සරසවියට සරසවියක් වූ සෝමවීර

ප්‍රවීණ ලේඛක සෝමවීර සේනානායකයන්ගේ ලේඛන දිවියට අවුරුදු පනහක් පිරීම නිමිත්තෙන් ජනවාරි 24 වැනිදා සවස 3.30 ට කොළඹ මහවැලි කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයේදී එතුමාගේ විසි හත් වෙනි කෘතිය වන ‘සරු දිවියට බෝසත් මඟ’ කෘතිය දොරට වැඩීම සිදු කෙරේ. එදින සෝමවීර සේනානායකයන්ගේ නිල වෙබ් අඩවිය ද අන්තර් ජාලයට එක් කිරීමට ද නියමිතය.

බම්බලපිටිය සිරි වජිරාරාමාධිපති පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද හිමි එදින මුලසුන හොබවයි. සංස්කෘතික හා කලා කටයුතු ගරු අමාත්‍ය ටී. බී. ඒකනායක මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම උත්සව සභාවේ ප්‍රධාන දේශනය මහාචාර්ය තිස්ස කාරියවසම් විසින් පවත්වනු ලැබේ. මෙය සහෘද සංහිඳ සංවිධානයේ සංවිධානයකි.

ඒ නිමිත්තෙන් පළවෙන මේ ලිපිය සෝමවීරයන්ගේ සමකාලීනයකු වු සරසවියේ හිටපු ජේ්‍යෂ්ඨ මාධ්‍යවේදියකු වන සුගත් වටගෙදර විසින් ලියන ලද්දකි

‘සරසවිය’ හා සෝමවීර සේනානායකයන් අතර සබඳතාව දිගු එකකි. 1963 ‘සරසවිය’ පුවත්පත අරඹා මීමන ප්‍රේමතිලකයන් එහි කර්තෘ ධූරය දරන සමයේ සේනානායකයෝ විද්‍යෝදය (වර්තමාන ජයවර්ධනපුර) සරසවියේ සිසුවෙක් වූහ.

ශිෂ්‍ය ජීවිතයේදීම පුවත්පත් සඳහා ලිපි සම්පාදනය කළ ඔහු සරසවියෙන් පිටව පුවත්පත් කලාව වෘත්තීය ජීවිතය කර ගත්තේය. ඒ ‘සරසවිය’ පුවත්පත වෙතිනි. එවකට අපි පාසල් සිසුවෝ වීමු. 1977 පෙබරවාරි මස මා ‘සරසවිය’ පුවත්පතේ කර්තෘ මණ්ඩලයේ සේවයට පැමිණෙන විට සෝමවීරයෝ එහි නියෝජ්‍ය කර්තෘවරයා වූහ. කර්තෘවරයා වූයේ කොළඹ යුගයේ කවි පරපුර නියෝජනය කළ විමලසිරි පෙරේරා සූරීන්ය. මා ‘සරසවිය’ කර්තෘ මණ්ඩලයට ඇතුළු වූ දිනය මට හොඳට මතකය.

‘මෙයා හරි යන්නෙ සෝමවීරට. හොඳට බලා ගන්න’ විමලසිරි පෙරේරා සූරීන් පැවසීය. පුවත්පත් සම්ප්‍රදාය ඉගැනීමේ වෙනත් ක්‍රම එකල නොවීය. විශ්වවිද්‍යාලවල ජනසන්නිවේදන විෂය ආරම්භ කර තිබුණ ද, ඒවා පුවත්පත් ආයතනවල සම්ප්‍රදායන් හා ආචාර ධර්ම ඉගැන්වීමට තරම් උත්සුක වූ බවක් නොපෙණින. මා පේරාදෙණිය සරසවියෙන් දර්ශනය පිළිබඳ ගෞරව උපාධියක් හිමි කර ගෙන ටික කලක් බාහිර කථිකාචාර්යවරයකු ලෙස සේවය කර පැමිණිය ද වෘත්තීය පුවත්පත් කලාව උගත යුත්තක් බව දැන සිටියෙමි. පාසල් වියේදී ‘මිහිර’ ළමා පුවත්පතට ද, විශ්ව විද්‍යාලයීය සඟරාවලට ද ලිපි සම්පාදනය කර තිබූ නමුත් මට බොහෝ දේ ඉගෙනීමට තිබුණි. ‘සරසවිය’ පුවත්පත ඊට සරසවියක්ම විය. විවිධ ‘මහාචාර්යවරු’ එහි සිටියහ. මා පුහුණු කිරීමට භාර ගත් සෝමවීර සේනානායකයන් ද එයින් එක් අයෙකි. සැබවින්ම ඔහු විෂය රැසක් ප්‍රගුණ කළ නිල නොලත් මහාචාර්ය වරයෙක් විය.

විමලසිිරි පෙරේරා සූරීන් එවකට ‘සිළුමිණ’, ‘නවයුගය’ හා ‘සරසවිය’ යන පුවත්පත් තුනේම ප්‍රධාන කර්තෘවරයා විය. ඔහු කර්තෘ මණ්ඩලයේ එකිනෙකාගේ විශේෂ දක්ෂතා හොඳීන් දැන සිටි අතර, ඒ ඒ අයගෙන් කාර්යක්ෂමව හා ඵලදායීව වැඩ ගැනීම ද ඊටත් වඩා හොඳින් දැන සිටියේය. සමහර විට තමා යටතේ පැවති පුවත්පත්වල සේවය කළ පුවත්පත් කලාවේදීන්ට සංග්‍රහ සත්කාර ද කළේය. අදාළ පුවත්පත් සියල්ල සඳහා ම තම සේවය කැප කිරීමට අප පෙළඹී සිටියේ ඒ නිසාම නොවේ. එයින් මහත් ආස්වාදයක් ලැබුණ බැවිනි. ආර්ථික වාසි ද තිබූ බව සත්‍ය ය. එහෙත් ‘සරසවියේ’ අපට එකල ලැබූ මහත් වාසිය නම් රටේ ප්‍රවීණ කලාකරුවන් හා විද්්වතුන් හමු වී කථාබහ කිරීමටත්, ඒ ඇසුරින් ලිපි සම්පාදනය කිරීමටත් අවස්ථා ලැබීමය.

තවත් ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදීන්ගෙන් ඉගැනීමට අවස්ථා ලැබුණ ද සෝමවීර සේනානායකයන්ගේ ගුරුපදේශ වඩාත් සිත් ගන්නා සුළු විය. පළමුව මා ඔහු විසින් විශ්මයට පත් කරන ලදී. ඒ පළමු වරට මට මා ගරු කරනා ලේඛකයකු පෞද්ගලිකවම හමු වීම නිසාය. ඒ වන විටත් මා ඔහුගේ ‘මවකගේ ගීතය’ නව කතාවේ හොඳ පාඨකයකු වී සිටි බැවිනි.

‘මං හිතුවෙ ඒ පොත ලියන්න ඇත්තෙ බොහොම වැඩිහිටි ලේඛකයෙක් කියලා.’

පළමු දිනයේම මම සෝමවීරයන්ට කීවෙමි. ඔහු මඳ සිනහවක් පළ කළා මිස විශේෂ ආඩම්බරයක් හෝ පම්පෝරි ගැසීමක් හෝ කළේ නැත. ඒ වෙනුවට ඔහු කළේ ඊට පසු දිනෙක ඔහු විසින් ලියා පළ කර තිබූ ‘ආදරයට බය මිනිස්සු’ හා ‘අඹු සැමියෝ’ නවකථා පිටපත් දෙකක් මට පරිත්‍යාග කිරීමය.

‘මේවා මං බොහොම තරුණ කාලේ ලියපුව’
දූ දරුවෝ
වෑකන්ඳ වලව්ව
යශොරාවය

ඔහු කීවේ නිහතමානීවය. මා ඊට පෙර එම නවකථා කියවා නොතිබුණි. ඉතා ඉක්මනින් ඒවා කියවීමට මට හැකි වූයේ ඉතා තරුණ වියේ පවා ඔහු පිරිපහදු කළ භාෂාවකින් ලිවීමට සමත්ව සිටි බැවිනි. පසු කලෙක ඔහුගේ නවකථා හා කෙටිකථා භාෂා භාවිතය අතින් පමණක් නොව, තේමා හා ආකෘතික ලක්ෂණ අතින් ද වඩා විවිධත්වයට පත් වූ බව කවුරුත් දනිති. ‘එක් ටැම් ගෙවල්’, ‘මතු දවස’, ‘ඉර හඳ පායන ලෝකය’, ‘යශෝරාවය’, ‘මැණික් නදිය ගලා බසී’, ‘බලදේවගේ ලෝකය’, ‘සුද්දා පරාදයි’ යන නවකථා හා කෙටි කථා කෘතීන් පමණක් නොව ‘ලස්සන වස්තුව‘, ‘දඩ මං ඔස්සේ’, ‘ගඟ අද්දර කැලේ’, ‘දියෙන් උපන් කුමාරයා’ ළමා සාහිත්‍ය කෘතිවලින් ද එය පැහැදිලි වෙයි.

පුවත්පත් කලා ජීවිතයේදී ද, පෞද්ගලික ජීවිතයේදී ද හොඳ මිතුරකු වූ සේනානායකයෝ මාධ්‍යවේදියකුට අවශ්‍ය බොහෝ ගුණාංග ප්‍රගුණ කර සිටියෝය. පුවත්පත් කලාවේදීී භාෂාව හරි හැටි භාවිතයේ නොදන්නේ නම්, නිරවුල්ව හා ඵලදායි ලෙස අදහසක් ප්‍රකාශ කිරීමට හැකි නොවේ. ((එබඳු ලේඛන කියවීමේ අභාග්‍යයට අද අපි මුහුණ දී සිටිමු) සේනානායකයෝ බස මැනවින් දත්හ. ඔහුගේ ‘මහනෙත් පහන’ කෘතියේ ද විස්තර කර ඇති පරිදි, ඔහු අපේ සම්භාව්‍ය සාහිත්‍ය කෘති කියවා ඇත්තේ ළමා වියේදීමය. පාරම්පරික වෛද්‍ය පරපුරකින් පැවත ආ ඔහුට ගෙදරම පුස්තකාලයක් විය. ළමා වියේ ලද මේ පුහුණුව ඔහු සරසවි ජීවිතයේදී වඩා ඔප මට්ටම් කර ගත්තේය. මහාචාර්ය ඒ. වී. සුරවීරයන් ඇරැඹූ ‘ලේඛකත්ව හා ජනසන්නිවේදන’ පශ්චාත් උපාධි පාඨමාලාව හැදෑරූ ඔහු, තම අධ්‍යාපනය සහතිකවලට සීමා කර නොගත්තේය. නිර්මාණ සඳහා එය අනුප්‍රාණයක් කර ගත්තේය. විචාරය සඳහා උරගලක් කර ගත්තේය.

අපි සරසවියේදී සංස්කරණය ගැන බොහෝ දේ උගත්තේ ඔහුගෙනි. සමහරු දිගු හෑලි ලියති. සමහරු ඉලක්කයක් නොදැන ඔහේ ලියති. වියරණ සම්ප්‍රදා බිඳිති. එහෙත් සංස්කරණය කළ යුත්තේ ලේඛකයාගේ අරමුණ පැහැදිලි වන අයුරෙනැයි ඔහු අපට ඉගැන් වුයේ ක්‍රියාවෙන්මය. ශීර්ෂ පාඨ යෙදීම පාඨක පෙළඹවීම සඳහා මෙන්ම අර්ථ උද්දීපනය සඳහා යැයි ඔහු ඉගැන් වූ පාඩම් අපට තවමත් මඟ පෙන්වයි.

ඔහු ඇසූ පිරූ තැන් ලැබුවේ පොත පත කියවීමෙන් පමණක් නොවේ. බොහෝ දුර බැහැර ගමන් කරමින් අත්දැකීම් ලබමිනි. එකල ඔහු සමඟ ගමන් සගයන් වීමේ භාග්‍යය ප්‍රවීණ මාධ්‍යවේදී රංජිත් කුමාරයනුත්, මමත් ලැබූවෙමු. සමහර විට අප රජරට ප්‍රදේශයේ සංචාරය කළේ, එම ප්‍රදේශයේ විසූ රෝහණ දන්දේණිය, සුසිල් ගුණරත්න, විමලරත්න අධිකාරී වැනි රසිකයන්ගේ ආරාධනා මතය. එදා මෙන් ගමන් පහසුකම් හෝ නවාතැන් පහසුකම් එකල නොවුණ ද, අපි ‘නොමිලේ’ ම සම්මන්ත්‍රණ, සාකච්ඡා, වැඩමුළු ආදියට සහභාගී වීමු. හැම විටම සේනානායකයෝ අපේ නායකයා වූහ.

මේ සම්මන්ත්‍රණ, සාකච්ඡා, වැඩමුළු ආදිය ප්‍රයෝජනවත් ඒවා වූ බව ඒවාට සහභාගි වූ ආධුනිකයන් මුහුකුරා ගිය කලාකරුවන් ලෙස පසුකාලීනව සමාජයට බොහෝ නිිර්මාණ දායක කර තිබීමෙන්ම පෙනේ.

අපි ද ඒ ගමන් - බිමන්වලින් උගත්තෙමු. නිර්මාණ බීජ එකතු කර ගතිමු. එක්තරා සංචාරයකදී අපි අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුඩාගම අහිගුණ්ඨික ජනයා හමු වීමු. ඔවුන් සමග කළ කතාබහේදී ජනශ්‍රැතිය හා සම්බන්ධ බොහෝ දෑ අපි උගත්තෙමු. මේ විෂය අළලා සෝමවීර සේනානායකයන් ‘සිළුමිණ’ පුවත්පතට ලියූ විශේෂාංග ලිපිය එකල බෙහෙවින් ජනප්‍රිය විය. ‘සත්වෙනි දවස’ චිත්‍ර කතාවත්, ඒ මත පදනම් වූ චිත්‍රපට තිර නාටකයත් ඔහු ලියුවේ ඒ අත්දැකීම් පාදක කර ගෙනය. එහි ඊට අදාළ ඡායාරූප සම්පාදනය කළේ මා විසිනි. එයින් එක් ඡායාරූපයක් සඳහා ජාත්‍යන්තර සම්මානයක් ලබන්නට ද මට වාසනාව ලැබුණි.

වෙනස් වන සමාජ ප්‍රවණාතා හඳුනා ගැනීම මාධ්‍යවේදියා අලුත් කරයි. ඒ බව සේනානායකයන් හොඳින් දැන සිටියේය. හැත්තෑව දශකයේ චිත්‍ර කථා මාධ්‍යය බෙහෙවින් ජනප්‍රිය විෂයක් සේ පැවති සමයේ ඔහු චිත්‍ර කථා මාධ්‍යයට අවතීර්ණ විය. සාහිත්‍යකරුවකු වූ ඔහුට චිත්‍ර කථා කලාවේ පැවති සීමා බිඳ පෙරට යාම දුෂ්කර නොවීය. ‘සිළුමිණ’ පුවත්පතේ 1970 දශකයේ පළ වූ බොහෝ ජනපි‍්‍රය චිත්‍ර කථාවල රචකයා ඔහු වූ අතර, එවායේ සිතුවම් නිර්මාණය කළේ බන්ධුල හරිස්චන්ද්‍රය.

සිනමාව ද හැත්තෑව දශකයේ නව මං පෙත් කරා යොමු වූ අතර සේනානායකයන් තිර කථා රචකයකු වශයෙන් ඊට දායක වීමට හැකි වුණි. ආරාධනා, සූරියකාන්ත, ජීවිතයෙන් ජීවිතයක්, සත්වෙනි දවස, සෙනෙහසක කඳුළු, මිහිදුම් සිහින, පෙති ගෝමර, පොඩි රාලහාමි, මැණික් මාලිගා, තනි තරුව, වැකන්ද වලව්ව ඔහු තිර රචනා ලියූ චිත්‍රපට වේ. මෙයින් ඇතැම් නිර්මාණ ඔහු කළේ ‘සරසවිය’ පුවත්පතේ සේවයේ යෙදී සිටියදීමය.

අද බොහෝ දෙනෙකු සේනානායකයන් හඳුනා ගන්නේ රූපවාහිනී මාධ්‍යයෙනි. මෙරට ටෙලි නාට්‍ය වංශයේ මොහුගේ නම සටහන් වන්නේ රන් අකුරිනි. සාහිත්‍යයේ ඇති ප්‍රබල ලක්ෂණ ටෙලි නාට්‍ය කලාවට එක් කිරීමට ඔහුට හැකියාව ලැබුණි. ඔහු ලියූ ‘පළිගු මැණිකේ’ තවමත් ප්‍රේක්ෂක ලෝකයේ රැඳී සිටී. රන් කහවනු, මිහිකතගේ දරුවෝ, අසල් වැසියෝ, මවකගේ ගීතය, මැණික් නදිය ගලා බසී, කන්දේ ගෙදර, චරිත තුනක්, ගිරය, අපේ ඇත්තෝ, නෑදෑයෝ ඔහුගේ තවත් මාලා නාට්‍ය කිහිපයකි. ඔහු තිර රචනය කළ ඒකාංගික ටෙලි නාට්‍ය සංඛ්‍යාව සියයකට වැඩි විය යුතුය. තමා ලියූ නව කථා ගණනාවක් රූපවාහිනී මාධ්‍යයට නඟා නැරැඹීමේ භාග්‍යය ලද මෙරට එකම ලේඛකයා ඔහු විය යුතුය.

නිර්මාණයේ නියුක්ත වන බොහෝ අය විචාරයේ නොයෙදෙති. අපේ රටේ එසේ නිර්මාණය හා විචාරය යන ක්ෂේත්‍ර දෙකේ කටයුතු කළේ මාර්ටින් වික්‍රමසිංහ, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, කේ. ජයතිලක, මහාචර්ය සිරි ගුණසිංහ, ආචාර්ය ගුණදාස අමරසේකර වැනි කිහිප දෙනෙකි.

මේ ලේඛනයට සෝමවීර සේනානායකයන්ගේ නම ද ඇතුළත්ය. ඔහු නිර්මාණශීලී ලේඛනය, කෙටි කතා විචාරය සහ නිර්මාණය, කෙටි කතා කලාව, රූපවාහිනී රචනා කලාව ආදී ග්‍රන්ථ රචනා කිරීමෙන් තමා දුක දරා හැදෑරූ විෂය අන්‍යයන් වෙත ප්‍රදානය කිරීමට උත්සුක වෙයි.

ඔහුට මේ බහු විධ විෂය වෙත නැඹුරුවීමේ හැකියාව ලැබුණේ උපතින් ලද ප්‍රතිභාව නිසා පමණක් නොවේ. ඔහු ළමා වියේ සිට පොත පත හැදෑරීය. උසස් අධ්‍යාපනය ලැබුවේය. බොහෝ ජනයා ඇසුරු කළේය. ඔවුන්ගෙන් උගත්තේය. සතතාභ්‍යාසයේ යෙදුණේය.

තමා දත් දෑ අන්‍යයන්ට කියා දුන්නේය. හුවමාරු කර ගත්තේය. ඔහු අද පැමිණ ඇති ස්ථානයට ළඟා වීමට මේ සියල්ල උපකාරී වන්නට ඇත. එහෙත් ඔහු අප සැමගේ මතකයේ රැෙඳන්නේ මිනිසත් බවින් පිරිපුන් කලාකරුවකු ලෙස ලොවට දායාද කළ දෙයිනි. තව තවත් නිර්මාණ බිහි කිරීමට ඔහුට නිදුක් නිරෝගී සුවය හා චිර ජීවනය ලැබේවා!

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    Q & A

    FEEDBACK

    මතු දිනෙක

    සිනෙ තරු වරුණ