ජීවිතේ එකම වතාවක් මාත් රඟපෑවා
බුද්ධදාස
ගලප්පත්ති
විද්වතුන් වූ රසවතුන් විශේෂාංගය සඳහා අද එක් වනුයේ ගීත
රචකයෙක්, කවියෙක්, නවකතා, කෙටිකතා ලේඛකයෙක්, තීරු ලිපි රචකයෙක්, වේශ නිරූපණ
ශිල්පියෙක්, විචාරකයෙක්, සරසවිය, ජනාධිපති, සිග්නීස් සම්මාන උළෙල ජූරි සභිකයෙක්,
රැගුම් පාලක
මණ්ඩලයේ සාමාජිකයෙක් වන හෝල්සිම් ලංකා සමාගමේ මාධ්‍ය හා මහජන සම්බන්ධතා උපදේශක
බුද්ධදාස ගලප්පත්ති මහතාය.
* ඔබ තුළ කලාව පිළිබඳ කූටප්‍රාප්තිය කොයි ආකාරයෙන් ද සිද්ධ වුණේ?
මගේ ගෙදර පරිසරය වගේම පාසලත් මේ සඳහා ලොකු ආශිර්වාදයක් වුණා කියලා මට හැඟෙනවා. මගේ
මව ගෙදරදී කවි කතා, ළමා ගීත නිතර මට කියලා දුන්නා වගේම විශේෂයෙන් පාසලේ බාලාංශ
පන්තියේ ඉන්න කොට ගුරුතුමියත් කවි ගායනා කියලා දුන්නා. ගෙදරදී නිතර අම්මාගේ කවි
ගායනාත්, පාසලේදී ගුරුවරියන් කියලා දෙන කවි ගායනාත් මගේ සිතට පුදුම විදියට බද්ධ
වුණා.
මම ගොඩාක් ආශා කළා මේ කවි ගායනා වගේම ළමා ගීතවලට. ඒ වගේම තමයි මම පුදුම
විදියට නැඹුරු වුණා පොත පත කියවන්න. මේ කියවීම නිසාම මගේ පරිකල්පන ශක්තිය දියුණු
වුණා. පාසලේදී මම රචනා ලියන්න ගොඩක් ප්‍රිය කළා. කියවීම නිසාම මගේ භාෂාව ලිවීමේ
වාග් ශෛලිය ඔපමට්ටම් වුණා.
මගේ රචනා ගුරුවරු පන්තියේ අගයන කොට අම්මා මාව අගයමින්
කතා කරන කොට මට මම ගැනම පොඩි ආඩම්බරයකුත් ඇති වුණා. විද්‍යෝදය විශ්වවිද්‍යාලයට
ඇතුළත් වුණාට පස්සේ කලා උපාධිය හදාරන අතරේ මම සිනමා විචාර ලිවීම ඇරැඹුවා.
විශ්වවිද්‍යාලයේ ලේඛක සංගමයේ සංස්කාරක වුණේ මම. නාට්‍ය පර්ෂදයේ පවා ක්‍රියාකාරී
දායකත්වයක් ලබා දෙමින් නාට්‍ය කලාවේ ඇසූ පිරූ තැන් සොයා යාමත් මම ඇරැඹුවේ
විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් ලෙසින්. චිත්‍ර විෂයයටත් පුදුම විදියට ආශා කළා. මේ
හැකියාවන් මා තුළ තිබීම මට ලොකු ආභරණයක් වුණා.
* මුල් වරට ඔබ රංගනයටත් දායක වෙනවා නේද?
ජීවිතේට එක් වරක් කිව්වොත් හරි. විශ්වවිද්‍යාලයේ නාට්‍ය සංගමය මඟින් ‘සක්කාය
දිට්ඨි’ නමින් නාට්‍යයක් නර්මාණය කළා. මම එහි වැඩිහිටියෙකුගේ චරිතයක් නිරූපණය කළා.
* වේදිකා නාට්‍ය අංග රචනා ශිල්පියකු ලෙසත් ඔබ කීර්තියක් අත් කරගෙන ඇති පුද්ගලයෙක්.
මේ ගමන් මඟ කොයි ආකාරයෙන් ද ඔබ අරඹන්නේ?
1969 දී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යය දෙවන නිෂ්පාදනය ඇරැඹියා.
විද්‍යෝදය උපාධිධාරීන්ගේ සංගමය තමයි ඒ සඳහා මූලික වෙලා හිටියේ. මේ කටයුත්තට
මහාචාර්ය තිස්ස කාරියවසම් මහතාගේ මඟ පෙන්වීම මත මටත් එහි රංග භූමි පාලක ලෙසින්
කටයුතු කරන්න අවකාශ ලැබුණා. චිත්‍ර කලාවත් මට පුරුදු නිසාම මුලින්ම මම නාට්‍ය සඳහා
රංග භාණ්ඩ නිර්මාණය කළා.
ඔය අතරේ මේ නාට්‍යයේ අංග රචනය භාරව කටයුතු කළේ පද්මකුමාර
එදිරිවීර මහත්මයා. ඔහුගේ සහායක ලෙසින්ම අංග රචනා සඳහා දායක වෙන්නත් ලැබුණා. අංග
රචනයේ මගේ ගුරුවරයා වුණෙත් පද්මකුමාර මහත්මයා.
පහු වෙන කොට එතුමාට වැඩ රාජකාරි වැඩි
වෙන කොට නාට්‍යවල සියලු අංග රචනාවල වගකීම මට පැවරුවා. එතැන් පටන් සරච්චන්ද්‍රයන්ගේ
නිර්මාණ ලෙසින් බිහිවන සිංහබාහු, මහාසාර, රත්තරං, ප්‍රේමතී ජායතී සෝකෝ, වෙස්සන්තර
නාට්‍යවල ප්‍රධාන අංග රචනා ශිල්පියා ලෙසින් කටයුතු කිරීමටත් ලැබෙන අතරේ ප්‍රමුඛ
පෙළේ නාට්‍ය නිෂ්පාදකයන් මෙන්ම නවක නිෂ්පාදකයන්ගේ නාට්‍ය නිර්මාණ සඳහාත් සිංහල,
ඉංග්‍රීසි නාට්‍ය සඳහාත් මට අංග රචනයෙන් දායකවීමේ භාග්‍ය උදා වෙනවා.
* ලේඛන සාහිත්‍යයේ ඔබ කිමිදෙන අතරේ කාව්‍ය සාහිත්‍යයේ රස නිෂ්පත්තීන් පුබුදු
කරන්නත් ඔබේ වෑයම ඇරැඹෙනවා නේද?
කාව්‍යයට පෙම් බැඳීම මම කුඩා අවදියේ පටන් කළ දෙයක්. එදා පටන් කවිය මා අතින්
නිර්මාණය වුණා. අවසානයේ 1971 දී මගේ මුල්ම කවි පොත දොළොස් මහේ පහන ලෙසින් සුනිල්
ආරියරත්න, ජයලත් මනෝරත්න සමඟ එළිදක්වන්න මට හැකි වුණා.
* සිනමා විචාරකයෙක්, කලා විචාරකයෙක් ලෙස නමක් දිනා සිටින ඔබගේ මුල්ම සිනමා අත්දැකීම
වුණේ මොකක්ද?
මගේ මවගේ ගම වුණේ බෙලිඅත්ත. තාත්තාගේ ගම ගන්දර. මම ගන්දර ඉඳලා තමයි පාසල් ගියේ. ඒ
කාලේ ගන්දර ඉඳලා චිත්‍රපටයක් බලන්න මාතරට එන්න ඕනේ. මාතර රිච්මන්ඩ්, බ්‍රෝඩ්වේ
නමින් සිනමා ශාලා දෙකක් තිබුණා. මගේ මුල්ම සිනමා අත්දැකීම වුණේ අම්මත් එක්ක ඇවිත්
බ්‍රෝඩ්වේ එකේ බලපු කැලෑහඳ චිත්‍රපටය.
* කැලෑහඳ නරඹමින් සිනමා අත්දැකීමක් මුල් වරට අත්විඳින ඔබට සිනමා ලෝලියෙක් ලෙස
සුන්දර අත්දැකීම් එහෙමත් ඇති නේද?
මගේ ලොකු මල්ලියි, මායි සතියක් ඇර සතියක් සිකුරාදාට අම්මගේ ගම වූ බෙලිඅත්තට යනවා. ඒ
ගිහින් නැවත ගන්දරට එන්නේ ඉස්කෝලේ යන්න. ඉරිදාට මේ පුරුද්ද අපි දෙන්නාටම තිබුණා. මම
අම්මාගේ ගමට සිකුරාදාට යන්නෙම චිත්‍රපට බලන්න. තංගල්ලේ ඒ කාලේ තිබුණා රුහුණු තියටර්
කියලා සිනමා ශාලාවක්.
මම ඒකේ මුල් වරට නැරැඹුවේ සුරංගනී චිත්‍රපටය. අම්මගේ ගමේ
තිබුණා කූඩාරම් තියටර් එකක්. අපි මේකට කිව්වේ ජෙමිනි සර්කිට් කියලා. කූඩාරම ඇතුළේ
බංකු තියෙනවා. ඒවා උඩ ඉඳගෙන තමයි චිත්‍රපට බලන්නේ. ප්‍රවේශ පත්‍රයක් සත විසි පහයි.
නීලමලේ තිරුඩන්, වීර පුතා වගේ දෙමළ සිංහල චිත්‍රපට බැලුවේ මේ කූඩාරම් තියටර් එකේ.
ගන්දර ඉඳලා බෙලිඅත්තට ගිහින් දවස් දෙකක් ගත කරලා චිත්‍රපට බලලා ඉරිදාට ගෙදර එන එක
මගේ ජීවිතයේ අපූරු අමතක නොවන අත්දැකීමක්.
* ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ චිත්‍රපට නැරැඹීමට ඔබ තුළ විශේෂ ඇල්මක් ඇතිවීමට විශේෂ
හේතුවක් තිබෙනවාද?
ලෙස්ටර්ගේ චිත්‍රපටවලට මම කැමැතියි. ලෙස්ටර් ජේම්ස් පීරිස් සංදේශය චිත්‍රපටය කරන
කාලේ අපේ ඉස්කෝලෙට ආවා චිත්‍රපටයේ රඟපාන්න නළුවෙක් හොයාගෙන. මට වැඩිය වයසින්
වැඩිමල් රාජපක්ෂ කියල ශිෂ්‍යයෙක් සංදේශය චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපෑ ගාමිණී
ෆොන්සේකාගේ කණ්ඩායමේ කැරැලිකාර චරිතයකට තෝරා ගත්තා. චිත්‍රපටයේ රූපගත කිරීම් සිද්ධ
කළා. මම බොහොම ආශාවෙන් හිටියා මේ චිත්‍රපටය එනකන්. ඒකට හේතුව වුණේ චිත්‍රපටයේ
රඟපාන්නේ අපේ පාසලේම ශිෂ්‍යයෙක් වීම.
අනික චිත්‍රපටය ගැන අහල තිබුණ කුතුහලය. ඔහොම
ඉන්න කොට මාතරට ආවා සංදේශය චිත්‍රපටය. මම පාසලේ සිද්ධියත් කියලා අම්මව පෙරැත්ත
කරගෙන ගන්දර ඉඳලා මාතරට චිත්‍රපටය බලන්න ආවා. ඒ 10.30 දර්ශනය. එතකොට චිත්‍රපටයට දිග
පෝලිමක්. අවසානයේ ප්‍රවේශ පත්‍ර කවුළුව පෙනි පෙනී ටිකට් අවසන් වුණා.
වෙන කළ හැකි
දෙයක් නැති තැන මාතර අපේ නැන්දා කෙනෙක්ගේ ගෙදර ගිහින් ඉඳලා සවස 2.30 දර්ශනයට කලින්ම
ඇවිත් පෝලිමේ ඉඳලා තමයි සංදේශය චිත්‍රපටය නැරැඹුවේ. මම ලෙස්ටර්ගේ චිත්‍රපටවලින්
මුලින්ම බැලුවේ සංදේශය. ඊට පස්සේ තමයි රේඛාව බලන්න ලැබුණේ.
* චිත්‍රපට නැරැඹීමට ගෙදරින් තහනමක් තිබුණේම නැද්ද?
අධ්‍යාපන කටයුතු හොඳින් කරන නිසා විරෝධයක් ආවේ නෑ. මම කොළඹට ආවට පස්සේ මරදානේ
ශ්‍රී ලංකා විද්‍යාලයට තමයි ගියේ. මම නැවතිලා හිටියේ උඩහමුල්ල ප්‍රදේශයේ. කොළඹට
ආවට පස්සේ ලැබෙන නිදහසින් වැඩිපුර කළේ චිත්‍රපට බලන එක.
සත පනස් පහේ ගැලරි ටිකට් එක
තමයි කොහොමත් මගේ පරිහරණය වුණේ. 1.10 දෙවන පන්තියේ ටිකට් එකක් ගන්න එක මම කොහෙත්ම
කළේ නැත්තේ ඒ මුදලින් ගැලරියේ චිත්‍රපට දෙකක් බලන්න පුළුවන් වීම නිසා. එල්ෆින්ස්ටන්
එකේ සිංහල චිත්‍රපට බැලුවා. ටවර් හෝල්, ඔලිම්පියා, ගාමිණී හෝල්, නුගේගොඩ ක්වින්ලන්,
ලැවීනියා, මෙට්රෝ හෝල්වලට එන්නේ මොන චිත්‍රපටය ද පළවෙනි සතියේම ගිහින් නරඹනවා.
* චිත්‍රපට ලෝලියෙක් වූ ඔබට චිත්‍රපටයක් රූ ගැන්වෙන අවස්ථාවනුත් දැක ගැනීමේ විරල
අවස්ථාවනුත් අත්දකින්න ලැබුණා නේද?
මම මරදානේ ශ්‍රී ලංකා විද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේ පාඩම් කටයුතු සඳහා මහජන
පුස්තකාලයට යාමේ අවසරයක් පාසලෙන් දී තිබුණා. එක දවසක් පුස්තකාලයට යනකොට විහාර මහා
දේවි උද්‍යානය හරහා තමයි ගියේ. ඒ යන කොට උද්‍යානයේ චිත්‍රපටයක් රූපගත කරනවා.
සන්ධ්‍යා කුමාරියි, එච්. ආර්. ජෝතිපාලයි තමයි ගීත ජවනිකාවක රඟපෑවේ.
ඒ චිත්‍රපටය
තමයි ඇතුල්වීම තහනම් චිත්‍රපටය. මම නැවතිලා හිටියේ උඩහමුල්ල ප්‍රදේශයේ. දවසක්
ආරංචියක් ආවා උඩහමුල්ල සුසාන භූමියේ චිත්‍රපටයක් රූපගත කරනවා කියලා. මමත් ගියා
බලන්න. ඒ යන කොට මහ සෙනඟක් රූපගත කිරීම් බලන්න වට වෙලා. ලෙස්ටර්ගේ ගම්පෙරළිය
චිත්‍රපටයේ ජිනදාසගේ පාංශකූලය දෙන අවස්ථාව තමයි එහිදී රූපගත කිරීම් ලෙස සිද්ධ කළේ. මේ සිද්ධි දෙකම මට අහම්බෙන් තමයි දැකගන්න ලැබුණේ.
* සිනමා විචාරකයකු ලෙසින් සමාජයේ ගෞරවාදරයට පත් වී සිටි ඔබ මුලින්ම විචාරයට එක් කළේ
මොන සිනමා කෘතියද?
ලේඛන කලාවට මම බෙහොම ආශා කළා. නිරන්තරයෙන් මම පුවත්පත්, සඟරා සඳහා ලිපි ලිව්වා. ඒවා
සමහරක් තීරු ලිපි වුණා. ඔය කාලයේ මම චිත්‍රපට විචාරය සඳහාත් ලිපි ලිවීම ඇරැඹුවා.
ආධුනික විචාරකයකු ලෙස මම මුලින්ම විචාරයට බඳුන් කළේ දෙලොවක් අතර චිත්‍රපටය. ඔය
කාලයේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් පරසතු මල් චිත්‍රපටය සඳහා විචාර ලිපියක් ලිව්වා.
* ඔබ අතින් නිර්මාණය වූ තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්, රැගෙන යන්න සොඳුරියේ
ඔබ සුවඳ මා වෙතින් ගීතය ඔබේ අත්දැකීමක්ද?
එහි අන්තර්ගත සමහරක් මගේ අත්දැකීම් වගේම තවත් බාහිරයෙන් මා දුටු දේවලුත්
පරිකල්පයෙන් බිහි වූවක්. වික්ටර් රත්නායකයන් ගේ මධුර හඬින් ගැයෙන එම ගීතය පුදුම
විදියට ශ්‍රාවක සවන් ඇඳ බැඳ ගත්තා. මගේ ගී නිර්මාණ අතරින් වැඩිපුර අය කතා කරන්නේ ඒ
ගීතය ගැන.
* සිනමා රසවතකු වූ ඔබ වඩාත් ආදරය කළ නළුවන් වුණේ කවුද?
ජෝ අබේවික්‍රම, ගාමිණී ෆොන්සේකා, පියදාස ගුණසේකර, රොබින් ප්‍රනාන්දු, ටෝනි රණසිංහ.
* ඔබේ සිනමා සිහින කුමරා වුණේ කවුද?
ටෝනි රණසිංහ. ටෝනිගේ තිබුණ ගමන් විලාශය, කතාබහ, මුවඟ රැව් දුන් සිනහව, මේ දේවල්වලට
මම ගොඩක් ආශා කළා. දොලොවක් අතර, සිහින හතක් චිත්‍රපටවල මම දැක්ක ටෝනිට මම අදත්
කැමැතියි.
* එදා ඔබ තිරයේ දැක ආදරය කළ නළු නිළියෝ සැබෑවටම පසු කලක ඔබට සමීපව ඇසුරු කරන්නත්
ලැබුණා නේද?
මගේ සිනමා සිහින කුමරා පවා වරෙක මට වේශ නිරූපණය පවා කරන්න ලැබුණා. අවි නාට්‍යයේදී
මම ටෝනි රණසිංහයන්ව වේශ නිරූපණය කිරීමේ අවස්ථාව උදා වුණා. රූපවාහිනී වැඩසටහනක් වූ
සිනමා රිද්ම හරහා මට නළු නිළියන්, අධ්‍යක්ෂවරුන් විශාල පිරිසක් සමඟ සමීපව සාකච්ඡා
පවා මෙහෙය වන්න අවකාශ උදා වුණා.
* සරසවිය, ජනාධිපති, සිග්නීස් ආදී සම්මාන උළෙල ජූරි සභිකයෙක් ලෙස කටයුතු කිරීමේදී
ගත් තීන්දු තීරණ ගැන ඔබට හිතට එකගව සෑහීමකට පත් වෙන්න පුළුවන්ද?
සමහර අවස්ථාවලදී ගත් තීන්දුවලට මම එකඟ නොවූ අවස්ථා තිබුණා. ජූරිය ඉදිරියේ මගේ මතය
ඉදිරිපත් කළ ද බහුතර කැමැත්තට තීන්දු ගන්න වන නිසා ඔය වගේ දේත් සිදු නොවෙනවා
නොවෙයි. මගේ මතය ජූරියට සීමා වුණත් එය සමාජයට යාමේදී පොදු නිගමනයක් හැටියට තමයි
එළිවෙන්නේ.
* අංග රචනා කලාව හරහා ඔබ සිනමාවට, පුංචි තිරයට ව්‍යාප්ත නොවී වේදිකාවේ පමණක්
රැඳෙන්න උත්සාහ කළේ?
මම මේ කටයුත්ත කළේ රජකාරි කරන අතරතුරේ ලැබෙන විවේකයේදී. ඒ සඳහා පූර්ණකාලීනව යෙදීම
මට විශාල ගැටලුවක් වුණා. වේදිකාවේ පමණක් මේ කටයුත්ත කළේත් බොහොම අමාරුවෙන්. මගේ
රාජකාරි ස්වභාවය අනුව වේදිකාවෙන් එහාට යන්න මට විවේකයක් තිබුණේම නෑ. නැත්නම් ආරාධනා
එමට ලැබුණා.
* හුදකලා මොහොතක, විවේක මොහොතක ඔබේ මුවඟ රැව් දෙන්නේ?
නන්දා මාලිනිය කියන ‘නවාතැන්පළ ඔබයි ඔබගේ සිනාවයි.’
චන්දන දයාසිරිවර්ධන
|