වර්ෂ 2018 ක්වූ  ඔක්තොම්බර් 03 වැනිදා බ්‍රහස්පතින්දා




තරු පන්තියේ SCOPE සිනමාහල් සංකීර්ණය

තරු පන්තියේ SCOPE සිනමාහල් සංකීර්ණය

සුඛෝපභෝගී Scope Cinemas ශාලාවන්හි සතිපතා චිත්‍රපට නරඹන්නට සරසවිය පාඨක ඔබට අවස්ථාවක්. ලබන සතියේ සරසවිය බලන්න.

කලම්බු සිටි සෙන්ටර් විවෘත කරපු දවසේ ඉඳලා ඒක ඇතුළෙ කරක් ගාලා බලන්න මට තිබුණේ පුදුම උවමනාවක්. ඒත් වෙලාවක් නෑ. ඔහොම ඉද්දි අපේ කර්තෘ අරුණ (ගුණරත්න) අය්යා අහපි “කලම්බු සිටි සෙන්ටර් එකේ අලුතෙන් හදපු මල්ටිප්ලෙක්ස් එක පොඩ්ඩක් බලලා එන්න පුළුවන්ද?” කියලා. ඉබ්බා දියේ දාන්නැහේ මම ඒ රාජකාරිය බාර ගත්තේ ඉහ වහා ගිය ප්‍රීතියෙන්. පහුවෙනිදා උදේ ගංගාරාමේ අද්දර බේරේ වැවට මූණලා ඉන්න මහා විසාල ගොඩනැඟිල්ලට ඇතුළු වුණාම මට මතක් වුණේ පිටරටදි දැක්ක සාප්පු සංකීර්ණ. විදුලි සෝපාන, පඩිපෙල් තිබුණට ඒ ගොඩනැඟිල්ල කැමති දුවන පඩිපෙළ වැඩියෙන් භාවිත කරනවටයි. තුන්වැනි මහලට ගිය අපි පිළිගත්තේ ජයරත්න ගලගෙදර මහත්තයා. සිනමා ක්ෂේත්‍රයේ කවුරුත් ඒ නම කියූ ගමන් දන්නවා. ඒ විතරක්යැ නළුකමත් කරනවානේ ඉඳලා හිටලා.

“මේ තුන්වැනි තට්ටුවම ස්කොප් සිනමාස්ලා තමයි අරන් තියෙන්නේ” බෙල්ල පුළුවන් තරම් කරකවමින් වට පිට බලන මටත් කැමරාවට නිවනක් නැතිවන තරමට පින්තූර ගන්න නිශ්ශංකටත් කීව ගලගෙදර “අද ටිකක් කලබල දවසක්. විනාඩියක් ඉන්න. මම එක්කගෙන එන්නම්” කියමින් ගියේ කවුන්ටරේ ළඟට. අපි විස්තර අහන්න මුණගැහෙන්න යොදා ගත්ත කෙනා හිටියේ එතැන.

ඒ විනාඩියෙත් මේ අසිරිය නොබලා ඉන්න එක අපරා‍දෙ කියන තරමට අපේ හිත එක්තරා විදිහක අභිමානයකින් පිරිලා තිබුණා. ඒ පිටරටවලට ආවඩන සමහරු කියන ‘මෝල්’ අපේ රටෙත් දැන් ඊට නොදෙවෙනිව තිබෙනවා කියන හැඟීම නිසා. ඒකටම අපේ රටේ සිනමාවට දැන් නම් හොඳ කලක් යයි කියන බලාපොරොත්තුවේ හීන් උල්පතක් හදවත පත්ලෙන් මතුවෙන්න ගත්තා. මොකද ඉන්දියාවේ අයිනොක්ස් සිනමා ශාලා පරිශ්‍රවල සෙවනැල්ල මේ ස්කෝප් සිනමාස් සැකැස්මට වැටී තිබෙන බව වටපිටින් පවා පෙනුණ නිසා.

