සුළඟක් ඇවිත් බිත්තියේ ඉබේම චිත්‍රයක් ඇඳිලා

පුබුදු ගමගේ ගේ ආදරණීය තාත්තා සිහිපත් කරයි

හැම පැත්තකින්ම රැව්දෙන කොහාගේ ගී නාදය ගෙනාවේ අලුත් අවුරද්දේ පණිවුඩය. ගමේ හැම ගෙදරකම මෙන්ම ගමේ ග්‍රාම සේවක මහත්තයාගේ නිවෙසේ උදවියත් ලහි ලහියේ සූදානම් වුණේ ළඟ එන අලුත් අවුරුද්ද පිළිගන්න.

ගෙදර තීන්ත ආලේප කරලා කලඑළි කළ ග්‍රාම සේවක මහත්තයාත්, නෝනත් නිවෙසින් බැහැර වුණේ මුළුතැන්ගෙට අවශ්‍ය අඩුම කුඩුම ටිකක් ගේන්න. හැබැයි ගෙදර දඟ පැටියා නම් හිනා වෙවී හිටියේ තමන් දැන් රජ වන වග දන්න නිසා. රජ පැටියාගේ මුරට හිටියේ එයාගේ දෙවෙනි අම්මා. ඒ කියන්නේ එයාගේ නැන්දා. නැන්දාගේ හුරතලේ නිසාම පුතා ගෙදර රජ කරන්න පටන් ගත්තා. හැබැයි අම්මයි තාත්තයි ගෙදර එනකොට පුතා නැන්දටත් තරු පේන්න වැඩක් කරලා. ගෙදරට ගොඩ වුණු සැනින් අම්මයි තාත්තයි දැක්කේ ගෙදරින් යනකොට නොතිබුණු චිත්‍රයක් බිත්තියේ සිතුවම් කරලා තිබෙන බවයි. හැබැයි ඒ බලිකුරුටු චිත්‍රයේ චිත්‍ර ශිල්පියා හිටියෙත් ගෙදරමයි. නඩු විභාගය ඇරැඹුවේ නැන්දා. කවදත් පුතාට ළෙන්ගතු නැන්දා පුංචි පුතාගෙන් බොහෝම ආදරෙන් ඇහුවේ ‘කවුද පුතේ මේක කළේ?’ කියලා.

මම පැස්ටල් පාට කූර අල්ලගෙන බිත්තිය ළඟට වෙලා හිටියා. එතකොටම ලොකුම ලොකු හුළඟක් ඇවිත් මේ චිත්‍රය ඉබේටම ඇඳුණා.

නැවතත් තීන්ත ආලේප කරන්න සිද්ද වුණත් පුංචි පුතාගේ කතාවට හැමෝටම ආදරණීය බවක් මිසක් තරහක් නම් කාගෙවත් හිතට ආවේ නෑ.

පුංචි කාලේ බොරුවට වුණත්, ලස්සනට කතාව හැදූ ඔහු අද රංගන ශිල්පිියෙක්. හෙතෙම යොවුන් රංගන ශිල්පී පුබුදු ගමගේ. මේ සතියේ පුබුදුගේ වැලිකෙළියේ මතකයන් ඔබට කියන්නේ පුබුදුගේ ආදරණීය තාත්තා. ඔහු ගමගේ මහත්තයා.

පුබුදුට අපි ගෙදරට කතා කරන්නේ නම් ලොකු පුතා කියලා. ලොකු පුතා පුංචි කාලේ හරිම චණ්ඩියා. එක තත්පරයක් එක තැනක ඉන්නෙ නෑ. කරන්න කිසි වැඩක් නැත්නම් අඩුම ගානේ ගහකට හරි නඟිනවා. ඒ කාලේ අයියලා, මල්ලිලා ගහක ගෙඩියක් තියන්නෙම නෑ. වරකා ගෙඩිවල සුවඳ හමනවා විතරයි වරකා ගෙඩිය බිම.

සමහර වෙලාවට අයියලා, මල්ලිලා දඟ වැඩ කරන්නේ අල්ලපු ගෙවල්වල යාළුවෝ ටිකත් එකතු කරගෙන. අපේ ගමේ තියනවා පහන්තුඩාව කියලා ඇල්ලක්. ඒ ඇල්ලෙන් එහා පැත්තේ කන්දක් තියෙනවා. එක දවසක් අපේ පුතාලයි යාළුවෝයි ඒ කන්දට ගියා. එදා හැන්දෑවේ ධාරාණිපාත වරුසාව. අහසත් හොඳටම අඳුරු වෙලා. වැස්ස කොච්චර ද කියනවා නම් ගෙඟ් වතුරත් දෙගොඩ තලා ගිහින්. පුතාලාට ගෙඟන් මෙගොඩට එන්නත් බෑ. අපට එගොඩට යන්නත් බෑ. හැබැයි එයාලට කැලෑව ආගන්තුක නෑ. කොහොම හරි කට්ටිය වැස්සෙම ගඟ අයින දිගේම හැතැප්ම ගණනක් ඇවිදගෙන තමයි පාරට ආවේ. ඒ එන අතරෙදි කුළු මීමෙකුත් පාරේ ඉඳලා එයාගෙනුත් බේරිලා තමයි කට්ටියම ඇවිත් තියෙන්නෙ. එදා නම් අපි හොඳටම බය වුණා දරුවෝ ගැන.

ලොකු පුතා හැම චණ්ඩිකමක්ම කරන්නෙම ලොකු මල්ලිත් එක්ක තමයි. ඒ කාලේ පුතාලා හවසට ක්‍රිකට් ගහන්නේ අපේ මිදුලේ. ඉතින් හැමදාම ජනේලෙක වීදුරුවක් කඩනවාමයි. අපේ ගෙදර ජනෙල් ගාන සමානයි අයියයි, මල්ලියි ගුටිකාපු දවස් ගාණට. මොකද ක්‍රිකට් ගැහුවොත් එදාට අනිවාර්යයෙන්ම ජනේලයක් බිඳිනවාමයි. ආයිත් ඒකේ දෙකක් නෑ.

පුතා බයික් පදින්න පුරුදු වුණු හැටිත් කියන්නම්. ඉස්සර අපේ ගෙදර චැලියක් තිබුණා. හැබැයි මම ලොකු පුතාටවත් ඒක අල්ලන්න දෙන්නෙ නෑ. ඒත් එක දවසක් පාන්දර මම නැඟිටින කොට බයිසිකල් හැන්ඩ්ල් එක ඇද වෙලා. බයික් එකේ හැම තැනම මඩ. ටික වෙලාවකින් ලොකු පුතා නොන්ඩි ගගහා නිදි ගැට කඩ කඩ කාමරෙන් ආවා. ඊළඟට එයාගේ පිටි පස්සේ පොඩි එක්කෙනත් එනවා. එයත් නොන්ඩි ගහනවා. මොකද දන්නවාද වෙලා තියෙන්නේ? අපි නිදා ගත්තාම අයියයි, මල්ලියි බයිසිකල් පැදලා. කවදා කරපු වැඩද ඉතින්? ඒ නිසා දෙන්නාම බයික් එකත් එක්කම වැටිලා.

පුබුදු පුංචි කාලේ හරිම දඟයි.

කරපු දඟ වැඩවලට දඬුවම් කරන්නත් ඇති නේද?

අපොයි ඔව්.

නොගහ හදන දරුවා හැඳි නොගා හදන කිරි හොද්ද වගේ කියලා අපේ කියමනකුත් තියෙනවානේ. වැරැද්දට දඬුවම් කරන්නේ අපි තරහට නෙමෙයි. දරුවෝ හදා ගන්න. එක පාරක් පුතාලා බයික් එක ආච්චි කෙනෙක්ගේ කකුලක් උඩින් තල්ලු කරගෙන ගියා. හැබැයි ඒක කළේ නම් හිතලා නෙමෙයි. එදා මම දෙන්නව දණ ගස්සලා ලොකු පුතාගේ කන් දෙක පොඩි පුතාටත්, පොඩි පුතාගේ කන් දෙක ලොකු පුතාටත් අල්ලගෙන ඉන්න කිව්වා. අයියා, මල්ලිගෙ කන් දෙක හයියෙන් අල්ලන කොට මල්ලි අඬනවා. මල්ලි අයියාගේ කන් දෙක හයියෙන් අල්ලන කොට අයියා අඬනවා.

කොහොම වුණත් මට අද හිතෙනවා ලොකු පුතා පුංචි කාලේ දඟ වැඩ කළ නිසා තමයි අද හොඳ තත්ත්වෙක ඉන්නෙ කියලා.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව