සරසවිය සවිය ගොඩනගනු පිණිස

මහලු විය යනු ජීවිතය පිළිබඳ ආපසු හැරී බලන්නට සිත්දෙන කාලයක් වුවද ඒ වනවිට එය අනේක විධි රෝග පීඩා වන්ගේ ද ඇතැම් විටක විවිධ ආර්ථික පීඩාවන්ගෙන් ද පීඩා විඳීන බව ඇත්ත ය. එහෙත් මේ සමඟ එළැඹෙන තනිකම පිළිබඳ කිසිවකුගේ අවධානය යොමු වී ඇත්දැයි මම නොදනිමි.

පසුගිය දවසක අපේ ඇස් ඒ දෙස යොමු කළේ ප්‍රවීණ සිනමාවේදී ඩී.බී.නිහාල්සිංහයන් ය. ඒ පසුගිය සතියේ අඟහරුවාදා සවස ලේක් හවුස් මන්දිරයේ පැවැත් වූ හමුවකදී ය .

‘ සරසවිය සවිය’ට මුල පිරුනදා රුස්ව සිටි සම්භාවනීය පිරිසෙන් කොටසක්

මේ හමුව ආයතනයේ ගරු සභාපති ජ්‍යෙෂ්ට මාධ්‍යවේදී බන්දුල පද්ම කුමාර මහතාණන්ගේ ආරාධනයෙන් සහ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ට මාධ්‍යවේදී සීලරත්න සෙනරත් මහතාණන්ගේ මග පෙන්වීම යටතේ සිදු කෙරුණකි.

ඒ සඳහා අග්‍රගණ්‍ය රංගධර රවීන්ද්‍ර රන්දෙනිය, ටවර් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ඩග්ලස් සිරිවර්ධන, චිත්‍රපට සංස්ථාවේ සභාපති නීතිඥ අශෝක සේරසිංහ, මාතා චිත්‍රපටයේ නිෂ්පාදක රුවන් ජයසිංහ ඇතුළු කලා හිතෛෂින් කිහිප දෙනෙක්ම සහභාගි වූහ. මේ හමුව සමඟ මුල පිරුවේ සරසවිය ‘සවිය’ටයි.

සරසවිය ‘සවිය’ බිහි වනුයේ මෙරට කලාකරුවන්ගේ වයෝවෘධ භාවයත් සමඟ ඇති වන විවිධ දුෂ්කරතාවල දී පිහිටවීම අරමුණ කොටගෙන ය.

මෙරට කලාකරුවන් ගේ සුබ සාධනය උදෙසා විවිධ සංවිධාන පිහිටිය ද සරසවිය මේ හැම කටයුත්තක් සමඟම පෑහි කටයුතු කළේ ය. එහෙත් එපමණක් පමණක් ප්‍රයෝජනවත් වන්නේ නැත. සරසවිය ‘සවිය’ බිහි වනුයේ එහි ප්‍රතිඵලයක් හැටියට ය.

මෙරට බොහෝ කලාකරුවන් සිය ජීවිතයේ වයෝවෘද්ධ භාවයට පැමිණීමත් සමඟ කායික සවියෙන් මෙන්ම ආර්ථික අතින් ද දුබලයෝ බවට පත්වෙති. මේ සමඟ ලද ජනප්‍රියත්වය ද හෙමින් සීරුවේ පෑළ දොරින් පළා යති. එය සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය වුවද කලාකරුවන් අරභයා එය විශේෂයක් වනුයේ ඔවුන් සිය ජීවිත කාලය ඇතුළත බොහෝ මිනිසුන් සමඟ ගැවසුණ බැවිනි.

මිනිසුන්ගේ නොමඳ ආදරයට ඔවුන් බඳුන් ව ඇති බැවිනි. එයටත් වඩා කලාකරුවන් යනු සියුම් හැඟිමෙන් යුක්ත වූවන් බැවින් ඉතා ඉක්මනින් දෙවරක් නොසිතාම හිත පළුදු කර ගන්නා හෙයිනි. එබැවින් ඔවුන් සඳහා පිළිසරණ වීමට තවත් සංවිධාන අවශ්‍ය තිබේ.

මෙහිදී නිහාල්සිංහයන් අප ගේ අවධානය යොමු කළ කාරණය නළු නිළියන් ඇතුළු කලාකරුවන් කෙරෙහි පමණක් නොව සමස්ත වැඩිහිටි ප්‍රජාව කෙරෙහිම බලපාන සනාතන දහමකි. මේ අතරින් ඇතැමෙකු ආර්ථික අතින් සවිමත් විය හැක. එහෙත් ජීවිතය යනු ආර්ථිකයම නොවේ.

අනිත් අතට ඇතැම් කලාකරුවන් අතර සමහරු කිසියම් හෝ ආයතනයක් මගින් ආර්ථික පිළිසරණක් ලැබුව ද සමහරු සිය ආත්ම අභිමානය නිසාම තම දුක් ගැනවිලි නොපවසති. මා විශ්වාස කරන අන්දමට එලෙස සිය දුක් ගැනවිලි කියන සංඛ්‍යාව නොපවසන සංඛ්‍යාවක් සමඟ සැසඳූ කල සුළු තරයකි. එහෙත් ඔවුන ට අවශ්‍ය කිසිවකු හෝ ඔවුන් ට සවන් දෙනවා නම් ය.

සිංහල සිනමාවේ කලක් අතිශය ජනප්‍රියව සිට මිය ගිය සහ ජීවත් වන කලාකරුවන් කිහිප දෙනෙකු ගේ ජීවිත දෙස හැරී බැලූ විට මේ තනිකම, පාළුව ඔවුන් වටා රොක්ව සිටි අයුරු පැහැදිලිව හඳුනා ගත හැක. ඒ අත්දැකීම් මටත් තිබුණ ද ඔවුන් එසේ හැසිරෙනුයේ මේ තනිකම, පාළුව සමඟ යැයි එදා නිහාල්සිංහයන් අප කාටත් පැහැදිලි කර දුන්නේය.

අතීතයේ ඔවුන් ජීවත් වූයේ සහපිරිවර වටකොට ගෙන ය. එම ජනප්‍රියත්වය සමඟ ඔහු වටා සිටින බොහෝදෙනා කාලය සමඟ ඔහු අතහැර යති.

එවිට ඉතිරි වන තනිකම ද, පාළුව ද ඉහිලිය නොහැකි එකක් බවට පත්වනු ඇත. අනේ අපට සලකන්නේ නෑ යන මැසිවිල්ල ඔවුන් වෙතින් ගලා යනුයේ නිරායාසයෙනි. එහෙත් ඇත්ත නම් එයට ද සාධාරණ හේතු ඇත්තේ ය. එය ලෝකයේ පොදු ධර්මතාවයක් බැවිනි. මේ ධර්මය වටහා ගන්නට ඔවුන් අපොහොසත් ය. එලෙස ඔවුන්ට එය වටහා දීම ද අසීරු ය. මම මේ ඇතැම් කලාකරුවකු ගෙන් වරින් වර දුරකතනයෙන් හෝ දුක සැප විමසීමට අමතක නොකළෙමි. සතියක් දෙකක් ගත වූ තැන මගේ දුරකතන ඇමතුමක් නැති තැන විස්සෝප වන වයෝවෘධ කලාකරුවන් කිහිප දෙනෙකු ම ඇත්තේ ය. මේ ඇතැමෙකු ආර්ථික අතින් පොහොසත්ය.

පසුගිය වකවානුවක මෙරට ජනප්‍රිය සිනමාකරුවකු පවසා තිබුණේ තෑගි අනවශ්‍ය බවත්, එහෙත් වරක් හෝ බලන්නට එනවා නම් හොඳ බවත් ය. ඇත්ත නම් ඔහුගේත් මගේත් පදිංචිය කිලෝමීටර් දෙක තුනක වෙනසක් නමුත් ඔහු දකින්නට යන්නට මගේ කටයුතු නිසාම ඉඩක් නැති වූ වග ය. එහෙත් මදක් හැරී බලන විට වරද ඇත්තේ මා අත ය. ඔහුට ඇවිදින්නට නොහැක. මට එහි යන්නට වෙලාවක් හදා ගන්නට වුවමනාවක් වී නැත. මේ අප සියල්ල අත් විඳීන සත්‍යයක් ය. එය කලාකරුවන් පමණක් නොව සාමාන්‍ය මහලු වැඩිහිටියන් අරභයා අප අත්විඳී කතාන්තරයකි.

එය මුදලින් හෝ වෙනත් ත්‍යාගයකින් හෝ පිරිමැහිය නොහැකි සාධකයකි. වර්තමානයේ ඇතැම් මහලු නිවාසවල තනිවී සිටින සමහර මාපියන් ද මේ අන්දමේ දුක උහුලනු ඇති බවට විවාදයක් නැත.

ඔවුන් ජීවිතයේ බලාපොරොත්තු වනුයේ සෙනෙහස පමණී. ඇතැම් විට අපේ කලාකරුවන් ද ජීවිතයේ අග බලාපොරොත්තු වනුයේ මේ සෙනෙහසම යැයි කිව යුතුය. එවිට ඔවුන් විසින් අත්පත් කරගත් කීර්තියෙන් හෝ ධනයෙන් පලක් වන්නේ නැත.

කාලයාගේ ඇවෑමෙන් අමතකව ගිය ඇතැම් ගායක ගායිකාවකට වඩාත් අවශ්‍ය වන්නේ ඉඳ හිට හෝ ගීයක් ගයන්නට තැනකි. එහෙත් සිදු වනුයේ ඔවුන්ගේ ගීතය වෙන කෙනෙකු විසින් ගයනු ලබන අයුරු දකින්නට ය.

මේ නිසාම අද බොහෝ පැරැණි ගීත කාලයාගේ ඇවෑමෙන් අලුත් ගායකයන්ගේ ගී ලෙස බෞතීස්ම කරනු ලැබ ඇත.

එය කාලය විසින් කරනු ලබන්නේ යැයි හෝ වාණිජ ලෝකය ඇතුළත මෙබඳු දෑ සාමාන්‍ය කරුණක් යැයි අපට සිත සදා ගත නොහැක. අපගේ සංස්කෘතිය විසින් එබඳු දේ නරක යැයි අපට පහදා දී ඇති බැවිනි. දිගු කලකින් හෝ වැඩිහිටියකු බලන්නට යෑමේ අප පෙළන කාරණය ද එයම වේ. එම හෘද සාක්ෂියෙන් ගැලවෙන්නට අපට අපගේම හැඟීම් ඉඩ නොදෙයි.

අප ජීවත් වනුයේ විසිඑක්වන සියවසේ නමුදු අපේ ජීවිත හා බැඳුණු සිතුවිලි යටගියාවේ සැමරුම් ඔස්සේ අප උගත් ඒවාය. එහි පෙකණි වැල කපන්නට අපට නොහැක.

තවමත් මහලු මාපියන් වැඩිහිටි නිවාසයක රැඳවීම හෝ එසේ කරන්නන් පවා අධමයන් ලෙස සලකන්නට අප පුරුදුව ඇත්තේය. බටහිරින් අප කවර දේ ණයට ගත්ත ද තවමත් ඔවුනට අපෙන් උදුරා ගන්නට බැරි වූ බොහෝ දේ ඇත.

එයින් එක් කරුණක් නම් අපගේ හෘද සාක්ෂියෙන් ගැලවීමට අපට ඇති නොහැකියාව ය. එබැවින් ම එබඳු අපේකම දක්වන දැන්වීමකට පවා අපි අසීමිතව ඇලුම් කරමු.

ඒ අපේ හැඟිම් අහිමි වෙතැයි අප තුළම ඇති බිය නිසා ය. සරසවිය ‘සවිය’ හරහා බලාපොරොත්තුව ද වඩාත් කෘතවේදී වීම ය. ඒ පෙර දවස වෙනුවෙනි. පෙර දවස සඳහා කෘතවේදී වීම යනු මතු දවසක වඩා හොඳ ඇරැඹුමකි.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    FEEDBACK

    මතු දිනෙක

    රගපාමු