මෙතනට කොහෙන්ද අවේ මෙතනින් කොහේද යන්නේ

ඇන්ටන් ජූඩ් පිළිබඳ සහෘද සටහනක්

ලොව බොහෝ දෑ සිදු වන්නේ අනපේක්ෂිත අයුරිනි. එයට වෙලාවක් හෝ කලාවක් නැත. රටක් හඬවමින් ඇන්ටන් ජූඩ් නම් වූ සොඳුරු මිනිසා, ආදරණීය කලාකරුවා අපෙන් වෙන්ව කොහෙදෝ ඈතක සැඟව ගියේ ඒ නියත දහම යළිත් වරක් සනාථ කරමිනි.

වදනේ සැබෑ අරුතින්ම ඇන්ටන් ජූඩ් යනු පිරිපුන් කලාකරුවෙකි. බොහෝ දෙනකු ඔහුගේ රංගනයට මෙන්ම ගායනයට එකසේ ඇලුම් කළේ එකී කලා මාධ්‍යයන්හි ජූඩ් සතුව තිබූ අපූර්ව නිසඟ ප්‍රතිභාව නිසාය. ‘අයිෂ් අම්මා ගුංඩු’ කියූ සැනින් මුළු රටම ඔහු හඳුනයි.

ජූඩ්ගේ කලාවට, වෙලාවක් තිබුණේ නැත. විටෙක ඔහු සිය රසිකයන් වෙත ගී රසය බෙදා දෙන්නේ මැදියම් රැයේදීය. එසේ රසිකයන් පිනවන ජූඩ් තම නිවෙස වෙත එන්නේ රැය පහන් වූ විටෙකය. ඔහුගේ ඊළඟ මොහොත වෙන් වන්නේ චිත්‍රපටයක රූගත කිරීමකටය. නැතිනම් වේදිකා නාට්‍යය රංගනයකටය. එසේ නොවී නම් එය ගීත පටිගත කිරීමක් හෝ විය හැකිය.

කලාවත් සමඟ ජූඩ්ගේ තිබුණේ එවැනි පයුරු පාසනයකි. තත්පරයෙන්, තත්පරය, මොහොතින් මොහොත, පැයෙන් පැය ඔහුගේ හදවතේ රිද්මය සැලුණේ කලාවේ රස පහස සොයමිනි. කොටින්ම ජූඩ් ගේ ජීවිතය වූයේ කලාවයි. ගෙවෙමින් තිබුණේ ඔහුගේ කලා දිවියේ ස්වර්ණමය අවධිය යැයි මට සිතේ. ප්‍රසංග වේදිකාවේත්, පුංචි තිරයේත්, සිනමාවේත් ඔහුට ඉහළ ලංසු තැබෙන යුගයක දිවි රඟ මඬලෙන් සමු ගන්නට සිදු වීම ජූඩ්ගේ පමණක් නොව අපගේ ද අභාග්‍යයකි. ඒ ඔහුට තව බොහෝ කුසලතා අප වෙත ප්‍රදානය කරන්නට ඉතිරිව තිබූ බැවිනි.

වරක්, දෙවරක් මා ඇන්ටන් ජූඩ් හමුව තිබුණ ද ඔහු සමඟ ඉතා සමීපව ඇසුරු කරන්නට ලැබුණු සුන්දර හෝරා කිහිපයක් මේ මොහොතේ මතකයට නැගේ. රොඩ්නි වර්ණකුලගේ ‘සාරංගා නැවෙන් ඇවිත්’ ප්‍රාසංගික වේදිකා නාට්‍යය වරක් මම නිට්ටඹුව, රන්පොකුණගම ‘නරිතසං’ රඟහලේදී මගේ මිතුරකුත් සමඟ එක්ව සංවිධානය කළෙමි. ඒ 2003 වසරේ ජූලි 27 වැනිදාය. එම ප්‍රසංගය අහවර වී මිතුරාගේ නිවසේ පැවැති ප්‍රිය සාදයේදී රොඩ්නි මෙන්ම ජූඩ් ද ගී ගයමින්, විහිළු තහළු කරමින් අප රසගැන් වූ අයුරු කිසි දිනෙක අමතක වන්නේ නැත. ‘සාරංගා නැවෙන් ඇවිත්’ වේදිකා නාට්‍යයේ ජූඩ් රඟපෑවේ නැවියකු ලෙසිනි. පසු කලෙක ජූඩ් ද රොඩ්නි ;මන්ම වේදිකාවට නැවුම් අත්දැකීමක් එක් කරමින් තවත් එබඳුම වූ අපූර්ව නිර්මාණයක් ‘සකි සඳ මඬල’ නමින් ඉදිරිපත් කළේය. ජූඩ්ගේ රංගනයෙන් මෙන්ම ගායනයෙන් ද හැඩ වැඩ වූ ‘සකි සඳ මඬල’ මංගල දර්ශනයට ඇරැයුම් පතක් පිළිගන්වමින් ජූඩ් ‘කොහොම හරි එන්නම ඕනෑ මචං’ කියමින් අහිංසකව හිනැහුණු අයුරු මගේ දෑස් මානයේ දැනුදු මැවී පෙනේ. එහි පණස් වැනි දර්ශනය පැවැත්වුණේ ජූඩ් මිය යාමට දින කිහිපයකට පෙරාතුවය.

ජූඩ්ගේ රංගන හා ගායන හැකියාව එකම කාසියක දෙපැත්ත මෙනි. එය පිත්තල හෝ තඹ කාසියක් නොව රන් කාසියකි. රංගනයට වඩා ගායනයත්, ගායනයට වඩා රංගනයත් හොඳ යැයි කියන්නට බැරි තරමින් ඔහු එකී කලාංගයන්ගේ සමාන්තර දක්ෂතා පළ කළ කලාකරුවෙකි. සිංදු කියන්නට බැරි ගායකයන් නළුවන් වන, රඟපාන්නට බැරි නළුවන් ගායකයන් වන මේ කලියුගයේ ජූඩ් මේ දෙකම හරියට කළේය.

බොහෝ කලාකරුවන් රසවතුන් වන්නේ නැත. එහෙත් ජූඩ් යනු සැබෑ රසවතෙකි. ඒ රස භාවයන් එක් තැන් කර ඔහු තවත් රස හදවත් රසයෙන් කුල්මත් කළේය. රසවතකු සේම ජූඩ් කාටත් සැබෑ හිතවතකු ද වූයේය. ඒ හිතවත්කමට පක්ෂ, පාට, කුල, නිල, බල බේද කිසිවක් තිබුණේ නැත. ඔහු සතුව තිබූ විසල් කලා හැකියාව ද පරයමින් මිනිසත්කම ඔහු වෙතින් නිබඳවම උතුරා ගියේය. ජනතාවාදී, මානව හිතවාදී යැයි කියමින් පරසක්වල ගහන ඇතැම් කලා ‘මායාවරුන්ට’ වඩා ජූඩ් සැබෑම කලාකරුවෙකි. ලොවට බෙදන්නට ඔහුට ධනය තිබුණේ නැත. එහෙත් ඔහු කරුණාව, දයාව, මනුස්සකම සැමට එකසේ බෙදා දුන්නේය.

නැති තැන ඔහු කිසිවකුට පහර ගැසුවේ නැත. විවේචනය කළේ ද නැත. එහෙත් ඇත්ත, යුක්ත ඕනෑම අයකුගේ මුහුණටම කියන්නට වුව ඔහු පැකිළුණේද නැත. ‘නිහතමානීකම’ ජූඩ් සතුව තිබූ තවත් සුවිශේෂී ගුණාංගයක් සේ මම දකිමි. කලා ලොවේ මෙන්ම බාහිර ලෝකයේ ද ඔහුට බොහෝ පිරිවර, සේනා සිටියේ එබැවිනි.

‘මචං, හාර්ට් ඇටෑක් එකක් ආවා. හෙට නවලෝකේ ඇඩ්මිට් වෙනවා පරීක්ෂණ වගේකට’

දිනක් සවස් වරුවේ ජූඩ් මා අමතා එසේ පැවසීය. පසු දින සවස් යාමයේ මා අප කර්තෘ මාණ්ඩලයේ චන්දු ලියනආරච්චි සොයුරා සමඟ ජූඩ් බැලීමට නවලෝක රෝහලට ගියද ඒ වන විට ඔහු රෝහලෙන් මුදා හැර තිබුණි. වෛද්‍ය ප්‍රතිකාරවලින් පසු ටික කලක් විවේක සුවයෙන් සිටි ජූඩ් නැවතත් කලා කටයුතුවල නිරත වූයේ පෙරටත් වඩා උද්‍යෝගයකිනි. ශක්තියකිනි. යළිත් ඔහු පෙරට ද වැඩියෙන් කාර්ය බහුලත්වයට පත් වූයේ ජූඩ්ට ද නොදැනුවත්වමය.

‘සරසවිය’ හා ජූඩ් අතර පැවැතියේ පුදුමාකාර සබැඳියාවකි. සරසවියේ අප කාගේත් ඔහු ළෙන්ගතු මිතුරකු විය. සරසවියේ වැඩකට ජූූඩ් කිසි විටෙක පස්ස ගැසුවේ නැත. බොහෝ අවස්ථාවල අපේ පුවත්පත සම්බන්ධ වී සිදු කරන සංගීත ප්‍රසංග ආදිය සම්බන්ධීකරණය කෙරෙන්නේ මා අතිනි. ඇරයුම් කරන කලාකරුවන්ගේ නම් ලැයිස්තුවේ මුලින්ම පාහේ ජූඩ් ගේ නම සටහන් වන්නේ මට ද නොදැනුවත්වමය.

අනුරාධපුරය – ඔයාමඩුව ‘දැයට කිරුළ’ ප්‍රසංගය සඳහා ගිය අපේ සරසවියේ කලා නඩයට සුපුරුදු පරිදි ජූඩ් සහභාගි විය. ඒ ඉකුත් පෙබරවාරි 06 වැනි දිනය. කමින්, බොමින්, ගී ගයමින් තවත් කලාකරුවන් රැසක් සමඟ අප අනුරපුරයට ගියේත්, ආවේත් ජූඩ්ගේ විහිළු කතා, ගී ගායනාවලින් හොඳ හැටි රසවත් වෙමිනි. ඔයාමඩුවට මෙන්ම ජූඩ් අප සමඟ පල්ලේකැලේ, බුත්තල ‘දැයට කිරුළ’ ප්‍රසංගවලට ද සහභාගී විය. කොළඹ ‘දැයට කිරුළ’ ට සභභාගි වූ ඇතැම් කලාකරුවන් නොයෙක්

හේතුª දක්වමින් දුර බැහැර යාම ප්‍රතික්ෂේප කරද්දී ජූඩ් එක පයින් සරසවියේ අප සමඟ ඕනෑම දීපංකරේක යන්නට සැදෑ පැහැදී සිටියේය. මුදල් ගෙවන ප්‍රසංගවලදී පවා ඔහු ‘මෙච්චර ගණනක් දෙන්න’ කියා කිසි දිනෙක ඉල්ලුවේ නැත. ජූඩ් අප සමඟ විත්, රසිකයන් පිනවා අප දෙන මුදල රැගෙන නිහතමානීව ගිය කලාකරුවෙකි.

‘වාහනයක්වත් ගනින්කෝ ජූඩා’ මෙවැනි ගමනක් අතරතුර වරෙක මා ඔහුට පැවසීය. ‘ඔව්, ඔව් මචං කොහොම හරි වාහන කට්ටක් නම් ගන්න ඕනෑ තමයි’ කියා පැවසුවේ අවිහිංසක සිනහවක් මුවගට නඟා ගනිමිනි. එහෙත් මියෙන තුරුම ඔහුට තමාගේම වාහනයක අයිතිකරු වන්නට හැකි නොවීය. දුප්පතුන්ගේ වාහනය වූ ‘ත්‍රී රෝද රථයෙන්’ රට පුරා ගොස් ජූඩ් කලා ලොවේ මහා වැඩ ගොඩක් ඉටු කළේය.

‘සෙඳ් ඇබින්දක් ඔහොම ඉඳින්

හිටියා වාගෙම ගෙට ඉහළින්

ආපසු ගෙට ගොස් මල් පොකුරක් වන්

පුතා වඩාගෙන මං එනකල්’

ජූඩ් අප සමඟ කොහේ හෝ යන විට මුලින්ම ගයන්නේ එම ගීතයයි. ‘අපේ සරසවියේ’ නඩය ද එම ගීතය අසන්නට බෙහෙවින් ඇලුම් කළේය. ජූඩ් ඉතාම හැඟීම්බරව එම ගීය ගයන්නේ පපුතුරේ සඟවා ගත් කිසිියම් වේදනාකාරී හැඟීමකින් විය යුතු යැයි ඒ හැම වරෙකම මට සිතුණි. ගීතයෙන් එසේ කියුවද සැබෑ ජීවිතයේ දෝතින් තුරුළු කර වඩා ගන්නට ඔහුට පුතකු සිටියේ නැත. දුවකු ද සිටියේ නැත. ඒ දරු සෙනෙහස ඔහුට අහිමි වුව ද කුඩා දරුවන් හට ඔහු බොහෝ සේ ඇලුම් කළේය. ආදරය කළේය. එමෙන්ම කුඩා ළමයි අතර ද ජූඩ් ඉතාමත්ම ජනප්‍රියව සිටියේය.

දින කිහිපයකට මත්තෙන් මම ජූඩ්ගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලබා ගතිමි. ඒ අප කාර්යාලයේ සොයුරියකගේ අවශ්‍යතාවයක් වෙනුවෙනි. ගණේමුල්ල ප්‍රදේශයේ පෙර පාසලක නිවාඩු දෙන දිනයේ පවත්වන උත්සවයක ගී ගැයීමට හා ළමුන් සමඟ හෝරා කිහිපයක් ගත කිරීමට ජූඩ් ගෙන්වා ගැනීමට ඈ ඇතුළු සංවිධායක මණ්ඩලයට අවශ්‍යයව තිබිණි. ජූඩ් මගේ ඇරියුම පිළිගත්තේ වෙනදා මෙන්මය. ඒ වන විට ඔහු සිටියේ සුනිල් අරුණ වීරසිරිගේ ‘වීර්යා’ චිත්‍රපටයේ රූගැන්වීමක් අතරතුරය. සුනිල් අයියා ද ළඟ සිටිනා වග පවසමින් ජූඩ් තම දුරකතනය ඔහුට යොමු කළේ මඳ වේලාවකට පසුවය.

‘අපේ මිත්‍රයා හොඳට බලා ගන්න සුනිල් අයියා’

මා ඒ කෙටි දුරකතන ඇමතුම අවසන් කරමින් සුනිල් අරුණ හට පැවසුවේ විහිළුවට මෙනි.

‘ආ . . අපේ . . ජූඩ් ද, එයා තමයි දැන් අපිව බලා ගන්නේ’ මට ද පුංචි පහේ විහිළුවක් කරමින් සුනිල් අයියා එසේ කියද්දී ජූඩ් ගේ සිනා හඬ මට එහා කෙළවරෙන් ඇසිණ.

ජූඩ් මිය ගිය පුවත මට මුලින්ම සැළ කර සිටියේ අපේ චන්දුය. එක් වරෙම මට සිතුණේ එය මුසාවක් කියාය. එහෙත් එවැනි බොරුවක්? චන්දු යළිත් එය සත්‍යයක් බැව් පවසද්දී ‘පව් අහිංසකයා’ යැයි මට කියවුණේ ඉබේමය.

දැන් ඉතින් යළි කිසි දිනෙක මේ අත්භවයේ ජූඩ් අපට හමු වන්නේ නැත. ඔහුගේ අවිහිංසක සිනහව යළිත් මුව මත විකසිත වන්නේ නැත. ජූඩ් යන්නට ගොසිනි. අප කෙතරම් හඬා වැළපුණද, සුසුම් හෙළුව ද ඔහු යළි නොඑනා ගමන් ගොස් අහවරය. අවුරුදු පනස් දෙකක් ආයු විඳ එයින් තිස් වසරක් පුරා අප රස ගැන් වූ ළබැඳි කලාකරුවාණෙනි, දයාබර සුමිතුරාණෙනි, ඔබට මොක් සුව.

‘මෙතනට කොහෙන්ද ආවේ

මෙතනින් කොහේද යන්නේ

හරියට කවද ද යන්නේ

ඉන්නේ කී දොහද නොදැන

නැටුම් නටන්නේ’

ඒ ගී හඬ අපට අදටත් වඩා වටින්නේ හෙට දිනයේ යැයි කියා මට සිතේ. . .

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    FEEDBACK

    මතු දිනෙක

    රගපාමු