එහෙම සිරි නරඹන අතර සරසවි සිසුවෙක් වගේ බෑගයක් කරේ එල්ලගත් සරල පෙනුමැති තරුණයෙක් තව අයට උපදෙස් දෙන ගමන්ම ප්‍රසන්න හිනාවකින් මූණ පුරවාගෙන අප ළඟට ආවා.

“මේ මිස්ට තුෂාන් රංගන මීමනගේ, අධ්‍යක්ෂ ප්‍රධාන විධායක නිලධාරී, ස්කෝප් සිනමාස්” ගලගෙදර හඳුන්වා දුන්නා. මොකක්දෝ හුරුවක් මට දැනුණත් හරියටම දැන ගන්නතුරු මම කට ඉස්සර කළේ නෑ. අපි ෆුඩ් කෝනර් එකේ එළි මහන් කොටසේ සැප අසුන් අතරින් කතාබහට සුදුසු තැනක් තෝරා ගත්තා.

‘කොළඹ මේ තරම් ලස්සනද’ බේරේ වැවේ නිල් පාටට හරිත පැලැස්තරවලින් මෝස්තර දැමූ තුරු පෙළ අතරින් ඈතට දිවෙන සුදු පැහැ පාලමට පසුබිම් වූ අහස සිඹින තට්ටු ගොඩනැඟිලි දුටුව මගේ ඇස් මගේ හිතෙන් විමසුවා. ‘එහෙම දකින්න පහළ ඉඳන් බෑ. උඩකටම එන්න ඕනේ.’ හිත පිළිතුරු දුන්නා. ඒ අසිරිය විඳගනිමින් රස මසවුළු භුක්ති විඳීන්නට පවුල් පිටින් පැමිණි පිරිස්, පෙම්බස් දොඩන මානව මානවිකාවන් වගේම ලැප්ටොප් දිගහැරගෙන පාඩුවේ තමන්ගේ කටයුතු කරගන්නා අය කෙතරම් නිදහසක් මේ මහලේදී භුක්ති විඳීනවාද? එය කොයි තරම් අපූරද? අප සොයන්නේ මේ නිදහස නොවේද?

අසුරු සැණක් ඒ සිතිවිලිවලට ඉඩ දී මම රාජකාරිය ඇරඹුවා. තුෂාන් මහත්මයාගේ විස්තරය මුලින්ම ලියා ගත්තා. මට ඕනෑ වුණේ මොහු සිනමාවට සම්බන්ධ වන්නේ කොහොමද කියා දැනගන්නයි.

“මම ඉගෙන ගත්තේ කොළඹ ආනන්ද විද්‍යාලේ. කොළඹ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය, ගණකාධිකරණ විශේෂ උපාධිය කරලා, ඊළඟට CIMA  කළා. MBA එක කළෙත් කොළඹ කැම්පස් එකේමයි. ඊට පස්සේ UK  ගියා තවදුරටත් ඉගෙන ගන්න. ලංකාවට ඇවිත් මැනේජ්මන්ට් කන්සල්ටන්සි ආයතනයක සේවය කරද්දි රීස්ට්‍රක්චරින්වලට ලැබුණේ ඊඒපී ආයතනය. ගලගෙදරලා හමුවුණෙත් එතැනදි. ඒ වෙද්දි ආයතනය පාඩු ලබමින් සිටියේ. මට පුළුවන් වුණා අවුරුදු දෙකක් විතර ඇතුළත ලාභ ලබන ආයතනයක් කරන්න. ඒ අය මට ආරාධනා කළා අධ්‍යක්ෂ මණ්ඩලයට එකතු වෙන්න කියලා. මම තමයි ඒ ආයතනයේ ළාබාලම  directoc/CEO  බවට පත් වුණේ. කළමනාකාරීත්වය වෙනස් වුණාම මම එතැනින් ඉවත් වුණා”

ඒ විස්තර කොටස කියද්දීම මට දැනුණු හුරුව කුමක්ද කියා මෙනෙහි වී අවසාන වුවත් නිහඬව ඉතිරි විස්තරය අහගෙන උන්නා. තුෂාන් දිගටම විස්තරය කීවා.

“පස්සේ එතනින් ඉවත් වෙලා නවීඩ් කාදර් මහත්මයා සමඟ ස්කෝප් සිනමාස් ආරම්භ කළා. 2013 වසරේ ඉඳන් අපි කළේ සැලසුම් කරන එක. එය ක්‍රියාත්මක වන්න ගත්තේ 2017 ලිබර්ටි සිනමා ශාලාව ගැනීමත් සමඟයි. ස්කෝප් සිනමාස් සභාපති තමයි නවීඩ් කාදර් මහත්මයා.”

ඒ විස්තරය අවසන් වන විටම මගේ හිතට නැඟුණු ප්‍රශ්න එකින් එක ඉදිරිපත් කිරීමට මම යුහුසුළු වුණා.

මේ වගේ සිනමා සංකීර්ණයක් හදන්න හිතුවේ?

අද තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි ලංකාවේ සිනමාව අභාවයට යනවා යැයි කීම. ඇත්තම ප්‍රශ්නය ඒක නෙවෙයි. ප්‍රේක්ෂකයාට අවශ්‍ය දේ සිනමා කර්මාන්තය විසින් ලබා නොදීම නිසා ඔවුන් සිනමාවෙන් ඈත් වෙන්න පටන් ගෙන. කොච්චර තාක්ෂණය දියුණු වුණත් මුළු ලෝකෙම සිනමා කර්මාන්තය ඒ සමඟ වර්ධනය වෙනවා. ඒ වගේම මිනිසුන්ගේ අවශ්‍යතා සහ උවමනාවන් වෙනස් වෙනවා. ඒ වෙනස්වන දේවලට අනුකූලව ඊට අවශ්‍ය උපරිම රසාස්වාදය ලබා දීමට තමයි අපි හිතුවේ අන්තර්ජාතික මට්ටමේ සිනමා ශාලා සංකීර්ණයක් ඇති කරන්න ඕන කියලා.

මොනවගේ තාක්ෂණයක්ද යොදා ගත්තේ?

අධි තාක්ෂණික ශබ්ද රටාවක් අපි භාවිත කරනවා ඩොල්බි ඇට්මොස් කියන ශබ්ද ක්‍රමය 32.1 සවුන්ඩ් සිස්ටම් එකත් එක්ක. ලංකාවේ කිසිම සිනමා ශාලාවක මේ ක්‍රමය නෑ. මෙයින් සරවුන්ඩ් සවුන්ඩ් සිස්ටම් එකත් එක්ක අපේ ඔළුවට උඩින් පවා ශබ්දය ගමන් කරන දිශාව අනුව අහෙන්න ගන්නවා.

විස්තර කළ ශබ්ද තාක්ෂණය අත්විඳ බලන්නට යමු දැයි ඔහුගෙන් ලද ආරාධනාව මත සිසිල් පැන් බඳුන් තොල ගාමින් අපි හතර දෙනා ස්කෝප් සිනමාස් සංකීර්ණයේ සිනමාහල් 6 තුළම සැරිසරන්න වුණා. අද දවසේ ඒ ඒ ශාලාවල ප්‍රදර්ශනය වන චිත්‍රපට කුඩා රූපවාහිනී යන්ත්‍ර වැනි තිර මත ප්‍රදර්ශනය වෙමින් තිබුණා. ප්‍රධාන ලොබිය වටේ අංක යොදා තිබූ පිළිවෙළින් අප මුලින්ම අතුළු වුණේ ශාලා අංක 1ට. පඩිපෙලින් තොරව ඇලයට සකසා තිබූ අඩ අඳුරු කොරිඩෝව දිගේ ගිය අප මුලින්ම දුටුවේ ලා නිල් නියොන් ලයිට්වලින් කොටු සීමා මෝස්තරයක් පෙන්වූ දෙපස උස කළු බිත්තිය. ඊටම ගැලපෙන වර්ණයෙන් ආවරණ යෙදූ සැප පහසු අසුන් 130ක් පමණ ඒ ශාලාවේ තිබුණා.

“ඉඳගෙනම බලන්න.” තුෂාන්ගේ ආරාධනය අනුව ශාලාවේ අසුන්ගත් සැණින් අප මෙතෙක් චිත්‍රපට නරඹා තිබූ සිනමා ශාලාවල ආසන සිහියට නැඟුණේ නිරායාසයෙන්. “මාර කම්ෆර්ටබල් නේද?” නිශ්ශංකට කියැවුණේ මට සිතුණු දේමය. ශාලා අංක 2ද එවැනිම ආසන ගණනකින් යුතුයි. වර්ණය වෙනස්. 3 සහ 4ටද එබිකම් කර හිඳ ගැනීම සිදුවුණේ එවැනිම කොරිඩෝර දිගේ ගොසින්.

“අපේ මේ ශාලා 4ම 7.1 ශබ්ද තාක්ෂණය භාවිත කරන්නේ. “ තුෂාන්ගේ විස්තර යළිත්.

“ආසන 130 සහ 150 ශාලා හතර තමයි ඔය දැක්කේ. මේ පස්වැනි එක. ආසන 225ක් තිබෙනවා. අපි මේ හැම ශාලාවක්ම හදලා තිබෙන්නේ ස්ටේඩියම් ටයිප් එකට. ඒ නිසා ඉස්සරහ කෙනාගේ ඔළුවට තිරය මුවා වෙන්නේ නෑ. කකුල් ඉස්සරහ ආසනේ වදින්නේ නෑ. ඉඩ තිබෙන නිසා. මේ ශාලාව ඩොල්බි ඇට්මොස් තාක්ෂණය භාවිත කරන නිසා ප්‍රේක්ෂකයන්ට තමන් චිත්‍රපටය තුළ ජීවත් වෙනවා වගේ තමයි දැනෙන්නේ. අපි බලමුද ට්‍රේලර් එකක් දාලා.”

ඔහුගේ අණින් තිරය මත දසුන් මැවෙන්නට වුණා. අභ්‍යවකාශ යානාවක් ගුවන් ගත කිරීමට ආසන්නයි. එය තුළ සිටින පිරිස දෙදරුම් කනවා පේනවා. ගිනි ජාලා යටින් ඇවිලෙනවා. ඇත්තම ගින්දර පාටම මිස ගින්දරට පිච්චුණා වගේ පාටින් නෙවෙයි පේන්නෙ. ගිනි දැල්ලේ හඬ උඩින් යටින් හැම තැනින්ම ඇහෙනවා හරියට අපිත් ඒ යානය තුළ වගේ. මොහොතකින් යානය පිටත් වෙනවා ඩ්‍රරඩ්‍රරඩ්‍රර ගාලා. අපේ අසුන් දෙදරනවා. ඒ යානය ග්‍රහ වස්තුවකට ආවේ අපේ පිටිපස්සේ ඉඳන්. ඒ බව දැනුණේ ඔළුවට උඩින් ආව ශබ්දෙ නිසා. ඒ එක්කම තවත් කාමරේක වෙඩි තබා ගැනීමක්. හේරදාර මිනිහෙක් දඩං ගාලා බිම වැටුණා. මට හිතුණේ මගේ දෙපය ගාවට වැටුණා කියලා. එහෙම තමයි ඩොල්බි ඇටමොස් කියලා ට්‍රේලර් එක ඉවර වුණා. ඔයින් ගියා ඇති කියලා හිතාගෙනයි මම නම් නැඟිට්ටෙ.

මේ මොකද ඉස්සරහ පේලියේ හිස් තැන්?

“ආ ඒ විශේෂ අවශ්‍යතා සහිත වූවන් සඳහා රෝද පුටු තියා ගන්න. අපි ඒකත් අන්තර්ජාතික මට්ටමට නිර්මාණය කරලා තිබෙන්නේ ඔවුන් වෙනුවෙන්. අපේ හැම ශාලාවකම ඉදිරි අසුන් පේලියේ ඔවුන්ට ඉඩ තබා තිබෙනවා. “

එය ඉතා හොඳ පණිවිඩයක්. අමතක නොකර ලිවිය යුතුම එකක් බවට සිහියෙ තබා ගන්න ඕනා. මම කීවා.

“ හා එහෙනම් යමු අපේ ගෝල්ඩ් ක්ලාස් සිනමා එකට. ඒකේ තියෙන්නේ ආසන24යි.”

ඒ කාටද මම හිතුවේ සෙල්ලං ගෙයක් වගේ පොඩි කාමරයක් වෙන්නැති කියලා. නෑ. ඒකනෙ බැලුවම නියම ශාලාව. රතු පාට සෝෆා පුටු වගේ එක විදිහකට හදලා තියෙන්නේ. මම නෙවෙයි තුෂාන් කියන දේ අහමු.

“මේක හරියට ගුවන් යානයක ආසන වගේ. සීට් එක කඩලා ඇලකරන්න පුළුවන්. බට්න් එක ප්රෙස් කරපු ගමන් බීම අරවා මේවා සර්ව් කරනවා. ගුවන් යානයක බිස්නස් ක්ලාස් එකක තිබෙන පහසුකම් සියල්ල සහිතයි. පවුලේ අය එකතුවෙලා කැමති චිත්‍රපටයක් බලන්න, කන්තෝරුවේ කීප දෙනකුට ඇවිත් විශේෂ දර්ශනයක් ලබා ගන්න පුළුවන්. රජෙක් වගේ ඉන්නත් පුළුවන්.”

ප්‍රේක්ෂකයා රජ කරවන ශාලාවත් එක්ක ශාලා හයම බලලා අමන්දානන්දයට පත්වෙච්ච අපි ආපසු සුපුරුදු මේසයට ආවේ චීස් පොප් කෝන් අහුරු හපමින්.

“දැනට ලංකාවේ කිසිම ඉන්ටවල් එකක් නැතුව චිත්‍රපට බලන්න පුළුවන් ශාලා තිබෙන්නේ මෙහෙ විතරයි. විවේකයක් දුන්නොත් අපේ ආහාර පාන කඩවලට ලාභයක් තිබෙනවා තමයි. ඒත් ඊට වඩා අපි අවධානය යොමු කරන්නේ ප්‍රේක්ෂකයාගේ රසවින්දනයට. මොකද ප්‍රේක්ෂකයන්ට හරි රසවින්දනයක් ලැබුණොත් තමයි ඔවුන් අප අතරට එන්නේ. කර්මාන්තය නඟා සිටවන්න නම් අපි ප්‍රේක්ෂක අවශ්‍යතා තේරුම් ගෙන ඒවා ඔවුන්ට ලබා දිය යුතුයි. අද මහජනතාවට හෝම් තියටර් සිස්ටම් තිබෙනවා. ඉන්ටනෙට් තිබෙනවා. එහෙම පහසුකම් සහිතව ගෙදර ඉඳන් බලන්න පුළුවන් කෙනා ශාලාවට එන්න නම් ශාලාව ඊට වඩා වැඩි අත්දැකීමක් ඔහුට හෝ ඇයට දෙන බව දැනෙන්න ඕන. එය අපි තේරුම් ගන්න ඕන. ආසන, වායු සමීකරණ, ශබ්ද තාක්ෂණය, ආහාර පාන, සේවය මේ හැම දේම ඇතුළු කාර්ය මණ්ඩලයේ නිල ඇඳුම, ආමන්ත්‍රණය කරන විදිහ, පිරිසුදු කිරීම් මේ සියල්ල ගැන අපි විශේෂ අවධානයක් යොමු කරනවා. මේ සියල්ල සමඟ අන්තර්ජාතික මට්ටමේ හොඳ කෘති ප්‍රදර්ශනයට කටයුතු කරනවා. අපි මුදල් පස්සේ වත් සම්මාන පස්සේ වත් නොවේ යන්නේ අපේ බලවත්ම සම්මානය ජනතා සම්මානය. ලංකාවේ චිත්‍රපට කර්මාන්තය දියුණු කරන්න පුළුවන් වන්නේත් එහෙම හිතුවොත් පමණයි.”

තුෂාන් එක හුස්මට කියාගෙන ගියා.

එතකොට මේ ආයතනය?

