බහු රූ කෝළම්
බහුරූ කෝලම් යන වචනය ඇසූ සැණින් අපේ මතකයට නැඟෙන්නේ ලෝවැඩ සඟරාවේ ඇති ජනප්‍රිය
කවියයි.
පාලා රස මුසු භෝජන කරපෙම්
ගාලා සුවඳැති සඳුනුත් මනරම්
ලාලා අබරණ නිසිලෙස සැරසුම්
පාලා ගිය වැනි බහුරූ කෝලම්
වීදාගම මෛත්‍රීය හාමුදුරුවන් ලෝ වැඩ පිණිස මේ කවි බඳින්නේ කෝලම් නාට්‍ය සම්ප්‍රදාය
උපහාසයට ලක් කරන්න යැයි බොහෝ උගත්තු සිතති. එහෙත් ඒ සිතා ගැනීම වැරැදි සහගත යැයි මට
සිතේ. උන්වහන්සේ මෙහිදී උපහාස කරන්නේ කෝලම්කරුවනට නොව කෝලම්කරුවන් මෙන් ‘බහු රූ’
දරන්නට වැර වෑයම් දරන නාගරිකයන්ටය. ඔවුහු නිසි ලෙස අබරණ ලා සැරැසී, මනරම් සඳුන්
සුවඳ ගා, රසමුසු භෝජන කෙරෙහි පෙම් කරමින් සිටින්මෝය. වීදාගම හාමුදුරුවන් කියා
දෙන්නේ මේ භෞතික සැප සම්පත් විෂයෙහි රැඳී ජීවත්වීම තාවකාලික සැපතක් කියාය
කෝලම්කරුවෝ ද බහු රූ (විවිධ රංගන) පා යන්නට යයි. කෝලම්කරුවන් දක්වන විවිධ වර්ණිත,
අලංකාර රූප පන්තිය තාවකාලිකය.
ඔවුහු රංගය අවසානයේ කෝලම් වෙස් ගලවති. එය තාවකාලික රංගයක් වෙනුවෙන් කරන වෙස්
බැඳීමක් පමණකැයි උන්වහන්සේ අවධාරණය කරති.
ලෞකික සැප සම්පත් කෙරෙහි ලොබ බැඳී ජීවිත කාලය ගෙවා දමන්නට සැරසෙන්නන් හරියට බහු
රූපයෙන් හා බහු වර්ණයෙන් යුතු කෝලම් මුහුණක් සදහටම පැලඳ සිටින්නට වෙර දරන්නන් වැනි
යැයි උන්වහන්සේ ලෝවැඩ සඟරාවේ පැහැදිලි කරති.
කෝලම් අධ්‍යයනයේදී ලෝවැඩ සඟරාවෙන් ගත හැකි වෙනත් සාක්ෂියක් ඇත. එනම් කෝට්ටේ යුගය වන
විට අප රටේ ‘බහු රූ කෝලම්’ තිබී ඇතැයි යන නිගමනයට අපට එළඹිය හැකිවීමයි.
බහුරූ කෝලම් වශයෙන් උන්වහන්සේ හඳුනා ගත්තේ කුමක්ද?
බහුරූ කෝලම් යන වචනය අප වරද්දා ගන්නේ ‘බහුබූත කෝලම්’ යන ව්‍යංග රූපය සමඟ පටලවා
ගැනීම නිසාය.
‘බහු රූ’ යනු ‘බොහෝ රූ’ යන තේරුමයි. රූප බොහොමයකින් යුතු පොහොසත් කෝලම්
සම්ප්‍රදායක් අප සතුව තිබී ඇත. දැනට අප අතර ඉතිරිව ඇත්තේ ප්‍රකට බහු රූ කෝලම්
කිහිපයක් පමණි. මහාචාර්ය ආරියරත්න කළුආරච්චිගේ වර්ගීකරණයට අනුව ඒවා පහත සඳහන් ලෙස
දැක්විය හැකිය.
01. දෘශ්‍යමාන චරිත
1. මිනිස්
2. සත්ත්ව
02. අදෘශ්‍යමාන චරිත
1. දේව
2. රාක්ෂ
3. වෙනත් (මනඞකල්පිත)
මිනිස් චරිත අතර උපරිම ප්‍රභූ චරිතද්වය වන්නේරජ සහ බිසෝ චරිතයන්ය. ඊළඟට නිලතල හොබවන
චරිත හමු වෙයි. ඒවා අතර නිලමේ, ආරච්චිලා, හේවා සහ පොලිස් ආදී කෝලම් චරිත හමුවෙයි.
ඊළඟට හමුවන්නේ ඉතා ප්‍රකට ගැමි චරිතයන්ය. ජසයා, ලෙන්චිනා, පුරංසිනා, දෙමළ මරක්කල,
සිඤ්ඤෝ හා ආඬිගුරු ආදී කෝලම් අපට හමු වෙයි. සිවුපා කෝලම් අතර සිංහ, වලස්, කොටි,
නරියා, හරකා සහ බළලා ආදී කෝලම් මුහුණු ප්‍රකටය. පක්ෂි අතර පැස්බරා, කොකා සහ උකුස්සා
ආදී කෝලම් චරිත ඇතැයි මහාචාර්ය කළුආරච්චි දක්වයි.
අදෘශ්‍යමාන චරිත දේව, රාක්ෂ සහ වෙනත් මනඞකල්පිත චරිත වශයෙන් වර්ග කළ හැකිය. දේව
ගණයට වැටෙන්නේ ගිරිදේවි, සුරඹාවල්ලි සහ ගිරිදේව චරිතයන්ය. රාක්ෂ චරිත අතර නාගරක්ෂ,
ගුරුළු රාක්ෂ, කව, ගිණිජල්, අසුර, මරු, රත්නකුඨ, නාග කන්‍යා, ගරා, පූර්ණක සහ බහිරව
යන චරිත අයත් වෙයි. මේ චරිත අතර හමුවන සමහර රාක්ෂ චරිත යම් යම් යාතුකර්මවලදී දේව
චරිත ලෙස ද හැඳින්වේ. රාක්ෂ චරිත යක්ෂ චරිත වශයෙන්ද හඳුන්වන අවස්ථා ඇත. මරු රාක්ෂයා
මරු යක්ෂයා වශයෙන් ද, ගරා රාක්ෂ මුහුණ ගරා යක්ෂ මුහුණ වශයෙන් ද අපට හමු වී තිබේ.
දේව, යක්ෂ හෝ රාක්ෂ ගණයට කෙළින්ම අයත් නොවූව ද වෙනත් මනඞකල්පිත චරිත ලෙස නාරිලතා,
සඳකිඳුරු ආදී චරිත ඇතුළත් වේ
කෝලම් මුහුණු අතර ඇති සමහර චරිත සන්නි මුහුණු අතර පවා දැකිය හැකි වෙයි. සන්නි
මුහුණු දහ අට සන්නි ලෙස පෙළ ගැස් වී තිබේ. ඒවා ද දේව, අදේව, සත්ත්ව සහ වෙනත්
මනඞකල්පිතයන් සේ වර්ග කළ හැකිය.
මේ සියලුම චරිත විවිධ ගුණයෙන්, විවිධ ඉරියව්වෙන්, විවිධ චරිත ලක්ෂණයෙන්, විවිධ
හැඩයෙන්, විවිධ තරමින් සහ විවිධ වර්ණයෙන් යුක්තය. මේ විවිධත්වය වනාහි බහු රූපයයි.
ලෞකික මිනිසුන්ගේ අනිත්‍ය විලාසිතා වනාහි මෙකී බැඳ ගලවා දමන බහු රූ කෝලම් වැනි යැයි
වීදාගම හාමුදුරුවෝ පවසා ඇත්තාහ. එහෙයින් ලෝවැඩ සඟරාවේ කවිය වනාහි අපේ රටේ අතීත
නාට්‍ය කලාවට භික්ෂු පරපුරෙන් ආ විරෝධයක් යැයි පැහැදිලි කිරීමකට හේතු නැත.
කෝලම් රඟමඬල ආරම්භ වන්නේද බුද්ධ, ධම්ම සහ සංඝ යන ත්‍රිවිධරත්නය බැති සිතින් වන්දනා
කරමින්ය. අපේ කෝලම් ආදී සෑම ශාන්තිකර්මයකම දේව ධූරාවලියේ තිස් තුන් කෝටියක් දෙවිවරු
සිටින්නේ ලොව්තුරා බුදුන්ට පහළින්ය
කෝලම් රඟමඬල ආරම්භ වන්නේද සියලුම ශිල්පීන් සතරවරම් දෙවිවරුන්ට ඉදිකොට ඇති මල් යහන්
ඉදිරියට අවුත්පංචශීලයේ පිහිටීමෙන් පසුවය. ඉන් අනතුරුව ඔවුහු බුද්ධ ස්ත්‍රෝත්‍ර
ශ්ලෝක ගායනා කරති. ඉන් පසු ත්‍රිවිධරත්නය නමස්කාර කිරීම සඳහා අඬහැර කරන ගායනා සකළ
ගැමියන් අතරම අතිශයින් ප්‍රකට වූ කවි ගායනාවන්ය.
උතුම් බුදු රුව නේ
ලොව්තුරු දහම් සරණේ
සමඟ සඟ රුවනේ
සදා වඳිමුව මෙතුන් සරණේ
අපේ අතීත සංඝ සමාජය කොතැනකවත් කෝලම් නාට්‍යකරුවා ප්‍රතික්ෂේප කොට නැත.
කෝට්ටේ යුගයේදී ලංකා සමාජයේ ව්‍යාප්ත වී පැවති හින්දු දේව ධර්මය උපහාසයට ලක් කරමින්
අපේ භික්ෂූන් වහන්සේලා උපදේශ ග්‍රන්ථ රචනා කළ ද දේශීය ගැමි කලාකරුවා සමඟ පැවැත්
වූයේ අන්‍යෝන්‍ය හිතවත්කමකි.
ගැමි කලාකරුවා ද භික්ෂු සමාජය කෙරෙහි අපරිමාණ භක්තියෙන් යුක්තව තම නිර්මාණ කටයුතු
පවත්වා ඇත. කෝලම් රඟමඬලේ ත්‍රිවිධරත්න වන්දනා කවි අතර සංඝරත්නය වෙනුවෙන් ගැයෙන
සැහැලිවලින් ද ඒ බව හොඳින් ඔප්පු වෙයි.
‘එම ධර්මය තත් වූ පරිද්දෙන් පිළිපදින්නා ලද අෂ්ටාංග පුද්ගල සුපිළිවෙල සාරිපුත්ත,
මොග්ගල්ලාන, රාහුලාදී කෙළ ලක්ෂයක් මහා සංඝරත්නයේ නාමයට ද . . .’
වීදාගම රාහුල, වෑත්තෑවේ ආදී මහ සඟරුවන කිවිවරයාණන් වහන්සේලා ලෙසින්ම ගැමි
කෝලම්කරුවා ද හින්දු දේව ධර්ම පිළිවෙත් උපහාසයට ලක් කළ බවට හොඳම නිදසුනකි. ආඬිගුරු
කෝලම, සීතාවක රාජසිංහ රජු සමඟ රහස් ගිවිසුම ගසාගත් අරිට්ටකීවෙන්ඩු පෙරුමාල් නම් ආඬි
ගුරාගේ සිට සිරීපාදයේ අයිතිය පැහැර ගත් ආඬි පකීර්ලා දක්වාම ලාංකීය සමාජයට රිංගන්නට
ආ සියලුම ආඬිවරු ‘ආඬි ගුරු කෝලමෙන්’උපහාස ගන්වන්නට තරම් කෝලම්කරුවාගේ දේශපාලන දැක්ම
පොහොසත්ය. එබැවින් කෝලම්කරුවා සංඝ සමාජයෙන් ප්‍රතික්ෂේප වූයේ නැත.
එහෙයින් එන්න,
කෝලමේ සමාජ
මෙහෙවර දකින්නට
මේ හොඳම උස් බිමයි
ජැක්සන් ඇන්තනී
|