වර්ෂ 2014 ක්වූ ජුනි 12 වැනිදා බ්‍රහස්පතින්දා




දිය රෙද්ද වේදිකාවේ

දිය රෙද්ද වේදිකාවේ

විකට කථාංගයක් නිර්මාණය වූයේ බොහෝ දෙනෙකුගේ උත්සාහය කැපවීම මතයි. විනෝද සමය ඉදිරිපත් කිරීමට ප්‍රථම දින කිහිපයක් පුහුණුවීම්වල නිරත වීම අපි කළ දෙයක් විය. ඒ මුල් කාලයේ කැලණිය විද්‍යාලංකාර පිරිවෙන් බිමෙහි හෝ අපි කාගේ හෝ නිවසකය.

 වැඩිපුර පුහුණුවීම් සිදු කරනු ලැබුවේ සැමුවෙල් රුද්‍රිගෝ ගේ නිවෙසේය. බොහෝ අවස්ථාවන් හි විනෝද සමයේ මුල් පිටපත රචනා වූයේ ඇනස්ලි ඩයස් අතිනි. බර්ටි, සැමුවෙල්, ධර්ම ශ්‍රී මෙන්ම මම ද මේ සඳහා පිටපත් රචනා කරනු ලැබීය. කෙසේ හෝ අප සැමගේ අදහස් අනුව ලස්සන පිටපතක් අවසානයේ නිර්මාණය වීම සිදු විය. සමහර දිනවල දී අසල්වාසීන්ද අපගේ පුහුණුවීම් නැරැඹීමට පැමිණියහ. අපි එකිනෙකාට විහිළු තහළු උදෙසා වාද විවාද කර ගත් අතර එකිනෙකාට ද විහිළු තහළු කර ගනිමින් විනෝදයක් ද ලැබුවෙමු.

මිනිසකුගේ මුවගේ අර්ථවත් සිනාවක් මැවීමේ අරමුණ විනා මුදල් හම්බ කිරීමේ අරමුණක් අප කා තුළවත් නොවීය. ඒ නිසාම ද කොහේදෝ විනෝද සමය අති සාර්ථක වැඩසටහනක් බවට පත් විය. පසුකාලීනව විනෝද සමය වැඩිපුරම රඟ දැක්වූයේ එළිමහන් වේදිකාවේය. ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම විනෝද සමය වේදිකා ගත විය. විශේෂ උත්සව, ප්‍රදර්ශන, සැණකෙළි අවස්ථාවල විනෝද සමය නැතිවම බැරි විශේෂාංගයක් බවට පත් විය.

විශේෂයෙන් දේශපාලන වේදිකාවල ද විනෝද සමය රඟ දැක්වූවේ ඒ කෙරෙහි තිබූ ජන ආකර්ෂණය නිසාමය. මුවන්පැලැස්ස කතාංගය ද එවක ජනප්‍රිය නාට්‍යයක් විය. කාලයක් යත්ම බොහෝ ප්‍රදේශවල මුවන්පැලැස්ස හා විනෝද සමය ඒකාබද්ධව වේදිකා ගත කරනු ලැබීය. වික්ටර් මිගෙල්, ගැමුණු විජේසූරිය, විජේරත්න වරකාගොඩ, රත්නාවලී කැකුණවල, ලිලානි පෙරේරා එදා මුවන් පැලැස්ස කණ්ඩායමේ සාමාජිකයන් වූහ.

ගුවන් විදුලියේ හය වැනි මැදිරියේ විනෝද සමය පටිගත කළ අවස්ථාවේ සිදු වූ සුන්දර අත්දැකීමක් අදත් මතකයට නැඟෙද්දී මා තුළ ඇති කරනුයේ සිනා පිරි සුන්දර මතකයකි. දිනක් ඇනස්ලි, බර්ටි, සැමුවෙල් හා මම විනෝද සමය රඟ දැක්වීම සඳහා ගුවන් විදුලියේ හය වැනි මැදිරියට පැමිණියහ. ඒ වන විටත් මැදිරිය පුරා තිබුණේ එකම හිස් ගොඩකි. බාල, තරුණ, වැඩිහිටි බේදයක් නොමැතිව ක

සැමුවෙල්, ධර්ම ශ්‍රී, ඇල්ෆ්‍රඩ් පෙරේරා, බර්ටි, ඇනස්ලි කලකට ඉහත දී

වුරුත් පුන පුනා බලා සිටියේ අපගේ පැමිණීම බලාපොරොත්තුවෙනි. පිටපතේ හැටියට එදා මුලින්ම තිබුණේ කාන්තාවක් ලෙස වෙස් වලාගත් මා නැටුමක් ඉදිරිපත් කිරීමය. ඇනස්ලි හා බර්ටි එදා සිටියේ විනිශ්චය මණ්ඩලයක සාමාජිකයන් ලෙස චරිත මැවූහ.