“ස්කෝප් සිනමාස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය. මෙය තමයි ලංකාවේ පළමුවැනි BOI සිනමා කම්පනිය. මෙහි අයිතිකරුවන් වන්නේ දැනට මමත් ලිබර්ටි ලෑන්ඩ්ස් පෞද්ගලික ආයතනය. කියන ආයතනයත් තමයි.”

චිත්‍රපට ප්‍රදර්ශනය කරන වේලාවන්?

“අපේ ශාලාවල සම්ප්‍රදායික වේලාවන් නොවෙයි ක්‍රියාත්මක වෙන්නේ. ඔබ පැමිණෙන ඕනෑම අවස්ථාවක අපට දර්ශන වාරයක් ඇතිවෙනවා පැය කාලෙන් කාලට වගේ. ඒ නිසා වැඩි වෙලා එළියේ බලා ඉන්න වන්නේ නෑ. තියටර් මැනේජ්මන්ට් සිස්ටම් එකෙන් ශාලා හයම යාමනය කරනවා.”

මේ සැලැස්ම හදන්න කලින් අධ්‍යයනයක් කළාද?

“ඔව් අපි ගියා සිංගප්පුරුවට, මැලේෂියාවට, සිනමා කෝන් ලොස් ඇන්ජලිස්වල බැලුවා. අපේ ගෘහ නිර්මාණ කළේ ඉන්දියාවේ ඊරා ආකිටෙක්ට්ස් කියන ආයතනය. ඉන්දියාවේ අයිනොක්ස්, පීවීආර් වගේ විශාල සිනමා ශාලා සංකීර්ණ නිර්මාණය කර තිබෙන්නේ ඔවුන්. අපේ රටේ ශිල්පීන්ට තවම මේ අත්දැකීම නෑ. එනිසා මෙතනින් පස්සේ ඔවුන්ටත් පුළුවන් වෙයි සිනමා ශාලා පිහිටුවිය යුතු ශිල්පක්‍රම හදාරන්න. ඉන් පසු අපි ඔවුන්ගේ සේවය ගන්නවා.”

ඒ කියන්නේ තව මල්ටිප්ලෙක්සස් හදන්න හිතනවා?

“අනිවාර්යයෙන්ම. හැව්ලොක් සිටි එකේ ලොව දැවැන්තම සිනමා තිරය සහිත අයිමැක්ස් (i-max)  ශාලාවකුත් හදනවා. එවගේ තව තැන් හතරක් කොළඹත්. කොළඹින් පිට තවත් එකකුත්, ඩුවල් ප්ලෙක්ස් කීපයක් රට පුරාම පිට පළාත්වලත් හදන්න තීරණය කරලා තිබෙන්නේ. ඒ පහසුකම් සියල්ල ඒ විදිහටම ඒ සියලුම ශාලාවලට ඇතුළත් වෙනවා.”

මේ මුළු තට්ටුවම ගත්තේ ඇයි?

“අපට ඕන යමෙක් චිත්‍රපටය බලලා පවුලත් සමඟ කෑම කාලා අවශ්‍යනම් ෂොපින් කරලා යන්න පුළුවන් විදිහට සපෙන්ඩ් ද ඩේ එකක් හැටියට ගත කරන්න ඉඩ සලසලා දෙන්නේ. අපට ඕන ඔවුන්ගේ ජීවන ශෛලියට ගැලපෙන විදිහට මෙහි පහසුකම් සපයන්න. අපි මේ තත්ත්වය ඇති කරන්න මිලියන 400කට වඩා වියදම් කර තිබෙනවා මේ ස්ථානයට පමණක්.”

සිනමා කර්මාන්තය අද මූණ දී තිබෙන තත්ත්වයත් එක්ක මෙය ඔරොත්තු දෙයිද?

“අපේ රටේ සහ මැලේෂියාවේ ජනගහනය සමානයි වගේ. අපට වඩා සිංගප්පුරුවේ ජනගහනය අඩුයි. ඒ්ත් විශාල මල්ටි ප්ලෙක්සස් තිබෙනවා. ප්‍රේක්ෂකයා සිනමා ශාලා ප්‍රතික්ෂේප කළේ පහසුකම් නැතිනිසා. ඒ තත්ත්වය වෙනස් කළොත් අලුතෙන් පිරිස එනවා.”

මේ පහසුකම් සල්ලි තියෙන අයට විතරක්ද කියලා හිතෙන්න පුළුවන්?

“ නෑ. අපේ තිබෙනවා පීක් අවර්ස් සහ ඕෆ් පීක් අවර්ස් කියලා. අඩු මිලකින් චිත්‍රපට බලන්න ඕෆ්පීක් අවර්ස්වලදි පුළුවන්. සියයට 40ක් පමණ අඩුවෙනවා ඒ වෙලාවට. මොකද අපිත් එහෙම ඇස් පිනවමින්, හිත රිදවාගනිමින් හිටපු කාලයක් තිබුණා. ඒ අත්දැකීම තමයි අපට මේ තීරණය ගන්න හේතු වුණේ. සතියේ දිනවල රෑ 7 විතර වෙනකල්ම ඔය ඕෆ් පීක් රේට් එකට බලන්න පුළුවන් දර්ශන වාර හදලා තිබෙනවා. එයින් අපි බලාපොරොත්තු වන්නේ තරුණ පරපුරට හොඳ චිත්‍රපට බලන්න අවස්ථාව හදලා දීම.”

එහෙම විස්තර කියා නිම කළ ස්කෝප් සිනමාස් ආයතනයේ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී තුෂාන් රංගන මීමනගේ අපේ සිනමාවේ අනාගතය ගැනද යම් අවදානම් ප්‍රකාශයක් කළා.

“මේ සිනමා කර්මාන්තයේ බෙදා හැරීම හැකි තරම් නිදහස් කරන්න ඕනා. අද අපේ රටේ ඉන්න දක්ෂ අධ්‍යක්ෂවරුන්ට නළු නිළියන්ට තමන්ගේ දක්ෂතා එළි දක්වන්න අවස්ථාව දෙන්න ඕන. එක එක පෝලම් හදාගෙන ඔවුන්ට සීමා පනවාගෙන ඉඳීම නිසා සිදු වන්නේ හොඳ චිත්‍රපටත් පෝලිමේ තියාගෙන පාඩු ලැබීමයි. ලංකාවේ විතරයි මේ වගේ ගතානුගතික ක්‍රමයක් තිබෙන්නේ. දකුණු ආසියාව ඇතුළු ලෝකේ කොහේ ගත්තත් දැඩි නීති තිබෙන පකිස්තානය ගත්තත් මේ වගේ ක්‍රමයක් නෑ. ඔවුන්ට යාමනයක් තිබෙනවා. ඒත් බෙදා හැරීම සම්පූර්ණ නිදහස්. එයින් තරගයක් ඇතිවෙලා හොඳ චිත්‍රපට එනවා වගේම කිසිම ගුණාත්මකබවක් නැති චිත්‍රපට ප්‍රතික්ෂේප වෙනවා. අපේ රට යන්නේ නිදහස් ආර්ථිකයක. ඉතින් කර්මාන්තය පමණක් සංවෘත කරන්නේ කොහොමද? අපි බලෙන් මජර චිත්‍රපට පෙන්වන්න ගත්තොත් අනෙක් භාෂාවල චිත්‍රපට ලංකාවේ ප්‍රදර්ශනය කරද්දී තව අවුරුදු පහකින් සිංහල සිනමාව ලංකාවේ නැතිව යයි.”

එහෙම කියලා ඔහු සරසවිය පුවත්පත සමඟ එකඟතාවකට ආවා. ඒ අපි අහන පැනයට නිවැරැදි පිළිතුර දෙන ප්‍රේක්ෂකයකුට මේ අනගි සිනමාහල් අත්දැකීම ලබා ගන්න නොමිලේ අවස්ථාව දීමට. ලබන සතියේ සිට ඔබත් සූදානම් වන්න ස්කෝප් සිනමාස් මල්ටිප්ලෙක්ස් අත්දැකීම සඳහා ටිකට්පත් දෙකක් නොමිලේ ලබාගන්න.