ඔබට ඇසෙන්නට කිය වූ පිරිත් පොත තවම මේසය මත දිග හැරි ගමන්

අනුර බණ්ඩාර රාජගුරු

පණ නම් තණ අග පිණි බිඳකි. බුදු පියාණන් දෙසූ ලෝ දහමට අනුව ඕ වසර අසූවකට පසු සිය ජීවිතය නමැති තණ පත අතැර ගියාය. ඒ සිය ලේ කිරි කර දුන් පුතුන් දෙදෙනෙකු මෙලොවට දායාද කරමිනි. වැඩිමලා අනුර බණ්ඩාර රාජගුරුය. බාලයා පුෂ්ප කුමාර බණ්ඩාර රාජගුරුය. පුෂ්ප කුමාර බණ්ඩාර රාජගුරු සැවොම දන්නේ කැමරා අධ්‍යක්ෂවරයෙකු වශයෙනි. එහෙත් අනුර බණ්ඩාර රාජගුරු ලංකාවාසී ප්‍රේක්ෂක හදවත් හි සිය ඉඩහසර වෙන් කර ගත්තේ සොඳුරු රංගන ශිල්පියෙකු ලෙසිනි. එතැනින් නොනැවතුනු ඔහු දක්ෂ ලේඛකයෙකු වගට අටුවා ටීකා අනවශ්‍යය. පත්තර මහ ගෙදරින් සිය මාධ්‍ය ජීවිතය අර්ථවත් කළ හේ වරෙක කලා ලොවේ හදවත බඳු වූ අප පුවත්පතෙහි කර්තෘවරයාව සිටියේය. සිය මාධ්‍ය සඟයන් අතර ‘රාජා අයියා’ යන ආදරණීය නාමයෙන් නම් දරා සිටි ඔහුගේ හදවත ශෝකය නමැති හැඩි දැඩි පුවතින් ඉරිතලා ගියේය.

‘රාජා අම්මට හොඳටම අසනීපයි. ඉක්මනට එන්න’

සිය බිරියගෙන් ලැබුණුු දුරකතන ඇමතුම ඔස්සේ ඔහු හිටිවනම ගල් ගැසුණේය. එළැඹි සිහියෙන් ඔහු පිටත් වූයේ ඉක්මනින් සිය මවගේ අවසාන මොහොතෙහි වැඩිමහල් පුතු ලෙස අසල රැදෙන්නටය. අරුමයකි. නිවෙස පෙනෙන නොපෙනෙන මානයේ ඔහු සිරගත වූයේ සිය රිය තුළය. එහාටත් මෙහාටත් හරවා ගත නොහැකි වූ රිය හා රථ පෝලිම සෑදී තිබුණේ ද රථයක් එකතැන නතර වී තිබූ නිසාවෙනි. සිය නිවෙස වෙත ගිය ඔහුගේ දෑතට හසු වුණේ තවමත් උණුසුම නොසිඳී ගිය සිය මවගේ දෙණයි.

‘මම මවගේ දෙණ අසල දණ ගසාගෙන ඈ දෙසම බලා උන්නෙමි. එකල ඈ කෙරෙහි වූ අභිමානය මියෙන තුරු ද නොසිඳී ඇගේ උවනෙහි සටහන්ව තිබෙයි. සිය පරපුරෙන් පැවැත ගෙන ආ අභිමානයට අනුව ඔබ හා අප්පච්චී, මා විසූ වාරියපොළ දැඹැලියද්ද පරණ වලව්ව මගේ මතකයට පිවිසෙන්නේ නිතැතිනි. වසර දාහතරක්ම පවුලෙහි එකම පුතු ලෙස ඔබගේ රාජ්‍යයෙහි ආදර කිරුළ හිමි වුණේ මටය. කෙළි දෙළෙන් ගත කළ ඒ සොඳුරු ජීවිතයේ සුන්දරත්වය මට අද ද සිහියට නැඟේ. විදුහල්පතිවරයෙකු වූ මා පියාණන් දුරු කතරෙහි සිය දැනුමෙන් දුප්පත් දරුවන්ට අකුරු කරද්දී, ඔබ මා හදා වඩා ගත්තේ ඔහුගේ අඩුව මට නොදැනෙන ලෙසිනි. එනමුදු ඔබ දෙපළ ඒ සොඳුරු ගම්මානයෙන් කොළොම් පුරවරයට පැමිණෙන්නේ මගේ ජීවිතය සැපවත් කරන්නටයි. අප්පච්චි සිය වාරියපොළ ශ්‍රීී සුමංගල විද්‍යාලයේ දැරූ විදුහල්පති ධුරය අතහැර සාමාන්‍ය ගුරුවරයෙකු ලෙස ආනන්දයට පිවිසෙන්නේ ඔබ දෙපළගේ කථිකාවෙන් බව මම පසුව දැන ගතිමි. එහෙත් වැඩි කලක් නොගොසින් අප්පච්චීට ලැබෙනා ගුරු මාරුව නිසාම ඔබ කිසිවෙකුත් නොහඳුනනා කොළොම් පුරවරයෙහි නතර වන්නේ කුඩා දරුවෙකු වූ මා සමඟය.

ඔබ මට කොතරම් ආදරය කළේද යත් කිසිදු දිනක පාසල් යන්නට යා යුතු විජේරාමයේ තිබුණු එක් නිවෙසකට මා රැගෙන යන්නේ පොත් බෑගය ද ඔබ අත රඳවමිනි. පාසල් ගොස් පැමිණෙන විට ද ඔබ එතැන සිටින්නේ ඒ සොඳුරු ආදරයේ තරම සිහිපත් කරමිනි.

වරෙක මට ලියුකේමියා රෝගය ඇතැයි සැක කළ වෛද්‍යවරු මා රෝහලේ නවතා ගත්හ. ඒ වනවිට හෘදයාබාධයක් වැළඳුණු ඔබ ද සිටියේ රෝහල්ගතව බව මට හොඳින් මතකය. රෝහල්ගතව සිටිනා අප දෙදෙනා බලන්නට අප්පච්චී නොවිඳීනා දුක් වින්ඳද, මා රෝහලේ බව ඔබට නොකියූ බව අප්පච්චි මා සමඟ කීවේය. වෙනත් අයුරකින් එය දැනගත් පසුව ඔබ ඔබගේ අසනීප තත්ත්වය ද නොතකා මාස කිහිපයක් මා අසල රැඳී උන් අයුරු අතීතයට එබී බලන මට පසක් වේ. එවන් රෝගයක් මට වැළඳී නැතැයි පැවසූ වෛද්‍යවරුනට ඔබ තුති පුද කළේ ඉත සිතින්ම නොවේදැයි මට සිතේ.

මිහිතලය වසා පැතිරුණු නුග රුකක සෙවන හා සිසිලස බෙදන්නේ යම්සේ ද ඔබත් මට එවැනිම නුග රුකක් බඳුමය. මට මෙන්ම මල්ලීට ද ඔබ පෑ සෙනෙහස, ඔබගේ ගුණ කඳ කියන්නට අපට හෝඩියේ අකුරු මඳ බව කිව යුතුමය. කුල කාන්තාවක් ලෙස ඔබගේ පරපුරෙන් ගෙන ආ ගෞරවය ඔබ නිසි ලෙස රැක්කාය. උඩරට ඔසරියෙන් සැරැසී සාම්ප්‍රදායික කුල කතක සේ ඔබ හැඳ පැළඳ යන හැම විටම අන් අයගේ අවදානයට ලක් වූ අයුරු මුසාවක් නොවේ. මෙපමණක් නොව යමක් සංවිධානය කිරීමත්, එහි මුල් තැන ගෙන ක්‍රියා කිරීමත් ඔබ කළේ සුන්දර සිතිනි. ඔබ තුළ තිබුණු මේ අපූරු හැකියාව නිසාදෝ නෑදෑ හිත මිතුරන්ට විපතක්, සතුටක් ඇති වූ අවස්ථාවල ඔවුන් පැමිණියේ ඔබ සොයා ගෙනයි. ඔවුන්ට බත බුලතින් පමණක් නොව මුදලින් ද සංග්‍රහ කිරීමට තරම් පරිත්‍යාගශීලී කතක වීම පිළිබඳ ඔබ ගැන මම අද ද ආඩම්බර වෙමි. කොළඹ කෝට්ටේ දකුණ විවාහ රෙජිස්ටාර්වරිය වූ එස්. රාජගුරු කුමාරිහාමි වන ඔබ පැතිරූ කිතුගොස අපමණය. නීතියට වැඩ කටයුතු කළ නිසාම ඔවුන් ඔබට බොහෝ ආදරය කළ බව මම දනිමි. ඒ අතර ප්‍රදේශයේ සිටිනා ප්‍රදේශවාසීන් මෙන්ම දේශපාලඥයන් ද සිටි වග අරුමයක් නොවේ. උඩහමුල්ල සිරි ජිනරතනාරාමයේ සාමශ්‍රී කුළඟන සමිතියේ ප්‍රබල සාමාජිකාවක් වූ ඔබ ගමටත්, නෑදෑ හිත මිතුරන්ගේ ප්‍රබල චරිතයකි.

නොසැලෙනා ගුණයෙන් යුක්ත වූ හදවතක් හිමි ඔබ, මා ශෝකයෙන් කම්පිතව ලෝකයම එපා වී සිටි මොහොතක දෙපා මතින් සිට ගන්නට අත් වාරුවක් වූ එක් නිමේෂයක් මගේ සිතේ ඇදී නෑදී යයි.

ඒ එක් කලෙක සිහිනයක්ව තිබූ මගේ ‘නිම්තෙර නින්නාද’ කෘතිය දොරට වැඩීමේ මහගු කාර්යය සිදුවීමට නියමව තිබූ දින වකවානුවයි. හදිසියේම උත්සවය පැවැත්වීමට වෙන්කළ ස්ථානය දිය නොහැකි බවට කළ ප්‍රකාශයෙන් මා පත් වූයේ අන්ත අසරණ තත්ත්වයටය. නිවෙසෙහි හාන්සි පුටුවට වී මුළු ජීවිතයම කඩා වැටී සිටි මොහොතක ඔබ මා සැනසූයේ අපූරු අදහස් පෙළකිනි. ඒ නිසාම මහජන පුස්තකාල භූමියෙහි පැවැත් වූ මුල්ම හා අවසාන උත්සවය වන්නේ ද මගේ මේ සිහිනය දොරට වැඩීම වන්නට ඇත. එදින අපේ ප්‍රවීණ ගායන ශිල්පිනිය වූ නන්දා මාලිනියගේ මියුරු හඬින් ‘අම්මාවරුනේ . . .’ ගීතය ගැයෙද්දී ඔබට පොත පිළිගැන් වූ අයුරු මේ මට අද වගේ දැනෙයි. ඒ මොහොතේ ඔබගේ දෙනෙතින් වැටුණු කඳුළු වැල් මේ මොහොතේ ඔබේ දෙනෙතේ වේදැයි මම සොයමි.

ඔබ බොහෝ ශෝකයට පත්ව වෛද්‍යවරයෙකු හමුවීමට තරම් අසනීප වූ මොහොත මගේ දෑසෙහි විද්‍යාමාන වේ. ඒ චාමර ජයවීරගේ ‘විදර්ශනා’ පොහොය ටෙලි නාට්‍ය මාලාවයි. මිනී පෙට්ටියක මම වැතිර සිටියෙමි. මිය ගිය පුතුගේ රුව සහිත රඟපෑම ඔබගේ හදවත සසල කිරීමට සමත් වේ යැයි මා සිතුවේ නැත. එහෙත් එය එසේ විය.

‘පුතේ කිසිම දවසක ඔය වගේ දෙයක් නම් ආයෙත් රඟපාන්න එපා’ ඔබ මගෙන් ඇය ද සිටියාය.

එසේ මට අවවාද දුන් නුඹ අද අවසාන නින්දෙහි සැතපී සිටින්නීය. ඔබ අසල සිටින්නේ ඔබ වඩාත් ආදරය කළ බාල මල්ලී පුෂ්ප කුමාරය. ප්‍රියානි හා වින්ද්‍යා යන ලේලිවරුන්ය. ලක්ප්‍රිය, ලක්ෂාන්, බිහාරි, ලකිඳු, දෙව්සර යන මුනුබුරු මිනිබිරියන්ය.

මීට මොහොතකට පෙර ප්‍රියානි හා වින්ධ්‍යා ඔබට ඇසෙන්නට කිය වූ පිරිත් පොත ඔබ අසල මේසයෙහි ඔබ දෙසම බලා සිටින්නේ මේ ජීවිතයෙහි වන අනිත්‍ය මෙනෙහි කිරීමට මෙනි. ඔබගේ දෙණ අසල ඉන්නා අපේ පැතුම වන්නේ දිනෙක ඔබ අපේම මව වී උපදීවා යන්නය.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව