වර්ෂ 2018 ක්වූ  ඔක්තොම්බර් 03 වැනිදා බ්‍රහස්පතින්දා




ඒ සිනහව අද කඳුළකටහැර වූ රොනී

ඒ සිනහව අද කඳුළකටහැර වූ රොනී

රොනී වෙනුවට කවුරු ගන්න ද කියලා හිතාගන්න බැහැ. ඇත්තටම රොනී වෙනුවෙන් අදේශ කරන්න කවුරුවත්ම නැහැ.

ඔහුගේ සුදු තට්ටය දැක්කත් ඇතිය. මුහුණට පෙර පෙනෙන්නේ ද එයයි. දැක්ක ගමන් සිනහව උපදින නළුවන් අතරේ ඔහුට තිබුණේ ද පුදුමාකාර තැනකි. අදින් පසු මේ තැනැත්තා අප අතරේ නැත. රොනී ලීච් නමැති ඒ ගායකයා, නළුවා සදහටම අප අතරින් නික්ම ගොස් ඇත්තේය. රොනී ලීච් කියන නමට වැඩියෙන් ඔහුව වඩාත් ප්‍රකට තට්ටයා යන නමිනි. අනූව දශකයේ මුල් භාගයේදී රොනී තට්ටයා ලෙසට සිය නවගමන ආරම්භ කළේ වාසනාව ද දෝත දරාගෙනය. 1953 උපන් රොනීට කොණ්ඩෙ යෑමේ රෝගයක් තිබුණේ නැත. එමෙන්ම පාරම්පරික තට්ටයන් ද ඔහුගේ පරම්පරාවේ නොවීය. එහෙත් රොනී තට්ටය සිය ආභරණය කොට ගත්තේය.

1972 වසරේ සිට රොනී ගායනයෙහි යෙදුණේය. 1983 දී රංගනයට ද පිවිසිණ. ඒ සේන සමරසිංහගේ ඈතින් ඈතට චිත්‍රපටයෙන්ය. අසූ ගණන්වල යළි හමුවෙන්නයි, දුෂ්‍යන්ති වැනි චිත‍්‍රපටවල රංගනයේ යෙදුණ ද රොනී වැඩිපුර ජනතාව අතරට ආවේ නැත. එවකට කණ්ඩායම් සංගීතයේ ප්‍රමුඛ කණ්ඩායම් කිහිපයක් සමඟ රොනී එක් විය. එහෙත් කලාවේ යම් දුරක් යාමට ඒවා පංගුකාරයන් නොවීය. මේ සියල්ල දමා ගසා රොනී මැද පෙරදිග යන්නේ සිතේ වූ කලකිරිමත් සමඟය. කොණ්ඩය තිබූ කඩවසම් යෞවනයකු වූ හෙතෙම වසර කිහිපයක් පිළිගැනීමේ නිලධාරියකු ලෙසට රක්ෂාව කරන්නේය. 1989 වසරේ ඕමාන් එන ජිප්සීස් කණ්ඩායමට රොනීව හමු වන්නේ අහම්බයෙන්ය. ඒ වන විටත් තට්ටයා නමින් ගීයක තනුවක් නිර්මාණය කොට තිබිණ. ජිප්සීස්ලාගේ ඇරැයුමින් රොනී ලංකාවට එන්නේ තට්ටයා ගීතය ගැයීමටය. පියල් පෙරේරා රොනීට තට්ටය ගාන්නට ඉල්ලිමක් ද කරන්නේය. ඔහු බිරියටත් හොරෙන් හිස බූ ගා නිවසට ආවේ තට්ටයා ගීතය ගයාය.

'මල්ලි සතියක් විතර යනකම් වයිෆ් කතා කරේ නැහැ තට්ටෙ නිසා'.

රොනී තට්ටයා ගැන නිතර මතක් කළේ එලෙසින්ය. මල් වෙඩිල්ලක් පුපරුවා හැරියාක් මෙන් තට්ටයාගේ තට්ටයා ගීතය මෙරට පුරා අතික්‍රමණය කළේය. සමහරු ඊට විවේචන ඉදිරිපත් කරනු ලැබුවෝය. රොනීගේ හොඳ කල උදා වන්නේ ඉන් පසුවය. ගායකයකු ලෙස එලෙස සාර්ථක වෙද්දී රොනීට චිත්‍රපට රංගනයට ද ඇරැයුම් ලැබෙන්නේය. චෙරියෝ ඩාලිං, සාවිත්‍රිගේ රාත්‍රිය, දවල් මිගෙල් රෑ ඩැනියෙල්, පෙම් කැකුළ, ජැක් ඇන්ඩ් ජිල්, ජොන්සන් ඇන්ඩ් ගොන්සන්, සැපට දුකට සනී, ක්ලීන් අවුට්, යම රජ සිරි රොනී චරිත මැවූ චිත්‍රපට කිහිපයක් වන්නේය. රංගන ශිල්පියකු හැටියට රොනීගෙන් වඩාත් වැඩියෙයන් වැඩ ගත්තේ රෝයි ද සිල්වාය. ඔහු රොනීගේ අතිශය සමීපතමයකු ද විය. රෝයිගේ වියෝවේදී රොනී හැඬුවේ නැති ටික පමණි. එතරම්ම ඔවුන් මිතුරුය. රෝයි නික්ම ගොස් කෙටි කලකින් තමාට ද අවසන් ගමන යන්නට සිදුවේ යැයි රොනී සිහිනෙකින් හෝ සිතන්නට නැත. රොනී ගැයූ ගීත අතර කවුද බොලේ ඇලිස්, කෙල්ලෙ කෙල්ලෙ සුදු කෙල්ලේ, අයිස් ක්‍රීම්, පච්ච සෝමේ වැනි ගීත ද තිබේ. රොනී ගැයූ ගීත මෙන්ම රඟපෑ චරිත අළලා ඔහුව මැනීමට බොහෝ දෙනෙකු පුරුදුව සිටියේය. එහෙත් පුංචි තිරයේ හෝ රිදී තිරයේ අපි දකින රොනීට වඩා සැබෑ ජීවිතයේ රොනී අහසට පොළව වැනිය. නිවසේදී ඔහු යථාර්ථවාදී පියෙකු විය. හින්දි ගීත මෙන්ම හින්දි සිනමාපට පිළිබඳව ඔහුට තිබුණේ පුදුමාකාර දැනුම් සම්භාරයක්ය. ඇතැම් පැරැණි හින්දි චිත්‍රපට ගැන අපව ද රොනී දැනුම්වත් කළේය.

ඉකුත් සතියේ රොනී ඕස්ට්‍රේලියාව බලා පිටත් වුණේ එහි පැවැත්වෙන ප්‍රසංග මාලාවක් සඳහාය. ඒ ඔහුගේ අවසන් ගමන විය. තම ගමන් සඟයන්ගේ සිත් ප්‍රකම්පනයට පත් කරමින් රුදුරු මරුවා විසින් රොනීගේ ජීවිත ගමන නතර කොට තිබිණ.

රොනී අවසන්වරට චිත්‍රපටයක ගිවිසුමකට අත්සන් කළේ ප්‍රීතිරාජ් වීරරත්නගේ එදත් දිනුම් අදත් දිනුම් චිත්‍රපටයේය. හෙට දිනයේද ඔහුට රූගත කිරීම් තිබිණි. රොනී වියෝ වූ කම්පනයෙන් යුතුව ප්‍රීතිරාජ් අපව ඇමතීය.

'රොනී වෙනුවට කවුරු ගන්න ද කියලා හිතාගන්න බැහැ. ඇත්තටම රොනී වෙනුවෙන් අදේශ කරන්න කවුරුවත්ම නැහැ.'

ප්‍රීතිරාජ්ට මෙන්ම අපට ද ඇත්තේ එම ගැටලුවය. රොනීට ආදේශකයෙක් නම් නැත්තටම නැත්තේය.

රොනී ඔබට මොක් සුව පතමු.