සැමුවෙල්ට තිබුණේ මා නටන පදයට බෙරය වාදනය කිරීමය. මුලින්ම පිටපතේ අනුව මාව විනිශ්චය මණ්ඩලය විසින් විවිධ ප්‍රශ්න අසමින් ඒවාට මාගෙන් උත්තර ලැබීමෙන් පසු මට නැටුමක් ඉදිරිපත් කර පෙන්වන ලෙස කියනු ලැබිණි. මෙහිදී මගෙන් අසන ප්‍රශ්න හා මා දෙන පිළිතුරු අසා ප්‍රේක්ෂකයෝ විසිල් ගසමින් සිනාසෙනුයේ අපිරිමිත වූ ප්‍රීතියකිනි. ඒ අතරේ සැමුවෙල් බෙරය ගසන්නට මගෙන් පද අහන කොට මම දෙන උත්තර ද අසා ප්‍රේක්ෂකයෝ නොනවත්වා සිනාසෙති.

මේ අතරේ අපේ විනෝද සමය ගුවන් විදුලියේ පටිගත කිරීමද සිදු වේ. කෙසේ හෝ ඒ වකවානුවේ අද මෙන් නවීන ඇඳුම් පැලඳුම් තිබුණේ ද නැත. මා කාන්තාවක් ලෙස වෙස් ගන්වා තිබුණේ ද කාන්තාවකගේ පියයුරු වෙනුවට පොල් කටු දෙකක් හැට්ටය තුළ හිර කිරීමෙනි. අද මෙන් පැඩින් බ්‍රෙෂියර් එදා තිබුණේ නම් මෙය වඩාත් පහසුවක් වන්නට තිබුණි. මේ ආකාරයෙන් ඇඳ පැළද මා නර්තනයක් ඉදිරිපත් කළේ සැමුවෙල්ගේ බෙර පදයටය. සැමුවෙල්ගේ බෙර පදය වැදෙන හඬේ වේගය වැඩි වන විට මම ද මගේ රංගනයේ වේගය වැඩි කළේ පේ‍්‍රක්ෂකයන්ගේ ඔල්වරසන් මධ්‍යයේය. දැන් මගේ රංගනයේ වේගය එන්න එන්නම වැඩි වෙන කොට කෙසේ හෝ හැට්ටයේ එක් පොල් කට්ටක් පාත් වූයේ මටත් කර කියා ගන්න දෙයක් නොමැතිවය.

ඇල්ෆ්‍රඩ් පෙරේරා, බර්ටි, ධර්ම ශ්‍රී, ඇනස්ලි, සැමුවෙල් සමඟ විනෝද සමය රස ගන්වමින්...

පොල් කට්ට පාත් වූ නිසා මගේ රංගනය නතර කළහොත් යළිත් පටිගත කිරීමේ ප්‍රශ්නයක් වන නිසාවෙන් මම පහත් වූ පොල් කටුව නටන විලාසෙන් අතින් උස්සමින් නටන්නට වීමි. මෙය දුටු ප්‍රේක්ෂකයන් බඩ අල්ලන් හිනා වන්නට වූහ. මම කිසිදු වගක් නොමැතිව පොල් කටු පියයුර උස්සමින් දිගටම නර්තනයේ යෙදුණෙමි. මේ කෙරුවාව දුටු ඇනස්ලිත්, බර්ටිත්, සැමුවෙලුත් සිනාවට පත් වූයේ පිටපතේ දෙයක් ලෙස හඟවමින් මම රංගනය නොනවත්වා කළ බැවිනි. සැමුවෙල් ද මට හොඳ බෙර පදයක් ලබා දුන්නේ මෙයත් බලාපොරොත්තු නොවූ සිනා සෙන්නට සිටි මිනිසුන්ට තවත් සිනා සෙන්නට හොඳ උත්තේජනයක් වූ බැවිනි.

තවත් දිනෙක විනෝද සමය රඟපෑම සඳහා ගිය මට සිදු වූයේ තවත් අමතක නොවන සිදුවීමකි. එදා හාමු මහත්තයා වූයේ ඇනස්ලිය. ඔහු සිය බිරියට ‘ඩල්සි මෙහෙ එන්ඩ පොඩ්ඩකට’ යැයි කීවේය. ඩල්සිට රඟපෑවේ මාය. මම කටහඬ වෙනස් කර ‘මං මේ නානවා’ යයි කියමින් දිය රෙද්ද පිටින්ම වේදිකාවට ආවෙමි. ඉඟ නළවලා ලැසි ගමන පාන්න ගිහින් මම ඇඳ සිටි දිය රෙද්ද වේදිකවේ කඩා වැටිණ. මේ අකරතැබ්බය වෙන මොහොතේ හොඳ වෙලාවට මා යටින් කොට කලිසමක් ඇඳ සිටි නිසා ජාමේ බේරා ගතිමි.