අද සිනමාවේ ප්‍රමිතිය හැදුණේ වෙළද දැන්වීම් ක්ෂේත්‍රය හරහායි

සම්මානනීය කැමරා ශිල්පී චන්න දේශප්‍රිය

අද ළමයින්ට ඉන්ටර්නෙට් එක වගේ එදා අපිට මහ ලොකු දෙයක් හැටියට පෙනුණේ ටෙලිවිෂන් එක. රූපවාහිනියේ තිබිච්ච කැමරාව එදා ප්‍රවෘත්තියට විතරක් සීමා වුණා. පස්සේ යම් නිර්මාණාත්මක වටිනාකමක් එකතු වුණා.

ඒ කියන්නේ යාන්ත්‍රික වටිනාකමට වැඩිය කලාත්මක වටිනාකමක් එතැනට ආවා. ඊට පස්සේ ඔය කැමරාව කලාත්මක පැත්තට පාවිච්චි කරන පරාක්‍රම නිරිඇල්ල වගේ අය මට මුණ ගැසුණා. ඊට පස්සේ තමයි කැමරාව අරගෙන වෘත්තීමය වශයෙන් එළියට බැස්සේ. ඒ ‘සුසීමා’ ඉඳලා.

චන්න දේශප්‍රිය අප හා කතාවට එක් වූයේ ඒ ආකාරයෙනි. ටෙලි නාට්‍ය, සිනමා හා වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රය තුළ කැමරාව හරහා ඉතා රමණීය මෙහෙවරක් කරන චන්න දේශප්‍රිය ඉහළ ඉල්ලුමක් රඳවා ගත් සම්මානනීය කැමරා ශිල්පියෙකි. ඔහුගේ රූපණ භාවිතාව පිළිබඳ කතා කරන්නට ඔහුව එක් කර ගත්තේ යම් ආයාසයකින් අනතුරුවයි. එපමණක් ද නොව මේ මොහොතේ තිරගත වන ජාතක කතා පොතේ පන්සිය විසි තුන්වැනි ජාතකයේ කැමරා ශිල්පියාද ඔහුයි.

* ඉතිං චන්න කොහොමද ‘කුස පබා’ වෙතට සමීප වුණේ?

අපේ නිෂ්පාදකයන්ගේ එකතුවක් වන ‘ශ්‍රී ලංකා සිනමා නිර්මාණ සංසදය’ මඟින් තමයි මේ චිත්‍රපටය එළි දැක්වුණේ. මූලිකවම සලකා බැලුණේ මේ නිර්මාණය හැමෝටම එකඟ වෙන්න පුළුවන් ද කියන එක ගැන. එහෙම එකඟ වෙන්න පුළුවන් වෙච්ච නිසා තමයි නිර්මාණය මේ විදිහට එළි දැක් වුණේ. මමත් ඔය සංසදයේ සාමාජිකයෙක් නිසා ඒ නිර්මාණය කරන්න මට ඉඩ ලැබුණා. ඕක අපේ සිනමාව ගැන යළිත් කතා කරන චිත්‍රපටයක් වේවි කියලා අපි හැමෝම බලාපොරොත්තු වෙනවා. මා සතු දේවල් බෙදාගෙන අනිත් පාර්ශවයන්ගේ දේවලුත් උකහා ගෙන මම හොඳම කැමරා විධි ක්‍රමය යෙදෙව්වා කියලා කියන්න පුළුවන්.

* ඔබම පිළිගත්තා ඔබ නිෂ්පාදකයන්ගේ කුටුම්බියට අයත් කියලා. නිෂ්පාදකයෙක් හැටියට ගමනක් යන්න ඔබට හිතෙන්නේ නැද්ද?

නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ මම ප්‍රවීණයෙක් නෙවෙයි. මේ ක්ෂේත්‍රය මට අලුත්. නිෂ්පාදනය යනු මුදල් යෙදවීමම නෙවෙයි. එයට තවත් දේවල් අන්තර්ගතයි. ඒ සඳහා දැනුම අවශ්‍යයි. තිරගත කිරීම, ප්‍රදර්ශනය, ප්‍රචාරණය මෙන්ම අවසානයේදී ලාභ ලැබීමත් ඔය දේටම අයත්.

* ‘සුසීමා’ සිට හඳගමගේ ‘නැගෙනහිර වෙරළින් ඇසෙන’ දක්වා ඔබ ටෙලි නාට්‍යයට විශිෂ්ට දායකත්වයක් දක්වපු කෙනෙක්. ඇයි ඔබ ටෙලි නාට්‍ය පැත්තකට දැම්මෙ?

ටෙලි නාට්‍ය ඛේදවාචයක් කියන තැනට වැටිලයි තියෙන්නේ. පිටරැටියෙක් ටෙලි විෂන් එකක චැනල් ටික මාරු කරගෙන කරගෙන ගියොත් ඔහුට මේ රට ගැන අයිඩෙන්ටි කාඩ් එකක් ගන්න පුළුවන්. ඒ තරමටම ටෙලිවිෂනය, ටෙලි නාට්‍ය, සිනමාව කියන දේ රටේ කැඩපතක්. ඉතිං ඕකට අද මොනවද වෙලා තියෙන්නේ. එදා ටෙලි නාට්‍යයකට අනුග්‍රාහකත්වයක් දෙන්නේ විශාල සමාගම්. ඔවුන් ආවට ගියාට අනුග්‍රගහකත්වයක් දෙන්නේ නැහැ. අධ්‍යක්ෂවරයාගේ ඉඳලා කතාව, තිර රචනය, කැමරාකරණය මෙන්ම පාවිච්චි කරන කැමරාව මොකක්ද කියලත් ඔවුන් හොයලා බලනවා. ඒ මොකද ඔවුන් අත දෙන නිර්මාණය ඔවුන්ගේ ආයතනයේ ප්‍රමිතියට, අධිකාරිය සතු විශ්වාසවන්ත භාවයට සහ ඔවුන්ගේ භාණ්ඩයට හෝ සේවාවට ආඩම්බරයක් වෙන්න ඕනෑ. නමුත් වුණේ මොකක්ද ටෙලිවිෂන් චැනල් එන්න එන්නම ප්‍රසාරණය වුණා. ඒවායේ ප්‍රධානින් ගේ ආකල්ප මත ටෙලි නාට්‍යය කියන දේ ඔවුන් ගේ අතට ගත්තා. ඊට පස්සේ නිෂ්පාදකයෝ කිහිප දෙනෙක් එක්ක ටෙලි නාට්‍යය පාලනය කළා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට හොඳම නිර්මාණකරුවෝ සහ ශිල්පීන් ටෙලි නාට්‍යයෙන් අයින් වුණා. අනුග්‍රාහකයෝ නිශ්ශබ්ද වුණා. ඕක තමයි ඛේදවාචකය.

* ඔය කාරණය නිසා ඔබ ටෙලි නාට්‍යයෙන් ඉවත් වෙනවාත් එක්කම ඔබට වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රයේ දොර ඇරෙනවා?

නැහැ. ටෙලි නාට්‍යයේ කැමරා ශිල්පියෙක් හැටියට ඉවත් වීම නිසා මට වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රයට පාර කැපුණා නෙවෙයි. මොකද මම කලිනුත් දැන්වීම් නිර්මාණය කළා.

* නමුත් ටෙලි නාට්‍යයට කැමරා ශිල්පියෙක් හැටියට එන්න තවමත් ඔබට ඉඩ තිබෙනවා කියලා මට හිතෙනවා?

මට ඔය කාරණාව ගැන තියෙන්නේ වෙනමම අදහසක්. අපි ගත්තොත් මිළදී ගැනීමේ හැකියාව. ඕක සමාගම්වලට තිබෙන දෙයක්. ඕක යම් මොහොතක අර්බුදයකට ලක් වෙයි කියලා මට හිතෙනවා. මොකද ලංකාවේ ටෙලිවිෂන් බලන මධ්‍යම පන්තිය යම් මොහොතක තීරණය කළොත් මේ ටෙලිවිෂනයේ යන නාට්‍ය සුදුසු ඒවා නොවෙයි කියලා, එදා සිට වෙළෙඳ දැන්වීම් එන ප්‍රමාණයේ යම් අඩුවක් සිදු වෙනවාමයි. එතකොට අදාල කාල පරාසවල ටෙලි නාට්‍ය විකාශය කිරීම පිළිබඳ යම් ගැටලුවක් මතු වෙන්න පුළුවන්. මොකද මම වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රයේ සජීවීව ඉන්න කෙනෙක්. ඒ නිසා මට මේකේ අවදානම තේරෙනවා. අනික දැන් ලක්ෂ 2 කටත් වැඩිය කේබල් හා චන්ද්‍රිකා රූපවාහිනි සබඳතා වැඩි වෙලා තියෙනවා. ඒ නිසා මම ටෙලි නාට්‍යයට ගිහිල්ලා පලක් නැති බවයි තේරෙන්නේ.

* ඔබ වෙළෙද දැන්වීම් කැමරාකරණයේ පුමුඛයෙක්. වෙළෙඳ දැන්වීමේ සහ අනිකුත් කලා මාධ්‍යන්වල ප්‍රමිතිය කොයි වගේද ඔබේ පාර්ශවයෙන් පවත්වාගෙන යන්නේ?

සමහරු කියන්න පුළුවන් වෙළෙඳ දැන්වීම් කියන්නේ අවර ඝනයේ නිර්මාණ කලාවක් කියලා. නමුත් මම විශ්වාස කරන්නේ නැහැ ඒක එහෙමයි කියලා. මොකද ලංකාවේ සිනමා කැමරාවලින් මුල් වතාවට වෙළෙඳ දැන්වීම් කරන්න ගත්තේ අපි. ප්‍රසාරණය වෙන වෙළෙඳ පොළත් එක්ක සමාගම්වලට අවශ්‍යයි හොඳම ප්‍රමිතියට තමන්ගේ දැන්වීම් නිර්මාණය කරන්න. ඒ සඳහා ඔවුන් දැවැන්ත මුදලක් වියදම් කරනවා. එතකොට ක්ෂේත්‍රයේ ඉන්න හොඳම ශිල්පීන් මේ සඳහා දායක වෙලා ඉහළම ප්‍රමිතියට වැඩේ කරනවා. මොකද වෙළඳ දැන්වීමක ඇඳුම, මේක්අප් එක ආදී දේ තිතට තියෙන්න ඕනෑ. එතකොට වෙළෙඳ දැන්වීම්වල ඉන්න ශිල්පීන් සිනමාවට සම්බන්ධ වුණාම එතැනක් ඉහළම ප්‍රමිතිය රැෙඳනවා. අද සිනමාවේ ප්‍රමිතිය රැකුණේ වෙළෙඳ දැන්වීම් හරහායි කියලා කිව්වොත් ඒක බොරුවක් නොවෙයි. මොකද ඊට කලින් ආපු චිත්‍රපටවල ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්න තිබුණා.

* ඔබ වැනි ජ්‍යෙෂ්ඨ ශිල්පීන් භාවිත කරන කැමරා උපකරණවල මිල දැරීම යම් පාර්ශවයකට අපහසුවක් නෙවෙයිද?

ඕක මහ ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. සාමාන්‍යයෙන් වෙළෙඳ දැන්වීම් කිරීම සඳහා සිංගප්පූරුවෙන් කැමරාවක් කුළියට ගන්න ලක්ෂ ගාණක් යනවා. චිත්‍රපටයක් කරන කොටත් ඉන්දියාවෙන් කැමරාවක් ගේන්නත් මිලියන ගාණක් යනවා. ඒ දේවල් වියදම් කරලා ගේන්නේ ඒ පාර්ශවලට එය දරන්න පුළුවන් නිසයි. සිනමා පටයකට කොච්චර වියදම් කරලා කොහොම කළත් අන්තිමට රැඳෙන්නේ ඒක බලන්න යන මිනිහගේ ටිකට් එකෙන්.

* ඔය කියන තරම් වියදම් කරලා නිර්මාණ කරන්නට තරම් අපේ නිර්මාණවලට සම්බන්ධ පිරිස් අති විශිෂ්ට වෙන්න ඕනෙ නේද?

අපේ නිර්මාණ වෙළෙඳ පොළ පොඩියි. ඒක පොඩියි කියලා අපිට ඔය දේවල් ලාභෙට හම්බ වෙන්නෙ නෑ. ලංකාවේ තෙ  , ප්‍රංශයේ වයින් වගේ නිර්මාණ පිළිබඳ අනන්‍යතාවක් ලංකාවටත් තිබෙනවා. අපේ ශිල්පීන් අමාරුවෙන් හැදිච්ච අය. මොකද සිංගප්පූරුව වගේ ඇකඩමි හදාගෙන කෝටි ගණන් වියදම් කරගෙන නිර්මාණ ශිල්පීන් බිහි කරනවා වගේ මෙහේ බිහිවෙන්නේ නැහැ. වෛද්‍ය විද්‍යාලයට යන පිරිසෙන් 90% කට වැඩිය වෛද්‍යවරු වෙන බව ස්ථිරයි. නමුත් ඔය ඇකඩමිවලින් සිංගප්පූරුව බිහි කර ගත්තේ දක්ෂ ශිල්පීන් අතලොස්සක් පමණයි. ලංකාව ඒ අතින් විශිෂ්ටයි. ඒ අතින් අපි කාටවත් ණය නෑ. අපිට ඉන්දියාව වගේ නැටුම් ගැයුම් පෙන්වන්න බෑ. අපේ ශිල්පීන්ට හොඳින්ම පෙන්වන්න පුළුවන් දේවල් තියෙනවා. වරක් මනි රත්නම් අපේ වෙළෙඳ දැන්වීමක් බලද්දී ඔහු මවිත වුණා. ඒක පොඩි නිදසුනක් විතරයි.

* සූරිය අරණ, සුළං කිරිල්ලි, මේ මගේ සඳයි ආදි සම්මානනීය චිත්‍රපට ගණනාවක වැඩ කළ ඔබ කිහිප විටක්ම ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වුණා නේද?

වතාවන් 3 කදී මම හොඳම කැමරාකරණයට හිමි සම්මාන දිනා ගත්තා. ඒ නිව්යොර්ක් අන්තර් ජාතික සිනමා උළෙලේ සුළං කිරිල්ලි වෙනුවෙන් , දකුණු අප්‍රිකාවේ 27 වැනි ඩර්බන් ජාත්‍යන්තර සිනමා උළෙලේ සුළඟ එනු පිණිස වෙනුවෙනුත්, 6 වැනි ඩුබායි ජාත්‍යන්තර සිනමා උළෙලේ දී  Fallen From The Sky  විමුක්ති ජයසුන්දරගේ චිත්‍රපටය වෙනුවෙන් සම්මාන ලැබුණා. ඒ වගේම විමුක්ති ජයසුන්දරගේ බෙංගාලි සිනමාපටයක් වෙච්ච ‘චත්‍රක්’ චිත්‍රපටයේත් බාබු රාජ් කියන මලයාලම් අධ්‍යක්ෂවරයාගේ ‘ඡේදම්’ චිත්‍රපටයේත් මට වැඩ කරන්න ලැබුණා.

* අවසාන වශයෙන් අහන්න කැමතියි අලුත් පරම්පරාවක් ක්‍රමයෙන් ඔබ නියෝජනය කරන ක්ෂේත්‍රය කරා එනවා. එය ප්‍රගතියක් කියලා ඔබ දකිනවාද?

මට ඇති වෙච්ච ගැටලුවක් තමයි ඔය එන අය කොහෙන්ද ආවේ, මොකටද ආවේ කියන ගැටලුව. දැන් බලන්න අපි නියෝජනය කරන ප්‍රධාන ධාරාවේ අලුත් කියන අය නැති තරම්. ඒ අය වෙනම ධාරාවක් බවයි මට හැෙඟන්නේ. දැන් බලන්න ප්‍රසිද්ධ සිනමාවේ ඉන්නේ අපි වගේ 40, 45 පැනපු අය. අලුත් අය එහි නෑ. ඒක එකාධිකාරයක් ද කියලා කියන්නත් මම දන්නේ නැහැ. නමුත් බලපු ගමන් පේනවා අලුත් අය එනවා කියලා. නමුත් ඒ අය කරන්නේ මොනවද කියලා කියන්න මම දන්නේ නැහැ. ඒ අය වෙනම ධාරාවක ඉන්නේ. එහෙම ගියයි කියලා අපිට දොස් කියන්න බැහැ. ඒක යුගය හා ඒ අයගේ හැඩය අනුව තීරණය වන දෙයක්.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    FEEDBACK

    මතු දිනෙක

    රගපාමු