වර්ෂ 2018 ක්වූ  ඔක්තොම්බර් 03 වැනිදා බ්‍රහස්පතින්දා




අමිතාබ් සහ අමීර්ගෙන් ආරාධනාවක්

අමිතාබ් සහ අමීර්ගෙන් ආරාධනාවක්

 

Thugs of Hindostan මේ දිනවල බොලිවුඩයේ කතාබහට ලක් ව තිබෙන චිත්‍රපටයක්. යෂ් රාජ් චිත්‍රපට වෙතින් දීවාලි උත්සව සමය වෙනුවෙන් ලබන නොවැම්බර් මසදී තිරගත කිරීමට නියමිත මෙම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නිකුත් කෙරුණේ පසුගිය 27 වැනිදාට යෙදුණු යෂ් චොප්රාගේ ජන්ම සංවත්සරය සමඟින්.

මේ වසරේදී බොලිවුඩයෙන් නිකුත් කෙරෙන දැවැන්ත සිනමා නිර්මාණයක් වන මෙහි අමිතාබ් බච්චන්, අමීර් ඛාන්, කත්‍රිනා කයිෆ් සමඟින් ෆාතිමා සානා ශයීක් ප්‍රධාන චරිත නිරූපණය කරනවා.

බොලිවුඩයේ සුපිරි තරු යුගලක් වන අමිතාබ් සහ අමීර් එකම සිනමාපටයකින් ප්‍රේක්ෂකයන් වෙත පැමිණෙන්නේද Thugs of Hindostan සමඟින්.

පිලිප් මිඩෝව්ස් ටේලර් විසින් 1839 වසරේදී රචිත Confessions of a Thug  කෘතිය පාදක කොට ගෙන නිර්මාණය වූ එහි කතාව ඉන්දියාවේ බ්‍රිතාන්‍ය පාලනයට අභියෝගයක් එල්ල කළ මැර කරණ්ඩායමක් වටා ගෙතී ඇත.

මෙහි පූර්ව ප්‍රචාරක පටය නිකුත් කිරීම සමඟින් අමිතාබ් සහ අමීර් විසින් නිකුත් කළ වීඩියෝ පට කෙරෙහි කාගේත් අවධානය යොමු වුණා. එහි විශේෂත්වය නම් එම වීඩියෝ පට ඔස්සේ ඔවුන් දෙදෙනා දමිළ සහ තෙළිඟු බසින් දකුණු ඉන්දීය ප්‍රේක්ෂකයන් ඇමතීමයි.

ඒ ඔස්සේ ඔවුන් දකුණු ඉන්දීය සිනමා රසික රසිකාවන්ට එළඹෙන දීවාලි උත්සව සමයේදී Thugs of Hindostan චිත්‍රපටය නරඹන ලෙසින් ආරාධනා කර සිටිනවා.

ධනුෂ්ගේ දෙවැනි සිනමා අධ්‍යක්ෂණය

ධනුෂ් දකුණු ඉන්දීය සිනමා රසික රසිකාවන්ගේ සුවිශේෂ ආදරයට පාත්‍ර වූ තරුවක්. දකුණු ඉන්දීය සිනමාවේ පමණක් නොව බොලිවුඩයේත් නමක් දිනූ ඔහු රංගනයෙන් පමණක් නොව නිෂ්පාදනයෙන්, ගීත රචනයෙන්, ගායනයෙන් සේම අධ්‍යක්ෂණයෙන් ද තම අනන්‍යතාව ගොඩනගා ගෙන අවසන්. ඔහු ගැයූ "වයි දිස් කොලවරි" ගීතය ලොව පුරා ප්‍රේක්ෂක ආකර්ෂණයට ලක් වුණා.

2002 වසරේදී Thulluvadho Ilamai  චිත්‍රපටයෙන් රංගනයට පිවිසි ධනුෂ්ගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය වූයේ 2017 Pa Paandi  චිත්‍රපටය යි. කොලිවුඩ් ආරංචි ගෙන එන්නේ එහි සාර්ථකත්වය සමඟින් ඔහු මේ වන විට සිය දෙවැනි සිනමා අධ්‍යක්ෂණයට සූදානම් වන බවයි. ඓතිහාසික කතාපුවතක් ගෙන එන එහි කොලිවුඩයේ ජනප්‍රිය නළු නාගර්ජුන සමඟින් අදිතා රාඕ හිදාරි සහ එස්. ජේ සූර්යා රංගනයෙන් දායක වීමට නියමිත බවත් කියවෙනවා.

මෙක්සිකානු ත්‍රී ඉඩියට්ස් ඉන්දියාවට

චේතන් භගත්ගේ Five Point Someone  නවකතාව ඇසුරෙන් රාජ්කුමාර් හිරානි අධ්‍යක්ෂණය කළ 3 Idiots චිත්‍රපටය තිරගත කෙරුණේ 2009 වසරේදීයි. අමීර් ඛාන්, ආර්. මාධවන්, ශර්මන් ජෝෂි, කරීනා කපූර්, බෝමන් ඉරානි චරිත නිරූපණය කළ එය ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර සමඟින් වාණිජ අතින් අති සාර්ථක බොලිවුඩ් චිත්‍රපටයක් බවට පත් වුණා.

3 Idiots චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක් ලෙසින් නිර්මාණය කෙරුණු මෙක්සිකානු චිත්‍රපටයක් වන 3 Idiots තිරගත කෙරුණේ 2017 වසරේ මාර්තු 31 වැනිදායි. මෙක්සිකානු චිත්‍රපට අධ්‍යක්ෂ කාර්ලෝස් බෝලාදෝ විසින් අධ්‍යක්ෂණය කෙරුණු 3 ධ්ඤඪධබචඵ හි අල්ෆොන්සෝ දෝසාල්, ක්‍රිස්ටියන් වස්ක්වීස්, ජර්මාන් වල්දේස්, මාර්තා හයිග්‍රෙඩා ඇතුලු පිරිසක් රංගනයෙන් දායක වුණා.

3 Idiots චිත්‍රපටයේ මෙක්සිකානු ප්‍රතිනිර්මාණය පසුගියදා ඉන්දියාවට පැමිණියා. ඒ ජේග්‍රන් චිත්‍රපට උලෙළ සමඟින්. සැප්තම්බර් 27 වැනිදා ආරම්භ කෙරුණු සිනමා උලෙළ 30 වැනිදා දක්වා පැවැති අතර එහිදී 3 Idiots ඇතුළුව විදෙස් සිනමාපට රැසක් තිරගත කෙරුණා.

ශ්‍රද්ධා කපූර් බැඩ්මින්ටන් ක්‍රීඩාවට

පසුගිය අගෝස්තු 30 වැනිදා සිට තිරගත කිරීම් ඇරඹි Stree චිත්‍රපටයේ සාර්ථකත්වය සමඟින් ශ්‍රද්ධා කපූර් මේ දිනවල සිය අලුත්ම චිත්‍රපටයේ රූගත කිරීම්වලට දායක වෙමින් සිටිනවා. Saina නම්වන මේ චිත්‍රපටය ඉන්දීය බැඩ්මින්ටන් ශූරියක වන සයිනා නේවාල් ගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වන්නක්.

ඔලිම්පික් ලෝකඩ පදම්කම් ලාභිනියක වන සයිනා බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් ඉන්දියාව වෙනුවෙන් බැඩ්මින්ටන් ලෝක ශූරතා, පොදුරාජ්‍ය මණ්ඩාලීය ඇතුළුව ජාත්‍යන්තර පදක්කම් රැසක් දිනා දුන් ක්‍රීඩිකාවකි. මෙම චිත්‍රපටය වෙනුවෙන් ශ්‍රද්ධා බැඩ්මින්ටන් පුහුණුවීම් වල ද යෙදුණු අතර සයිනා සමඟින්ම කළ පුහුණුවීම් ඒ අතරේ කැපී පෙනුණා. එය දුටු බොහො දෙනා පැවසුවේ පෙනුමෙන් සයිනා සහ ශ්‍රද්ධා නිවුන් සහෝදරියගෙන් වාගේ බවයි.

සයිනාගේ මවුපියන් හමුවීමට ඇයගේ නිවෙසට ගිය අවස්ථාවද ශ්‍රද්ධා සිහිපත් කරන්නේ ඉතාමත් සතුටින්. ඔවුන් තමන්හට ඔවුන්ගේ දියණියකට මෙන් සැලකූ බව ශ්‍රද්ධා පවසන්නීය. "සයිනා කියන්නේ අපේ රටේ ආදරණිය මෙන්ම තාරුණ්‍යයේ සලකුණක්. රට වෙනුවෙන් සුවිශේෂ ජයග්‍රහණ ලද ඇයගේ චරිතය නිරූපණයේදී නිළියක ලෙසින් මා සුවිශාල කාර්යයක් ඉටු කළ යුතුයි" ශ්‍රද්ධා පවසන්නීය. Saina චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ අමෝල් ගුප්තා විසින්.

ජේම්ස් බොන්ඩ් යළිත් පිය පදවියට

ජේම්ස් බොන්ඩ්, බ්‍රිතාන්‍ය සිනමාව විසින් නිර්මාණය කළ සුපිරිතම රහස් පරීක්ෂක චරිතය ලෙසින් සැලකෙනවා. එදා මෙදා තුර බොන්ඩ් චරිතය වෙනුවෙන් සිනමාවේ සුපිරි නළුවන් කිහිප දෙනෙකුම සුදුසුකම් ලද අතර මේ වන විට ජේම්ස් බොන්ඩ් චරිතයට පණ පොවන්නේ 50 හැවිරිදි බ්‍රිතාන්‍ය නළු ඩැනියෙල් ක්‍රෙග්.

ජේම්ස් බොන්ඩ් චරිතයට පණ දුන් නළුවන් අතරින් ධනවත්ම නළුවා ලෙසින් ද සැලකෙන ඩැනියෙල් ක්‍රෙග් පසුගියදා දෙවැනි වරට දියණියගේ පියෙකු බවට පත් වුණා. නිළියක සහ නිරූපිකාවක වන 48 හැවිරිදි රැචෙල් වෙසිස් සමඟ විවාහයෙන් පළමු දරුවා වන්නේ මෙම දියණිය යි.

රැචෙල්හට පෙර විවාහයෙන් 12 හැවිරිදි පුතෙකු හා ඩැනියෙල් හට නිළි ෆ්‍රියෝනා ලොවුඩන් සමඟ විවාහයෙන් 26 හැවිරිදි දියණියක සිටිනවා.

25 වැනි ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය ද 2020 වසරේදී තිරගත කිරීමට සූදානම් බවත් මේ වන විට ප්‍රකාශයට පත් වී අවසන්. Spectre  චිත්‍රපටියෙන් පසු ඩැනියෙල් ක්‍රෙග්, බොන්ඩ් චරිතයට සමු දෙනු ඇති බවට මත පළ වුවත් 25 වැන්නේ ද ඔහු පස් වැනි වරටත් ජේම්ස් බොන්ඩ් චරිතය නිරූපණය කරන බව හොලිවුඩ් වාර්තා ගෙන එනවා.

යතේජා ඥානරත්න