වර්ෂ 2018 ක්වූ  ඔක්තොම්බර් 03 වැනිදා බ්‍රහස්පතින්දා




නොදනිමු කාගේ දෝසා දමිත්

නොදනිමු කාගේ දෝසා දමිත්

කෙනෙකුට රුචි අරුචිකම තිබෙන්නට පුළුවන. දමිත්ට අකැමැති අය ද බොහෝ සිටින්නට හැකිය. එහෙත් තම රුචි අරුචිකම් මත දමිත්ගේ ගායනයන් ගැන විනිශ්චය දෙන්න මෙය අවස්ථාවක් නොවන්නේය. තරුණ ජීවිතයක් නිස්කාරනේ විනාශ වන්නට ඉඩ නොදිය යුතු නොවේද.

සිතේ පෙම් පුරා මෙතරම්
කුමට මහ මෙරත් බර නම්
මමත් මඟ බලා ඉන්නම්
එනතුරා මෙහේ
පෑල දොරින් හෝ එයි නම්
බාර ගනිමි රං කඳ පෙම්
මන්ද බං උඹේ ගොරහැඩි ආලවන්තකම්
කොයි තරම් අනේ සොඳුරු ද ප්‍රේමවන්ත නම්

ඒ ගෙවුණේ දෙදහස් හතර වර්ෂයයි. හතර දිග් භාගය පුරා එකී ගීතය ඇසෙන්නට පටන් ගත්තේය. කඩ පිළේද, බස් රියේද, කාර්යාලයේ ද කියා වෙනසක් වූයේ නැත. ගැඹුරු හඬකින් ගැයූ එම ගීය පමණක් නොව ඔහුගේ තවත් ගීත වාතලය පුරා දෝංකාර දෙන්නට පටන් ගන්නේ ඉතා කෙටි කලකින්ය. වෙලාවකට ඒවා සමහරෙකුට කං කරච්චලයක් බව සැබෑය. එහෙත් එම ගායකයාගේ ගමන හීයක් විද්දා බඳු විය. ඉලක්කය කරා ඔහු පිය මැන්නේ මල් මෙන්ම ගල් වැදෙනා මානයකය.

දමිත් අසංක.

ඒ සොඳුරු ගැඹුරු හඬ හිමි තැනැත්තාය. ඔහු පිළිබඳ අප මේ සටහන තබන්නේ සංවේගජනකවය. ඔහුගේ හෙට දවස ගැන කාත් කවුරුවත් නොදන්නා තරමට අවිනිශ්චිතය. පොලිස් සිර මැදිරියක සිටින දමිත් ඉන් මිදී එළියට එන්නේ කවදා ද යන්න කිසිවෙකුත් දන්නේ නැත. ඉකුත් දිනවලදී දමිත්ගේ හැසිරීම ඔහුගේ සමීපතමයන්ට ගැටලුවක් විය. ක්‍රමයෙන් එය දමිත්ගේ ගමේ ප්‍රශ්නයක් තරම් උග්‍ර විය. එක්තරා කරුණක් හේතුවෙන් ඔහු පීඩනයට පත්ව සිටියේය..

මට කවුරුවත් ඇහුම්කන් දෙන්නේ නැහැ. මගේ ඉරණම මොකක් වේවිද කියලා දන්නෙත් නැහැ. ඔබ කාවවත් අවතක්සේරු කරන්න එපා. ඒක තමයි කියන්න තියෙන්නේ.

දමිත් නිරන්තරයෙන්ම කියූ වදන එය විය. එමෙන්ම ඔහු නිතරම තමන්ට පෞද්ගලික ප්‍රශ්න ඇති බව කියා ඇත්තේය. දමිත් මෙන්ම ඒවාද ගුප්තය. නිරන්තරයෙන් කලාව ගැන කතා කළා මිස ඔහු පෞද්ගලික දේවල් මිතුරන් සමඟවත් පැවසුවේ නැත. පසුගිය දින කිහිපය පුරා දමිත් සිහි මද ගතියෙන් සිටි බව සමීපතමයින් පවසන්නේය. ඔහු ඒ තත්ත්වය මත ගමේ පන්සලෙන් සිවුරක් සොරකම් කොට එය ඇඳගෙන ගමේ ඇවිද ගියේය. ඔහුගේ මෙම තත්ත්වය පාලනය කිරීමට පොලීසියට ඇමතීමට සිදු විය. අවසනදි ඔහුට සිදු වූයේ දින කිහිපයක් රිමාන්ඩ් භාරයේ සිටීමටය. මෙම නව වැනිදා දක්වා දමිත් රිමාන්ඩ් භාරයේ සිටින්නට සිදු වනු ඇත. ගායකයකුට අසාධාරණයක් වුණ සැනෙකින් ඒ පිළිබඳ අවධානය යොමු කරන ගායක ගායිකා සංගමය දමිත් වෙනුවෙන් කරන්න පුළුවන් සියලුම දේ සිදු කරන බව සරසවියට දැන්වීය. දමිත්ව හැකි ඉක්මනින් රිමාන්ඩ් භාරයෙන් ගලවාගෙන මානසික වෛද්‍යවරයකු වෙත යොමු කරන බව ගායක ගායිකා සංගමයේ සභාපති කීර්ති පැස්කුවල් සරසවියට දන්වා සිටියේය. මේ මොහොත දමිත් ගැන දූෂමාන ආරංචි ඉගිළ යන වෙලාවය. ඒ පිළිබඳ හොඳම මාධ්‍ය මුහුණුපොතය. ඔහු මත් ද්‍රව්‍ය ළඟ තබාගෙන පොලිස් අත් අඩංගුවට පත්ව ඇති වග කෙනෙකු කියයි. දමිත් අසංක ගායකයෙකු ද කියා තවත් අයකු අසයි.

ඒ අපේ උන්ගේ හැටිය. කෙනෙකුට රුචි අරුචිකම තිබෙන්නට පුළුවන. දමිත්ට අකැමැති අය ද බොහෝ සිටින්නට හැකිය. එහෙත් තම රුචි අරුචිකම් මත දමිත්ගේ ගායනයන් ගැන විනිශ්චය දෙන්න මෙය අවස්ථාවක් නොවන්නේය. තරුණ ජීවිතයක් නිස්කාරනේ විනාශ වන්නට ඉඩ නොදිය යුතු නොවේද.

වැල්ලවාය ඇතිලිවැව නම් ගම් පියසෙහි උපන් දමිත් අධ්‍යාපනය හදාරන්නේ බදුල්ල හාලිඇල බණ්ඩාරනායක ධර්මපාල යන විදුහල්වලින්ය. 1985 උපන් දමිත් සිතේ පෙම් පුරා ගීත තැටිය සමඟින් අතිශය ජනාදරයට පාත්‍ර විය. ඊට පෙර ඔහු ගමේ ගායකයාය. ගමේ ප්‍රසංග රැසකට නිතර ඔහුට ඇරැයුම් ලැබිණ. දමිත් ප්‍රසිද්ධ වේදිකාවට නැංගේ සේනානායක වේරලියද්දගේ ගී ගයමිනි. පසුකාලීනව ඔහු තමන්ගේම වූ අනන්‍යතාවයක් ගොඩ නඟා ගත්තේය. දමිත් අසංකගේ අප අසා ඇත්තේ සිතේ පෙම් පුරා, මට දුන්න දුක් ගින්න, පායන සඳේ, නවමි මගේ, සුදු මුහුණ දැකගන්න, කට කැඩිච්ච කතා වැනි එකම මට්ටමේ ගීත සමුච්චයකි. එහෙත් ඔහු ගැයූ මේ අනන්ත රාත්‍රියේ, තැවී දැවුණු සිත, පත්තායම වී මනින්න, සුසුමට කන් දී අහන්න වැනි ගීත බොහෝ දෙනකු අසා නැත්තේය. ඒවා ද අසා දමිත් ගැන විනිශ්චයක් දිය හැකි නම් අගේය. කෙසේ වෙතත් දමිත්ට හිතැති අපේ පැතුම නම් අලුත් දමිත් කෙනෙකි. ඔහුගේ වැරදුණ තැන් හදාගත හැකිය. එමෙන්ම අලුත් දමිත්ව තනි කළ යුතු වන්නේ ද නැත. එවන් වූ තත්ත්වයකට මඟ පාදමින් අලුත් දමිත් අසංක කෙනෙක් අප හමුවට එතැයි විශ්වාසයෙන් අපි බලා සිටින්නෙමු.