වර්ෂ 2018 ක්වූ  ජූනි 21 වැනිදා බ්‍රහස්පතින්දා




චරිතය Powerful ඉන්නේ මමම තමා Semini Iddamalgoda

චරිතය Powerful ඉන්නේ මමම තමා Semini Iddamalgoda

මෙරට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ පුරා දශක දෙකකට අධික කාලයක් ඇගේ රඟ සොබා දැක ගැනීමට ප්‍රේක්ෂකයින් වෙත අවස්ථාව හිමි වුණා. ඇගේ රංගන ජීවිතය දෙස ආපස්සට හැරී බලද්දී විවිධ කාන්තා චරිත ඇය ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට තිළිණ කළා. අවසන් වරට ඈ ටෙලි නාට්‍ය රංගනයකින් ප්‍රෙක්ෂකයින් හමු වූයේ සුදත් රෝහණ අධ්‍යක්ෂණය කළ ‘ස්වයංජාත’ ටෙලි නාට්‍යයෙන්. ඉන් පසු පුරා වසර 5 කට වැඩි කාලයක් ඇගේ නිහඬ බව බිඳිමින් දිග හැරෙන ‘මාද නුඹමය’ මේ දිනවල බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචර දිනා ගත්තක්.

‘මේ ටෙලි නාට්‍යය මට ලැබුණේ වසර 5 ක් කිසිම ටෙලි නාට්‍යයක රඟ නොප ඉන්න කාලෙක. ගිහාන් රෝහණ මට කතා කරලා මෙහෙම චරිතයක් තියෙනවා කරමුද කියලා ඇහුවා. ඒත් රචනය කියවන කොට මට තේරුණා මේ කියන කාන්තා චරිතය හරිම ර්‍ථධඹඥපටභත කියලා. මට හිතුණා මේ තුළ මට යමක් කරන්න තියෙනවා කියලා. ගැහැනියකටත් කළ නොහැකි දෙයක් නැහැ කියන එක මේ චරිතයෙන් ඔප්පු වෙනවා. මේ චරිතය තුළ තිබෙන ඒ ර්‍ථධඹඥපටභත කම නිසාම තමයි මම මේ චරිතය බාර ගත්තේ. මට හිතෙනවා ඔය ඉන්නේ මමම වෙන්න පුළුවන්’.

මේ චරිතය සැබැවින්ම නිළියකට අභියෝගයක්. මිනිසුන් සමඟ හරි හරියට ගහ ගන්න, බයිසිකල් පැද යන්න ඇතුළු බොහෝ දුෂ්කර කාර්යයන් සේමිණී ජය ගන්නේ පහසුවෙන්. වසර 5 - 6 ක් ගත වුවත් ඈ තමන් තෝරා ගන්නා චරිතය වෙනුවෙන් නිසි අයුරින් කැපවෙන තැනැත්තියක්. චරිතයට ආසාවක්, ආදරයක්, ළෙන්ගතුකමක් වේ නම් එය ඉටු කිරීමට කැපවීම නිළියකට අභියෝගයක් නොෙවිය යන්න ඈ හැමදාමත් ඇදහූ දෙයක්. මීට ප්‍රථම ඇය ‘ස්වයංජාත’ ටෙලි නාට්‍ය කරත්දී කළ කැප කිරීම බොහෝ දෙනෙක් දන්නා කරුණක්. වරක් ටෙලි නාට්‍යයක චරිතයක් වෙනුවෙන් ඇගේ හිස බූගෑමට පවා දෙවරක් නොසිතූ තැනැත්තියක්.

‘ටෙලි නාට්‍යයේ දර්ශන රූපගත කරද්දී තිර පිටපතට අනුව එක දිගට නෙවෙයිනේ දර්ශන රූපගත කරන්නේ. ඒ නිසා ඛ්ධදබඪදභබචර එක තියා ගන්න මාර විදිහට අමාරු වුණා. තිර පිටපත මම මුලින් හොඳට අධ්‍යයනය කළා. ඊට පස්සේ අධ්‍යක්ෂ ගිහාන් රෝහණත් සමඟ කළ සාකච්ඡා හා උපදෙස් මත ඒ චරිතය නිසි අයුරින් ඩිවලොප් කරන්න මට පුළුවන් වුණා.’

