වර්ෂ 2018 ක්වූ  ජූනි 21 වැනිදා බ්‍රහස්පතින්දා




ඔබයි ඒ රුව සෙනෙහෙලතාවිය මාලිනී ගැන ලියූ ගීයක්

ඔබයි ඒ රුව සෙනෙහෙලතාවිය මාලිනී ගැන ලියූ ගීයක්

උපේන්ද්‍ර දිනේෂ් විජේසිංහ

 

හිරු කෙමෙන් අවරට යන්න සූදානමින් සිටියේය. නිසංසල අහස ගෙන තිබුණේ තඹ පැහැයකි. තව සුළු මොහොතකින් ගොම්මන් කළුවර පොළව සිප ගනු ඇත. මේ පාරිසරික වෙනස්කම් සිය කලාකාමී සිතින් විඳිනා තරුණයෙකි. ඔහුට එදින පැහැබර අහස පෙනුණේ පැහැදිලි වූ රිදී තිරයක් පරිද්දෙනි. එතුළින් මැවී ආ රුව ද ඔහුව පුදුමයට පත් කරලීය.

තමන් පුංචි සංදියේ සිට නැරැඹූ චිත්‍රපටයන්හි ප්‍රධාන චරිත මැවූ මාලිනිය පෙරඹර අහස් කුස තුළින් ඔහුට පෙනිණි. ඇගේ සොඳුරු රුව අහස සිසාරා සිතුවම් වූයේ සිතුවම් පටයක පරිද්දෙන්ය. ක්ෂණයකින් පෑනක් සහ කොළයක් සොය ගත් තරුණයා අප රිදී තිරයේ රැජන හෙවත් මාලිනිය ගැන තමන්ට දැනෙන දේ ලියන්නට පටන් ගත්තේය.

එය අවසනදී පේළි දොළහකින් සමන්විත විය. මේ වන විට එම තරුණයාගේ සිතැඟි ගීතයක් බවට පත් වී ඇත. එය තව නොබෝ දිනකින් එළි දැක්වීමට නියමිතය. මේ කතාව ඊළඟට සම්බන්ධ වන්නේ එකී තරුණයා වෙතටය. උපේන්ද්‍ර දිනේෂ් විජේසිංහ ලෙසට මම ඔහුව ඔබට හඳුන්වා දෙමි. අහන්න ඔහුගෙන් මෙහි ඉතිරි කොටස.

මාලිනී ෆොන්සේකා කියන්නේ අපගේ නිළි රැජින. ඒකේ වාදයක් නැහැ. මං ඇගේ සිනමා සිතුවම් බොහාමයක් නරඹලා තිබුණා. ඇයගේ රුව අපේ සිනමාව හා කොතරම් බද්ධ වෙලා තියෙනවාද කියන එක ගැන නම් කියන්න වචන නැහැ.

මාලිනී මහත්මියගේ සිනමා දිවියට වසර පනහක් සපිරුණා. එච්චර කලක් සිනමාවේ හිටියත් ඇය පොඩ්ඩක්වත් ආඩම්බරකාර චරිතයක් වුණේ නැහැ. නිහතමානීකම ඉහටත් උඩින්. මේ මේ කරුණු කාරණා මත මට ඇය වෙනුවෙන් ගීතයක් ලියන්න හිතුණා. රන් රුවක් දෝ මා දුටුවේ යනුවෙන් ආරම්භ කරමින් මං ගීතය ලියන්නට පටන් ගත්තා. බොහොම අපූරුවට ඒ පැදි පෙළ ලිය වුණා.

ගීතය කිව්වේ මිලාන් සුරේෂ්. තනුවත් එයාගේ. මහින්ද බණ්ඩාර මහත්මයා තමයි සංගීතය නිර්මාණය කළේ. මේ ගීතය හදලා මං මාලිනී මහත්මියට අහන්න සැලැස්වුවා. ඇය මට දුරකතනයෙන් කතා කරලා සෑහෙන්න අගය කළා. ඒ විතරක් නෙවෙයි දිරිමත් කළා. සම්මාන පන්සීයක් ගත්තටත් වඩා වැඩි සතුටක් මා ඉන් ලැබුවා. මේක මගේ තෙවැනි ගීතය.

මා ලියූ පළමු ගීතය ගැයුවේ චන්ද්‍රිකා සිරිවර්ධන. මගෙ හිරු සඳු ලෙසටයි එය නම් කළේ. දෙවැනි ගීතය නිර්මලා රණතුංග විසින් ගැයුවා. වර්තමානය වන විට මා විදුලි බල මණ්ඩලයේ සේවය කරනවා. මිනුවන්ගොඩ හීනටියන ගමේ තමයි මං පදිංචි වෙලා ඉන්නේ. ඉදිරියේදී මෙම ගීතයට රූප රචනාවක් කරන්නටත් මං බලාපොරොත්තු වෙනවා. හරවත් ගීත ලියමින් ක්ෂේත්‍රයට නිර්මාණශීලී වැඩක් කරන්නයි මගේ වුවමනාව.

මාලිනිය වෙනුවෙන් ලියූ ගීතයේ පදමාලාව:

රන් රුවක් දෝ මා දුටුවේ

සිතුවමක් දෝ මා දුටුවේ

සිහිනයක් දෝ මා දුටුවේ

ඔබෙයි ඒ රුව සෙනෙහෙලතාවිය

මාලිනියේ

කලා අඹරේ තරු අරා

සුපුන් සඳ සේ පායලා

සිනාසෙයි ඔබ හද පුරා

සෙනෙහෙ කුසුමන් සුනිල නෙතු

අග දල්වලා

යුගෙන් යුගයට හද රැඳි

නුඹේ රැඟුමන් මන බඳි

සදා නොමියෙන රුවැති මනහර

රිදී තිරයේ ඔබයි රැජනිය

මාලිනියේ