වර්ෂ 2014 ක්වූ ජුනි 12 වැනිදා බ්‍රහස්පතින්දා




රොබින් ප්‍රනාන්දු ඇලුම් කළ අපේ සිනමාවේ සටන් නළුවන් හත් දෙනෙක්

රොබින් ප්‍රනාන්දු ඇලුම් කළ අපේ සිනමාවේ සටන් නළුවන් හත් දෙනෙක්

මාලිනී දක්ෂතම සටන් රංගන ශිල්පිණියක්

පුදුම හතෙන් අද අපි කතා කරන්නේ වෙනස් වුවත් අපට නුපුරුදු නොවූ දෙයක් පිළිබඳවයි. අද පුදුම හත කතාබහට එක්වුණේ අපේ රංගන ක්ෂේත්‍රයේ සුවිශේෂ චරිතයක්. රොබින් ප්‍රනාන්දු. අපේ සිනමාවේ ජ්‍යෙෂ්ඨතම සටන් නළුවෙක් ලෙසින් එදා සිට අද දක්වාම ඔහුගේ නම ඉහළින්ම සටහන්ව තියෙන නමක්.

එපමණක් නොව සටන් අධ්‍යක්ෂවරයෙකු ලෙසින් මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් ලෙසත් ඔහුගේ සේවය සිංහල රිදී තිරයට එක්ව අවසන්. දශක පහක් ඉක්මවමින් සටන් කලාවෙන් රිදී තිරය බැබළ වූ රොබින් ප්‍රනාන්දු අද අපත් සමඟ පුදුම හතෙන් කතා කරන්නේ සිංහල සිනමාවේ ඔහු දුටු හොඳම සටන් නළුවන් හත්දෙනා පිළිබඳවයි.

බන්දු මුණසිංහ

බන්දු මුණසිංහ සිංහල සිනමාවේ ආරම්භක සමයේ පටන් සටන් නළුවෙකු ලෙසින් චරිත රැසකට පණ දුන් රංගන ශිල්පියෙක්. ඒ වගේම සිංහල සිනමාවේ ප්‍රථම සටන් අධ්‍යක්ෂවරයා ලෙසින් සටහන් වෙන්නේත් ඔහුගේ නාමයයි. සටන් නළුවෙකු වීම සාමාන්‍යයෙන් ලෙහෙසියට පහසුවට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ වෙනුවෙන් මනා පුහුණුවක් තියෙන්න ඕනෑ. බන්දු හොඳ බොක්සිං ක්‍රීඩකයෙක් වගේම දක්ෂ රෙස්ලින් සූරයෙක් ද වෙනවා.

මෙවැනි වූ ක්‍රීඩා තුළින් ලබන පුහුණුව සටන් නළුවෙකු ලෙසින් ඉතාම වැදගත් වෙනවා. බන්දුත් සටන් කලාව වෙනුවෙන් ලොකු වගකීමක් අරගෙන කටයුතු කළ රංගන ශිල්පියෙක් ලෙසින් මා දකිනවා. සිංහල සිනමාවේ සටන් අධ්‍යක්ෂවරයාගේ භූමිකාවට මූලාරම්භයක් දෙමින් අපටත් ඒ සඳහා මාවත විවර කිරීම ගැන තියෙන්නේ සතුටක්.

‘මා ආලය කළ තරුණිය’ චිත්‍රපටයේ ඔගී නම් චරිතයත් ‘වැදි බිම’ චිත්‍රපටයේ පොලිස් නිලධාරියාගේ චරිතයත් සමඟින් දස්කොන්, ගැටවරයෝ, සාරවිට, දැන් මතකද, ශ්‍රී මදාරා, රජගෙදර පරවියෝ, සිරිපාල හා රන් මැණිකා වැනි චිත්‍රපටවල ඔහු කළ රංගනයන් මගේ හිතේ තැන්පත්ව තියනවා.

ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු

සිනමාව වෙනුවෙන් කාලය ශ්‍රමය කැප කළ සටන් නළුවෙක් තමයි ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු. මමත් ඔහුත් මුලින්ම මුණ ගැසෙන්නේ හැටේ දශකයේදීයි. ඩබ්ලිව්. එම්. එස්. තම්පෝගේ රුහුණු කුමාරි චිත්‍රපටය වෙනුවෙන් මම ඔහුට ආරාධනාවක් කළා. එහි ඔහුත් මමත් කළ සටන් ජවනිකාවට විශේෂ අන්දමෙන් ප්‍රතිචාර ලැබුණා. ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු සටන් නළුවෙක් වගේම හොඳ චරිතාංග නළුවෙක් ද වෙනවා. සරදියෙල්ගේ පුතා චිත්‍රපටයේදී ඔහු හොද චරිතාංග නළුවෙක් බව ඔප්පු කළා.

ඒ වගේමයි ඔහු කරාටේ, ජූඩෝ, රෙස්ලින් ක්‍රීඩා මැනවින් පුහුණු කළ ක්‍රීඩකයෙක්. පොදු රාජ්‍ය මණ්ඩල, ආසියානු තරග නියෝජනය කළ ඔහු ඔලිම්පික් මට්ටම දක්වාම දස්කම් පෙන් වූ ක්‍රීඩකයෙක්. හාරලක්ෂය, අටවෙනි පුදුමය, කොහොමද වැඩේ, ශ්‍රී මදාරා, මාතර ආච්චි, රක්තා වැනි චිත්‍රපටවල ඔහු කළ රංගනය සුවිශේෂයි.

පියදාස විජේකෝන්

පියදාස විජේකෝන් අපේ රංගන ක්ෂේත්‍රයට බිහි වූ හොඳ සටන් නළුවෙක් වගේම චරිතාංග නළුවෙක් ලෙසින් මම දකිනවා. ඒ අතරේ ඔහුට වැඩි වශයෙන් ලැබුණේ දුෂ්ට චරිතයන්. හැටේ දශකයේ මුල් අවදියේ පමණ සිට රංගන ක්ෂේත්‍රයේ නමක් දිනූ ඔහු ඔන්න බබෝ බිල්ලෝ එනවා චිත්‍රපටයේ කළ බූබම්බා නම් භූතයාගේ චරිතය ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනාදරයට පාත්‍ර වූවා. ඒ මතකය හරිම සුන්දරයි.

මමත් ඔහුත් තන්හා ආශා චිත්‍රපටයේ රංගනයෙන් දායක වුණා. ඕනෑම ක්‍රමයකට අනුව සටන් කිරීමේ හැකියාව එහිදී මා ඔහුගෙන් දුටු සුවිශේෂ ලක්ෂණයක්. අදාල අවස්ථාව අනුව උචිත අයුරින් සටනට පිවිසෙන්නට ඔහුට හොඳ හැකියාවක් තිබුණා. ඒ වගේමයි ඔහුගේ සටන් කිරීම තුළ ජවසම්පන්න බවක් මම දැක්කා. ඒ වගේමයි ඔහු පැරැණි ටවර් හෝල් රංගන ශිල්පිියෙක්. ජෝන් ද සිල්වා සූරීන්ගේ ධර්මාශෝක නාට්‍යයේ මහාකාල නාගරාක්ෂයාගේ චරිතයත් ඔහු නිරූපිත චරත අතර කැපී පෙනුණා.

විල්සන් කරුණාරත්න

කරුයි මමයි මුලින්ම හමු වුණේ ‘හදවත් නැත්තෝ’ චිත්‍රපටයේදීයි. මට මතකයි එදා මාවනැල්ල පැත්තේ රබර් වත්තකදී මුලින්ම අපි දෙන්නා සටනට ලෑස්ති වුණා. ඔහු සිනමාවට පිවිසීම සනිටුහන් කළෙත් හදවත් නැත්තෝ චිත්‍රපටයෙන්. සිංහල සිනමාවේ සටන් නළුවන් අතරින් විල්සන් කරුට සුවිශේෂ තැනක් හිමි වෙනවා. දක්ෂ සටන් නළුවෙක් ලෙසින් ඕනෑම සටන් ක්‍රමයක් භාවිතා කරමින් චරිතයට අවශ්‍ය ආකාරයෙන් දර්ශනය මෙහෙයවන්න ඔහුට හොඳ හැකියාවක් තියෙනවා.

ඔහුත් බොක්සිං, රෙස්ලින්, පිහිනුම් වගේම පාපන්දු ක්‍රීඩාවටත් යොමු වෙලා කටයුතු කළා. කරුටත් බොහෝ දුෂ්ට චරිත තමයි ලැබුණේ. ඒ වගේම ඕනෑම චරිතයක් වෙනුවෙන් වන කැපවීම මා ඔහු සතු සුවිශේෂ ලක්ෂණයක් ලෙසින් දකිනවා. කොටි වලිගය, සසර චේතනා, කෝ හතුරෝ, අනුරාධා, දිනුම වැනි චිත්‍රපටවල ඔහුගේ රංගනය විශේෂයි.

සුමිත් මුදන්නායක

සුමිත් මුදන්නායක අපේ රිදී තිරයේ වගේම පුංචි තිරයේත් බොහොම දක්ෂ අයුරින් සටන් මෙහෙය වූ දක්ෂ සටන් නළුවෙක්. ඔහු අපේ කලා ක්ෂේත්‍රයේ සිටින්නා වූ සටන් අධ්‍යක්ෂවරයෙක් ලෙසත් සුවිශේෂ වෙනවා. චිත්‍රපටයක තියෙන්නේ රඟපෑමක්.

සටනක් වුණත් චිත්‍රපටයක එය තරමක් අසීරු දෙයක්. ඇත්තට ගහ ගන්නවා වගේ නෙවෙයි බොරුවට ගහගන්න එක අමාරු දෙයක්. දක්ෂ සටන් නළුවෙක් කියන්නේ එය සත්‍ය වශයෙන් නිරූපණය කිරීමක්. සුමිත් මුදන්නායකත් ඒ සටන් නළුවන් අතරේ සුවිශේෂ චරිතයක්. ඒ වගේමයි ඔහු දක්ෂ කරාටේ ශිල්පියෙක්.

ටෙඩී විද්‍යාලංකාර

ටෙඩී විද්‍යාලංකාර අපේ සිනමාවට බිහි වූ දක්ෂ සටන් නළුවෙක්. ඒ වගේමයි ඔහු සටන් අධ්‍යක්ෂණයෙනුත් හැකියාවන් බොහොමයක් පෙන්වලා තියෙනවා. සටන් කිරීම ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. එකිනෙකාට ගහ ගැනීම ලෙහෙසි දෙයක්.

ඒ වුණත් විනාඩි දහයක් පහළොවක් එකිනෙකාට තුවාල නොවී ගහ ගන්න එක තමයි අසීරු කටයුත්ත වෙන්නේ. ටෙඩී වගේම විල්සන් කරුත් ඒ විදියට දක්ෂ අයුරින් සටන් කරනවා මම දැකලා තියෙනවා. අනූෂා, නොමියෙන මිනිසුන්, දෙමෝදර පාලම, පෙරළිකාරයෝ වැනි චිත්‍රපට තුළින් ඔහුගේ සුවිශේෂ සටන් රංගනය මම දුටුවා.

රන්ජන් මෙන්ඩිස්

රන්ජන් මෙන්ඩිස් නම් වූ රංගන ශිල්පියා මට හමු වෙන්නේ අපේක්ෂා චිත්‍රපටයෙන්. එහිදී මම සමඟ සටන් ජවනිකාවකට රංගන ශිල්පියෙකු අවශ්‍ය වෙලා කළ පරීක්ෂණයේදී තමයි මට ඔහු මුණ ගැසුණේ. ඔහු සතුව හොඳ හැකියාවක් තිබෙන බව මම එහිදී වටහා ගත්තා.

නමුත් අකාලයේ ඔහු අප අතරින් සමු ගැනීම එම දක්ෂතා පෙන්විම වැළක්විම ගැන නම තියෙන්නේ ලොකු කණගාටුවක්. සටන් ශිල්පියෙකු ලෙස මෙන්ම චරිතාංග නළුවෙකු ලෙසත් ඔහු සතුව හැකියාව තිබූ බවයි මගේ හැඟීම. වසන්ත ඔබේසේකරගේ පළඟැටියෝ චිත්‍රපටයේ රංගනයත් ඒ අතර කැපී පෙනුණා. සත්‍ය වශයෙන්ම ඔහු රංගනයෙන් බොහෝ දුරක් යා හැකිව තිබූ රංගන ශිල්පියෙක්. ඔහුගේ අකල් වියෝව ඒ ගමන අතරමඟ නවතා දැමීම විශාල අඩුවක්.

මීට අමතරව තවත් චරිතයක් ගැන කතා කළ යුතුයි. ඒ නිළි රැජන මාලිනී ෆොන්සේකාගේ රංගනයයි. ඇයත් අපේ සිනමාවේ සිටින දක්ෂ සටන් රංගන ශිල්පිනියක් ලෙස මා දකිනවා. මාලිනී සසර චේතනා චිත්‍රපටයේ ඉතා දක්ෂ ලෙසින් රංගනයේ නිරත වුණා. කොහොම වුණත් හැමදාම තිරයේ දුෂ්ටයා සටනින් පැරැදෙන එකයි සිදු වෙන්නේ. මොන තරම් සටන් කළත් අවසානනයේ ලකී ෂොට් එකෙන් වීරයාටයි දිනුම ලැබෙන්නේ. ඒක හිතේ තියාගෙනයි සටන් ජවනිකා අධ්‍යක්ෂණය කෙරෙන්නේ. එහිදී සැබෑම සටන්කරුවා තමයි තිරයේදී පරාජය වෙන්නේ.