වර්ෂ 2018 ක්වූ  ජූනි 21 වැනිදා බ්‍රහස්පතින්දා




නිශ්ශංක රෑ මල්ල

ඇතුවත් බෑ නැතුවත් බෑ

සුරේෂ් ගමගේ සහ ෂෙහාරා ජයවීර පසුගිය කාලයේ සිටියේ රංගනයෙන් ඈත් වෙලාය. මොවුන් දෙදෙනාම නැටුමට ගැයුමට රංගනයට එක සේ දක්ෂයින්ය. සුරේෂ් ගමගේ පසුගිය කාලයේ රූපවාහිනී නාළිකාවල බාරදුර වැඩවලට හා ගීත රූප රචනාවලට සම්බන්ධ වී කාලය කැප කළහ. ෂෙහාරා රංගනයෙන් දුරස් වී නිෂ්පාදන කටයුතුවලට සම්බන්ධ වූහ. මේ වෙනස්වීම් කෙසේ වුවත් ඔවුන් දෙදෙනා එක්ව රංගනයෙන් දායක වූ එරංග සේනාරත්නගේ ඇතුවත් බෑ නැතුවත් බෑ සිනමාපටයේ දර්ශන තලයේදී යළි හමු වූහ. මේ සොඳුරු සේයා රුව මියුරු ගීතයක රිද්මයට නටන අයුරු මා කාචයේ සටහන් කරගත් මොහොතයි.


තුන් ඇදුතු කතාවක්

එක ලෙසම අංශ ගණනාවකට දක්ෂතාවයක් පෙන්වන තිදෙනකු පසුගිය දවසක මගේ කැමරා කාචයේ සටහන් කර ගන්නට හැකි විය. ඒ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදීය. අනූෂා දමයන්ති, කුමාරි මුණසිංහ, දමිතා අබේරත්න යන තිදෙනා එකට හමු වන්නේද කලාතුරකිනි. නැටුමට, ගැයුමට, රංගනයට එක ලෙස ප්‍රේක්ෂකයා වැලඳ ගත් මේ තිදෙනා කලාකරුවන් වෙනුවෙන් එක ලෙස සැපේදිත් දුකේදිත් සිටින මුහුණුය. මේත් එවැනිම ගෙවූ දවසක් වූ විජය කුමාරතුංගයන් අනුස්මරණය කළ දවසයි.


ඔන්න ඔහොමලු උණේ

දුලීකා මාරපන සහ දීපානි සිල්වා අපේ කලා ක්ෂේත්‍රයේ ගජ මිතුරියන්ය. දක්ෂ රංගනවේදිනියන්ය. මේ දෙදෙනාගේ ඒ කතාබහ අලුත් රංගනයකට මුල පිරීමක්ය.


ගජමෑන්ගේ ගජ මිතුරෝ

සරසවියෙන් ඇරැඹි කැමිලස්ගේ ගජමෑන් ළඟදීම රිදී තිරයට එයි. ත්‍රිමාන චිත්‍රපටයක් හැටියටය. ඒ චානක පෙරේරාගේ අධ්‍යක්ෂණයකි. තිර පිටපත ලිව්වේ සුනෙත් චිත්‍රානන්දත්, ගාමින්ද පියවිරාජ් හෙවත් පොඩි මල්ලී සහ චූටි මල්ලී අතිනි. මෙහි සියලු වැඩ කටයුතු පසුගිය දින නිම වී පූර්ව ප්‍රචාරකපටය ද එළි දැක්විණි. ඉන් පසු මොවුන් දෙදෙනා පාරේ යන විට ගජමෑන්ලා එනවා යනුවෙන් කීමට අමතක නොකළහ. පොඩි මල්ලී හා චූටි මල්ලී සමඟ ගජමෑන්ගේ සහපිරිවර මගෝඩිස්, ලපයා, සිරිබිරිස්, සුවිටි, දොං සේතං, දැක්කොත් පද්මාවතී ඒ සමඟම ළඟදීම රිදී තිරයේ දැකගන්නට ලැබෙන බවයි චූටි මල්ලිත්, පොඩි මල්ලිත් සඳහන් කළේ.


හෙට මොනවා වෙයිද?

දක්ෂයින් හමුවන තැන් හා ඔවුන්ගේ කලා ලෝකයේ තොරතුරු කතා කරන අවස්ථාව උදා කරගන්න අවස්ථා ඉතා විරලය. ඒ කුමන හෝ අධ්‍යක්ෂවරයකුගේ අලුත් සිනමාපටයක මංගල දර්ශනයට එන්නට මේ සියලු දෙනා අමතක නොකරයි. චිත්‍රපට නිෂ්පාදක අතුල මහවලගේ, සී.ඊ,එල් මණ්ඩලයේ ප්‍රචාරක කළමණාකරු තුසිත ද සිල්වා, චිත්‍රපට නිෂ්පාදක විධායක නිහාල් සංජය පසුගිය දිනක හමු වූවේය. ඒ කොළඹ රීගල් සිනමා ශාලාවේදීය. කලාවේ විවිධ ඉසව්වල සැරිසරන මේ සිව් දෙනා හමුවන හැම විටම කතාබහ කරනුයේ ඔවුන්ගේ කලා විෂය පථයේ විවිධ පැතිකඩ ගැනයි. මේ අද කතා කරන්නේ නම් එයට හාත්පසම වෙනස් දෙයකි. එයට හේතු වූයේ තුසිත ද සිල්වා මොවුන් සමඟ රැඳී සිටීම නිසාය. මේ කතා කරන්නේ ඊළඟට එන චිත්‍රපට ගැනද?


රොන් සොයා පියඹන සමනළයකු සේ

පසුගිය දවස්වල වස්සානය සඳ පෑව්වේය. මල් සොයා පියඹන සමනලුන්ට මෙන් අනුජ්ට ද මල් සොයා පියඹන්නට වස්සානයේ ඉඩ තිබිණි. පියුමි හංසමාලා සහ ඕෂධී හිමාෂා යන දෙදෙනාම ඔහුට චිත්‍රපටයේ ආදරය කළ පෙම්වතියන්ය. දෙදනකුට ආදරය කළ ඔහුට ආදරය සරදම් කළහ. දෙදෙනාම නැති වුණු අනුජ්ට නැවත රීගල් සිනමා ශාලාවේදී වස්සානයේ සඳ පෑයූ දින නැවත හමු විය. එහිදි පියුමිත් ඕෂධීත් අනුජ්ව අයිති කරගන්නට දැරූවේ මෙසේයි.