හැම තැනම ගිනි තියන කංචන
මව්පියන්ගේ මතකය
ලව්ඩ්ස්පීකරයක් බැඳගත් වාහනයකින් ඇසුණු ගී රාවයට නිවෙස තුළ සිටි කාගේත් සවන් යොමු
වුණත් කිසිවෙක් එළි පහලියට නොආවෝය. ඒත් එක් නිවෙසක සිටි පුංචි පුතුට නම් ඒ ගී රාවය
දෙසවනට අම බිඳු වැනි විය. පුංචි පා කාටත් හොරා පාර දෙසට ඇදුණේ ඒ නිසයි. ගේට්ටුවත්
ඇරගෙන ගී නද ඔස්සේ ගිය පුංචි පුතාගේ නැවතුම වුණේ හරියටම පාර මැද.
ඉතින් ඊට පස්සේ මොකද වුණේ? කියලා අපි දැනගමු පුංචි පුතාගේ අම්මාගෙන්ම. ඇය කාන්ති
ධර්මසේන මහත්මිය.
ඉතින් ඔය සේරම වෙන්න ඇහිපිල්ලමක් ගහන තරම් වෙලාවක් යන්න ඇති. මම ‘පුතා, පුතා’ කියලා
කෑ ගගහා හොයලා මිදුලේ හොයන්න එළියට ආවම තමයි දැක්කේ ඉණට අත් දෙක තියාගෙන පාර මැද්දට
වෙලා හිටගෙන ඉන්නවා. මට එක පාරටම හයියෙන් කෑ ගැහුණා. පාරේ උඩහ ඉඳලා වාහනයක් ආවොත්
මම මොන දෙයියන්ට කියන්නද? මම දුවලා ගිහින් පුතාව බදාගෙන උස්සලා අරගෙන තමයි ගෙට
ගෙනාවෙ. පුතා පුංචි කාලේ එයාගේ මාමාට බයයි. මම මාමාට මේ සිද්ධිය කිව්වාම, මාමා
පුතාගෙන් ඇහුවා කොහෙද පුතේ ඊයේ ගියේ කියලා. පුතාගෙන් ලස්සන උත්තරයක් තමයි ලැබුණෙ.
‘මම අම්මාට මැල්ලුම් කඩන්නනෙ ගියේ’ කියලා කිව්වා.
පුංචි කාලේ මැල්ලුම් කඩන්න පාර මැද්දට ගියේ වෙන කවුරුවත් නෙවෙයි, ඔබේ ආදරණීය යොවුන්
රංගන ශිල්පී කංචන කොඩිතුවක්කු. මේ සතියේ ‘පුංචි දවස්වල’ මේ පිටුව සැරසෙන්නේ කංචනගේ
පුංචි කාලේ මතකයන්ගෙන්. මුලින්ම කංචනගේ පුංචි දවස්වල මතකයන් පෙළ ගස්වන්නේ කංචනගේ
ආදරණීය මෑණියන් විසිනි.
පුතා මට මැල්ලුම් කඩන්න යන කොට අවුරුදු 2 ක් විතර ඇති. ඒ වගේම තවත් භයානක වැඩ කළා.
ඒකත් ඒ කලේමයි කළේ. පුතා පුංචි කාලේ මම එයා දිහාවෙන් ඇහැ අහකට ගත්තේම නැති තරම්.
කොයි වෙලෙත් ඉන්නේ එයාගේ පස්සෙන්මයි.
දවසක් ගෙදර කවුරුත් නැති වෙලාවක මම පුතාට
පොඩ්ඩක් ඉන්න කියලා බාත්රූම් එකට ගියා. ඒත් මගේ හිත කිව්වා ආයිත් පාරක් පුතාව බලලා
එන්න කියලා. මම දොර අරින කොට දැක්ක දෙයින් දෙලොව සිහි වුණා. කංචන ෆ‍්‍රිජ් එකේ
ප්ලග් එක ගලවලා ප්ලග් පොයින්ට් එකට යකඩ ඇණයක් ගහන්න හදනවා.
එදා මට මගේ හිතට එකඟ
නොවුණා නම් . . . එදා බය වෙච්ච පාරට ප්ලග් එක වැහෙන්න තිබ්ද කැබිනට් එක අදටත්
එහෙන්මමයි. පුතා කරගන්න ගිය ඇබැද්දි අම්මා කියන අතරවාරයේ පුතාගේ ගින්දර සෙල්ලම මතක්
කළේ කංචනගේ තාත්තා. ඔහු සෙනරත් කොඩිතුවක්කු. ඒ කාලේ පුතාලගේ අම්මා ගේ අතුගාන කොට
හැමදාම කඩදාසි කොළයි, කඩදාසි කොළ පුච්චපු අළුයි ගිණිකූරුයි හම්බ වෙනවා. පුතාලගේ
අම්මා මටත් ඒ ගැන කිව්වට අපි හිතුවෙම ඒවා මීයෝ ගෙනත් දානවා කියලා. අපේ ගෙදර
පිටිපස්සේ පේර ගහක් තිබුණා.
ඒ පේර ගහ බාගෙට මැරිලා තිබුණේ. ගහේ මැද කුහරෙකුත්
තිබුණා. මෙන්න, එක දවසක් පේර ගහ ගිනි ගන්නවා. මුලින් අපිට හිතා ගන්න බැරි වුණා වෙන
දේ. ටිකක් කිට්ටු වුණාම තමයි දැක්කේ පේර ගහේ කුහරෙ ඇතුළෙ පරණ රෙදියි, කොළ කෑලියි
ඔබලා ඒකට කවුද ගිනි තියලා බව.
හැබැයි ඉතින් ඒ සිද්ධිය සොයා ගෙන යන කොට ගේ ඇතුළේ
තිබුණු පිච්චුණු කඩදාසි කොළවල කතන්දරෙන් එළි වුණා. ඒ හැමදේම කරලා තියන්නෙ අපේ පුංචි
පුතා. එතකොට එයාට අවුරුදු 7 ක් විතර ඇති. පුතා පුංචි කාලේ ගිනිකූරු පත්තු කරන්න
හරිම ආසයි. ඒ ආසාව නිසා තමයි හැම තැනම ගිනි තිය තිය ගිහිල්ලා තියෙන්නේ. පුංචි
දරුවොනෙ, ඉතින් එයාලට තමන් කරන දේවලවල බරක් පතලක් තේරෙන එකක්යැ?
කංචනගේ 9 වැනි උපන් දිනය දා සිද්ධ වෙච්ච දේ අපට කීවේ කාන්ති මහත්මිය.
පුතා එදා ටිකක් අසනීපෙන් හිටියේ. මම හවස බෙහෙත් පොවලා පුතාව පුටු සෙටිය උඩ තියලා
පුතාව බලාගන්න හිටපු කෙනාව ළඟින් තියලා ගෙට ගියා. ටික වෙලාවකින් මට ඇහුණා එයා
කියනවා ‘බේබි බේබි කෙලින් වෙන්න. මගේ දිහා ඔහොම බලන්නේ ඇයි’ කියලා අහනවා. මට ඒ කතාව
හිතට ඇල්ලුවෙ නෑ. මම ටක් ගාලා පුතා ළඟට ආවා. ඒ එනකොට පුතාගේ දිව එළිියේ. අතපය වකුටු
වෙලා. බෙල්ලත් ඇල වෙලා. බුදු අම්මෝ . . . එදා තරම් මම මගේ ජීවිතේ කවදාවත්ම බය වෙලා
නැතිව ඇති. වහාම ඉස්පිරිතාලෙට එක්ක ගෙන ගියා. ඩොක්ටර්ස්ලා කිව්වේ බෙහෙතක් ඇලජික්
වෙලා කියලා. එදා පුතාට පෙව්ව බෙහෙත ඇලජික් වෙන්නේ ලක්ෂයකට එක් කෙනෙක්ටලු. දෙයියන්ගේ
පිහිටෙන් ඊට පස්සේ නම් අපිට පුතා ගැන එහෙම බය වෙන්න සිද්ධ වුණේ නෑ.
නිශංකා උඩුගම්පල
ඡායාරූප –ප්රසාද් සමරතුංග
|