වර්ෂ 2014 ක්වූ ජුනි 12 වැනිදා බ්‍රහස්පතින්දා




ගාලු බස් එකේ වැලිසර ගිහින්

ගාලු බස් එකේ වැලිසර ගිහින්

විනෝදාස්වාදයෙන් පිරුණු රන්ජා චිත්‍රපටය නරඹා කුල්්මත් වූ අප හිතාදර රංගන ශිල්පියකු අපූරු සිදුවීමකට මුහුණපාලා. ඔහු වෙනින් කවුරුවත් නොව රංජිත් රූබසිංහ. පසුගියදා කොල්ලුපිටිය ලිබර්ටි ශාලාවේ පැවැත් වූ රන්ජාහි මංගල දර්ශනයට රංජිත්ටත් ඇරැයුම් ලැබිලා. එදින උදේ වරුවේ සිට හවස ඇති මංගල දර්ශනයට ලක ලැහැස්ති වුණ ඔහු වෙලාවටත් කලින් එතැනට ඇවිත් සිටියේ රන්ජා හි පූර්ව ප්‍රචාරක පටය දැකලා සිනමාපටය ගැන චිත්‍රයක්ද මවා ගනිමිනුයි. දර්ශනය ඇරැඹීමට මොහොතකට පෙර රංජිත් ශාලාවට ඇතුළු වී හිත මිතුරෙකු ළඟින් වාඩි වුණා.

ෂා . . . මරේ මරු, මාර ෆයිට් එකනෙ මචං. නියම ෆිල්ම් එකක්නෙ මේක’

රංජිත් තම මිතුරාට දහස් වතාවත් පමණ පැවසුවේ තමා හිතාගෙන සිටියාටත් වඩා ක්‍රියාදාමයෙන් මෙන්ම හාස්‍යත් පිරුණු නිසා. රන්ජා නරඹා කුල්මත් වූ රංජිත් ලිබර්ටි ශාලාවෙන් පිටතට පැමිණියේ ගෙදර යන්න හිතාගෙන. එතකොටත් ටිකක් රෑ බෝවී තිබුණා. අවේ කොයි පැත්තෙන් ද කියලාවත් මතකයක් නැතුව පාරට බැස ගත් රංජිත් බස් නැවතුමට ආවේ රන්ජා ගැන සිතමිනුයි. එතැනට ආ බස් රථයට නැග ගත් ඔහු හිස්ව ඇති අසුනකට බර වුණේ වටපිටවත් නොබලා.

වැලිසරට ටිකට් එකක් දෙන්න . . .

රංජිත් රුපියල් පණහක් දික් කරන ගමන් කොන්දොස්තරවරයාට කීවා.

වැලිසරට ටිකට් එකක් දෙන්නකෝ . . . ඇහුණේ නැද්ද?

තමා දෙස තුෂ්නිම්භූතව බලා සිටි කොන්දොස්තරවරයාට පැවසුවේ ටිකක් සැරෙන් වගේ.

මහත්තයෝ මේක ගාල්ලේ බස් එකක්. මහත්තයාව විතරක් බස්සන්න වැලිසරට යන්න බැහැනේ. ගාලු පාරේ ඕනෑ තැනක් කියන්න මහත්තයාව දාලා යන්නම්. ආපහු හරවලා වැලිසර යන්න නම් බැහැ.

රන්ජිත්ගේ ඇස් ඇරුණේ එතකොට. ඒ වන විටත් වැල්ලවත්තත් පහුකරගෙන බසය ඇවිත්.

මහත්තයා බස් එකට නැග්ග වෙලාවේ ඉඳලා ලොකුª දෙයක් ගැන කල්පනා කර කර ආවේ. මහත්තයට කාගෙන් හරි කරදරයක් වුණාද?

බසය නවත්වා රංජිත් බහින්න හදද්දි කොන්දොස්තර විමසුවේ රංජිත් ගැන උපන් අනුකම්පාවෙන්.

ඔව්. ඔව්, මට එක් කෙනෙකුගෙන් හරිම කරදරයක් වුණා. මං එයා ගැන හිත හිත ඇවිත් තමයි වැරැදි බස් එකට නැගලා තියෙන්නේ.

කවුද මහත්තයෝ ඒ?

රන්ජා.

එහෙම කියා අඩියට දෙකට බසයෙන් බැහැ ගත් රංජිත් කොළඹ බස් රථයක එල්ලේදී රෑ එකොළහටත් කිට්ටු වී තිබුණා.