලියන්ට නැටුම් තාල කියා දී ඇත්තේ සංගීතඥයකු මෙන්ම නැටුම් ආචාර්යවරයකු වූ මොහොමඩ් ගවුස් මාස්ටර්ය. රඟපෑමත් ඔහු වෙතින්ම ඉගෙන ගත් පුංචි ලිලියන්ට 1940 වසරේ 'බිහිසුණු ලංකා' නාට්‍යයේ රඟපෑමට අවස්ථාව උදා වී ඇත. 'ඒ කාලේ පංචිකාවත්තේ නිවසක සිටි සම්සුඩීන් මහත්තයට අයිති නාට්‍ය සමාගමක නාට්‍යයක මම මවක ලෙස රඟපාන කොට වයස අවුරුදු 16 යි. එක අතකින් ඒකත් මගේ ජීවිතයේ මං සලකුණක්. 'බිහිසුණු ලංකා' නාට්‍යයේ මම සුසිලා ජයසිංහ, රොම්ලස් සිල්වා, විමලකාන්තා සමඟ රඟපෑවේ. ඊට පස්සේ වේදිකා ගත වූ 'රාජ පොරොන්දුව' නාට්‍යයේ 300 වාරයක් මම රඟපෑවා.' 1942 විවාහ ජීවිතයට ඇතුළත් වූ ලිලියන්ගේ සැමියා අකාලයේ මිය ගොස් ඇත. මේ මරණය නිසා ඇය හුදකලා වූවාය. ඇයට රංජිත් නම් පුතෙකු ලැබුණ ද මේ දරුවාගේ ආයු කාලය මාස තුනකට සීමා වූ බව ලිලියන් කීවේ 1942 - 1943 තමාගේ අභාග්‍ය සම්පන්න කාල පරිච්ඡේදය ලෙස හඳුන්වා දෙමිනි. සැමියාගේත්, දරුවාගේත් වියෝවෙන් සිටි ඇගේ සිත කලාව සඳහාම කැප කිරීමට සිතුවාය. ඇයට අවශ්‍යව තිබුණේ සිනමාවට එක්වීමටයි. 'මම 1952 වසරේ පදිංචිව සිටියේ මරදානේ මාලිගාකන්ද පාරේ අපේ මාමා කෙනෙකුගේ ගෙදර. මේ නිවසට කිට්ටුවයි හර්බට් එම්. සෙනෙවිරත්නත් පදිංචිව හිටියේ. එතකොට හර්බට් 'උමතු විශ්වාසය' චිත්‍රපටයේ රඟපාලා ජනප්‍රියව හිටියේ. 'කැලෑ හඳ' චිත්‍රපටයේ සින්දු ලියලා ඒවත් ජනප්‍රිය වෙලා තිබුණේ. 'හර්බට් මම චිත්‍රපටයක රඟපාන්න ආසයි' දවසක් මම හර්බට්ට කිව්වා. 'හොඳයි මම බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නට කියලා බලන්නම්කෝ.' ඒ කාලේ 'කැලෑහඳ' හොඳට ජනප්‍රියයි. මම 'කැලෑහඳ' දහ පාරක් බලලා තිබුණා. බී. ඒ. ඩබ්ලිව්.ගේ 'අයිරාංගණී' චිත්‍රපටයේ වැඩ පටන් අරගෙන තිබුණේ. හර්බට් මාව බී. ඒ. ඩබ්ලිව්. ට මුණගැස්සුවා. 'මොකද තමා චිත්‍රපටයක රඟපාන්න කැමති' ඇලෝ අයියා (බී. ඒ. ඩබ්ලිව්.) මගෙන් ඇහැව්වා. 'මම රුක්මණීට කැමති නිසා. එයා එක්ක රඟපාන්න කැමති නිසා.' 'ඇලෝ අයියා ලිලියන් නාට්‍යවලත් රඟපාලා තියෙනවා' හර්බට් කිව්වා. 'ආ එහෙමද? හර්බට් මේ පොතෙන් දෙබස් ටිකක් දෙන්න මෙයාට කියන්න.' මම පැකිළීමකින් තොරව දෙබස් කියාගෙන ගියා. 'එහෙනං ලිලියන් ඉන්දියාවට අපිත් එක්ක යන්න ලෑස්ති වෙන්න' ඇලෝ අයියා කිව්වාම මගේ සතුට කියාගන්න වචන නැතිව ගියා. 'මම දකුණු ඉන්දියාවට ගියා. මට රඟපාන්න ලැබුණේ අම්මා කෙනෙකුගේ චරිතයක්. ඉස්කෝල හාමිනේ කෙනෙකු වූ මගේ පුතා ලෙස රඟපෑවේ හර්බි සෙනෙවිරත්න. මුල්වරට රුක්මණී දේවි එක්ක රඟපෑමට තිබූ දිනයේ රෑ මට නින්ද ගියේ නෑ. මට තිබුණේ රුක්මණීට වෙනස්කම් කරන මවක් ලෙස රඟපෑමට ලැබීම ගැන ලොකු දුකක් ඇති වුණා. මගේ ජීවිතයේ ලස්සනම දවස 1954 අප්‍රේ්ල් 10 ය. මොකද එදා තමයි 'අයිරාංගණී' චිත්‍රපටය හාපුරා කියා ප්‍රදර්ශනය වුණේ.' ලිලියන් 'අයිරාංගණී' චිත්‍රපටයෙන් පසු සුරංගණී (1955), සැඩ සුළං (1955), සුරතලී (1956), දෙයියන්නේ රටේ (1958) චිත්‍රපටවල රඟපෑවාය. 'සුරතලී' චිත්‍රපටයේ ඇය රඟපෑවේ වට්ටි අම්මා කෙනෙකුගේ චරිතයකි. ලීනා ද සිල්වා නම් තරුණිය කොළඹට එක්කගෙන යන කපටි වට්ටි අම්මා ඇයය. 'සුවිනීත ලාලනී' චිත්‍රපටයේත් ඇය අසෝක පොන්නම්පෙරුමගේ මවය. ඇය මේ චිත්‍රපටයේ ෆ්ලොරිඩා ජයලත්ට දස වධ දෙන්නීය. අල්ලපු ගෙදර - දරු දුක - අක්ක නගෝ - සවුදම් ජෙමා - අටවෙනි පුදුමය - සිතක මහිම - පිපෙන කුමුදු චිත්‍රපටවල රඟපෑ චරිතවලට ඇය කැමතිය. 'මම රඟපෑ චිත්‍රපට අතුරින් මගේ සිත් ගත් චරිතය නම් 'සිහින හතක්' චිත්‍රපටයේ ලෙඩ්ඩුන්ගේ බිත්තර ගිලින ඇටෙන්ඩන්ට් කෙනෙක්. 'කෝලන්කාරයෝ' චිත්‍රපටයේ මාත්, පර්ල් වාසුදේවිත් බොක්සිං ගහ ගන්න දර්ශනය කවදාවත් අමතක වෙන්නේ නැහැ. 'ලොකු තාත්තා' චිත්‍රපටයේ මාත්, ෆ්‍රෙඩීත්, දොන් සිරිසේනත්, බී. එස්. පෙරේරාත්, බන්දුල ගලගෙදරත් සර්කස්කාරයෝ ලෙස රඟපෑමත් හරිම රසවත්.' ලිලියන් එදිරිසිංහට 'දරුදුක' චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් සරසවිය සම්මාන උලෙළේ කුසලතා සම්මානයක් ලැබුණි. 1968 වසරේ වැඩිම චිත්‍රපට ගණනක රඟපෑම නිසා දීපශිඛා සම්මානයත් ඇය හිමි කර ගත්තාය. සරසවිය පුවත්පත සංවිධානය කළ ගංවතුරින් අනාථ වූ අයට ආධාර කිරීමට නිළි පිරිස සමඟ ආධාර එකතු කළ ක්‍රියාශීලි නිළියකි ඇය. එදා ඇය අපට කීවේ තමාට සිනමා ජීවිතයේ අත හිත දුන් හත් දෙනෙකු සිටින බවය. හර්බට් එම්. සෙනෙවිරත්න, බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න, කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා, ප්‍රේමලාල් එදිරිසිංහ, එම්. එස්. ආනන්ද, යසපාලිත නානායක්කාර හා පියරත්න සෙනරත් බවය. දශක හතරක් තුළ වැඩිම චිත්‍රපට ප්‍රමාණයක රඟපෑ හෙළ සිනමාවේ පුමුඛ නිළියක් වූ ලිලියන් එදිරිසිංහ 1993 දෙසැම්බර් 27 වෙනිදා ජීවිතයෙන් සමුගත්තාය.
|