වර්ෂ 2018 ක්වූ  ජූනි 21 වැනිදා බ්‍රහස්පතින්දා




මගේ වෑයම ඉහළම දේ දීමයි

මගේ වෑයම ඉහළම දේ දීමයි

දංකුඩ බණ්ඩා නිෂ්පාදිකා

මාලතී විජයසිංහ

ගම්බද ජිවිතය සුන්දරය. එලෙස කර්කශය. විපරිත වූ නාගරිකකරණය හමුවේ නගරයේ වෙසෙන බොහෝ දෙනා අත්විඳින සුකුරුත්තම් හා ආටක නාටක ගැමියන්ගේ ජීවිතවලින් බොහෝ ඈතය. ඒ න්‍යාය පෙර මෙන්ම අදටත් එලෙසම වලංගු වුව ද. ගමක සුන්දරත්වය, ගැමි ජීවන චර්යාවන් ඔවුන්ගේ හැකියාවන් මෙන්ම දක්ෂතා පරයන්නට නගරය තවමත් අපොහොසත්ය. එවන් පසුබිමක සිට දරුවන්ගේ නොකිලිටි හදවත් තුළට ආමන්ත්‍රණය කරන 'දංකුඩ බණ්ඩා' ටෙලි වෘත්තාන්තය එකී ගම්බද අසිරිය මෙන්ම ගම්වල වෙසෙන දරුවන්ගේ හැකියාවන් ගම තුළම මැකී යන්නට නොදී නගරයට රැගෙන එන සුන්දර වෑයමකි.

මේ එහි නිෂ්පාදිකා මාලතී විජයසිංහ අප හමු වූ මොහොතේ ඇය සමඟ කළ පිළිසදරකි.

'දංකුඩ බණ්ඩා' පිළිබඳ අපි කොතැනින්ද පටන් ගන්නේ?

ගමෙන්ම පටන් ගනිමු. මොකද මමත් ගමෙන් පැමිණි කෙනෙක්. ගමට තියෙන ඒ සබැඳියාවත් එක්ක මට අවශ්‍ය වුණා යම් නිර්මාණයක් හරහා ගැමි සුන්දරත්වය මෙන්ම ගමේ වෙසෙන බොහෝ දක්ෂතා ඇති එමෙන්ම ඒ දක්ෂතාවලට වේදිකාවක් නැති දරුවන්ව ඉදිරියට ගෙන එන්න. ඒ අවශ්‍යතාවය මූලික කරගෙන තමයි 'දංකුඩ බණ්ඩා' බිහි වෙන්නේ.

ඔබේ කුඩා අවධිය පිළිබඳවත් කියමු?

මගේ ගම පොළොන්නරුව. මගේ අම්මත් තාත්තත් සමග මම හැදුණේ වැඩුණේ ඒ ප්‍රදේශයේ. පාසල් ගියේ පොළොන්නරුව ආනන්ද බාලිකා විද්‍යාලයට.

කලාවට සම්බන්ධ වුණේත් ඒ අවධියේමයි?

කලාවටම කියලා නොවයි. පොඩි දවස්වල ඉඳලම මට අවශ්‍යතාවයක් තිබුණා කිසිවකු නොකළ දෙයක් කරන්න. මම හැමදාමත් එවන් අපේක්ෂාවන් සමඟ ජිවත් වන කෙනෙක්. ඒ අවශ්‍යතාවය තමයි අද මාව මෙතැන රඳවලා තියෙන්නේ.

ඒ කාලයෙත් ඔබ නිර්මාණ සඳහා දායක වුණා?

වෙනස් දෙයක් මම නිතරම කළත්, ජනප්‍රිය නිර්මාණ සඳහා දායකවිමේ පදනම සැකසුණේ මගේ විවාහයෙන් පසුවයි.

ඔබ නිෂ්පාදන දායකත්වය ලබා දෙන සෑම නිර්මාණයක් තුළින්ම ගමට සෙතක් සලසන්නට උත්සාහ දරනවා?

ඇත්තෙන්ම ඔව්. මෙම නිර්මාණය 'දංකුඩ බණ්ඩා' ගත්තත් එහෙමයි. මෙහි සම්පූර්ණ රූගත කිරීම් සිදු වුණේ කොළඹින් බොහෝ ඈත පිහිටි පොළොන්නරුව ප්‍රදේශයේ. ඒ නිසාම මෙහි නිෂ්පාදන වියදම් සාපේක්ෂව ඉහළයි. ඒ හැරුණු විට 'දංකුඩ බණ්ඩා' හි රඟන කුඩා දරුවන් අතර කොළඹ ජීවත්වන දරුවන් ටික දෙනයි. සෙසු සියලු දෙනාම පාහේ මහිංගනනය, ගාල්ල, පොළොන්නරුව වැනි ප්‍රදේශවලින් තමයි සොයා ගත්තේ.

මීට ප්‍රථමයෙන් කළ නිර්මාණත් එලෙසමයි?

මීට ප්‍රථමයෙන් සිරස නාළිකාව සඳහා කළ 'බෝධි' ටෙලි නාට්‍යය සඳහාත් දරුවන් තෝරා ගත්තේ දඹුල්ල ප්‍රදේශයෙන්.

ඒ දරුවන්ගේ හැකියාවන් ඔබ පරීක්ෂාවට ලක් කළා?

ඔව්. ඇත්තටම හැකියාව ඇති දරුවන් සොයගෙන බොහෝ දුර පළාත්වල ගිහින් තමයි අපි මේ දරුවන්ව තෝරා ගත්තේ.

ඒ කියන්නේ 'දංකුඩ බණ්ඩා' බොහෝ දුෂ්කරතා මැද බිහි වූ නිර්මාණයක්?

ඔව්. බොහෝ නිෂ්පාදකයින් නිෂ්පාදන වියදම් හේතුවෙන් කොළඹින් පිටත රූගත කිරීම් සඳහා ඉදිරිපත් වෙනවා අඩුයි. කෙසේ වෙතත් මට දැඩිව අවශ්‍ය වුණා විකාශය වන සෑම දිනකදීම දරුවන් සඳහා කුමක් හෝ වැදගත් පණිවුඩයක් දිය හැකි අයුරින් 'දංකුඩ බණ්ඩා' නිර්මාණය කරන්න. ඒ වෙනුවෙන් වියදම් පාර්ශවය ඇතුළුව අනෙකුත් සියලු දේ මා අමතක කළා. ඒ වෑයම සාර්ථක බවට අද සමාජ වෙබ් අඩවි පවා සාක්ෂි දරනවා.

'දංකුඩ බණ්ඩා' නිර්මාණය කෙරෙන අතරමඟදී ඔබ වෙනත් අධ්‍යක්ෂවරයෙකු වෙත යොමු වෙනවා?

ඔව්. ඇත්තටම උසස් මට්ටමේ නිර්මාණයක් ප්‍රේක්ෂකයා වෙත ගෙන ඒමට නම් ඊට සම්බන්ධ වන සියලු දෙනා සාමුහකිව ක්‍රියා කළ යුතුයි කියලයි මම හිතන්නේ. 'දංකුඩ බණ්ඩා' වුණත් එලෙසමයි. මෙහි සෑම දර්ශනයක්ම රූගත කිරීමේදීම ඉහළම දේ ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කිරීම වෙනුවෙන් ඒ සාමුහිකත්වය මට ඉතාම වැදගත් වුණා. සාමුහිකත්වය බිඳ වැටිම හමුවේ නිර්මාණයට යම් අගතියක් වෙනවා නම් එවන් තීරණයකට යොමුවීමට පවා කිසිදු මොහොතක මම පසුබට වන්නේ නෑ.

ඔබ මේ වන විට පූර්ණකාලීනව මෙම නිෂ්පාදන කටයුතුවලට දායකත්වය ලබා දෙනවා?

ඇත්තටම පූරණකාලීනව මේ සඳහා නියැලෙන්නට පටන් ගත්තේ මගේ දයාබර ස්වාමි පුරුෂයාගේ වියෝවත් සමඟයි. එතැන් පටන් මේ දක්වා මම නිෂ්පාදන ආයතනයත් පවත්වාගෙන යමින්, ගුණාත්මක නිර්මාණ ප්‍රේ්ක්ෂකයා වෙත ගෙන ඒමට දායක වෙනවා.

මේ කටයුතු සඳහා ඔබට ගෙදරින් ලැබෙන්නේ කුමන අන්දමේ සහයෝගයක්ද?

මගේ මව, පියා මෙන්ම දරුවන් දෙදෙනා මට ඒ වෙනුවෙන් ලබා දෙන සහයෝගගය අසිමිතයි.

ඒ හැරුණු විට ඔබේ මේ ගමනට අත්වැලක් සැපයූ තවත් බොහෝ දෙනා ඇති?

ඔව්. සිරස ආයතනයේ නීඩ්‍රා වීරසිංහ, සුසාර දිනාල්, තාරක මොහොට්ටි යන මහත්ම මහත්මීන් මම විශේෂයෙන් සිහිපත් කරන අතරම මෙතෙක් සෑම නිර්මාණයකදීම මාත් සමඟ සහයෝගයෙන් කටයුතු කළ සියලුම දෙනාටත් ස්තුති කරන්නට මම මේක අවස්ථාවක් කර ගන්නවා.

ඔබ නිෂ්පාදන දායකත්වය ලබා දෙන ඊළඟ නිර්මාණ කෙබඳු වූවක්ද?

එය තවම සාකච්ඡා මට්ටමේ පවතින්නේ. කෙසේ වෙතත් ජනප්‍රිය කෘතියකට දායකවන්නට ලැබෙන බවට විශ්වාසයක් මා තුළ තියෙනවා. පසුවට ඒ පිළිබඳ දැනගන්නට ලැබේවි.

නිර්මාණයකට දායකවීමේදී එහි මූල්‍යමය පාර්ශවය පිළිබඳව ඔබ දරන්නේ කුමන ආකල්පයක්ද?

යම් නිර්මාණයක ගුණාත්මක පැත්ත පිළිබඳ සැලකීමේදී ඒ සඳහා අවශ්‍ය මුදල නො ලැබිම මත නිර්මාණයට හානියක් වෙනවා නම් නිෂ්පාදකගේ වගකීම හරි හැටි ඉටු වී නොමැති බවයි මම විශ්වාස කරන්නේ.

ක්ෂේත්‍රය තුළ අනාගතයේ යම් තැනක් පිළිබඳ ඔබටත් සිහිනයක් ඇති?

අනිවාර්යනේම ජනප්‍රිය ළමා ටෙලි නාට්‍ය නිෂ්පාදිකාව වන්නට සිහිනයක් මා තුළ තිබෙනවා මෙන්ම ඒ සඳහා මම කැප වී ක්‍රියා කරනවා.