මේ ටෙලි නාට්‍යයේ සේමිණිට තිබූ ලොකුම අභියෝගය මෝටර් බයිසිකල් පැදගෙන යාමයි. මීට ප්‍රථම ඈ ටෙලි නාට්‍යයක් වෙනුවෙන් කාන්තාවන් පදින ස්කූටි වර්ගයේ මෝටර් බයිසිකලයක් පැද තිබුණ ද පිරිමින් පදින වර්ගයේ මෝටර් බයිසිකල් පැදගෙන යාමේ පළපුරුද්දක් නොතිබුණි. එහෙත් පුරුදු කාරියක මෙන් ඈ මෙහි බයිසිකල් පදී.

‘බයිසිකල් පදින එක ගැන කතා කරත්දි නම් මේ ටෙලි නාට්‍යයේ වැඩ කරපු අය හිටියා නම් කියයි මගේ බයිසිකල් පැදිල්ලේ තරම කොහොමද කියලා. බයිසිකලේ පදින්න මට පුරුදු කළේ අපේ මේක් අප් ආටිස්ට් ගයාන් මාපලගම. ඔහු විනාඩි 10 - 15 ක් එහෙට මෙහෙට මාව බයිසිකල් පදින විදිහ කියලා දුන්නා. හත් අට වතාවක් පදිද්දී ටිකක් විතර බයිසිකලේ බැලන්ස් කරගෙන යන්න පුළුවන් වුණා. මට ටිකක් බයත් හිතුණා. කැමරා එක පාස් වෙන කොටම වෙනම කට්ටියක් හිටියා මාව අල්ල ගන්න. කැමරා එක පාස් වෙන කොට මම ‘අල්ල ගන්න . . .’ කියලා කෑගහනවා. කැමරා එක ඉස්සරහදි මට බයක් දැනුණෙ නැහැ. සමහර අවස්ථාවලදී මට මතකයි මම පිටිපස්සේ මාව පන්නගෙන එන අය එනවද කියලත් ආපස්සට හැරිලා බලනවා. ඉස්සරහදි බය නැති වුණාට පස්සෙදි බයයි.’

ටෙලි නාට්‍ය නිළියක් විදියට සේමිණිට ලැබුණු සුවිශේෂී භාග්‍යය වුණේ විවිධ චරිත නිරූපණය කිරීමට ඇය ලද අවස්ථාව. ඇය කිසි විටෙකත් එකම ආකාරයේ චරිතයන්ට කොටුවීමට වග බලා නොගත්තියක්. විශේෂයෙන් එය ඇය විසින් චරිත තෝර බේරා ගැනීමෙන් ලද වරප්‍රසාදයක් ද විය හැකිය. පුංචි තිරයේ අවිහිංසක චරිත, ගැමි චරිත, පොහොසත් චරිත, දුප්පත් චරිත ඉතාමත්ම සැඩ පරුෂ නපුරු චරිත මෙකී නොකී ගුණාංගයන්ගෙන් යුත් චරිත ගොන්නක් ඈ සතු වෙයි.

‘මම තිරයේ අහිංසකාවිය වෙලත් නෑ, නපුරු ගැහැනිය වෙලත් නෑ. කිසි එකකට වෙන් වෙලා නෑ. එක තැනක හිර වෙන්න අවස්ථාව නොදී මට විවිධ චරිත හම්බ වුණා. ගොඩාක් දරුණු චරිතත් මම කරලා තියෙනවා. ඒවත් පේ‍්‍රක්ෂකයා අතරට ගියා. මම හිතන්නේ නිළියක් විදියට මම වාසනාවන්තයි. මට හොඳ චරිත ලැබුණා.

හොඳ චරිත ලැබුණු, හොඳට රඟපාන සේමිණි වගේ නිළියක් වසර 5 ක් වැනි කාලයක් ටෙලි නාට්‍ය කලාවෙන් ඈත් වී සිටීම එක අතකට අපරාධයක්. ප්‍රේක්ෂකයින්ට වුණත් කරන අසාධාරණයක්. එහෙත් එයට ඇයටත් සාධාරණ හේතු ඇති.

‘වසර 5 ක් වැනි දීර්ඝ කාලයක් ටෙලි නාට්‍යවලින් ඈත් වෙලා ඉන්න හේතු වුණේ ක්ෂේත්‍රය පිළිබඳ වන කලකිරීමකින් හෝ වෙනත් දෙයකින් නෙවේ. විශේෂයෙන්ම මෙගා නාට්‍යවලට යන්න මගේ කැමැත්තක් තිබුණේ නෑ. පසුගිය කලේ වැඩිපුර හැදුණේ ඒ නාට්‍යනේ. තිර රචනයක් කියවන්නේ නැතුව චරිතයේ ආරම්භයත් අවසානයත් නැතුව රඟපාන්න යන්න මම කොහොමත් කැමැත්තක් නෑ. ඒ හේතුව වගේම පසුගිය කාලේ මගේ දූ කුමලී ලොකු ළමයෙක් වුණාට පස්සේ මට හිතුණා මම එයත් එක්ක ඉන්න ඕන කියලා.

අවුරුදු 5 න් කළත් මේ වගේ එකක් කළොත් ඇති කියලා ලැබෙන ප්‍රතිචාරවලින් හිතෙනවා. මම මේ ක්ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුදු 20 ක් වෙනවා. තාමත් මම හොඳම නිළියවත්, ජනප්‍රිය නිළියවත් වෙලා නෑ. ටෙලිවිෂන් එකේවත්, සිනමාවේවත් මට තියෙන්නේ ප්‍රේක්ෂක සම්මානය විතරයි. වේදිකාවේ විතරයි හොඳම නිළිය වුණේ. නමුත් බොහෝ සම්මාන උලෙළවල නිර්දේශිත නාමයන් අතරට ඇවිත් තිබෙනවා. නමුත් මට ඒ ගැන කනගාටුවක් නෑ. අවුරුදු 5 ට පස්සේ ආවත් ප්‍රේක්ෂකයෝ ප්‍රතිචාර දක්වන්නේ ප්‍රේක්ෂක සම්මානය මට තියෙන නිසා.

සේමිණී මෙරට කලා මාධ්‍යයට පිවිසියේ ටෙලි නාට්‍ය ඔස්සේ වුව ද පසු කලෙක ඈ සිනමාවේ ද විවිධ චරිත නිරූපණයන්ට එක් වුණා.

මුල් යුගයේදීම ඈ සිනමාවේ දිගු ගමනකට ප්‍රවේශය සනිටුහන් කළ ද, ඈට සිනමාව තුළ ලැබුණු අවස්ථා සීමිත බවයි අපේ හැඟීම. විශේෂයෙන් මුල් යුගයේ ඈ උදයකාන්ත වර්ණසූරියගේ ‘යකඩ පිහාටු’ වැනි චිත්‍රපටයක නිරූපණය කළ කුඩා චරිතයක වුව ද දිගුකාලීන සිනමා ගමනක ලක්ෂණ ප්‍රකට කළ ද ඊට සාපේක්ෂව ලැබුණු අවස්ථා සීමාසහිත විය. එහෙත් පසුගිය කාලය තුළ ඇගේ සිනමා රංගනයේ සුවිශේෂතා හඳුනාගත් චිත්‍රපටයක් ලෙස ප්‍රසන්න ජයකොඩි ගේ ‘28’ චිත්‍රපටයත්, සනත් ගුණතිලකගේ ‘සිනහව අතරින්’ චිත්‍රපටයත් බොහෝ දෙනාගේ කතාබහට ලක් විය.

‘මම විශ්වාස කරනවා මට සිනමාවේ වැඩි ඉඩක් ලැබුණේ නෑ කියලා. නමුත් වාණිජ චිත්‍රපට වගේම කලාත්මක චිත්‍රපටවලටත් දායක වෙන්න මට අවස්ථව ලැබුණා. සිනහව අතරින් සහ 28 වගේ චිත්‍රපටවලින් හොඳම නිළියට නිර්දේශිත නාමයන් අතරට පවා එන්න මට හැකි වුණා. සම්මාන ලැබෙනවානම් හොඳයි. ඒක මේ ගමනට ලොකු ධෛර්යයක්, ශක්තියක්. නමුත් නොලැබුණා කියලා මගේ ලොකු කම්පාවකුත් නෑ.’

සේමිණි නම් නිළිය ඇතුළත සිටිනා ගැහැනිය ඇය රඟපෑ චරිත තරම්ම ප්‍රබල ගැහැනියකි. ඇගේ ජීවිතේ පළමු තැන නිවෙසය. පවුලය. කුමලීට ඈ ආදරණීය අම්මා කෙනෙකි. ධම්මිකට සෙනෙහෙබර බිරියකි. නිළි ජීවිතයත් පවුල් ජීවිතයත් සුරැකිව තබාගෙන එක් මඟක යාම එක්තරා ආකරයක අසීරු ගමනකි. ඒ අසීරු ගමන ඈ පුරා විසි වසරකට වැඩි කාලයක් දැන් ගතකොට හමාරය. ඈ කලාවට පිවිසෙත්දී විවාහක ගැහැනියකි. එදා සිට මේ දක්වා අඹු සැමියන් අතර වූ අවබෝධය, ඉවසීම, කැපවීම සාර්ථක විවාහ දිවියකට සවිබල පදනම බව ඈ විශ්වාස කරන්නීය.

‘ධම්මිකගෙන් ලොකු සහයෝගයක් මට එදා ඉඳලම ලැබුණා. එයා වගේ කෙනෙක් නොලැබුණා නම් කලා ජීවිතේ මේ තරම් දුරක් මට එන්න ලැබෙන්නේ නෑ. කුමලිගෙන් වුණත් මට ලොකු කරදරයක් තිබුණේ නෑ. එයා හැමදේම මගෙන් යැපෙන්න බලා සිටින දරුවෙක් නොවෙයි. තමන්ගේ දේවල් ටික තමන් කර ගන්න නිදහස් දරුවෙක්. ඒ නිසා ගෙදරින් මට ලොකු මානසික නිදහසක් තියෙනවා කලා ජීවිතේ ගෙනියන්න. කුමලි දැන් තේරුම් බේරුම් තියෙන ළමයෙක් නිසා එයා සමහර දේවල් විවේචනය කරන අවස්ථාත් තියෙනවා. ධම්මිකත් එහෙමයි. මගේ අඩුපාඩුවක් තියෙනවා නම් ඒකත් කියනවා. කලා ජීවිතේත්, පවුල් ජීවිතේත් නොනැසී පවතින්න එකම හේතුව ධම්මික. ඔහුගේ තිබෙන ඉවසීම, කැපවීම, සහයෝගය තමයි. ඔහු වගේ සැමියෙක් ලබන්න මම වාසනාවන්තයි. එක එක අයට එක එක දේවල් ලැබෙන්නේ තමන් පෙර කරපු පින් අනුව. ධම්මික වගේ කෙනෙක් ලබන්න මමත් පින් කරලා ඇති.

සිනමාවේ මට අවස්ථා ලැබුණා නම් මීට වඩා දුරක් යන්න තිබුණා තමයි. නමුත් ලැබුණු අවස්ථා ගැන මම සතුටුයි. අනිත් පැත්තෙන් මම වෘත්තීය නිළියක් කියලා කියන්න දැන් අපිට කර්මාන්තයත් නෑනේ. ඉඳල හිටලා තමයි ටෙලි නාට්‍යයක් කරන්නේ. ඉඳහිටලා තමයි චිත්‍රපටයක් කරන්නේ. පහුගිය කාලේ කරපු චිත්‍රපට දෙකක් තව එන්න තිබෙනවා. අලුතින් චිත්‍රපටයක් කරන්න සාකච්ඡා මට්ටමේ පසුවනවා. මේ අතරතුර ගෙවන කාලය මම ජීවිතේ විඳිනවා. නිළියක් විදියට ඇඟ තියාගන්න ඕන කියලා හැමදාම ඩයට් කර කර ඉන්නේ නෑ. මම කනවා, බොනවා, විනෝද වෙනවා. මොනවා හරි චරිතයක් කරන්න වුණාම තමයි මම ඇඟේ හැඩේ හදාගන්න උනන්දු වෙන්නේ. එහෙම නැතුව හැමදාම සලාද කොලේ කකා ජීවත් වෙන්නේ නෑ. අවශ්‍ය වුණාම ඩයට් කරලා එක්සසයිස් කරලා අවශ්‍ය විදියට ඇඟ හදා ගන්නවා. හැම දේටම බලපාන්නේ සිත. හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ.