මයින්ඩ් ස්ටාර් නැවත ඕනෑ
පසුගිය දවසක මට අපූරු ඊමේල් එකක් ලැබිණ. එහි තිබුණේ එදා මෙදා යන හිසින් යුත්
කාටුන් චිත්‍ර කිහිපයකි. එයින් පළමු වැන්න එදා දරුවාගේ අඩු ලකුණු සහිත ප්‍රගති
වාර්තාව පිරික්සන මාපියන් එයට හේතුව කුමක් දැයි ගුරුතුමන් ඉදිරියේ දරුවාගෙන්
යක්ෂාවේෂයෙන් විමසන හැටිය.
දරුවා මාපියන් හමුවේ බියෙන් ඇකිලී සිටියි. මෙදා කාටුනයේ ඇත්තේද එබඳූ අඩු ලකුණු සහිත
ප්‍රගති වාර්තාවක් දැක යක්ෂාරූඩ වූ මාපියන් යුවළකි. එහෙත් වෙනස නම් දරුවා සිනා
සෙමින් බලා සිටිය දී මාපියන් ඒ පිළිබඳ නිදහසට කරුණු විමසනුයේ බියෙන් ඇකිලී සිටින
ගුරුවරිය ගෙන් වීම ය. එහිම තවත් කාටුනයක එදා කෙට්ටු මිනිසකු සිටිනුයේ මහා දැවැන්ත
ටෙලිවිෂනයක් ළඟ ය.
අද ටෙලි විෂනය සිහින් ව ඇති අතර මිනිසා මහත් ව සිටියි. තවත්
කාටුනයක එදා පිරිස වට කර ගෙන සමරන උපන් දිනය මෙදා සමරනුයේ ෆේස් බුක් ගිණුමක ට
ලැබුණු සුබ පැතුම් ගණනය කරමිනි.
එහෙත් මේ අතර තවත් කාටුනයක එදා පොඩි එකෙක් සිය
පියාගෙන් ලෝකය මැව්වේ කවුදැයි විමසයි. තාත්තා වහා උත්තර දෙන්නේ දෙවියන් වහන්සේ
යනුවෙනි. මෙදා පොඩි එකෙකුගේ එම පැනයට තාත්තාගේ පිළිතුර වනුයේ අන්තර් ජාලයෙන් විමසා
බලා කියන්නම් යනුවෙනි.
මේ කාටුනය සමඟ මට සිහියට ආවේ පසුගිය වකවානුවේ අතිශය ජනප්‍රිය වැඩසටහනක් වූ මයින්ඩ්
ස්ටාර් වැඩසටහන ය. ස්වාධීන රූපවාහිනිය මගින් සෙනසුරාදා රාත්‍රි නවයට විකාශය කළ මේ
වැඩසටහන කෙතරම් මා සිත් ගත්තා ද යත් නොවැළැක්විය හැකි කිසිම කරුණක් නොවන්නට එම කාලය
ඇතුළත මා නිවසින් බැහැර වූයේ නැත.
යම් හෙයකින් එසේ ගියා නම් එදින වැඩසටහන නැවත
පටිගත කර ගෙන බලන්නට තරම් මම එයට ඇලුම් කළෙමි. එහෙත් ජාතික වැදගත් කමකින් යුත් මේ
වැඩසටහන එහි ජාතික වැදගත් කම අමතක කොට නතර විය. සමහර කාරණාවලදී ඒවායේ ආර්ථික
වටිනාකම් සියයට සියයක්ම සැලකිය නොහැක. මයින්ඩ් ස්ටාර් වැඩසටහන ද එබන්දකි.
වර්තමාන පරම්පරාවේ ප්‍රාග්ධනය ලෙස සලකනුයේ කුශලතාව හරහා ඉස්මතු කර ගත් දැනුම වුව ද
මේ දැනුම එක්රැස් කිරීමේ වුවමනාව බොහෝ සෙයින් අප වෙතින් පලා යන ලකුණු ද දක්නට ලැබේ.
එක් අතකින් දැනුම සොයා යනවාට වඩා ඉක්මනින් දැනුම ලබා ගැනීමට අන්තර්ජාලය අප වෙත සමීප
ව ඇත්තේ ය.
එහෙත් අප විසින් සිහිපත් කර ගත යුත්තේ අන්තර්ජාලයේ දැනුම සියයට සියයක්
නිවැරැදි නොවන වග ය. ඉතාම සරල උදාහරණයක් ඔබ වෙතට ගෙන ඒමට මම කැමැත්තෙමි. අප අතරින්
වියෝ වූ විශිෂ්ට සිනමාකරුවකු වූ ටයිටස් තොටවත්තයන් වියෝ වූ දා මෙරට බොහෝ ඉංග්‍රීසි
පුවත්පත් ඒ මහතාගේ ජීවන තොරතුරු කියා පා තිබුණේ වැරැදි ආකාරයට ය.
එමෙන්ම එම වැරැදි
තොරතුරුවල සමාන කමක් ද තිබිණ. කොටින්ම කිවහොත් කොපි කොට තිබුණේ එකම තැනකිනි. මම
අන්තර්ජාලයේ විකිපීඩියාවේ ටයිටස් තොටවත්තයන් ගැන කියවා බැලුවෙමි. වැරැද්ද එතැන ය.
ටයි මහත්තයා පිළිබඳ සාවද්‍ය කරුණු ඇතුළත් ව තිබුණේ එහි ය. සියල්ලන්ම ගෙඩි පිටින් එම
කරුණු උපුටා ගෙන තිබිණ. මේ එක් උදාහරණයක් පමණි.
අප අන්තර්ජාල භාවිත කරන හැම විටම
එහි එන කරුණු කිසිවකු විසින් ගෙන හැර පෑ ඒවා පමණක් බැව් සිහියේ තබා ගත යුතු ය. ඉතා
මෑතක තරුණ දක්ෂ පුවත්පත් කලාවේදියකුට මම එක් කාර්යයක් පැවරුවෙමි. ඔහු ලිපියට ඇවැසි
දත්ත ඒ අනුව සොයා ගත්තේ ය. එහි ඉන් බාහිර කරුණු ඔහුගේ විමර්ශනයට ලක්ව නොතිබිණ. ඒ
සම්බන්ධව ඔහුට කීමට තිබුණේ එකම කරුණකි.
ඒ සියල්ල ලියන්නට නොලැබෙන බවය. එහෙත් මා
විශ්වාස කරනුයේ එම දැනුම අද ඒ මොහොතේ ඇවැසි නොවුණ ද කොයි මොහොතේ හෝ ඇවැසි වන බව ය.
දැනුම යනු කෝප වුවද රජ මැතිඳූන් ගත නොහෙනා දෙයක් බව ය.
මයින්ඩ් ස්ටාර් වැඩසටහන මේ දැනුම උරගා බැලීම පිළිබඳ ඉතා හොඳ අවස්ථාවක් විය. සිරස
ඔස්සේ විකාශය වූ ලක්ෂපති වැඩ සටහන ද එබන්දකි. එහෙත් ඒ අතරින් ද මයින්ඩ් ස්ටාර්
බුද්ධිය පිළිබඳ කදිම තරගකාරි වැඩසටහනක් විය.
කෙසේ වෙතත් ටෙලිවිෂනයේ නරි නාටක පිළිබඳ සියලු බලධාරින්ට බැණ අඬ ගසන ඇතැම් මාපියන්
පවා මේ වැඩසටහන පිළිබඳ අවධානය යොමු කරන ලද්දේ කලක් ගත වූ පසුව ය.
එමෙන්ම මා විශ්වාස කරන අන්දමට මේ වැඩසටහන පිළිබඳ මාධ්‍යයක් හැටියට වඩා උනන්දුවක්
දැක්වූයේ ද සරසවිය යි. ඉන්දියාවේ මෙබඳූ ම වැඩසටහනක් හරහා කෝටි ගණනක දිනුමක් ලද
දුප්පත් තරුණයා පිළිබඳ විදේශ පුවත්පත් හරහා ලබාගත් තොරතුරු මෙරට පුවත්පත් පිටු ගණන්
සැරැසුව ද මයින්ඩ් ස්ටාර් හරහා තෑගි දිනාගත් පොළොන්නරුවේ පුංචි දරුවා සහ ඔහුට උපකාර
කළ ඔහුගේ දොළොස් හැවිරිදි සොහොයුරා පිළිබඳ වචනයක් හෝ සටහන් කරන්නට තරම් අපේ සමහරු
කාරුණික වූයේ නැත.
තවත් අවස්ථාවක මේ තරගයේ ස්වභාවය නිසාවෙන් එක් තරගකාරියක හරහා
අම්පාරට නුදුරු දුෂ්කර පාසලකට අගනා ත්‍යාගයක් ද ලැබිණ. බොහෝවිට ගායනා තරු උඩ දමා
බිම දමන අපේ මාධ්‍ය සඟයන්ට මයින්ඩ් ස්ටාර්ස්ලා ඇස නොගැසුණේ මන්දැයි මට තවමත්
ගැටලුවකි.
මයින්ඩ් ස්ටාර් වැඩසටහන යනු ජාතික අවශ්‍යතාවයක් ලෙස සැලකිය යුත්තක් බැව් මගේ
විශ්වාසයයි. එය එසේ සැලකිය හැක්කේ එමගින් ඇති කරන ලද බුද්ධි ප්‍රබෝධය සලකා
බැලීමෙනි. මෙහිදී එය මෙහෙය වූ අප රංගධර රවීන්ද්‍ර රන්දෙණිය ගේ භූමිකාව ඒ සඳහා විශාල
බලපෑමක් ඇති කළේය.
විශේෂයෙන් මෙබඳූ වැඩසටහනක් මෙහෙය වීමේදී අදාළ නිවේදකයා සිය විෂයය සම්බන්ධ නොදැනුවත්
පුද්ගලයකු වන්නේ නම් ඔහු පිළිබඳ පමණක් නොව වැඩසටහනේ ප්‍රතිරූපයට ද බරපතළ හානියක්
වෙයි. එක් අතකින් රවින්ද්‍ර රන්දෙණිය මහා නළුවාණන් රසායන විද්‍යාව වැනි විෂයයක්
සම්බන්ධව නැඟෙන ප්‍රශ්නයක දී එයට අදාළ පරිබාහිර කරුණු පිළිබඳ කියාපාන අයුරු ඔහුගේ
විශ්මිත මතකය පිළිබඳ අපට ලොබ ගෙන දෙයි.
එක් අතකින් රවි අයියා සිනමා නළුවකු නොවුණා
නම් ඔහුගේ එම දැනුමෙන් ඔහුට යා හැකි දුර බොහෝ ය. අනෙක් අතට ඔහුට අමතක නොවූ රසායන
විද්‍යා සූත්‍ර පාසල් අවධියේ හෝ මගේ මතකයේ තිබුණා නම් මා සිනමා පත්තර කරුවෙකු
නොවන්නට ඉඩ තිබිණ. අනෙක් අතට මේ වැඩසටහන සඳහා රවි අයියා තෝරා ගැනීම සම්බන්ධව වඩාත්
වැදගත් වනුයේ ඔහු සතු පෞරුෂත්වයයි. එය වඩාත්ම ගැළපුණේ මයින්ඩ් ස්ටාර් වැඩසටහන සමඟ
ය.
එක් දෙයක් කිව යුතුව ඇත. මයින්ඩ් ස්ටාර් වැනි වැඩසටහන් මෙරට පේ‍්‍රක්ෂකයන් වෙනුවෙන්
අවශ්‍යය ය. එය අවිවාදිත ය. අද බොහෝවිට විකාශය වනුයේ රැල්ලට යන වැඩසටහන් විනා
නවතාවයකින් හෝ මිනිසුන්ගේ රසිකත්වය හා දැනුම පුබුදාලන වැඩසටහන් නොවේ.
එහෙත් පුදුමය
නම් රුල්ලට හෝ මයින්ඩ් ස්ටාර් වැඩසටහනේ අගය සමහරු වටහා නොගැනීම ය. එකවර බිහිවුණ
මෙබඳූ වැඩසටහනක් ආදරයෙන් වැළඳ ගන්නට අපට දෙවරක් සිතන්නට වුවමනා නෙවේ.
එහි තරග වදින පිරිස සමඟ අපි අපගේ දැනුම උරගා බැලුවෙමු. මා මෙහි අප යැයි අදහස් කරන
ලද්දේ එය නැරැඹූ ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් සමඟ ය. මේ වැඩසටහන පිළිබඳ අපට ලැබුණු
ප්‍රතිචාර සංඛ්‍යාව ගිනිය නොහැක. එමගින් මේ සඳහා අනුග්‍රහය දැක්වූ ඩී.එෆ්.සී.සී
බැංකුව ද මේ කාර්යය නිසා දැවැන්ත ගරු නම්බුවක් ලැබ ගත් බව අපේ වැටහීම ය.
එය සුළු පටු ලාබයක් නම් නොවේ. ගරු නම්බු යනු මිල මුදල් නොවේ. එබැවින් මේ බුද්ධි
සම්පන්න වැඩසටහන නැවත අරඹන්නට මේ සියලු දෙනාටත් ස්වාධීන රූපවාහිනිය ටත් එක්සිත් පහළ
වේවායැයි මම පතන්නෙමි.
|