සැබෑ දේශීය සිනමාවක රැව ගුණ

විශිෂ්ටතම අනන්‍යතාවයෙන් යුත් දේශීය සිනමාව ලෙස අද ලොවපුරා විචාරකයන් විසින් සලකනු ලබනුයේ ඉරාන සිනමාව පිළිබඳ ය.

එහෙත් ඉරානය සහ එහි අගනුවර වන ටෙහෙරානය පිළිබඳ මා මුල් වරට අසා දැන ගත්තේ විශිෂ්ට ඉරාන සිනමාව නිසාවත්, වෙනත් කවර හේතුවක් වත් නිසාවත් නොවේ.

ඉරානයේ චිත්‍රපට කළු ද සුදු ද දැයි නොදන්නා එකල මා ඉරානය ගැන දැන ගත්තේ සිංහල චිත්‍රපටයක් නිසාවෙනි.

ඒ 1976 වසරේ තිරගත වූ එම වසරේ විශිෂ්ටතම සිංහල චිත්‍රපටයක් වූ හුලවාලි නිසාවෙනි. හුලවාලි චිත්‍රපටයේ ප්‍රධාන වෙළෙඳ උද්ධෘතය වූයේ ආදර පුවතක තුන්වන පැත්ත යන්නයි.

එහි අනිත් දැන්වීම වූයේ ටෙහෙරාන් ගිය හුලවාලි ය යි. හුලවාලි ටෙහෙරාන් ගියේ එහි අන්තර්ජාතික සිනමා උළෙලට බවත් එය ඉරානයේ අගනුවර බවත් මම පසුව දැන ගතිමි. එකල ටෙහෙරාන් උළෙල ලොව මුල් පෙළ සිනමා උළෙලක් විය. මම එවකට කුඩා පාසල් සිසුවකු ව සිටියෙමි.

කෙසේ වෙතත් ඉරාන චිත්‍රපටයක් නරඹන්නට මට තවත් වසර ගණනාවක් බලා සිටින්නට සිදු විය. මා මුල් වරට ඉරාන චිත්‍රපටයක් නැරැඹුවේ 1989 වසෙර්ය . ඒ මෙරට පැවැත් වූ මුල්ම ඉරාන සිනමා උළෙලේ දී ය. චිත්‍රපටය මොහමඩ් මුටාවලියස් ගේ ෂූස් ඔෆ් හිර්සා නව්රාස්ය.

ඉරානය නැතහොත් පැරැණි පර්සියාව ද ලොව කලාවන්ගේ උල්පතක් ලෙස සලකනු ලබන රටවල් ය. මේ සංස්කෘතික ව්‍යාප්තිය ඉන්දියාව දක්වා එක් කලෙක පැතිර ගියේය. එහි එක් ප්‍රතිඵලයක් නම් මුල්ම පර්සියානු චිත්‍රපටය තැනෙන්නේ ඉන්දියානු හවුලක් හැටියට ය. එයට හේතුව මුල්ම ඉන්දිය කතානාද චිත්‍රපටය වූ අලම් අරා තැනූ අර්දේශර් එම්.අයිරානි ද ඉන්දියානුවෙක් වුවද පර්සියානු සම්භවයකින් යුතු බැවිනි.

ඉරානයේ සිනමාව ලොව පැරැණි සිනමාවන්ගෙන් එකකි. 20 වන සියවස ආරම්භයේ ඉරානයේ පාලකයාව සිටි ෂා වංශික රජු වූ මුසාෆර් අල් දින් ෂා ගේ කැමරා ශිල්පියා වූ මිර්සා ඊබ්‍රහිම් ඛාන් 1900 දී ෂා රජුගේ පැරිස් සවාරිය රූ ගැන්වීම ඉරාන සිනමාවේ ආරම්භයයි.

1904 වනවිට ඉරානයේ මුල්ම සිනමාහල ගොඩනැඟිණ. ඒ ටෙහෙරානයෙ ්ය. එපමණක් නොව මුළු මහත් ආසියාකරයේම මුල්ම සිනමා පාසල ඉදි වූයේ ද ඉරානයේ ය.

ඒ 1925 වසරේ ඔවනේස් ඔහනියස් නම් වෛද්‍යවරයා විසින් ආරම්භ කරන ලද සිනමා පාසලයි. මොස්කව් නගරයේ දී සිනමාව හැදෑරූ ඔහු වෘත්තියෙන් වෛද්‍යවරයෙකු ද විය. ඉරානයේ මුල්ම දීර්ඝ වෘතාන්ත චිත්‍රපටය වන අබි ඇන්ඩ් රාබි නිර්මාණය කළේ ද ඔහු ය . ඔහනියස් කලක් ඉරානයෙන් බැහැර ගොස් ඉන්දියාවේ කල්කටා වේ ද සිනමා පාසලක් බිහි කළේ ය. කෙසේ වෙතත් මුල්ම ඉරාන කතානාද චිත්‍රපටය තැනෙනුයේ ඉන්දිය කතානාද සිනමාවේ පියා වූ අර්දේශර් එම්.අයිරානිගේ ඉම්පීරියල් සමාගමේ නිෂ්පාදනයක් හැටියට ය. ලේර් ගර්ල් එම චිත්‍රපටයයි.

සිනමාවේ මුල් යුගයේ ඉරාන සිනමාව ගොඩනැඟී මෙහි ලා බල පෑ සිනමා සාධක දෙකක් වේ. එයින් එකක් නම් ඉන්දියානු සිනමාවයි. අනෙක ප්‍රංශ සිනමාවයි. අපට දක්නට ලැබෙන සිනමාව ට වඩා වෙනස් මුහුණු වරකින් යුත් ප්‍රධාන ප්‍රවාහයේ සිනමාවක් ඉරානයේ ද වේ.

අප දකින සිනමාව බොහෝවිට කේන්ද්‍ර කොට ගනුයේ ප්‍රංශයයි. එයට හේතුව මුල් යුගයේ සිට ඉරානයට ප්‍රංශ සිනමාවේ බලපෑම දක්නට ලැබීමයි. 60 දශකයේ මුල බිහිවූ ප්‍රංශ නව රැල්ල තදින් වැළඳ ගත් සිනමාවන් අතර ඉරානයට අයත් වනුයේ ඉහළ තැනකි.

කොටින්ම කිවහොත් ප්‍රංශ නව රැල්ලේ පුරෝගාමියකු වූ ෆ්‍රාංශුවා ටෲෆෝගේ ජූල්ස් ඇන්ඩ් ජිම් චිත්‍රපටයේ සංගීතය මෙහෙය වූ සර්ජි රෙස්ලනියා ද ඉරාන සංගීතඥයකු වූයේ ය.

නවරැල්ලේ මතවාද ලොවට ගෙන ගිය කැහියා ඩූ සිනමා සඟරාව ඉරාන සිනමාවේ නවරැල්ලට මහත් බලපෑමක් ගෙන ආවේ ය. ටෙහෙරාන් සිනමා උළෙල ද පසුකාලීනව එයට මහත් ආයෝජනයක් විය. 1979 වසරේ ආගමික නායක අයොතොල්ලා කුමේනිගේ මෙහෙයවීම යටතේ ෂා පාලනය බිඳ හෙළා ගොඩනැඟුණ නව පාලනය සෙසු නොව සිනමාවේ විප්ලවීය වෙනසක් ඉටු කළේ ය. සිනමා සංස්කෘතිය යනු රටක සංස්කෘතිය ඉක්මවා නොයන්නක් ලෙස ඇදහූ ඉරානයේ නව සිනමාව ලොවපුරා ගෙන යන්නට එය මහත් ආශ්වාදයක් ගෙන දුන්නේ ය.

මේ සමඟ ඉරාන සිනමාව වෙනුවෙන් බිහි වූ ෆරාබි සිනමා පදනම එහි දී මහත් මෙහෙයක් ඉටු කළේ ය. නියත වශයෙන්ම ඉරාන ජන ජීවිතය මෙන්ම සිනමාව ද ආගමික නීතිරීති සමඟ බද්ධ වූයේ ය.

මේ නිසාම ඉරාන සිනමාව තරම් නීතිරීතිවලින් වට වූ සිනමාවක් තවත් නැති තරම් ය. එහෙත් එය ගැටලුවක් නොවේ.

ඉරානයේ ආගමික හා සංස්කෘතික නීති මැද තැනෙන ඇතැම් චිත්‍රපට එහි පෙන්වන්නට ලැබෙන්නේ නැත. එහෙත් ඒවාට රට රටවල නමක් දිනා ගන්නට එයින් තහනමක් නැත.

ඒ චිත්‍රපට හරහා බැලූ බැල්මට හෝ කිසි විටෙකත් ඉරානයට හෝ එහි සංස්කෘතියට අපහාසයක් කෙරෙන්නේ නැත. එහෙත් එකී චිත්‍රපට එරට ප්‍රදර්ශනය නොවනුයේ එරට ඇති ආගමික හර පද්ධතිය හා නොපෑහෙන්නේ යැයි තීරණය කරනු ලබන බැවිනි.

කෙසේ වෙතත් ඉරාන සිනමාව ලෙස අප දකින සිනමාවට වඩා වෙනස් පොදුජන සිනමාවක් එරට ඇත්තේ ය.

අප දකින ඉරාන සම්භාවනීය සිනමාව ලෝකය විසින් ගරු කොට ගත්තක් විනා ඉරාන වැසියන්ගේ සිනමාව නොවේ.

එරට සිනමාව බොහෝ විට ඉරාන විප්ලවයෙන් පසු පවුල් සබඳතා හා විකට තේමාවලින් යුත් ඒවා වේ. එමෙන්ම විදේශ චිත්‍රපට සම්බන්ධව ද ඉරානයේ ඇති නීති දැඩි ඒවා ය. එහෙත් ඉරානයේ සිනමාකරුවන් සිනමා මාධ්‍ය හදාරනුයේ ද එයින් විපුල ඵල නෙළනුයේ ද තම සංස්කෘතිය යනු තම පෞද්ගලිකත්වය අභිබවා යන්නක් ලෙස එරට සිනමාකරුවන් අදහන බැවිනි. එය ජාතික වගකීමක් බැවිනි.

එබඳූ වුවද ඉරානයෙන් බැහැරව සිට අප දකින සිනමාකරුවන් අතර අබ්බාස් කියොරස්තාමි, ජෆාර් පනාබි, මජිඩි මජිඩ්, දාරිස් මෞරිජ්, මෝෂන් මකමල්බාෆ් යනු එරටට වටිනාකමක් ගෙනදෙන සිනමාකරුවන් ය. විශේෂයෙන් බටහිර විසින් ඉරාන කාන්තාවන් ගේ නිදහස පිළිබඳ විවිධ වූ අර්ථකථන ගෙන එද්දී ඉරානය විසින් බිහි කරන ලද සිනමාකාරියන්ගේ නිර්මාණාත්මක හැකියාව මහත් විශ්මය ගෙන දෙන්නකි.

මේ චිත්‍රපට ඔබට ගෙන එනුයේ ඉතා කුඩා කතාවක් වුව ද එය ජීවිතය විනිවිද යන්නට සමත් වන්නකි.

පෞද්ගලිකව මගේ සිනමා අත්දැකීම් අතර මවිසින් බෙහෙවින් අගය කරනු ලබන ඉරාන චිත්‍රපට අතර වෙයා ඊස් මයි ෆ්‍රෙන්ඩ්ස් හෝ්ම්, කලර් ඔෆ් ගෝඩ්, ඇපල් බ්ලැක්බෝඩ් වැනි චිත්‍රපටවලට ලබා දෙනුයේ ඉහළ ලකුණු ප්‍රමාණයන් ය. ඒවා අප බොහෝවිට අපේ කලාපයේ සම්භාවනීය යැයි සලකනු ලබන ඇතැම් චිත්‍රපටවල එන ව්‍යාජ අංගෝපාංගවලින් මුළු මනින්ම මිදුන ඒවා ය. එයට හේතුව සිනමා මාධ්‍ය අතැඹුලක් ලෙස හසුරුවන්නට ඉරාන සිනමාකරුවන් ලද අප්‍රමාණ දැනුමයි. ඒවා සිනමා මාධ්‍ය පිළිබඳ ශිල්ප හරඹ නොවේ.

මෙවර ලංකාවේ පැවැත්වෙන ඉරාන සිනමා උළෙල එක් අතකින් පැවැත්වෙනුයේ මේ වනවිට බටහිර බොහෝ රටවල් එරටට එරෙහිව අවි අමෝරා ගනිමින් දත්මිටි කමින් ඉන්නා අතරය. ඒ බොහෝ දෙනෙකුට වුව ඉරාන සිනමාවේ ඇති වැදගත්කම කිසිසේත් අවතක්සේරු කළ නොහැක.

එතරම් ඈත නොවූ අතීතයේ පවා ඇකඩමි සම්මාන උළෙලක දී ඉරානයේ චිල්රන් ඔෆ් හෙවන් හොඳම විදේශ භාෂා චිත්‍රපටය සඳහා නාමයෝජනා දිනූ වග අප අමතක නොකළ යුතුය.

මෙවර මෙරට පැවැත්වෙන සිනමා උළෙලට ඇතුළත් චිත්‍රපට අතරින් එකක් හැර සියල්ලම 2010 වසරේ සහ ගිය වසරේ තැනුණ චිත්‍රපටයන් ය. ‘ බටර්ෆ්ලයි ඉන් ද වින්ඩ්’ පමණක් 2005 වසරේ තැනුණ චිත්‍රපටයකි. මෙවර උළෙලේ චිත්‍රපට ත්‍රිත්වයක්ම අබ්බාස් රෆෙයිගේ නිර්මාණයන් ය.

ඔහුගේ චිත්‍රපට මෙරට පේ‍්‍රක්ෂකයන් අත් විඳීනුයේ මුල්වතාවට ය. එය වඩා වැදගත් වනුයේ ඉරාන සිනමාවේ නව පරම්පරාවක් එමගින් ජනිත වන බැවිනි.

පළපුරුදු සිනමාකරුවකු වන දරියුශ මෙහෙර්ජි ගේ සිනමාව සමඟ එය සැසඳීය හැකිවීම වඩාත් වැදගත් ලෙස සැලකිය යුත්තේ ය.

එකම ආගමික විප්ලවයක් හරහා බිහිවුණ සිනමා පරම්පරාවන් අලුත් අලුත් මං ඔස්සේ ගමන් කරන්නේ එරට සිනමාවේ සීමාවන් සමඟ ය. එය ලොව සෙසු සිනමාකරුවන්ට නොලැබෙන අත්දැකීමකි. එහෙත් එය හරහා ඔවුහු බටහිර හෝ තම රටට එරෙහි බලවේගයන් ගේ හෝ සංස්කෘතියේ අවශ්‍යතාවන් ඉටු නොකරති.

ඉරාන සිනමාව මේ අනන්‍යතාව ගොඩනඟා ගන්නේ එයට විශිෂ්ට සංස්කෘතියක් ඇති නිසාවෙනි.

ඉන්දියාවේ හෝ ප්‍රංශයේ සිනමා බලපෑම් ඔවුන්ගේ සිනමාව හා මුලින් නෑකම් කීව ද ඉරානය සිය සිනමාව ගොඩනඟා ගන්නේ එරට මිනිසුන් පිළිබඳ ජීවන අන්දරයන් සමඟ ය.

මේ ජීවන අන්දරයන් භූමිය හෝ ආගමික හෝ සිතුවිලිවලින් ලොව එකිනෙකා හා වෙනස් කළ ද මිනිස් චර්යාවන් එකිනෙක හා වෙනස් වනුයේ කලාතුරකිනි. ලොව කොහේ හිටියත් මිනිස් ජීවිත හා ඉරණම එක හුයකින් බැෙඳන වගක් අප හමුවේ පෙනී යන්නකි.

ඉරාන සිනමාව හමුවේ ලොව මහ බලවතුන් අතර සිටින සිනමා විචාරකයන් එය අගය කරනුයේ වෙනස් නොකළ හැකි එකී මානව ගුණාංග නිසාවෙන් විනා වෙන අන් කවර කරුණක් නිසාවත් නොවේ. මෙවර ද ඉරාන සිනමාව නැරැඹීමෙහි ලා අප පොලඹවන පොදු සාධකය එයම වේ.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව