වික්ටර් රෝහලේ ඉන්නව දැකල මට සතුටක් දැණුනා
ශල්‍ය වෛද්‍ය විශේෂඥ ඩී. ජේ. ඇන්තනී
විද්වතුන් වූ රසවතුන් විශේෂාංගය සඳහා අද එක් වනුයේ දහසකුත් රෝගීන්ගේ ජීවකයකු වූ
කොළඹ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ශල්‍ය වෛද්‍ය විශේෂඥ ඩී. ජේ. ඇන්තනී මහතාය.
වෘත්තියෙන් වෛද්‍යවරයකු වූ ඔබ තුළ කලාකාමී සෞන්දර්යවාදියාගේ කූටප්ප්‍රාප්තිය කොයි
ආකාරයෙන් ද සිද්ධ වුණේ?
මහනුවර අම්පිටිය ගමේ මා බහ තෝරන විටත් මවුත්ඕගන් වයලා කාගෙත් හුරතලා වුණා. ඊළඟට මා
වඩාත් ප්‍රිය කළේ සී. ටී. ප්‍රනාන්දුගේ ගීත ගායනා කරන්න. මම අම්පිටිය ධර්මපාල
විද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේ තුන්වෙනි පන්තියේ විතර ඉන්න කොට පාසලේ විවිධ ප්‍රසංගයකට
සී. ටී. ප්‍රනාන්දුගේ සඳවට රන්තරු ගීතය ගායනා කළා.
ඒ දවස මගේ ජීවිතයේ අතීත සැමරුම්
අතර නොමැකෙන දිනයක්. එදා මේ ප්‍රසංගයට පෙර පාසලේම ලොකු අක්කලා මාව මේකප් කළා. මේකප්
කරන්න වතුර ළඟ නැතුව මට පුංචි තැටියකට කෙල ගහන්න කියලා ඒ කෙලවලින් මේකප් අනලා මගේ
මුහුණේ ගාපු මේ සිද්ධිය මට අදටත් හොඳට මතකයි.
* සිංදු කියන්න තියෙන ඇල්ම නිසාම ගුරුවරුන්ගෙන් ගුටිත් කෑව නේද?
ශිෂ්‍යත්වය සමත් වෙලා මහනුවර ධර්මරාජ විද්‍යාලයට ආවට පස්සේ මගෙන් සී. ටී.
ප්‍රනාන්දුගේ ගීත දුරස් වෙලා ඩෙස්මන් සිල්වාගේ ගීත, කණ්ඩායම් ගීත, හින්දි ගීත ගායනා
වෙන්න පටන් ගත්තා. පාසලේ විවේකී මොහොතක, ගුරුවරයෙක් නැති පීරියඩ් එකක ළමයි හැමෝම
මගෙන් ගීත ඉල්ලනවා. මම ඒ ඉල්ලීම් ඉෂ්ට කරනවා.
ගීත ගායනය වගේම ඩෙස් එකට දාන තට්ටු
වාදනයත් මගෙන් තමයි. බොහෝ විට ඔය වෙලාවට එක සිංදුව දෙක වෙනවා. මේ ශබ්දය ඇහෙන අවට
පන්තියක ටීච කෙනෙක් සර් කෙනෙක් ඇවිත් එක්කෝ බනිනවා නැත්නම් ගහනවා. අනුන්ට සිංදු
කියල ධර්මරාජ විද්‍යාලයේදී මම පන්ති භාර ටීචර්ගෙන් ඕනෑ තරම් ගුටි කාලා ඇති.
සාමාන්‍ය පෙළ කරන වකවානුවේ මම පාසලේ බෑන්ඩ් එකට සම්බන්ධ වුණා. මෙලෝඩිකාව වාදනය
කරන්න මම ඉගෙන ගත්තා. බටහිර සංගීතයට මම වඩාත් නැඹුරු වෙන්න පටන් ගත්තේ මේ වකවානුවේ.
ඒ වගේම පල්ලියේ ගීතිකා කණ්ඩායමේ ගීතිකා කීමත්, පල්ලියේ ඕගන් එක වාදනය කිරීමෙන් ඕගන්
වාදනයත් මම ඉගෙන ගත්තා.
*
ඔබ සංගීත රසකාමියෙක් වූ සිද්ධියත් හරි අපූරුයි නේද?
නුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයේ රංග ශාලාවට ආපු වික්ටර් රත්නායකගේ ‘ස’ ප්‍රසංගය
නරඹලා තමයි මම පිස්සු වැටුණේ. මගේ පියා මම පුංචි දවස්වල මිය ගියා. අම්මා වුණත්
එච්චර විනෝද මාධ්‍ය රස විඳින්න ප්‍රිය කළේ නෑ. මගේ සහෝදරයෝ, යාළු මිත්‍රයොත් එක්ක
තමයි මම මෙවැනි ප්‍රසංග නැරැඹීමට ගියේ.
උසස් පෙළ කරල විවේකීව ඉන්න අවධියේ තමයි
වික්ටර්ගේ ‘ස’ ප්‍රසංගය මුලින්ම නැරැඹුවේ. මිනිස්සු අතරේ පොරකාලා, පෑගිලා අතේ තිබුණ
පුංචි මුදල වියදම් කරලා යාන්තම් බැල්කනියට වෙලා ‘ස’ ප්‍රසංගය රස වින්ඳා.
අල්පෙනිති
තුඩක් වැටෙන ශබ්දයක්වත් නොඇසෙන තරමට ශාලාව පුරා මිනිස්සු දැහැනකට සම වැදිලා.
ප්‍රේමකීර්ති ද අල්විස් ගේ නිවේදනයෙන් වශීකෘත වූ ‘ස’ ප්‍රසංගය මගේ ජීවිතයේ ලොකු
වෙනසක් ඇති කළා.
ඒ කාලයේ වික්ටර් රත්නායකගෙන් තොර ලෝකයක් මට නෑ. සංගීත ලෝකයේ මගේ
වීරයා වික්ටර්. ඔය අතරට ජෝතිපාලත් මගේ සංගීත ලෝකයේ වීරයෙක් වුණා. ඔය වකවානුවේ ‘ස’
ප්‍රසංග කීපයක්ම මම පිට පිට නැරැඹුවා.
‘ස’ බලලා ඒ ප්‍රසංගය යාළුවොත් සමග මම අනුකරණය
කළා. මටත් වඩා සංගීත පිස්සෝ කීප දෙනෙක්ම මාත් එක්ක හිටියා. සමහරු ප්‍රේමකීර්ති වගේ
නිවේදනය කරනවා, මම වික්ටර්ගේ ගීත ගායනා කරනවා. පාර දිගේ, ගස් යට අපිත් ‘ස’ ප්‍රසංග
පැවැත්වූවා.
* වෛද්‍ය විද්‍යාලයෙත් ඔබ සංගීත රසවතෙක් නේද?
මම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙන ගන්න කාලයේ මගේ අයියා මට ගිටාරයක්
ගෙනත් දුන්නා. මේක වාදනය කිරීමෙන් ඒ කාලයේ මා විශාල ආශ්වාදයක් ලැබුවා. මා තුළ මොන
තරම් සංගීතය කාවැදී තිබුණා ද කියනවා නම් මම කාය ව්‍යච්ඡේදන අංශයේ ඉගෙන ගන්න කාලයේ
උගන්වන මහාචාර්යවරු නැති වෙලාවට අනිත් වෛද්‍ය ශිෂ්‍යයොත් වට කරගෙන සිංදු කිව්වා.
ගුණදාස කපුගේ, වික්ටර් රත්නායක ගේ ගීත විතරක් නෙමේ මම ප්‍රිය කළ ඇබා, බොනියම්,
එල්විස් ප්‍රෙස්ලි, ලතා මංගේස්කාර් ගේ ගීතත් මම කිව්වා. සමහර දවස්වලට මම කාය
ව්‍යච්ඡේදනය ඉගෙන ගත්තේ සිංදු කියමින්.
* ප්‍රසංග සඳහා ඔබට ආරාධනා නැද්ද?
මම නියැලෙන වෘත්තිය තුළ වෙසෙන මිතුරන් අතරේ මම කතාබහට ලක් වී තිබුණත් තවම සමස්ථ රට
තුළ එහෙම වටපිටාවක් නෑ. කොහොමටත් මම ආසයි එළිමහන් ප්‍රසංගවලට වඩා ගෘහස්ථ ප්‍රසංග
සඳහා. දැනට මම එක එළිමහන් ප්‍රසංගයක ගී ගායනා කරලා තියෙනවා. ඒ අවස්ථාව මට ලැබුණෙත්
අහම්බෙන් මීට මාස හතකට පෙර. මා පදිංචි මට්ටක්කුලිය ප්‍රදේශයේ සන්ෆ්ලවර්ස් මියුසිකල්
ෂෝ එකක් තිබුණා. එදා ප්‍රදේශවාසීන්ගේ බොහොම පෙරැත්ත නිසාම මම සන්ෆ්ලවර්ස් සංගීතයට
ගීත දෙකක් ගායනා කළා.
* සංගීතය හැරුණු කොට සිනමාවට ඔබ තුළ ඇල්මක් නැද්ද?
සංගීතය වගේම සිනමාවත් මම රස විඳිනවා. මගේ ප්‍රියතම නළුවන් වුණේ ගාමිණී ෆොන්සේකා, ජෝ
අබේවික්‍රම, විජය කුමාරතුංග, රවීන්ද්‍ර රන්දෙණිය.
* ඔබේ මුල්ම සිනමා අත්දැකීම මොකක්ද?
රජගෙදර පරෙවියෝ.
*
එකම චිත්‍රපටය වැඩි වාර ගණනාවක් නරඹපු අත්දැකීම් පවා ඔබේ ජීවිතයේ තියනවා නේද?
චණ්ඩි පුතා චිත්‍රපටය විතරක් මම දාහතර වතාවක් නැරැඹුවා. ඒ කාලේ මගේ සිනමාවේ හීරෝ
ගාමිණී ෆොන්සේකා. කොලුකම ඇඟේ තියෙන කාලේ ඔය වගේ දේවල් නොකලා නොවෙයි.
* ඔබේ බිරිය වගේම දරුවන් දෙදෙනාත් ඔබේ ගීත චාරිකාවේ සැබෑ විවේචකයන්ද?
මගේ බිරිය චන්ද්‍රානි, ඇයත් වෛද්‍යවරියක්. මාධව, දේවින්ද පුතාලා දෙන්නත් කොළඹ
රාජකීය විද්‍යාලයේ ඉගෙන ගන්න ශිෂ්‍යයන්. මේ තුන්දෙනාම මගේ ළඟම විවේචකයෝ. ගීතවලට මම
දාන තනු හොඳද නරකද කියන්නෙත් චන්ද්‍රානි.
මගේ වොයිස් එක හොඳ ද නරක ද කියන්නේ
චන්ද්‍රානි. මම කරන හැම වැඩකම හොඳ නරක මුලින්ම කියන්නෙත් චන්ද්‍රානි. ඉතිං
චන්ද්‍රානිගෙන් තොර ගීත කලාවක් මට නෑ.
* ගිටාර් වාදනය ඉගෙන ගන්න ගිහින් බිරිය බැන්නා කියලා ඒකත් ඔබ අතහැරියා නේද?
මම සීමාවාසික වෛද්‍යවරයෙක් ලෙස කටයුතු කරන කාලයේ මගේ හිතවත් වෛද්‍යවරයකු වූ
පද්මරාජාත් එක්ක එවක ගෝල්ඩන් චයිම්ස් වාදක මණ්ඩලයේ හිටිය ලලිත් ගුණසේකර නැමැති
ගිටාර් වාදකයාගෙන් ගිටාර් වාදනය ඉගෙන ගන්න ගියා.
දවස් දෙකයි ගියේ. තුන්වෙනි දවසේ
පාන්දර ගෙදර ආපු ගමන් බිරිය දෙහි කැපුවා රාත්‍රියේ ගෙදර නැතුව පාන්දර ජාමේ ගෙදර
එනවා කියලා. ඒ දෙහි කැපුමෙන් පස්සේ ගිටාර් ගහන්න යන එක නතර කළා. පස්සේ කාලෙක මහින්ද
බණ්ඩාරගෙන් ලීඩ් ගිටාර් වාදනය ඉගෙන ගත්තා.
* ඔබේ සංගීත ලොවේ වීරයා වූ වික්ටර් රත්නායකට ප්‍රතිකාර කරන්නත් පසු කාලෙක ඔබට
අවස්ථාව උදා වුණා නේද?
වෛද්‍ය විද්‍යාලයෙන් අවුට් වෙලා මම කොළඹ ජාතික රෝහලට ආවා. එතකොට පනස් පස් වෙනි
වාට්ටුව භාර වෙලා තිබුණේ විශේෂඥ වෛද්‍යවරයකු වූ රාමචන්ද්‍රන් මහත්තයාට. දවසක් මම
වාට්ටුවට එන කොට මගේ සංගීත ලොවේ වීරයා වූ වික්ටර් රත්නායක මේ වාට්ටුවේ. ඔහු රෝගීී
වෙලා රෝහලට ආවත් මට පුදුම සතුටක් දැනුණේ ඔහු රෝගී වීම නිසා නොවෙයි. මගේ වීරයා අද
මගේ වාට්ටුවේ නිසා. මම වික්ටර් ළඟට ගිහින් ඔහු ගැන මා තුළ ඇති ළෙන්ගතුකම කියලා මම
වික්ටර්ව වාට්ටුවේ මගේ කාමරය ළඟ ඇඳකට අරගෙන මට කළ හැකි උපරිමයෙන් මගේ වෛද්‍ය සේවය
ඔහුට ලබා දුන්නා.
*
ඔබගේ කුලුඳුල් ගීත ඇල්බමය වූ ‘කුරුලු තුඩින්’ හී වැඩිම ගීත ප්‍රමාණයක් රචනා කර
ඇත්තේ ඔබගෙන් ප්‍රතිකාර ලැබූ රෝගියෙක් නේද?
මම අතින් ශල්‍යකර්මයකට භාජනය වී සුවය ලැබූ බන්දුලසිරි හෝවා ගමගේ තමයි මට ගීත රචනා
කරලා දුන්නේ. ඔහු සම්මානයට පාත්‍ර වූ ගීත රචකයෙක්. ඔහුගේ ගීත රචනා නිසාම තමයි
කුරුලු තුඩින් සංයුක්ත තැටිය මා එළි දක්වන්න උත්තේජනයක් වුණෙත්.
* ගායකයකු ලෙස කළඑළි බසින්න ඔබ මෙතරම් ප්‍රමාද වූයේ?
මමවත් දැනගෙන හිටියේ නෑ මට හොඳ කටහඬක් තියනවා කියලා මිනිස්සු පිනවන්න. ක්ලැරන්ස්,
නිහාල් නෙල්සන්, සී. ටී. ප්‍රනාන්දු, එම්. එස්. ප්‍රනාන්දු, සුනිල් පෙරේරා,
අමරදේවයන්, ගුණදාස කපුගේ, නන්දා මාලිනී, වික්ටර් රත්නායක, මේ හැම කෙනෙක්ගේම සිංදු
මම කිව්වා. ඒ කිව්වෙ මගේ ආත්ම තෘප්තිය තකා. මම කියන දෙයින් වෙන කෙනෙක් විශාල
තෘප්තියක් ලැබුවා.
ගීත ගායනයෙන් හා වාදනයෙන් මම විශාල තෘප්තියක් ලැබුවා. වෛද්‍යවරයකු ලෙස
නේවාසිකාගාරයේ ඉන්න කොට අනිත් වෛද්‍යවරුන් සමඟ සේවයෙන් පස්සේ සවස හයේ සිට රෑ දොළහ
වෙනකන් සිංදු කිව්වා. එහෙම වකවානුවක ඉඳල මම මාරු වෙලා ගියහම ඒ රෝහල්වල හිටිය අනිත්
අයත් නේවාසිකාගාර අතහැර වෙන ප්‍රදේශවලට මාරු වෙලා ගියා.
මේ වගේ පසුබිමක ඉන්න කොට ගුවන් විදුලියේ තරු අතරට තරුවක් ආධුනික ගී තරඟයකට මාත්
ඉදිරිපත් වුණා. තරඟකරුවන් පන්දහසකගෙන් එකොළොස් වෙනියා වෙන්න මට හැකි වුණා. ඒක මම
ලබපු ලොකු භාග්‍යයක් වුණා. මම හදාපු ගීත මගේ යහළුවන්ට අහන්න සැලැස්සුවා. කවුරුත්
ඒවා අහල මට කිව්වේ ගීත ඇල්බමයක් කරන්න හොඳ කටහඬක් ඔබට තියෙන්නේ කියලා. සියලු
දෙනාගේම ඇරැයුමට මගේ බිරියගෙනුත් අවසරය ලැබුණා. ඒ අනුව ‘කුරුලු තුඩින්’ ශ්‍රාවකයන්
අතරට එක් වුණා.
* වෛද්‍ය වෘත්තියටද, ගායන වෘත්තියට ද ඔබ වඩාත් කැමැති?
ශල්‍ය වෛද්‍යවරයකු ලෙස රෝගීන් සුවපත් කිරීම මගේ වෘත්තීය. නමුත් ගායනය මගේ වෘත්තීය
නෙවෙයි. එය හුදෙක්ම මගේ විනෝදාස්වාදය. ගීතයක් ගායනා කරමින්, තනුවක් දමමින් මම ලබන
ආත්ම තෘප්තිය මට ලෙඩෙක් සුවපත් කරන්නා හා සමාන තෘප්තියක්. ලෙඩෙක් ඖෂධයක් ලබා සුවපත්
වන්නා සේ මම කුරුළු තුඩින් මියුරු සරින් ගයන්න දේවි
මිතුරු වෙසින් නිලඹර සැරිසරන්න දේවි
ලලිත ලතා මතු කරමින් රඟන්න දේවි
තුරු සිරසින් බහින්නෙපා මගෙ සීදේවි . . .
කියල මමත් විශාල මානසික සුවයක් සංගීතයෙන් අත්විඳිනවා.
ඡායාරූප – ප්‍රසාද් සමරතුංග
චන්දන දයාසිරිවර්ධන
|