වර්ෂ 2018 ක්වූ  මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා




රූපවාහිනියේ මුල් පුටුවට ඉනෝකා පැමිණි දවස...

රූපවාහිනියේ මුල් පුටුවට ඉනෝකා පැමිණි දවස...

ජාතික රූපවාහිනියේ අභිනව සභාපතිනිය ලෙස සරසවිය සම්මානලාභී, සිනමාවේදී ඉමෝකා සත්‍යාංගනී කීර්තිනන්ද පසුගිය දින සුබ මොහොතින් එම පරිශ්‍රයේදී වැඩ බාර ගන්නා ලදී. ජාතික රූපවාහිනියේ මුල් පුටුවට පත්වන ප්‍රථම කාන්තාව ඇය වේ. ඇයගේ වැඩ බාරගැනීමේ උත්සවය සඳහා පවුලේ ඥාතීන් සමඟ සමීපතම හිතවතුන් සහ පරිශ්‍රයේ අධ්‍යක්ෂ මණ්ඩලය හා කාර්ය මණ්ඩලය මෙම සුබ කටයුත්තට දායක වූහ. මේ එම අවස්ථාවේ සිදු වූ විශේෂ අවස්ථා කිහිපයකි.

ග්‍රෙගරිට හැත්තෑ පහයි

වර්තමාන සිනමාවේ ජ්‍යෙෂ්ඨතම සහාය අධ්‍යක්ෂවරයා වන ඇන්ටන් ග්‍රෙගරි සිය 75 වැනි ජන්ම දිනය හෙට සමරනු ලබයි. එම්. මස්තාන්, සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා, නීල් රූපසිංහ ඇතුළු දැවැන්ත අධ්‍යක්ෂවරුන්ගේ ජනප්‍රිය චිත්‍රපට රාශියකට සහාය අධ්‍යක්ෂණයෙන් දායක වූ හෙතෙම මීගමු පුත්‍රයෙකි.

අල්ලපු ගෙදර, ආත්ම පූජා, දැන් මතකද, හතර දෙනාම සූරයෝ, දෙවියනි ඔබ කොහි ද, ඔහොම හොඳද, නොමියෙන මිනිසුන් ඇතුළු චිත්‍රපට රැසක සහාය අධ්‍යක්ෂණයේ යෙදුණ ඇන්ටන් ග්‍රෙගරි සූර සරදියෙල්, පාරමිතා, යළි පිපුණු මලක්, සංඛපාලි (සම අධ්‍යක්ෂණය) කිරි සුවඳ ඇතුළු චිත්‍රපට රාශියක් අධ්‍යක්ෂණය කළේය. සිනමා ක්ෂේත්‍රය පිළිබඳ ජීවමාන සාධකයක් වන ඇන්ටන් ග්‍රෙගරිට සරසවිය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරයි.

දෙරණ සම්මාන සෙනසුරාදා

නිළි රැජනට යාවජීව සම්මානය

හයවන වරටත් පවත්වනු ලබන දෙරණ සන්සිල්ක් සිනමා උලෙළ එළඹෙන මැයි 26 වැනි දින නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වේ. 2017 වසරේ තිරගත වූ සිනමාපට 25 ක් අතරින් 23 ක් සම්මාන උලෙළ සඳහා නිර්දේශ වී ඇත. ඉදිරිපත් කළ සිනමාපට 23 අතරින් මෙවර ජූරියේ සම්මාන 18 ක්ද, ජනප්‍රිය සම්මාන 7 ක්ද, හෙට දවසේ සිනමාව වෙනුවෙන් සම්මාන 2 ක්ද පිරිනැමේ.

මෙවර කෙටි චිත්‍රපට තරග අංශය වෙනුවෙන් චිත්‍රපට 112 ක් ඉදිරිපත් කර ඇති අතර ඒ වෙනුවෙන් හොඳම කෙටි චිත්‍රපටයට සම්මාන පිරිනමනු ඇත. ජීවිතයට එක් වතාවක් පිරිනමන යාවජීව සම්මානය මෙවර නිළි රැජින මාලිනී ෆොන්සේකාට පිරිනමනු ඇත.

වෛද්‍ය නන්දන කොල්ලුරේ ලියූ අලුත්ම නවකතාව ‘නිල් සකුරා’

වෛද්‍ය නන්දන කොල්ලුරේ රචනා කළ අලුත්ම නවකතාව 'නිල් සකුරා' දොරට වැඩීමේ උත්සවය මේ මස 29 වැනිදා අඟහරුවාදා සවස 3.00 ට ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයිීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

දයාවංශ ජයකොඩි සහ සමාගම විසින් ප්‍රකාශයට පත් කරන ලද 'නිල් සකුරා' ග්‍රන්ථය දොරට වැඩීමේ උත්සවයේ මුලසුන ආචාර්ය වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා හොබවයි. මෙම අවස්ථාවට විද්වතුන්, කලාකරුවන්, ලේඛකයින්, වෛද්‍යවරුන් ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි නිරත පිරිසක් සහභාගිවීමට නියමිතය.

කීර්ති බණ්ඩාර නැවතත් වේදිකාවට

කීර්ති බණ්ඩාරගේ නාට්‍ය නිර්මාණය මහරජ කාශ්‍යප මෙම මස 29 සහ 30 යන දිනයන්හි මාකොළ එළිමහන් රංග පීඨයේදී රඟ දැක්වේ.

රමණී ෆොන්සේකා, ශ්‍රියාණි මහවත්ත, මානෙල් කුමාරි, අජිත් කොටුවිල, දයානන්ද හේවගේ, තිලකරත්න ලියනගේ, කුමුදු පාලිත ජයවීර, නිහාල් ගමගේ, හැරල්ඩ් කේ. ජයතිස්ස, ධනුෂ්ක අබේකෝන් සමඟ කීර්ති බණ්ඩාර රංගනයෙන් දායක වෙති. මහරජ කාශ්‍යප නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය අසේල ඉන්ද්‍රලාල්ගෙනි.

ක්‍රීඩා නීති පොත එළිදකී

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චිගේ ප්‍රධානත්වයෙන් 'මලල ක්‍රීඩා තරග නීති 2018 - 2019' ග්‍රන්ථය එළිදැක්වීම එළඹෙන 25 වැනි දින කොළඹ 7 පාපන්දු සම්මේලන ශ්‍රවණාගාරයේදී සිදු කෙරේ.

සාමාන්‍ය පෙළට ලීල් ආනන්ද ගජනායකගේ නාට්‍ය හා රංග කලාව

සාමාන්‍ය පෙළ නව විෂය නිර්දේශය අනුව සම්පාදිත නාට්‍ය හා රංග කලා කෘතිය පසුගිය දින මල් පියලි ප්‍රකාශනයක් ලෙස එළි දැක්විණි. මෙහි අන්තර්ගත වස්තු විෂය වූයේ නාට්‍ය මූලධර්ම සේම විභාගයට නියමිත පෙළ පොත් පිළිබඳව දරුවන් දැනුවත් කිරීමයි. අදාළ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීම පහසු වන පරිදි කරුණු පෙළ ගස්වා ඇත. එසේම එහි නිර්දිෂ්ට පෙළ පොත් ආශ්‍රිතව ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් හා පිළිතුරු පත්‍රයක් ද කතුවරයා විසින් එහි අන්තර්ගත කර ඇත.

ඇලිස්ගේ විශ්මලන්තය වේදිකාවට ආ හැටි

කොළඹ ජාත්‍යන්තර පාසලේ මහනුවර ශාඛාව මඟින් නිෂ්පාදනය කළ ඇලිස් ද මියුසිකල් ප්‍රසංගය ඉකුත් දා එම පාසලේ ශ්‍රවණාගාරයේදී රඟ දැක් විය. ජනප්‍රිය සුරංගනා කතාවක් වන ඇලිස් සහ විශ්මලන්තය කතාව ඇසුරෙන් ඉදිරිපත් කරන ලද මෙම ගීත නාටකය සඳහා චමිලා ජයවර්ධන සහ ගේශානි ඩයස් යන ගුරුවරුන්ගේ අධ්‍යක්ෂණය යටතේ සිසු සිසුවියන් 65 කගේ රංගන දායකත්වය ලැබිණ.