ජනේලයෙන් පනින්නද සම්මානය ලැබුවේ එකමුතුව සිටි නිසයි

ඇකඩමික් ප්ලේයර්ස්

නාට්‍යය ද කාව්‍ය විශේෂයක් ලෙස පැරන්මෝ සැලකූහ. ඔවුනට අනුව කාව්‍ය දෙවර්ගයකි. ඒ ශ්‍රැත කාව්‍ය හා දෘශ්‍ය කාව්‍ය වශයෙනි. නැරඹීමෙන් නැතහොත් බැලීමෙන් රස විඳීමෙන් දෘශ්‍ය කාව්‍ය, අද නාට්‍ය ලෙස වෙනම කලාවක් වශයෙන් දියුණුවට පත්ව තිබේ.

ග්‍රීක, යුරෝපීය පෙරදිග නාට්‍ය සම්ප්‍රදායන් අතුරින් බොහෝමයක බලපෑම අප රටටද දායද වී බොහෝ කල්ය. ලංකා විශ්ව විද්‍යාලය තුළින් ඇරැඹි ක්‍රමවත් නාට්‍ය කලාව අද ‘බ්ලැක් බොක්ස්’ ආදී නුතන නාට්‍ය ශිල්ප ක්‍රම දක්වා දියුණු වී ඇත. ඒ ආභාෂයෙන් වසර හතළිහකට පෙරාතුව මෙරටදී ආරම්භ කළ රාජ්‍ය නාට්‍ය උළෙල මෙවර ද උත්කර්ෂවත් අන්දමින් පැවැත් විය. එහිදී හොඳම නාට්‍ය අධ්‍යක්ෂණය, හොඳම නිළිය ඇතුළු ප්‍රධාන සම්මාන හයක් හා කුසලතා සම්මාන රැසක් හිමි කර ගන්නට කැලණිය විශ්ව විද්‍යාලයේ ‘ඇකඩමික් ප්ලේයර්ස්’ නාට්‍ය කණ්ඩායම ඉදිරිපත් කළ ‘ජනේලයෙන් පනින්නද’ නාට්‍යය සමත් විය. එහි තිර රචනය තුමිඳු දොඩම්තැන්නගෙන් වන අතර අධ්‍යක්ෂිකාව වූයේ ධනුෂිකා නයන කුමාරිය. ප්‍රසාදිනි අතපත්තු, වරුණි ලෙසත්, නලින් ලුසේනා ලුම්බා ලෙසත්, සමාධි ලක්සිරි කුමුදු ලෙසත්, නිල්මිණි විජේසිංහ හා කෞෂල්‍යා මෙන්ඩිස් රේණු ලෙසත්, චතුරිකා ඩයනිකා ඇන්ටි ලෙසත්, අසංකා වන්නිනායක කසුනි ලෙසත් රංගනයෙන් එක් වූහ. විජිත් නුවන්, තරිඳු ගංගානාත්, අකිල සපුමල්, නදීශානී හේරත්, ලෙනින් ප්‍රියන්ත, සංකල්ප ජයකොඩි, අරවින්ද චන්ද්‍රපත්ම, ප්‍රමිත් දහනායක, ප්‍රියංගිකා සුදර්ශනී, අසංක කෝදාගොඩ මේ සඳහා දායක වූ සෙසු පිරිවරය.

ධනුෂිකා, ප්‍රසාදිනි, තුමිඳු, සමාධි

පසුගියදා ඔවුන් සමඟ කළ පිළිසඳරකි මේ.

ධනුෂිකා මොකක්ද මේ ‘ඇකඩමි ප්ලේයර්ස්’ කියන්නේ?

කැලණිය විශ්ව විද්‍යාලයේ නාට්‍ය හා රංග කලා විශේෂවේදී උපාධිය හදාරණ හා හදාරා අවසන් කළ විද්‍යාර්ථීන් විසින් තමන්ගේ නිර්මාණ කෞෂල්‍ය අධ්‍යයන කාර්යයට හා නිර්මාණ කාර්යයට කැටිකර ගැනීම සඳහා ගොඩ නගා ගත් නිර්මාණශීලී කණ්ඩායමක්.

ජනේලයෙන් පනින්නද’ බිහි වෙන්නේ කොහොමද?

සෑම වසරකම අපේ අධ්‍යයන කටයුතු සඳහා අවසන් වසරේ විද්‍යාර්ථින් නිර්මාණය කරන නාට්‍යයක් සඳහා මෙය නිර්මාණය කළා. අපේ නාට්‍ය හා රංග කලා විෂය භාර තුමිඳු දොඩම්තැන්න අතින් තමයි මෙහි පිටපත රචනය වුණේ. ඔහු අපේ ගුරුවරයා වුණත් අප කණ්ඩායම එකමුතුව ගන්නා යම් යම් නිර්මාණශීලී තීරණ සඳහා ඔහු නොපමාව නම්‍යශීලී පිළිවෙතක් අනුගමනය කළා. එහි එක් අවස්ථාවක් නම් මේ නාට්‍යයේ පෙරදී නොතිබුණ චරිතයක් වන ‘ලුම්බා’ගේ චරිතයට කාල් (නලින් ලුසේනා)ව තෝරා ගත්තා. ඒ චරිතය පිටපතේ තිබුණේ නැහැ. ඒ වගේම අප මේ නිර්මාණයේදී රංගකාර්ය සාර්ථක කර ගැනීම සඳහා විවිධ අවස්ථාවල පිටපත වෙනස් කළා. ඒ සදහා තුමිඳු සර්ගෙන් ලැබුණු සහාය අපමණයි.

නලින් මේ ගැන යමක් කියමු?

මීගමුවේ ඉඳන් කැලණිය විශ්ව විද්‍යාලයට විද්‍යාර්ථියකු ලෙස ආ ගමනේදී නාට්‍ය හා රංග කලා විශේෂවේදී උපාධිය හදාරන්නට ලැබීම සතුටක්. එහිදී මීට වසර ගණනකට පෙර ගොඩ නගා ගත් ‘ඇකඩමික් ප්ලේයර්ස්’ නාට්‍ය සංගමයට එකතුවන්න ලැබීම තවත් සතුටක්. යෞවන නාට්‍ය උළෙලේදී හා මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලේදී සම්මානයට පාත්‍ර වීමට මට හැකි වූයේ ඇකඩමික් ප්ලේයර්ස්ලගෙන් ලැබුණු පන්නරය නිසා. ලුම්බාගේ චරිතය මට ලැබීම තුළ මා ඒ සඳහා උපරිම සාධාරණයක් කරන්න උත්සාහ කළා. අපේ එකමුතුවේ ප්‍රතිඵලය තමයි මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලින් සම්මාන රාශියක් දිනා ගැනීම.

ප්‍රසාදිනී මෙහිදී හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූවා. මේ ගැන කියන්න තියෙන්නේ මොනවාද?

කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයෙන් ඉගෙන ගත් මා පාසල් යන කාලේ නාට්‍ය හා රංග කලාව හැදෑරුවට මේ තරම් මගේ රංගන හැකියාවන් ඔප මට්ටම් වෙයි කියලා මම හිතුවේ නෑ. ඇකඩමික් ප්ලේයර්ස් සමඟ එකතු වීමත් එක්ක මගේ හැකියාවන් තව තවත් වර්ධනය වූවා. ප්‍රියංකර රත්නායක, තුමිඳු දොඩම්තැන්න ආදී ගුරුවරුන්ගන් ලැබෙන ආභාෂය නිසාම අප දිනෙන් දින ඉදිරියට යනවා. ඇන්ටිගනී නාට්‍යයේ ඇන්ටිගනී ලෙස රඟපාන්නෙත් මම. මා මෙහිදී හොඳම නිළිය වූවාට මේ ජයග්‍රහණයේ සම්පූර්ණ ජවය ශක්තිය තියෙන්නේ ‘ඇකඩමික් ප්ලේයර්ස්’ලගේ දහඩිය කඳුළු තුළයි.

ධනුෂිකා මොකක්ද මේ ජනේලයෙන් පනින්නද නාට්‍ය තුළ ඇති අන්තර්ගතය?

නලින්, ධනුෂිකා, සමාධි, ප්‍රසාදිනි, මෙලාන්

විශ්ව විද්‍යාල ජීවිතයේදී හෝ එයින් පරිබාහිර ජීවිතයේදී කොළඹ නගරය තුළ බෝඩිම්වල ගෙවන විවිධ තරුණ ජීවිතවල හැල හැප්පීම් තමයි මෙයින් ප්‍රකාශ වෙන්නේ. මෙහි විශේෂය වෙන්නේ මෙය නරඹන පුද්ගලයාට කෙසේ හෝ එය තමන්ගේ අත්දැකීමක් බවට පත් වෙනවා. ඒ තුළ තමයි මෙහි සමාජ, දේශපාලනික අර්ථකතනයක් ලැබෙන්නේ.එය එක් එක් පුද්ගලයට අනුකූලයි.

සමාධි ඔබ මෙහි කුමුදු ලෙස රඟනවා. එය ඔබට දැනෙන්නේ කොහොමද?

බෝඩ්ම් ජීවිතය තුළ අප ලබන විවිධ අත්දැකීම්, ආවේගයන් පිට කර ගැනීමට හා එහිදී ලබන පීඩනය ප්‍රකාශ වන විවිධ ආකාරයන් මේ නාට්‍ය තුළින් පිළිබිඹු කෙරෙනවා. නමුත් මාගේ චරිතය හෝ වේවා වෙන යම් චරිතයක් හෝ වේවා ප්‍රේක්ෂකයාට තමන්ගේ කරගෙන නැරැඹීමේ හැකියාවක් ඔවුන්ට මේ තුළින් ලැබෙනවා.

මෙලාන් මෙහි විවිධ අවස්ථාවල දුරකතන නාද ඇසෙනවා. එය ශබ්ද පරිපාලක ලෙස නිසි පිළිවෙලට කළ යුතුª වැඩක්. ඔබට එය පහසු වගකීමක් වුණාද?

ඇත්තටම මෙහි දුරකතන සංවාද පහළොවක් පමණ තියෙනවා. හරියටම ටයිමින් වලට මේ රින්ග්ස් කර ගන්න බැරි වුණොත් නාට්‍ය හරියාකාරව වෙන්නේ නැහැ. ඒක නාට්‍ය රසයට බාධාවක්. ඒ නිසා මට මහ විශාල වගකීමක් පැවරිලා තිබුණේ. එය මා හරියට කළා කියා සිතනවා.

ධනුෂිකා ඔබ මේ නාට්‍ය හරහා කියන්න උත්සාහ ගත්තේ මොකක්ද?

වර්තමාන සමාජයේ අපි අසන දකින දේවල් නාට්‍යානුසාරයෙන් රසවත්ව ලබාදීම තමයි අපේ අරමුණ වුණේ. මා හිතනවා එය හරියටම සිදු වූවා කියා.

‘නෙළුම් පොකුණ’ රඟහලේ රංගගත කරන ප්‍රථම වේදිකා නාට්‍ය මෙය නේද?

ඔව්. ‘ජනේලයෙන් පනින්නද’ නාට්‍ය ලබන මාර්තු මස (ලෝක නාට්‍ය දිනය දා) 27 වැනිදා එහි රංගගත කරන ප්‍රථම වේදිකා නාට්‍ය ලෙස ඉතිහාසගත වෙනවා. එය ඇකඩමික් ප්ලේයර්ස් අපට මහත් සතුටක්.

ඔබ නාට්‍ය පිට පළාත්වල පෙන්වන්න සැලසුම් කරලා නැතිද?

මේ වන විටත් ඉල්ලීම් ගණනාවක් ලැබිලා තියෙනවා. 0712502216 හෝ 0715907626 ට ඇමතුවොත් නාට්‍ය කොළඹින් පිට දර්ශන සඳහා අවස්ථාවක් ලබා දිය හැකියි.

ධනුෂිකා ඔබේ නාට්‍ය තුළින් අනෙකුත් නාට්‍ය නිෂ්පාදකයින්ට ලබා දෙන පණිවිඩය කුමක්ද?

හොඳම අධ්‍යක්ෂණය, හොඳම නිර්මාණය, හොඳම නිළිය, හොඳම වේදිකා පරිපාලනය, හොඳම වෙස් ගැන්වීම ඇතුළු සම්මාන හයක් දිනා ගන්නට හැකි වූයේ ලොකු පොඩි බේදයකින් තොරව නිර්මාණය සඳහා එකාවන්ව එකමුතුව ‘ඇකඩමික් ප්ලේයර්ස්’ අපි සිටිය නිසයි. විශේෂයෙන් වේදිකා නාට්‍ය නිර්මාණයේදී සාමුහික බව වැදගත්. ඒ නිසයි අපි මේ විදියට සම්මානයට පාත්‍ර වූණේ.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව