තරු කිරුළ රැක ගැනීම තමන්ගේ වගකීමක්
විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන
රණබිම මැරුණේ සිංහලයෙකු නම්
පපුවෙහි වෙඩි සලකුණ ඇත්තේ
සතුරට ළය දී මිස මැරුණේ නෑ
ලේ පැල්ලම් නෑ පිට පැත්තේ’
ඒ හඬ ඇගේය. ඒ ගීතය ඇසුන සැනින් අප කවුරුත් හඳුනන ඈ චන්ද්‍රිකා සිරිවර්ධනයි. ඇගේ
මියුර ස්වරය අප දෙසවන වැකේ. අවට නිසසල බව අතරින් ඇසෙනා සිතාරයේ මියුරු නාදයට
මිදුලෙහි ඇති ඕකීඩ් මල් කිනිත්ත සෙල වෙන හැටි අපූරුය. කුඩා ළමුන් පිරිසකට මැදි වුණු
ඈ ගයන්නේ දමිළ ගීයකි. ඒ දුටු විගස මගේ සිතට පිවිසියේ ඈ පිළිබඳ ඇසූ අපූරු සිද්ධියකි.
එදා ඒ සංගීත පරීක්ෂණයට ඇවිත් හිටියේ භාරතයේ විශිෂ්ට සංගීත ඇදුරෙකි. හේ සංගීත් භූෂණ
මහාචාර්ය ටී. කේ. ක්‍රිෂ්ණන්ය. එම ද්‍රවිඩ සරල ගී පරීක්ෂණය සඳහා සහභාගි වූ
පන්සියයක් අතරේ චන්ද්‍රිකා සිරිවර්ධන ද සිටියාය. මියුරු ස්වරයෙන් ගැයූ දමිළ ගීතය
නිසාම ඈව ටී. කේ. ක්‍රිෂ්ණන් ගේ සිත් ගත්තේය.
‘කර්ණාටක ගීතයක් ගයන්න ඔබට පුළුවන්ද’
ඒ සැනින් ඔහු ඇගෙන් විමසුවේය. චන්ද්‍රිකාගේ මේ සුවිශේෂී දක්ෂතා නිසාම ඇයට වැඩිම
ලකුණු ලබා සංගීත පරීක්ෂණය සමත්වීමට හැකියාව ලැබිණි. සිංහල, දමිළ, හින්දි, ඉංග්‍රීසි
යන භාෂාවන්ගෙන් ගී ගැයීමට දැක් වූ සුවිශේෂත්වය ඇයව ඉහළ තලයට ඔසවා තැබිණි.
සංගීතයේ
සප්ත ස්වරය ඔස්සේ ඇය දිගු ගමනක් ආවාය. ඒ කාලයේදී ඈ විශාරදවරියක ලෙස ලැබූ දැනුම්
සම්බාරය බෙදා හදා දීමට කුමක් නම් කළ යුතුද? අද දක්වා ඇගේ නිවෙසේ තිබෙනා සංගීත
ආශ්‍රමයට මුල පිරෙන්නේ ඒ අයුරිනි.
‘දැන් ඒ සංගීත ආශ්‍රමයට වසර දෙකක් සපිරෙනවා. වයස අවුරුදු හතේ ළමයාගේ ඉඳලා වයස්
සීමාවක් ඇතිව නැතිව ඔවුන් මෙහි ඉගෙන ගන්නවා.
සංගීතයට හුරු කරන්න ඕන හොඳම වයස තමයි
කුඩා කාලය. ඒ කාලයේදී සංගීතය ඉගෙන ගැනීමෙන් නිසි වයසට පත් වනවිට ඔවුන් දක්ෂ
ශිල්පීන් වේවි කියලා මට සිතෙනවා. දක්ෂ සංගීත ශිල්පියෙක්, ගායන ශිල්පිනියක් වීමේ
මූලික අඩිතාලම තියෙන්නේ කුඩා කාලයෙයි.
ඒ සඳහා ඔබටත් මේ දවස්වල අපේ කලායතනයත් සමඟ
සම්බන්ධ විය හැකියි. මේ කාරණාවලට අමතරව මම දෙරණ ‘ඩ්‍රීම්ස්ටාර්’ තරගාවලියේ විනිශ්චය
මණ්ඩලයේ විනිශ්චයකාරියක් ලෙස කටයුතු කරනවා. ඒ නිසා දවස් ගෙවෙනවා දැනෙන්නේ නැති
තරම්.’
සංගීත ආශ්‍රමයේ ළමයි ගිය පසුව ඕ අප සමඟ කතාබහට මුල පිරුවේ දවස ගතවෙන අයුරු හා සිය
කාර්යබහුලත්වය පිළිබඳ පුංචි ඉඟියක් දෙමිනි. ලංකාවේ තරු බිහි කිරිමේලා කදිම
දායකත්වයක් ඇගෙන් ලැබුණු බව අප කවුරුත් දන්නා කරුණකි. එහෙත් රියැලිටි වැඩසටහන්වලින්
බිහිවෙන තරු ලංකාවට මේ තරම් කුමකටද? යන ප්‍රශ්නය කාගේත් සිතට වුවද පිවිසෙන්නේ
නිතැතිනි.
‘ඇමෙරිකාව, ඉන්දියාව වැනි රටවල ආරම්භ වුණු රියැලිටි වැඩසටහන ඔවුන්ට වැදගත් වුණා. ඒ
රටවල්වල ජනගහනයත් සමඟ බිහිවෙන තරු ප්‍රමාණය ඔවුන්ට සුවිශේෂයි. මේ රියලිටි සංකල්පය
අපේ පුංචි රටටත් ආවා.
ඒත් දැන් අපේ රටේ ජනගහනය තරමටම ගායක – ගායිකාවන් ඉන්නවා කියල කිව්වොත් ඒ අදහසේ
වරදක් නෑ. මොකද එස්. එම්. එස්. සංකල්පය නිසා හැමෝටම ඉදිරියට එන්න බැහැ. සමහර දක්ෂ
දරුවන් මේ නිසා මඟදී නවතින්නත් පුළුවන්. කොහොම වුණත් තරගයට ඉදිරිපත් වීමෙන් පස්සේ
ඔවුන් සෞන්දර්ය රස විඳින්නන් බවට පත්වෙනවා. සෞන්දර්යය රස විඳින පිරිසක් බිහි වෙනවා
කියන්නේ රටකට හොඳ ප්‍රවණතාවයක්.’
නමුදු මෙසේ බිහි වූ තරුවලට කුමක් සිදුවීද යන්නත් ගැටලුවකි. ඔවුන්ට නැෙඟනා චෝදනා ද
බොහෝය.
‘තරු සංකල්පයේදී තමන්ට ලැබුණු කිරුළ පරිස්සම් කර ගන්න තමන් දැනගන්න ඕන. තමන්ටම
කියලා අනන්‍යතාවයක් ගොඩ නඟා ගන්න තමන්ට ශක්තිය තියෙන්න ඕන. අද පරපුරට නිතර එල්ල වෙන
චෝදනාවක් තමයි ඔවුන් තරුවක් ලෙස කලඑළි බැස්සට පස්සෙත් ගයන්නේ ප්‍රවීණයන්ගේ ගීත කියන
කාරණය.
ඔවුන් පැරැණි ශිල්පීන්ගේ ගීතම පමණක් ගායනා කරනවා නම් ඒකට එකඟ වෙන්න මට බැහැ.
ඒ ශිල්පීන් ඒ ගීත රටට දායාද කරන්න ලොකු කැප කිරීමක් කළා. හොඳ පද රචනා හොයාගෙන, ඒවාට
තනු නිර්මාණය කරන්න සංගීත ශිල්පීන් හොයාගෙන තමයි ඒ ගීත නිර්මාණය වුණේ. ඊට ඔවුන්ගේ
කාලය, ශ්‍රමය විතරක් නෙමෙයි මුදල් පවා කැප වුණා.
සමහර අවස්ථාවලදීී නවක තරු
ප්‍රසංගවලට සහභාගි විමේදී මේ මේ ගීත කිව යුතුයි කියා ඉල්ලීමක් කරනවා. එවන්
අවස්ථාවකදී ඔවුන්ට පැරැණි ගීත ගයන්න සිදු වෙන බව ඔවුන් කිහිප වරකදීම මට කියූ දෙයක්.
නමුත් ඔවුන් පැරැණි ශිල්පීන්ගේ ගීත පටිගත කිරීම සම්බන්ධයෙන් වන කාරණයට නම් මට එකඟ
වෙන්නට බැහැ.
‘උත්සාහය උක්දණ්ඩක් වැන්නේ’, ‘රණ්ඩු වෙවී යාළු වෙවී’, ‘රත්තරනින් රන් මාල සදන්නට’,
‘උක් දඬු දුන්නේ උපන්නෙමි’ යන ගීත අපට නුපුරුදු නොවේ. එහෙත් වර්තමානයේ ඇය ගැයූ
ගීයක් අපට නෑසුණු තරම්ය.
‘ඒ පිළිබඳ කතා කරලා මට ඇති වෙලා. අපේ වගේ අයගේ ගීත දැන් විද්‍යුත් මාධ්‍යවලින්
ප්‍රචාරය වෙන්නේ නෑ. මාධ්‍ය ආයතන අතර තරගකාරිත්වයක් ඇති වෙලා. ඔවුන්ගේ අවධානය යොමු
වී තිබෙන්නේ වෙනත් කාරණා සම්බන්ධයෙන්.
එවැනි තත්ත්වයන්හිදී ගුණාත්මක භාවයට හිමි
වෙන්නේ අඩු තැනක්. එවිට මම විතරක් නෙමෙයි, මම වගේම මෙම තැන සිටිනා සියලුම ශිල්පීන්ට
මේ තත්ත්වයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ තත්ත්වය වෙනස් කරන්න පුළුවන් මාධ්‍ය
ආයතනවලටමයි.
ඔවුන් සියලු දෙනාම එකතු වෙලා තම මාධ්‍යවල ප්‍රචාරය කරන ගීත, වැඩසටහන්
සම්බන්ධයෙන් යම් පදනමක් ඇති කර ගැනීම ඔස්සේ මේ කියන ගැටලුවට පිළිතුරු සෙවිය හැකියි.
එහෙමත් නැත්නම් රජය විසින් යම් නීති පද්ධතියක් හඳුන්වා දීමෙන් මේ ඇති වී තිබෙන
තත්ත්වය වෙනස් කළ හැකියි.
එහෙම වුණොත් හොඳ රසඥතාවයක් ඇති පිරිසක් ඇති වීම වගේම මීට
කලින් තිබුණු තත්ත්වය ගීතය ඇතුළු කලා මාධ්‍යයන්ට පිවිසීම අරුමයක් නොවෙයි.’ මේ
සාර්ථක ගැහැනිය පිටුපස අපූරු පුද්ගලයෙකු වේ. ඒ ඇන්ටන් අල්විස්ය.
වෙනත් අයගේ සාර්ථක
ජීවිතය පිටුපස සිටින්නේ ගැහැනියක් වුව ද මෙහි සිටින්නේ පුරුෂයෙකි. ඔහු ලේඛකයකු ලෙස
පුවත්පත් කලාවට, ගීත රචනයට මෙන්ම චිත්‍රපට තිර නාටක රචනයට සම්බන්ධව කටයුතු කළ
කෙනෙකි.
ඇන්ටන් සිය බිරිඳ දිරිමත් කරන්නේ ඈට ඇති සැබෑ ආදරයෙනි. දියණිය ජය කළණි භරත
නැටුම් ශිල්පිනියකි. පුතා ප්‍රසන්න ව්‍යාපාරික ක්ෂේත්‍රයට නැඹුරු වුව ද ගී ගැයීමට
දක්ෂය.
‘මගේ සාර්ථකත්වයේ රහස ඔහුයි. හෙවනැල්ල වගේ මගේ ළඟම හිඳිමින් කිසිම දෙයකට කලබල නොවී
දුර දිග සිතා බලා කටයුතු කිරීමේ ශක්තිය ඔහුට තිබෙනවා. ඔහු වැනි බුද්ධිමත් සැමියෙකු
මගේ ජීවිතයට ලැබීම මා ලැබූ ජයග්‍රහණයක්. ඒ වගේම භාග්‍යයක්. මට මුනුබුරෝ දෙන්නෙක්
වගේම මිනිබිරියක් ඉන්නවා. ඔවුන් ගායනයට, වාදනයට දක්ෂයෝ. සංගීතය අංශයෙන් දිගටම ඉගෙන
ගත්තොත් ඔවුන් ඉහළටම යන එක වළක්වන්න කාටවත්ම බෑ. අනාගතයේදී ඔවුන් මොන වගේ අංශයක්
තෝරා ගනීද කියන එක නම් මට කියන්න බෑ.’
සිය පවුල පිළිබඳ ඇය සුබ සිහින දකින්නීය. නැවතත් ඈ ඔබගේ දර්ශන පථයට පෙනී සිටින්නීය.
ඒ ඩ්‍රීම්ස්ටාර් වැඩසටහන ඔස්සේය. විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන හදවතින්ම නැගෙනා
විනිශ්චය ලබාදෙන අයුරු ඔබට නැවතත් නැරැඹිය හැකිය.
‘විවේකයක් ලැබුණු විටදී මම අත්කම්වල යෙදෙනවා. ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී
ඇස්ට්‍රික් ෆනෑන්ඩු යටතේ ඉගෙන ගත්ත නිසා අත්කම් මට හොඳට පුළුවන්.’
සමුගන්නට මත්තෙන් ඈ සුන්දර ලෙස නිම කළ අත්කමක් අප වෙතට ගෙන එයි.
‘ඇත්තටම ලස්සනයි’
ඇගේ සඳවන් උවන දෙස බලා මම කෙඳිරීමි.
තිලානි ශානිකා විතානාච්චි
සේයාරූ - ප්‍රසාද් සමරතුංග
|